13 December, 2017

Blog

වීරවංශ පාරාජිකා වීම

රංග ජයසූරිය

රංග ජයසූරිය

විමල් වීරවංශ යනු කාබාසිනියාකාරී දේශපාලඥයෙකි. සමහර විට අනගාරික ධර්මපාලගෙන් පසු තමන්ගේ චතුර කථිකත්වය තුළින් සෑහෙන පිරිසක් වාර්ගික උන්මාදයකට තල්ලු කැරැුවිය හැකි පුද්ගලයා විමල් වීරවංශ විය හැකිය. කෙටි කාලයක් තිස්සේ ඔහුගේ නායකයා වු රෝහණ විජේවීරත් එවැනිම උද්වේගී කථිකයෙකි. එහෙත් ජාතිය සහ ආගම පිළිබඳ රහසේ ආධානග‍්‍රාහියෙකු වූ ඔහු තම කථිකත්වය බොහෝ කොට පාවිච්චි කෙළේ පංති අරගලය උදෙසා ය. වාර්ගික දෙබෙදුමේ අනික් පස සිටි වඩාත් ප‍්‍රකට පුද්ගලයා වූ වේලුපිල්ලේ ප‍්‍රභාකරන් යනු, කොහොල්කමට වැඩියෙන් බර, තුවක්කුවේ කොකාට වැඩියෙන් ආදරය කළ සමූහ ඝාතකයෙකි. සිංහලයන්ට සහ මුස්ලිම්වරුන්ට පමණක් නොව, තමන්ගේම ප‍්‍රජාවේ විසම්මුතික අදහස් දැරූවන්ට එරෙහිව පවා නිර්දය ප‍්‍රචණ්ඩත්වය භාවිත කළ ඔහු ඒ මගින් ලංකාවේ මෙන්ම පිටරටත් වෙසෙන විශාල දෙමළ ජනකායකගේ සිත් ඇද බැඳගත්තේය.

මේ සියලු මිනිසුන් තුළ පැවති පොදු ලක්ෂණය වුණේ, අපේ සමාජයේ පවතින ඇදකුදත්, අපේ රාජ්‍යයේ එදා සහ අද පවතින සීමාවනුත්, තම අරමුණු වෙනුවෙන් සූක්ෂමව පාවිච්චියට ගැනීම හෙවත් වළ ඉහගෙන කෑම සඳහා දැක්වූ කුසලතාවයි. යටත්විජිතවාදී බි‍්‍රතාන්‍යයන්ගේ ලිබරල් නැමියාවන් පාවිච්චියට ගත් අනගාරික ධර්මපාල එක්තරා ආකාරයක ආන්තික වර්ගවාදයක් රටේ වැපිරුවේය. අපේ රටේ යටත්විජිත බලය පැවතියේ ප‍්‍රංශ, ඕලන්ත හෝ බෙල්ජියන් වැනි ජාතියක් යටතේ නම් ඒ සෙල්ලම නටන්ට අනගාරික ධර්මපාලට නොලැබෙනු ඇත. රාජ්‍යයට එරෙහිව යුද වැදීම සඳහා රෝහණ විජේවීර පාවිච්චියට ගත්තේ, එම රාජ්‍යයේම සුභසාධන ප‍්‍රතිපත්ති හරහා ජනිත කොට තිබූ තරුණ ජනගහනයේ ප‍්‍රසාරණයයි. අවස්ථා දෙකේදීම ඔහුව නතර කෙරුණි. එහෙත් ඒ විශාල වියදමක් දැරීමෙනි. ප‍්‍රභාකරන් සහ විජේවීර යන දෙන්නාම, රටේ මිනිසුන්ගෙන් යම් කොටසක් විසින් බොහෝ කොට හිතින් මවා ගත් සහ අතිශයෝක්තියෙන් ගත් මැසිවිලි අඳෝනා තමන්ගේ පාවිච්චියට ගත්හ. රාජ්‍යයේ මර්දන බලය තුළ පැවති සීමාවන් තමන්ගේ දුර නොපෙනෙන අභිලාෂයන් ඉෂ්ට කර ගැනීම සඳහා ඔවුහූ යොදාගත්හ. සීමිත සම්පත් ප‍්‍රමාණයක් සහිත රාජ්‍යයකට එක දිගට නඩත්තු කළ නොහැකි තරමේ තරබාරු සුභසාධන සමාජයක් වෙනුවෙන් ආයෝජනය කරනවා වෙනුවට, මුල පටන්ම රාජ්‍ය සම්පත්වලින් යම් ප‍්‍රමාණයක් රටේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ක්ෂේත‍්‍රයට යොමු කෙළේ නම්, මේ දෙන්නාම ඔවුන්ගේ විනාශය මුදා හැරීමට බොහෝ කලකට කලින් නතර කර ගැනීමට පුලූවන්කම තිබුණි.

