23 October, 2017

හැත්තෑවේ දශකයේ රාජ්‍ය මර්දනයේ ස්වරූපය

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

පළමුවෙන්ම මා ස්තූතිවන්ත වෙනවා 71 සහෝදරත්ව සංසදයේ සහෝදර සහෝදරියන්ට, 1971 අපේ‍්‍රල් නැගිටීම සම්බන්ධයෙන් පවත්වන මෙම 46 වැනි සැමරුමේ දී, හැත්තෑවේ දශකයේ පැවති රාජ්‍ය මර්දනයේ ස්වරූපය පිළිබඳව අදහස් ස්වල්පයක් දක්වන්නට මට ආරාධනා කිරීම ගැන.

1971 අපේ‍්‍රල් නැගිටීම සම්බන්ධයෙන් කථා කරන හැම විටකම පාහේ පැන නඟින මාතෘකාවක් තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වෙත නැඹුරු වී සිටි බවට. මේ සම්බන්ධයෙන් පිළිතුරු සොයා ගන්නට, මම කැමතියි ඊට සමාන්තර ප‍්‍රශ්ණයක් මතු කරන්නට. ඒ ප‍්‍රශ්ණය නම්, එදා පැවතුන ජාත්‍යන්තර හා දේශීය දේශපාලන බල කඳවුරු විසින්, එදා සිටි තරුණ පරම්පරාවට තමන්ගේ නවයොවුන් ප‍්‍රාර්ථනාවන් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලද මූලික වෙනස්කම් සාක්‍ෂාත් කර ගන්නට, ඔවුන්ට සාමකාමී මාවතක් හෝ අවස්ථාවක් ලබා දුන්නාද යන්න යි. මෙයට පිළිතුරු සොයන්නට නම්, ඒ කාලයේ පැවති ජාත්‍යන්තර හා දේශීය දේශපාලන වාතාවරනයත්, ඒ කාලයේ පැවති රාජ්‍ය මර්දනයේ ස්වරූපයත්, සාකච්ඡාවට ලක් කළ යුතු වෙනවා. අද ලැබී තිබෙන මෙම අවස්ථාව මා යොදා ගන්නේ, හැත්තෑවේ දශකයේ පැවති රාජ්‍ය මර්දනයේ ස්වරූපය ගැන අදහස් ස්වල්පයක් දක්වන්නට පමණයි. එහෙත් 1971 අපේ‍්‍රල් නැගිටීම සම්බන්ධයෙන් ඇති වගකීම්වලින් ජනතා විමුක්ති පෙරමුණ නිදහස් කරන්නටවත් මා නිදහස් වෙන්නටවත් එයින් අදහස් කරන්නේ නැහැ.

1960 දශකයේ, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත‍්‍රයේ වැදගත් වෙනස් වීම් ගණනාවක් ඇති වුනා. මේ වෙනස්වීම්, ජනතා විමුක්ති පෙරමුණේ උපතටත්, එහි විකාශනයටත් තදින්ම බල පෑවා.

ඒ කාලයේ ධනවාදය, නව යටත්විජිත වාදයේ ස්වරූපයෙන් එහි අඬුපඬු ප‍්‍රසාරණය කරමින්, එහි ආධිපත්‍යය ලොව පුරා තහවුරු කරමින් සිටියා. ඇමෙරිකා එක්සත් ජනපදය සහ CIA සංවිධානය, විවෘත බලය සෘජු ලෙස යොදමින් හෝ, ආවෘත බලය අනියම් ලෙස යොදා ගනිමින් හෝ, ලොව පුරා, විශේෂයෙන්ම අග්නි දිග ආසියාවේ පැවති, අප එකල සමාජවාදී යයි හෝ සමාජවාදයට පක්‍ෂයයි හෝ සැළකූ ආණ්ඩු සහ ප‍්‍රබල දේශපාලන ව්‍යාපාර, පෙරළා දමන්නට හෝ විනාශ කර දමන්නට කටයුතු කරමිනුයි සිටියේ. උදාහරණයක් ලෙස, ආසියාවේ, අපි‍්‍රකාවේ සහ ලතින් ඇමෙරිකාවේ ඒකාධිපති පාලනයන් සහ හමුදා ආඥදායකත්වයන් ගණනාවක් ඇති කොට තිබුනා; ඇති කරමින් තිබුනා. දශ ලක්‍ෂ ගණන් කොමියුනිස්ට් වාදීන් ඝාතනය කොට, ඉන්දුනීසියාවේ සුකර්ණෝ ගේ ආණ්ඩුව පෙරළා දමා, ජෙනරල් සුහර්තෝගේ නායකත්වයෙන් හමුදා ආඥදායකත්වයක් පිහිටුවීම, පොදුවේ වාමාංශයටත්, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ බවට පසුව පත්වූ ”ව්‍යාපාරය” ටත්, ඉතාමත් ගැඹුරු ආකාරයේ නිෂේධාත්මක අත්දැකීමක් වුනා; දැඩි බල පෑමක් ඇති කළා.

මේ අතරේ, ඇමෙරිකන් ගැති බැටිස්ටා පාලනයට එරෙහිව සටන් කොට විජයග‍්‍රහණය කළ කියුබානු නිදහස් සටනත්, ආසියාවේ, අපි‍්‍රකාවේ සහ ලතින් ඇමෙරිකාවේ ඉදිරියට එමින් පැවති නොයෙක් ආකාරයේ විමුක්ති අරගලත්, එකල සමාජවාදී යයි අප හැඳින්වූ ප‍්‍රගතිශීලී සමාජ බලවේග හා රටවලුත් අපට මහත් ආභාෂයක් සැපයුවා.

දේශීය වශයෙන් 1964 දී, ලංකා සමසමාජ පක්‍ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමඟ ධනේශ්වර සභාගයකට ඇතුල් වුනා. ඒ අනුව යමින් මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂයේ ධනේශ්වර සභාගයට එකතු වුනා. එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් පැවති ධනේශ්වර සභාගය, විශේෂයෙන්ම එහි මුදල් ඇමතිව සිටි ජේ ආර් ජයවර්ධන මහතා, නව යටත්විජිතවාදී අවශ්‍යතා නියෝජනය කරමින් ලංකාවේ මැතිවරණ සිතියම විසි වසරකට අකුලා දමන්නට යෝජනා කළා; එසේ කරන්නට කටයුතු කරමින් සිටියා.

1968 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය එක්සත් පෙරමුණක් පිහිටෙව්වා. මේ එක්සත් පෙරමුණ ඊළඟ දශකයේ ප‍්‍රධාන හවුල්කාර ධනේශ්වර බලවේගය බවට පත් වුනා. සම්ප‍්‍රදායික වමේ මෙම පිරිහීයෑම, නව වම බවට පත් වූ ‘ව්‍යාපාරය’ට සම්ප‍්‍රදායික වමේ ශ්‍රේණීන් වෙත ප‍්‍රවේශ වෙමින් ඔවුන්ගේ සාමාජික සාමාජිකාවන් මෙන්ම හිතවතුන් ‘ව්‍යාපාරය’ වෙත දිනා ගන්නට ඉමහත් අවස්ථාවක් ලබා දුන්නා. ‘ව්‍යාපාරය’ දකුණේ බොහෝ ප‍්‍රදේශවල ඉතා වේගයෙන් ව්‍යාප්ත වුනා; සම්ප‍්‍රදායික වම අභිභවා ඉදිරියට ගමන් කළා. ඒ වන විට ‘ව්‍යාපාරය’ තුල වැඩියෙන් සිටියේ සම්ප‍්‍රදායික වමේ ශ්‍රේණීන් තුළින් ‘ව්‍යාපාරය’ට එකතු වූ අය.

මේ නිසා සම්ප‍්‍රදායික වම සහ ‘ව්‍යාපාරය’ අතර පැවතුනේ සතුරු දේශපාලන ආකල්පයක්. සම්ප‍්‍රදායික වමේ ශ්‍රේණීන් තුළින්ම ඉදිරියට පැමිණි, ඔවුන් හොඳින් දැන හඳුනා ගෙන සිටි, මහත් දේශපාලන කැපවීමෙකින් කටයුතු කළ පුද්ගලයන්ගෙන් සමන්විත වුනු නව වමේ නායකත්වයට එරෙහිව, තරුණ ව්‍යාපාරයේ නායකත්වයට එරෙහිව, පදනම් විරහිත අවලාද සහ අපහාස නඟන්නට, මඩ ගසන්නට පටන් ගත්තා. ඔවුන් කෙතරම් අසංවේදී බවට පත් වී සිටියාද යන්න හෙළිදරව් වෙන්නේ, කට කතා මගින් මෙන්ම ‘ඇත්ත’ සහ ‘සමසමාජය’ වැනි ඔවුන්ගේ මාධ්‍යයන් යොදා ගනිමින්, ‘ව්‍යාපාරය’ තරුණ පරපුර කොටු කර ගැනීම සඳහා අටවන ලද CIA කෙමනක් බවට දැඩි ලෙස ප‍්‍රචාරය කිරීම තුළින්.

‘ව්‍යාපාරය’ පිළිබඳව රාජ්‍ය යන්ත‍්‍රයේ අවධානය මුලින්ම යොමු වෙන්නට පටන් ගන්නේ එතැනින්. පළමුවෙන්ම රෝහණ විජේවීර සහෝදරයාත්, තවත් දේශපාලන ක‍්‍රියාකාරිකයන් කිහිප දෙනෙකුත්, 1970 දී අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබුවා. මෙසේ අත් අඩංගුවේ තබාගෙන සිටි සහෝදරවරුන්ට එරෙහිව චෝදනාවලට අභියෝග කරන්නට ඉදිරිපත් වූයේ සහ සහාය දුන්නේ ලංකා සමසමාජ පක්‍ෂයේ ආනන්ද පේ‍්‍රමසිංහ, මාර්ෂල් පෙරේරා සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවෙගම වැනි සහෝදරවරුන් කිහිප දෙනෙක්. MI 5 (Military Intelligence 5) වැනි රජයේ ඔත්තු සේවාවන් පුදුමයට පත් වී සිටියා, ඔවුන් විසින් හෙළිදරව් කර ගන්නා මෙම ව්‍යාපාරය ගැන; එහි දිගක්් පළලක් ගැන ඔවුන් දැන නොසිටීම පිළිබඳව. මේ නිසා රජයේ ඔත්තු සේවාවනුත්, ප‍්‍රවෘත්ති මාධ්‍යයත් අපේ ව්‍යාපාරය නම් කරා ”චේ ගෙවාරා” ව්‍යාපාරය ලෙස.

මේ කාලයේ ‘ව්‍යාපාරයේ’ ප‍්‍රධාන අරමුණ වුනේ, එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන්, ඇමෙරිකන් ගැති නව යටත්විජිතවාදී ඒකාධිපති රජයක් පිහිටුවා ලීම වළකවා ලීම යි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවා එදා පැවති මෙම අනතුරේ බැ?රුම් ස්වභාවය වටහා ගෙන තිබූ බව, එහි නායකත්වය ඊට එරෙහිව එළිපිට කථා කිරීමෙන්ම පෙණුනා. ජාත්‍යන්තර තලයේ සිදු වී තිබුන සහ සිදු වෙමින් පැවතුන ආණ්ඩු පෙරළා දැමීමත්, දේශපාලන ව්‍යාපාර විනාශකර දැමීමත්, එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් ලංකාවේ නව යටත්විජිත වාදී ආඥදායක රජයක් පිහිටුවා ලන්නට ඇති විභවයත්, ‘ව්‍යාපාරය’ සැළකිල්ලට ගත්තා. නව යටත්විජිතවාදී සහයෝගය සහ අනුබලය ඇතිව පිහිටුවනු ලැබිය හැකි එවැනි හමුදා ආණ්ඩුවකට මුහුණ දිය හැක්කේ, සන්නද්ධ වෙන්නට පටන් ගැනීමෙන් පමණක් බව ‘ව්‍යාපාරය’ තීරණය කොට තිබුනා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්, ලංකා සමසමාජ පක්‍ෂයෙන් සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයෙන් සැදුම් ලත් ධනේශ්වර එක්සත් පෙරමුණු සභාගය, ප‍්‍රබල අධිරාජ්‍ය විරෝධී ප‍්‍රතිපත්ති මාලාවක් මත, 1970 මහ මැතිවරණය තරඟ කළා. ‘ව්‍යාපාරයේ’ද සහයෝගය ලැබූ එක්සත් පෙරමුණු සභාගය, තුනෙන් දෙකක බලයක් ලැබ එම මැතිවරණය ජය ගත්තා. එහෙත් වැඩි කලක් නොගොස්ම, එක්සත් පෙරමුණු සභාගය විසින් ඉදිරිපත් කරන ලද අධිරාජ්‍ය විරෝධී ප‍්‍රතිපත්ති කෙටි කාලීනව තබා, ආණ්ඩුවේ මුළු කාලය තුලමත් ඉටු කළ නොහැකියයි සභාගයේ, විශේෂයෙන්ම ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයන් කියා සිටියා. අත් අඩංගුවේ තබාගෙන සිටි ‘ව්‍යාපාරයේ’ සහෝදරවරුන් පසුකාලීනව චෝදනාවලින් නිදහස් කරනු ලැබුවා. 1970 ජූලි මාසයේ ව්‍යාපාරය පැවැත්වූ පළමුවැනි ප‍්‍රසිද්ධ දේශණය වෙන් වුනේ, ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂය නඟා තිබුනු CIA වැනි අවලාදවලට, මඩ ගැසීම් වලට පිළිතුරු දෙන්නටයි.