විමල් වීරවංශ යනු මේ රුදුරු කලාවේ පරතෙරට ගිය අයෙකි. සිංහල ජනතාව තුළ තිබිය හැකි අනාරක්ෂාව පිළිබඳ හැඟීම මොහු අගේට පාවිච්චියට ගන්නේය. තව තවත් බිය ජනතා සිත්සතන් තුළ පැළපදියම් කරන්නේය. ජනතා විමුක්ති පෙරමුණෙන් වේවා, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වේවා, ඔහු තරග කළ සෑම මැතිවරණයකින්ම හෙතෙම විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තේය. අතීතයේ ඔහු දැරූ කිසි අමාත්‍ය පදවියක් රටට ප‍්‍රතිඵලදායී නොවී තිබූ තත්වයක් තුළ, ඒ සා විශාල ඡන්ද සංඛ්‍යාවක් ඔහු ලබාගන්නේ අර කී ජාතිභේදවාදී දේශපාලනයේ හැකරකමට ය.

රුපියල් කෝටි 9 ක රාජ්‍ය දේපල අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තබා ගැනීම සඳහා අධිකරණයෙන් දුන් නියෝගයකට එරෙහිව මෑතකදී ඔහු උපවාසයක් ගෙන ගියේය. ඔහුගේ ගෝලබාලයන් කියන පරිදි, මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම උඩ, පසුව එම උපවාසය ඔහු අත්හලේය. අනාගතයේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින සෑම හොරෙකුම, සෑම ස්ත්‍රී දූෂකයෙකුම සහ සෑම බැඳුම්කර වංචාකරුවෙකුම තමන්ව නිදහස් කරන්නැයි ඉල්ලා උපවාස කළොත් ගරුතර භික්ෂූන් වහන්සේලාට ඔවුන්ව එම උපවාසවලින් ගලවා ගැනීම සඳහා උදේ හවා වෙහෙසීමට සිදුවනු ඇත.

අවිහිංසාවාදී විරෝධතා සම්ප‍්‍රදායේ පෙරගමන්කරුවන් වශයෙන් අපේ කලාපය ප‍්‍රමුඛ ය. එසේම එම අවිහිංසාවාදී විරෝධතා සම්ප‍්‍රදාය පටු දේශපාලනික සංදර්ශන වෙනුවෙන් අවජාතකව භාවිතයට ගැනීමටත් අපි සමත්ව ඇත්තෙමු. ශ‍්‍රී ලංකාවේ දෙමළ අරගලය වෙනුවෙන් උදේ කෑම ගැනීමෙන් පසු දවල් ආහාරය දක්වා වරක් උපවාස කළ හිටපු මහ ඇමති කරුණානිධි ඇතුලූ තමිල්නාඩු දේශපාලඥයෝ ඒ සෙල්ලමේ කෙලපැමිණියෝය.

තවත් අවස්ථාවල, සමාජ සහ ආර්ථික වර්ධනයේ ඌනතා පවතින අවදියක, රාජ්‍ය ආයතන දුර්වලව පවතින අවදියක, සත්භාවයෙන් කෙරෙන අවිහිංසාවාදී මහජන අරගල පවා මහ පරිමාණ ප‍්‍රචණ්ඩත්වයන් වෙත යොමු වීමේ ඉඩකඩ සැලසේ. බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමෙන් පසු ඉන්දියානුවන් ලක්ෂ පහක් ඇනකොටාගෙන ජීවිතක්ෂයට පත්වීමේ ඉරණම දක්වා අවිහිංසාවාදී ව්‍යාපාරය පීලි පැනීම නතර කිරීමට මහත්මා ගාන්ධිටත් පුලුවන් වුණේ නැත.