මහ මැතිවරණයේදී ජනතාවට දෙන ලද පොරොන්දු මඟ හරිමින්, ජනතා විරෝධී පැරණි ප‍්‍රතිපත්තිම කි‍්‍රයාවට නැංවීම පිළිබඳව, 1970 අවසාන කාලය වන විට ජනතා අප‍්‍රසාදය නැඟී ආවා. මෙම අප‍්‍රසාදය හමුවේ, ජනතා විමුක්ති පෙරමුණට තවමත් කුඩා වූවත්, රටේ ප‍්‍රධාන වමේ බලවේගය බවට ගොඩ නැෙඟන්නට පුළුවන් වුනා. 1970 අගෝස්තු 10 වන දා පැවැත්වූ පළමු මහජන රැුස්වීමේ දී ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියා, මහ මැතිවරණයේදී ජනතාවට දෙන ලද පොරොන්දු ඉටු කරනවා නම් ආණ්ඩුවට සිය සහයෝගය දෙන බව. (We will support Govt. but want result, says PLF leader’ Ceylon Daily News, 11 August 1970)

එහෙත් එදිනම පුවත්පත් පළ කොට තිබුනා, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, ලංකා සමසමාජ පක්‍ෂයේ සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම්වරුන්ගේ ඒකාබද්ධ ප‍්‍රකාශයක්. එම ප‍්‍රකාශයෙන් ඉල්ලා තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ දක්‍ෂිණාංශික ප‍්‍රතිගාමී බලවේගයක් බවත්, ජනතාවට ඒ හා සටන් වදින ලෙසත් ය. එකල සිටි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ස්ථිර ලේකම් ආතර් රත්නවේල් මහතා ප‍්‍රකාශ කොට සිටියේ ජනතා විමුක්ති පෙරමුණ අංක එකේ ජනතා සතුරා බවත්, එය සහමුලින් විනාශ කර දැමිය යුතු බවත් ය.

1971 මුල් භාගය වන විට, ජනතා විමුක්ති පෙරමුණ ඉතා ආසන්න තර්ජනයක් ලෙස දුටු සභාග රජය, එය විනාශ කිරීම සඳහා සැළසුම් සකස් කරමින් සිටියා. ජනතා විමුක්ති පෙරමුණු විරෝධී වැඩ කටයුතු සම්බන්ධීකරණය කරන්නට, හමුදා සහ පොලිසිය ‘ප‍්‍රති-කැරලි ඒකක’ පිහිටුවන්නට පටන් ගත්තා. මෙහි ප‍්‍රධාන වැඩ කොටස ඉටු කළේ, ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ එවකට ලේකම්ව සිටි පීටර් කේනමන් මහතා විසින්. ධනේශ්වර සභාග රජයේ නිවාස කටයුතු පිළිබඳ ඇමතිවරයා ද වූ ඔහු, ජනතා විමුක්ති පෙරමුණට එරෙහි මර්දන කටයුතු මෙහෙයවීම සඳහා සකස් කරන ලද දේශපාලන කමිටුවේ සභාපති ලෙසද කටයුතු කළා.

වර්ධනය වෙමින් පැවති මෙම විෂම චක‍්‍රය නතර කරන්නට ජනතා විමුක්ති පෙරමුණ ඇතැම් උත්සාහයන් දැරුවා. උදාහරණයක් ලෙස මට මතකයි, රෝහණ විජේවීර සහෝදරයා සුනේත‍්‍රා බණ්ඩාරනායක මැතිනිය හරහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටියා. අපට අවශ්‍ය වුනේ, සභාග රජයේ කොටසක් ලෙස සම්ප‍්‍රදායික වම ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කරන්නට තම බලපෑම යොදා ගන්නා බව පැහැදිලි කොට, දේශපාලන වශයෙන් අතරමඟ සාමාදානයකට නොපිවිසෙන ගමන්ම, මෙම විෂම චක‍්‍රය නතර කර ගන්නටයි. නමුත් එවැනි සාකච්ඡාකට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. වෙනත් මාර්ගවලිනුත් මෙවැනි උත්සාහයන් දැරූ බව මම දන්නවා.

ඒ විතරක් නොවෙයි, මෙතැන සභාවේ සිටින, බොරැුල්ලේ ඔස්මන්ඞ් සහෝදරයාගේ දිවංගත මව, සීලවතී සහෝදරිය, ලංකා සමසමාජ පක්‍ෂයේ කාන්තා සංවිධානයේ සභාපතිනිය ලෙස සිට ජනතා විමුක්ති පෙරමුණට එක්වූ නායක සහෝදරියක්. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඒ සහෝදරියගේ නායකත්වයෙන් යුත් මණ්ඩලයක්, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මණඩලයත් සමඟ සාකච්ඡා කොට අවබෝධයක් ඇති කර ගන්නට උත්සාහ කළා. නමුත් එම සාකච්ඡාවේදී, එවකට සභාග ආණ්ඩුවේ මුදල් ඇමතිව සිටි ලංකා සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය ඇන් ඇම් පෙරේරා මහතා පවසා තිබුනේ, CIA ව්‍යාපාරයෙන් ජනතා විමුක්ති පෙරමුණට එවන ලද චෙක් පතක් ඔවුන් සතුව ඇති බවයි. එම චෙක් පත පුවත්පත්වල පළ කරන ලෙස සීලවතී සහෝදරිය එම සාකච්ඡුාවේදී ඇන් ඇම් පෙරේරා මහතාට අභියෝග කළ නමුත්, අද වෙන තෙක් අපට එවැනි චෙක් පතක් දැක ගන්නට ලැබුනේ නැහැ. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභාවේ ඇතැම් සහෝදරවරුන් සමඟත් අප මෙම තත්වය පිළිබඳව සාකච්ඡුා කළා. මෙවැනි සාකච්ඡාවලින් අප බලාපොරොත්තු වූ ආකාරයේ අවබෝධයක් ඇති කර ගන්නට බැරි වුනා.

ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුනු තොරතුරුවලට අනුව නීතිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීම සඳහා අවශ්‍ය විශේෂ නීති සම්පාදනය කරමින් සිටියා. ‘නීතිය හා සාමය’ ආරක්‍ෂා කිරීමේ නාමයෙන්, පොලිසිය සහ උසාවි වැනි නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතන, නීත්‍යානුකූල දේශපාලන කටයුතු කර ගෙන යන්නට තරුණ ව්‍යාපාරය සතුව තිබුනු අයිතීන් උල්ලංඝණය කළා. ප‍්‍රසිද්ධ රැුස්වීම් හා දේශණ පැවැත්වීම, පුද්ගලික දේශපාලන සාකච්ඡා පැවැත්වීම, පක්‍ෂයේ පුවත්පත් සහ පත‍්‍රිකා මුද්‍රණය කිරීම, අලෙවි කිරීම හා බෙදා හැරීම, පෝස්ටර් ඇලවීම, පක්‍ෂයේ ප‍්‍රචාරක කටයුතුවල නිරත වීම වැනි කටයුතු කඩා කප්පල් කර දමන්නට කටයුතු කළා.

1971 මාර්තු 6 වන දා ‘මා ඕ තරුණ පෙරමුණ’ ජනතා විමුක්ති පෙරමුණට CIA ආධාර ලැබෙන බවටත්, එය වහා නතර කරන ලෙසටත් බල කරමින් ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට පෙළපාලියක් පැවැත්වූවා. එහිදී පොලිස් නිලධාරියෙකු මරුමුවට ලක් වුනා. මෙම පෙළපාලියේ නායකයන් සහ සභාග ආණ්ඩුව අතර පැවති දේශපාලන සම්බන්ධතා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට දැනගන්නට ලැබී තිබුනා. මෙම සිද්ධිය හා කිසිදු සම්බන්ධයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ වහාම ප‍්‍රකාශයට පත් කළා. එහෙත්, සභාග රජය කළේ මෙම සිද්ධිය යොදා ගනිමින් හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කිරීම යි. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනු ලැබුවා. 1971 මාර්තු 13 වනදා රෝහණ විජේවීර සහෝදරයා, කෙලී සේනානායක ඇතුළු සහෝදරවරුන් කිහිප දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබුවා.

1971 මාර්තු 16 වන දා රජය ප‍්‍රකාශ කළා, රජය පෙරළා දමන්නට ජනතා විමුක්ති පෙරමුණ කරන කුමන්ත‍්‍රනයක් පිළිබඳව සොයා ගෙන ඇති බවට. හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කළා. පැය 24 ක ඇඳිරි නීතියක් පැනවුණා. මේ අනුව ලංකාවේ රාජ්‍ය යන්ත‍්‍රයට ඕනෑම කෙනෙක් හිතුවක්කාර ලෙස අත් අඩංගුවට ගන්නට බලය පැවරුනා. මට මතක අන්දමට, මාර්තු 21 වන දා රජය හදිසි අවස්ථා නීතියේ තුන්වැනි කොටස, හදිසි නීතියේ 15 වෙනි වගන්තිය, ප‍්‍රකාශයට පත් කළා. මරණ පරීක්ෂණයක් නොපවත්වා, නෑදැයන්ටවත් නොදන්වා ඕනෑම මළ සිරුරක් විනාශ කර දමන්නට ආරක්‍ෂක හමුදාවන්ට එමගින් අවසර ලබා දුන්නා.

ඒ කාලයේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත තිබුනේ නැහැ. 1947 මහජන ආරක්‍ෂක පණතයි, හදිසි නීතියේ පදනම ලෙස යොදා ගත්තේ. මහජන ආරක්‍ෂක පණත දේශපාලන විරෝධතාවයන් මර්දනය කරන්නටත් පාලනය කරන්නටත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සම්මත කර ගන්නා ලද අන්තිම නීතිය යි. මෙම හදිසි නීතියේ 15 වෙනි වගන්තිය, යටත්විජිත සමයේ සිට පැවතෙන පැරණි නියෝගයක්. මෙය යටත්විජිත සමයේ යොදා ගෙන තිබෙනවා, විශේෂයෙන්ම රෝග පැතිර යාම වැළැක්වීම සඳහා. 1818 සහ 1848 ඌව සහ මහනුවර කැරලි ඇති වූ අවස්ථාවන්ට පසු මෙම නීතිය ලංකාවේ ක‍්‍රියාත්මක කළ ප‍්‍රථම අවස්ථාව මෙය යි.

නිසැකවම ජනතා විමුක්ති පෙරමුණ මෙය දුටුවේ, රජයේ යුද්ධ ප‍්‍රකාශයක මුල් ක‍්‍රියාව ලෙසයි. ‘සොයා බලා විනාශ කර දැමීමේ’ උපාය මාර්ගය දියත් කිරීමක් ලෙසයි. මාර්තු අග වෙන විට, ජනතා විමුක්ති පෙරමුණේයයි සැක කළ පන් දාහක් පමණ දෙනා අත් අඩංගුවට ගෙන තිබුනු බව බාලා තම්පෝ සහෝදරයා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ දී ඉදිරිපත් කළා. 1971 අපේ‍්‍රල් මස ඇතිවුනු පුපුරා යන සුළු තත්වය ඇති වූයේ එලෙසයි.

මෙහිදී 1972 මෙම සභාග රජය විසින්් සම්මත කර ගන්නා ලද මෙම අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පණත පිළිබඳව සඳහන් නොකළොත් එය අඩුපාඩුවක් ලෙස මම දකිනවා. මොකද? මෙම පණත එදා පැවති රාජ්‍ය මර්දනයේ ම දිගුවක්. මෙම පණතින් එදා පැවති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව පමණක් නොවෙයි; ආණ්ඩුක‍්‍රමවලට අදාල බලතල බෙදා වෙන් කිරීමේ සිද්ධාන්තයත් අධිකරණයේ ස්වාධීනත්වයත් උල්ලංඝණය කළා. මෙම නීතියේ නිර්මාතෘ එදා සිටි අධිකරණ ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරණායක මහතා පාර්ලිමේන්තුවේ දී මන්ත‍්‍රීවරුන්ට දැඩි ලෙස බලපෑම් කරමින් කියා සිටියේ: “වර්තමානයේ බලපාන නීතිය යටතේ නඩු පැවරීම එයින් පළමුවැන්නයි. එ එක් විදියක්. ඒ අනුව කටයුතු කරන්නට ගියොත් තමුන්නාන්සේලාට කවදාවත් එක නඩුවක්වත් ඔප්පු කරන්නට විදියක් නැහැ. ඔක්කොම නිදහස් කරන්නට වුවමනා නම් ඒ කි‍්‍රයාමාර්ගය අනුමත කළාට වරදක් නැහැ.” (1972 අපේ‍්‍රල් 4, හැන්සාඞ් 107 පිට)

මෙම හැන්සාඞ් වාර්තා කියෙව්වාම පැහැදිලි වෙනවා, එදා මන්තී‍්‍රවරුන්ට කෙතරම් තර්ජනාත්මක ලෙස අධිකරණ ඇමතිවරයා කටයුතු කොට ඇත්ද යන බව.