මීට වසර කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරෝධය දක්වමින් විමල් වීරවංශ තවත් උපවාසයක් කෙළේය. එය අවසන් කෙරුණේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර ටිකක් ඔහුට පෙවීමෙනි. මෙවර විමල් වීරවංශගේ උපවාසය පළාතකවත් මහින්ද රාජපක්ෂ ගියේ නැත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් ඉතා පහසුවෙන් බන්ධනාගාර රැුඳවියෙකු හෝ රෝහලේ ප‍්‍රතිකාර ලබන අයෙකු හෝ බැලීම සඳහා යාමට මහින්ද රාජපක්ෂට පුලුවන්කම තිබියදීත් ඔහු මෙවර විමල් වීරවංශව බැලීමට නොගියේ තමාගේ හෙංචයියා විසින් මෙවර දියත් කරන ලද නාඩගමේ කෝලමක් බවට තමාත් පත්වෙනු දැකීමට කැමති නොවූ නිසා විය හැකිය.

වීරවංශ මොන තරම් තැතනුවත්, දැන් ටිකෙන් ටික ගොඩනැගී එන අධිකරණය දණ ගැස්සවීමට අසමත් විය. ඔහුගේ ගර්ජන ඉදිරියේ අධිකරණය කෙලින් සිටීම ප‍්‍රශංසා කටයුතු ය. එය අනාගතයටත් පූර්වාදර්ශයක් විය යුතුව තිබේ. විවිධ දේශපාලන න්‍යාය පත‍්‍ර යටතේ වැඩ කරන සහ තමන්ගේ න්‍යාය පත්‍ර​යන්ට අනුගතව නීතිය හැඩගැස්විය යුතුව ඇතැයි සිතන කණ්ඩායම් ඉදිරියේ මෙය පූර්වාදර්ශයක් වශයෙන් ගැනීම යෙහෙකි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, දැඩි අධිෂ්ඨානය අවශ්‍ය තන්හිදී ආණ්ඩුවෙන් එවැන්නක් ප‍්‍රදර්ශනය නොවීමයි. ආණ්ඩුවේ හැසිරීම මෙහෙයවනු ලබන්නේ දේශපාලනික ඕනෑඑපාකම් මත ය. එය, නීතියේ ආධිපත්‍යයත්, අධිකරණයේ ස්වාධීනත්වයත් සඳහා ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ගවලට බාධකයක්ව පැවතීමේ අවදානම තිබේ.

වීරවංශ මහතාට ඇත්තෙන්ම දුක්ගැනවිල්ලක් තිබුණා විය හැකිය. රජයේ වාහන සහ සම්පත් අවභාවිත කිරීමේ චෝදනාවන්ට තවම ඔහු වැරදිකරු වී නැත. මේ අවභාවිතා සිදුකොට ඇත්තේ ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් සහ ඔහු සමග අලුත් පක්ෂය ගොඩනගා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී ආ පිරිස් වෙනුවෙනි. එය වැරදි ක‍්‍රියාවකි. එහෙත් ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ එය සාමාන්‍ය සිද්ධියකි. ඔහු විදේශ රහස් ගිණුම්වල සල්ලි තැන්පත් කොට ඇති බවකට හෝ මහා මන්දිර ගොඩනගා ඇති බවකට හෝ චෝදනා නැත. එහෙත් එවැනි චෝදනාවන්ට ලක්වූවෝ තවමත් යෙහෙන් වැජඹෙති. කොළඹ සහ කැළණිය වැනි පෙදෙස්වල කප්පම් ජාවාරම් කරගෙන ගිය දේශපාලඥයන් නීතිය ඉදිරියට පමුණුවා නැත. හොර ටෙන්ඩර් පරිපාටි හරහා ශ‍්‍රී ලංකන් ගුවන් සේවය බංකොලොත් කළ පුද්ගලයන්, ඩොලර් මිලියන ගණන් මහජන සම්පත් කොල්ලකෑ පිරිස්, ආණ්ඩුව සහ ඒකාබද්ධ විපක්ෂය අතර අද කපුකම් කරමින් සිටිත්.

ඒ අය ඉදිරියේ තැබූ විට විමල් වීරවංශ පුංචි හාල්මැස්සෙකි. ‘ඇයි මට විතරක්?’ යැයි ඔහු තමාගෙන්ම අසාගන්නවා ඇති. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ කට වැසීමට නම්, එහි යම් දේශපාලනික තර්කණයක් තිබිය හැකි වෙතත්, එවැනි තෝරාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් සැළකීම, වගවීම සහ නීතියේ ආධිපත්‍යයට දීර්ඝ කාලීනව සුභදායක නැත.

අධිකරණයේදී බාගවිට ඔහු ඒ ප‍්‍රශ්නය නැගිය යුතුව තිබේ. ‘ඇයි මං විතරක්?’

*2017 අපේ‍්‍රල් 4 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Weerawansa’s Free Fall from Grace” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.