ඒ අන්දමට තමයි, එදා සාක්‍ෂි ආඥ පණත ඒක පාර්ශ්වික ලෙස වෙනස් කළේ. පැමිණිලි පාර්ශ්වය විසින් වැරදිකරුවෙකු බව ඔප්පු කරනු ලබන තෙක් සාමාන්‍ය නීතිය යටතේ චූදිතයෙකු නිවැරැුදි කරුවෙකු ලෙස සැළකූවද, මෙම නීතිය යටතේ චූදිතයෙකු නිවැරැුදි කරුවෙකු බව චූදිතයා විසින් ඔප්පු කරනු ලබන තෙක් චූදිතයෙකු වැරැුදි කරුවෙකු ලෙස ගැනුනි. කුමන තත්වයන් යටතේ වුවද චූදිතයෙකුගෙන් උකහා ගන්නා ලද ඊනියා පාපෝච්චාරණයක් චූදිතයාටත් අන් අයටත් එරෙහිව යොදා ගැනුනි. චූදිතයන් තම නිවැරුදි බව සනාථ කරන්නට කැඳවූ සාක්‍ෂිකරුවන් එසේ කැඳවීමෙන් වළකා ලන ලදි. ලංකා ඉතිහාසයේ පළමු වරට සිද්ධියක් සිදු වූවාට පසු (post fact) එම සිද්ධිය පිළිබඳව වධහිංසා යොදා කරන ලද අසාධාරණ පරීක්‍ෂණවලින් පසු ඒ සිද්ධියටත්, ඒ පරීක්‍ෂණවලටත්, ඒ පරීක්‍ෂණවල ප‍්‍රතිඵලවලටත් සරිලන පරිදි තර්ජනාත්මක ලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා ලද නීතියක් කෙතරම් සාධාරණ වන්නේද?

1971 අපේ‍්‍රල් නැගිටීම මර්දනය කරන්නට ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍යය, සිංගප්පූරුව, පාකිස්ථානය, ඉන්දියාව, සෝවියට් සංගමය සහ මහජන චීන සමූහාණ්ඩුව ඇතුළු බොහෝ රටවල්, ලංකාවේ රජයට යුද්ධාධාර දුන්නා. මෙසේ සපයන ලද යුද්ධාධාරවලට ඇතුළත් වුනා යුද, පොලිස් සහ බුද්ධි කටයුතු පිළිබඳ නිලධාරීන් සහ උපදේශකයන්.

ඉන්දියාව වැනි රටවල් කටුනායක ගුවන් තොටුපළ රකින්නට ගුවන් හමුදා කණ්ඩායම් යොදා ගැනීම, ඇතැම් ගම්මානවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ හෙලිකොප්ටර් යානා පදවන්නට ගුවන් හමුදා භටයන් යොදා ගැනීම, ඉන්දියානු සාගරය අවට නාවික රැුකවරණ සපයන්නට යුධ නැව් මෙන්ම නාවික හමුදාව යොදා ගැනීම වැනි කරුණු ගැන කථා කරනවාට වඩා, 1971 අපේ‍්‍රල් නැඟිටීම මර්දනය කොට සමූලඝාතනය කරන්නට මහා බි‍්‍රතාන්‍යයේ රජය ඉටු කරන ලද වැඩ කොටස සළකා බැලීම වැදගත් යයි මම සලකනවා. පළමුවෙන්ම ඒ වන විටත් ලංකාව පාලනය වුනේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ඩොමිනියනයක් ලෙස නිසා; දෙවැනිව, 1971 අපේ‍්‍රල් නැඟිටීම හා සම්බන්ධ ආසන්න අතීතයේ ආසියාවේ, විශේෂයෙන්ම, මලයාවේ යටත් විජිත වාදයට එරෙහිව දියත් වුනු අරගල මර්දනය කරන්නට බි‍්‍රතාන්‍ය රාජ්‍ය යන්ත‍්‍රය සහ එහි ආරක්‍ෂක හමුදා අධිරාජ්‍ය ගැති බලවේග යොදා ගනිමින් කරන ලද වැඩ කොටස නිසා.

සහෝදර සහෝදරියන්ට මතක ඇති ඒ කාලයේ කොළඹ කොල්ලුපිටියේ පිහිටුවා තිබුනු MI 5 නමැති යුද තොරතුරු හා සම්බන්ධ බුද්ධි අංශයේ ප‍්‍රධාන කාර්යාලය. ඒ කාර්යාලයේ තමයි රහස් පොලිස් පරීක්‍ෂක ශර්නි විජේසූරිය සහ ජෙගනාදන් යන මහත්වරු කටයුතු කළේ. රහස් පොලිස් පරීක්‍ෂක උපාලි සෙනෙවිරත්න මහතා කටයුතු කළේ කොටුවේ රහස් පොලිස් මූලස්ථානයේ හතරවෙනි තට්ටුවේ.

ප‍්‍රසිද්ධ කරන ලද තොරතුරු වලට අනුව, 1970 සිට 1974 දක්වා එක්සත් රාජධානියේ අග‍්‍රාමාත්‍යවරයාව සිටි එඞ්වඞ් හීත්ගේ අනුමැතිය ඇතිව, මහා බි‍්‍රතාන්‍යයේ MI 5 නමැති යුද තොරතුරු හා සම්බන්ධ බුද්ධි අංශය, හැත්තෑවේ දශකය පුරාම, ලංකාවේ බලධාරීන්ට කැරලි මර්දන උපදෙස් රහසින් ලබා දී තිබෙනවා. එවකට ලංකාවේ සිටි MI 5 ආරක්‍ෂා සම්බන්ධීකරන නිලධාරියා ලංකාවේ පොලිස්පතිවරයා සමඟ විශිෂ්ඨ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියත්, ලංකාවේ ඒ කාලයේ සිදු කරමින් තිබුනු බවට ඔවුන් දැන සිටි සාහසික ක‍්‍රියා වළක්වන්නට ඔහු අකැමති වූ බවක් හෝ අසමත් වූ බවකු යි පෙනෙන්නේ.

එපමණක් නොවෙයි, එවකට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරණායක මැතිනිය MI 5 වැඩ කටයුතු ගැන කෙතරම් පැහැදී සිටියේද යත් ලංකාවේ විශේෂ කාර්යාංශයේ ප‍්‍රධාන අයගෙන් කිහිප දෙනෙකු පුහුණු කිරීමේ වැඩ කටයුතු වලට සහාය වීම සඳහා කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ස්ථාන ගත කොට සිටි MI 5 යුද තොරතුරු හා සම්බන්ධ බුද්ධි අංශයේ නිලධාරියෙක් වූ ජිම් පැට්රික් ඇගේ ආණ්ඩුවේ කැරලි මර්දන විශේෂඥවරයා ලෙස පත් කර ගෙන තිබෙනවා.

1971 අපේ‍්‍රල් නැගිටීම මර්දනය කිරීම හා සම්බන්ධ රාජ්‍ය මර්දනයේ ස්වරූපය අවබෝධ කර ගන්නට නම්, ලංකාවේ රාජ්‍ය මර්දන ඉතිහාසය පිළිබඳවත් කෙටියෙන් හෝ කථා කළ යුතුයි. ඒ පිළිබඳව පළමුවෙන් මගේ මතකයට නැෙඟන්නේ 1953 හර්තාලය නමින් හඳුන්වනු ලබන මහා වැඩ වර්ජනයයි. මෙම අරගලය, 1971 අපේ‍්‍රල් නැගිටීමට වඩා හාත්පසින්ම වෙනස් වූවක්. එම වැඩ වර්ජනය කැඳවා තිබුනේ ලංකා සම සමාජ පක්‍ෂය යි. අනෙක් වාමාංශික පක්ෂ සහ වෘත්තීය සමිති එම වැඩ වර්ජනයට ආධාර දුන්නා නැත්නම් අනුකූලතාව දැක්වූවා. එවකට අගමැති ධූරය හෙබවූයේ ඩඞ්ලි සේනානායක මහතා යි. මුදල් ඇමතිවරයා වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතා යි.

කොළඹ කම්කරුවෝ පෙළපාලි ගියා. වැඩ වර්ජන සටන ව්‍යාප්ත වුනා. කොළඹ වරායේ, බෝගල පතලේ, සහ වැල්ලවත්ත රෙදි මෝලේ ප‍්‍රධාන වැඩ වර්ජන දියත් වුනා. එදා දවසේ ප‍්‍රධාන ප‍්‍රශ්න වුනේ සහල් මිල ඉහළ නැංවීම; නොයෙක් සහනාධාර සහ පඩිපත් කපා දැැමීම; සේවක කප්පාදුව සහ ඔවුන් සේවයෙන් නෙරපා දැමීමයි. මෙම අරගලය වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගවලට පමණක් සීමා වුනේ නැහැ. ග‍්‍රාමීය කම්කරුවෝත් තම නාගරික සහෝදර සහෝදරියන් සමග අත්වැල් බැඳ ගත්තා. දකුණු පළාතේ, විශේෂයෙන්ම ගාලූ දිස්ත‍්‍රික්කයේ ගම්මුන් ප‍්‍රවාහන දුම්රියවලට අවහිර කළ හැටි මතකයි. වැඩ වර්ජන, පෙළපාලි, ප‍්‍රවාහන සේවා ඇණහිටුවීම, කඩ සාප්පු වසා දැමීම, විරෝධතා රැුස්වීම් පැවැත්වීම, කළු කොඩි එසවීම යනාදි ස්වරූපයෙනු යි විරෝධතා දියත් වුණේ. කොළඹ සිට මාතරටත්, රත්නපුරේටත්, යාපනයටත් විරෝධතා ව්‍යාප්ත වුණා, රටේ සෙසු මධ්‍යම ප‍්‍රදේශවල හැර.

ඉතිහාසයේ පළමුවරට දිවයිනේ කම්කරුවෝ ගොවීන් සමග ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව එක්සත්ව නැගී සිටියා. ආණ්ඩුව බයට පත් වුනාග ආණ්ඩුව වැඩ වර්ජනය නීති විරෝධී බවට ප‍්‍රකාශයට පත් කළා. වැඩ වැරූ කම්කරුවන් අත් අඩංගුවට ගන්නට පටන් ගත්තා. පොලීසිය කොළඹදී පෙළපාලිකරුවන්ට වෙඩි තබා වී. කන්දසාමි සහෝදරයා ඇතුළු වැඩ වර්ජක සහෝදරයින් ගණනාවක් මරා දැම්මා. තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කළා. ඉතා ආසන්නව සිදු වෙන්නට යන විප්ලවයක් ගැන බියට පත් වුනු කැබිනට් මණ්ඩලය කොළඹ වරායට නුදුරුව නැංගුරම් දමා තිබුනු යුද නැවකයි රැුස් වුනේ.

කම්කරුවෝ ඇතැම් තීරණ ඉවත්කර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් දැඩි ස්ථාවරයක ඉඳගෙන සටන් කළා. මේ නිසා, ජේ. ආර්. ජයවර්ධන මහතා මුදල් ඇමතිකමින් ඉවත් කරනු ලැබුවා; හාල් සේරුවේ මිල අඩු කළා; හාල් සලාකය වැඩි කළා. නමුත් රජය අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්තිවල වත්් ප‍්‍රභූන් වෙත ලබා දී තිබුනු පංති වරප‍්‍රසාදවල වත් වෙනසක් ඇති වුනේ නැහැ. කාර්මික සංවර්ධනය, සේවා නියුක්තිය, ආදායම අසාධාරණ ලෙස බෙදී යාම යනාදී ප‍්‍රශ්න තව තවත් ඔද්දල් බවට පත් වුනා. මෙන්න මෙම ප‍්‍රශ්න තමයි, පසුව දකුණේ සහ උතුරු නැගෙනහිර ආර්ථික, සමාජ සහ ජන වාර්ගික ගැටුම්වල ස්වරූපයෙන් ප‍්‍රකාශයට පත් වන්නේ.

එදා තිබුන හැඟීම තමයි, හර්තාලය දිගටම පවත්වා ගෙන ගියා නම්, දේශපාලන බලය අල්ලා ගන්නත්, වැඩකරන ජනතාවගේ රජයක් පිහිටුවන්නත්, එයින් මඟ පෑදිය හැකිව තිබුන බව. ජනතාව එකමුතු වෙළා අරගල කළොත්, කෙතරම් ශක්තියක් තිබේද යන්නත් එයින් හොඳටම පැහැදිලි වුනා. කෙසේ වුනත්, හර්තාලය අතරමඟ නවතා දැමුනා. අතරමඟ සමාදානය තෝරා ගැනීම හේතුවෙන්, ඵල ප‍්‍රයෝජන අහිමි කරන ලද ජනතාවට බලය අල්ලා ගැනීමට කදිම අවස්ථාවක් අහිමි වී ගියා.

එහෙත් එදා තිබුනු රජය, එම මහජන නැඟිටීම මෙහෙයවූ ලංකා සම සමාජ පක්‍ෂය වත්, එහි නායකත්වය වත් සමූලඝාතනය කර දමන්නට, මර්දනය කර දමන්නට උත්සාහ කළේ නැහැ. මෙම තත්වයට හේතුකාරක වූ කරුණු ලෙස නොයෙක් සාධක දක්වන්නට පුළුවන්. හර්තාලය ආරම්භ කළ, එය පවත්වා ගෙන ගිය දේශපාලන නායකත්වය විසින්ම, එම හර්තාලය නවතා දමා අතරමඟ සමාදානයේ මාවත තෝරා ගැනීම; අධිරාජ්‍යවාදීහු, යටත් විජිතවල පැන නැඟී තිබුනු නිදහස් අරගල මැඩ පැවැත්වීමේ උපාය මාර්ගය ලෙස, නව යටත් විජිත ඇති කිරීමේ කි‍්‍රයාවලියක නිරත වී සිටි අවධියක මෙම නැගිටීම සිදුවීම; හර්තාලය මෙහෙයවූ දේශපාලන නායකත්වය රජයේ දේශපාලන නායකත්වය සමඟ පැවති සමීප පංතිමය, පවුල් සහ සංස්කෘතික සම්බන්ධකම් මේ අතරෙන් වැදගත් ඒවා ලෙස සැළකිය හැකියි.

ඒ කාලයේ අධිරාජ්‍යවාදයේ ස්වරූපයවූ යටත් විජිත වාදයට එරෙහිව 1948ට පෙරත් සහ 1948ට පසුවත් ලෝකය පුරාම නොයෙක් ස්වරූපයෙන් අරගල දියත් වෙලා තිබුනා. දෙවැනි ලෝක යුද්ධයට පෙර මහා බි‍්‍රතාන්‍යය විසින් යටත් කර ගෙන තිබූ රටවල බි‍්‍රතාන්‍ය රාජ්‍ය යන්ත‍්‍රය, එහි ආරක්‍ෂක හමුදා මෙන්ම බි‍්‍රතාන්‍ය ගැති අධිරාජ්‍ය ගැති පංති බලවේග සහභාගි කරවා ගනිමින්, ඒ රටවල නිදහස සහ ස්වාධිපත්‍යය අත්පත් කර ගැනීම සඳහා සටන් කළ නායකයන්, සමාජ බලවේග සහ පුද්ගලයන් ප‍්‍රචන්ඩ ලෙසත් කුරිරු ලෙසත් මර්දනයට භාජනය කලා. උදාහරණයක් ලෙස, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බි‍්‍රතාන්‍යයන් විසින් කෙන්යාවේ කරන ලද නොයෙක් අපරාධ විධි ක‍්‍රම එලෙසින්ම 1971 දි ලංකාවේ කැරලි මර්දනය කරන්නට සාර්ථක ලෙස යොදා ගත හැකි බවට ඔවුන් අදහස් ඉදිරිපත් කොට තිබෙනවා.

1953 සිට 1960 දක්වාවූ කාලයේදී කෙන්යාවේ මාවු මාවු ව්‍යාපාරය පරාජය කිරීම පිළිබඳව කියවන්නට රෙකමදාරු කරන ලද පොත් ලැයිස්තුව අතර ඉයන් හෙන්ඩර්සන් විසින් ලියන ලද “කිමන්ති දඩයම් කිරීම” නමැති පොතත් තිබුනා. මේ හෙන්ඩර්සන් කියන යටත් විජිත විශේෂ කාර්යාංශ නිලධාරියා තමයි එවකට දිවි රැුකගෙන සිටි එකම මාවු මාවු නායකයා වූ ඩෙඩාන් කිමන්ති අල්ලා ගෙන ඇත්තේ. බි‍්‍රතාන්‍යයන් විසින් 1957 දී කිමන්ති ව එල්ලා මරා දැමුවා. කෙන්යාවේ යටත්විජිත විරෝධී අරගලය පරාජය කරන්නට දායක වූ ප‍්‍රධාන පුද්ගලයා ඉයන් හෙන්ඩර්සන් බව නැගෙනහිර අපි‍්‍රකාවේ එවකට සිටි බි‍්‍රතාන්‍ය හමුදාපති කියා සිටියා. 1963 දී යටත්විජිත පාලනය කෙන්යාවෙන් ඉවත් ව යන විට ඔවුන් විසින් කරන ලද අපරාධ පිළිබඳ තොරතුරු අඩංගු ලිපි ගොණු දහස් ගණනින් පුළුස්සා දමා හෝ ඉන්දියන් සාගරයේ ගිල්වා දමා හෝ තිබෙනවා.

එහෙත් බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලයේ සඟවා තිබුනු ඇතැම් ලිපිගොනුවලින් 2012 දී හෙළිකර ගන්නා ලද කරුණුවලට අනුව, බි‍්‍රතාන්‍ය හමුදා විසින් කරන ලද අපරාධවලට වන්දි වශයෙන්, කෙන්යන් ජාතිකයන් 5228 දෙනෙකුට පවුම් දශ ලක්‍ෂ 20ක් පමණ ගෙවන්නට FCO (The Foreign and Commonwealth Office) ආයතනය එකඟ වුනා. බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් විලියම් හේග්, 2013 ජූනි 6 වන දා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පිළිගත්තා, කෙන්යාවේ මාවු මාවු ව්‍යාපාරයට එරෙහිව යොදා ගන්නා ලද උපාය උපක‍්‍රම පිළිබඳව. එම උපාය උපක‍්‍රම අතර හදිසි නීතිය පැනවීම; දේශපාලන සංවිධාන තහනම් කිරීම; නඩු විභාගවලින් තොරව පුද්ගලයන් රඳවා තබා ගැනීමට නීති රීති පැනවීම; අසීමිත ආකාරයෙන් පුද්ගලයන් මරා දැමීම; ඊනියා පුනරුත්ථාපන වැඩ පිළිවෙලවල් මගින් පුද්ගලයන් සිර කොට තබා ගැනීම වුනා. හැත්තෑවේ දශකයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව යොදන ලද රාජ්‍ය මර්දනයේදී ත් මෙවැනිම උපාය උපක‍්‍රම යොදා ගන්නා ලද බව පැහැදිලි වෙනවා.

දැනට ප‍්‍රසිද්ධ කොට ඇති, තවදුරටත් රහසිගත නොවන ආකාරයේ ලිපි ලේඛනවලට අනුව, ඒ කාලයේ සිට අද දක්වාම මහා බි‍්‍රතාන්‍යය ලංකාවේ ප‍්‍රචණ්ඩකාරී රාජ්‍ය දේශපාලන මර්දන කි‍්‍රයාවලියට දිගින් දිගටම කුමන්ත‍්‍රණකාරී ලෙස හවුල් වී තිබෙනවා. මෙම ලේඛනවලට අනුව හැත්තෑ ගණන්වල ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කරන්නට, එකල තිබුනු රජයට කැරලි මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය උපදෙස් දීමට, එඞ්වඞ් හීත් අනුමැතිය දී තිබෙනවා. යුධ ආම්පන්නවලට අමතරව බි‍්‍රතාන්‍ය හමුදා නිලධාරීන් සහ උපදේශකයන් ලංකාවට යවා ඇත්දැයි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී 1971 මැයි 6 වැනිදා නඟන ලද ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ඇමති වයිට්හෝල් කියා සිටියේ ලංකාණ්ඩුවෙන් එවැනි කිසිදු ඉල්ලීමක් කර නැති බවයි. එහෙත් ඒ වන විටත් ජ්‍යේෂ්ඨ ආරක්‍ෂක උදේශකයන් දෙදෙනෙකු ලංකාවට යවා තිබුණි.

පළමුවෙන්ම එවකට සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ සාක්‍ෂි වාර්තා කලේ The New York Times සහ Le Monde වැනි බටහිර මාධ්‍ය. ආණ්ඩුව කෑගල්ලේ එල්ල කරන ලද ප‍්‍රති ප‍්‍රහාරයේ දී අල්ලාගත් සිරකරුවන් ඒ මොහොතේම මරා දැමීම පිළිබඳව ඒ මාධ්‍ය අපේ‍්‍රල් 17 වෙනිදා 20 වෙනිදා තරම පළමුවෙන් ම වාර්තා කළා. එක නිලධාරියෙක් කියා තිබුනා, සිරකරුවන් කැරලිකරුවන් යයි ඒත්තු ගිය වහාම ඔවුන් කැරකෝප්පුවට ගෙන ගොස් විනාශ කර දැමූ බව. ආණ්ඩුව ඒ දිනවලම මෙම චෝදනා ප‍්‍රතික්‍ෂේප කළ බව ඇත්ත. නමුත් සිය ගණන් තරුණ තරුණියන්ගේ මළ සිරුරු කොළඹ කැළණි ගෙඟ් පාවෙමින් තිබුනු බවත්, පිටුපසින් වෙඩි තබා ඔවුන් මරා දමා තිබුනු බවත්, හමුදා භටයන් මෙම මළ සිරුරු එකතු කොට පුළුස්සා දමන ලද බවත්, බොහෝ අය සියැසින් දැක තිබුනා.

මෙය සිදු වුනේ කොළඹ දිස්ති‍්‍රක්කයේ පමණක් නොවෙයි. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නොයෙක් ප‍්‍රදේශවල, ගාල්ලේ දිස්ති‍්‍රක්කයේ, දඩැල්ල කැරකෝප්පුවේ, ගිං ගෙඟ්, ඇල්පිටියේ, මාතර දිස්ති‍්‍රක්කයේ, මැද්දවත්තේ, අකුරුස්සේ, නිල්වලා ගෙඟ්, අනුරාධපුරයේ, පොළොන්නරුවේ, හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ, ගම්පහ, කළුතර, රත්නපුර දිස්ති‍්‍රක්කවල, මේ වගේ නොයෙක් ප‍්‍රදේශවල දහස් ගණනක් තරුණ තරුණියන් මරා දමා, සිරුරු පුළුස්සා, විනාශ කර දමා තිබුනා. මේ අනුව බැළුවාම, ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල, තවම එළි දරව් නොවුන බොහෝ සමූහ ඝාතන, සමූහ මිනී වලවල් තිබෙනවා ඇති.

අපේ‍්‍රල් නැගිටීම සමයේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂය පොලිස් ස්ථාන ආරක්‍ෂා කිරීමටත්, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධයයි සැක කරන අය සොයා විනාශ කරන්නටත් සිය තරුණ කොටස් (home guards) යොමු කළා. සභාග රජය කම්කරු නීති වෙනස් කොට වැඩට නොපැමිනෙන සේවකයන් අත් අඩංගුවට ගන්නට කටයුතු කළා. අවසර ගැනීමෙකින් තොරව අත් පත‍්‍රිකා බෙදා හැරීමත්, පෝස්ටර් ගැසීමත් තහනම් කළා. මෙසේ වැඩපොළවල් ක‍්‍රමානුකූලව ශුද්ධ කරන ගමන්ම, රජය වයස අවුරුදු 35ට අඩු කිසිම කෙනෙක් සන්නද්ධ හමුදාවලට බඳවා නොගන්නා ලෙස නියෝග කළා. සටන් පෙරමුණුවලදී සිය ගණනක් සහෝදර සහෝදරියන් සිය ජීවිත පූජා කළා. ශීතල යුද්ධයේ දේශපාලන මතවාදය තුළ පුරුදු පුහුණු කරන ලද හමුදා කොටස් විසින් සටන් පෙරමුණුවලට පිටත පෙදෙස්වලදී අත් අඩංගුවට ගන්නා ලද දහස් ගණන් සගයන් විනාශ කර දැම්මා.

කැරලි මර්දන කටයුතු මුවාවෙන් පේ‍්‍රමාවතී මනම්පේරි වැනි සහෝදරියන් දැඩි වධ බන්ධනයට ලක් කොට, තවත් බොහෝ සහෝදරියන් දූෂණයට ලක් කොට මරා දමනු ලැබුවා. අත් අඩංගුවට ගත් පසු ඇතැම් සගයන් පණ පිටින් පුළුස්සා දැමුනා. බද්දේගම සංවිධායක ව සිටි කමලබන්දු සහෝදරයා වැනි ඇතැම් සගයන් කියත්වලින් තීරුවලට කපා මරා දමා තිබුනා. බණ්ඩාරණායක අගමැතිනිය රජයට භාර වෙන ලෙස කළ ප‍්‍රකාශයකට අනුව භාර වුනු ඇතැම් සගයන්ද මරා දමනු ලැබුවා.

මා සඳහන් කළ යුතුයි, අපරාධ යුක්ති කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, ජනතා විමුක්ති පෙරමුණ සිවිල් වැසියන් 41 දෙනෙකුගේ මරණවලටද, හමුදා භටයන් 63 දෙනෙකුගේ මරණවලටද, හමුදා භටයන් 305 කට තුවාල කිරීම සම්බන්ධයෙන්ද වගකිව යුතුය. එක්සත් පෙරමුණු සභාගයේ මෙහෙයවීම මත ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යයි සැක පිට අත් අඩංගුවට ගත් 5,000 සිට 10,000 දක්වා පුද්ගලයන්ගේ මරණවලටද, 15,000 සිට 25,000 ක පමණ සිරභාරයේ තබා ගැනීම සම්බන්ධයෙන්ද රජයේ හමුදා වගකිව යුතුය. මෙම සිද්ධීන්ට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ සියළු දෙනාට එරෙහිව නඩු පවරා දඬුවම් කරනු ලැබුවද, ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂක හමුදාවල අයට නඩු පවරා ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි.
බි‍්‍රතාන්‍ය රජයේම ලිපිගොනුවලට අනුව මෙවැනි යූද අපරාධ ඒ කාලයේ ලංකාවේ සිදු වෙමින් පැවති බව බි‍්‍රතාන්‍ය රජය දැන සිට ඇත. කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් 1971 අප්‍රේල් 19 වනදා යවන ලද දුර කථන පණිවුඩයක් හමුදා සහ පොලිස් ඝාතන බළ ඇණි මෙවැනි ම්ලේච්ඡු ඝාතන සිදු කරමින් සිටි බව සහතික කර තිබෙනවා. ලංකාවේ දේශපාලන සහ රාජ්‍ය අධිකාරීහු ජනතා විමුක්ති පෙරමුණ සහමුලින්ම සමූලඝාතනය කර දමන්නටත්, ඒ සඳහා ඕනෑම මෘග ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලියක නිරත වෙන්නටත්, සූදානම්ව සිටි බව 1971 අප්‍රේල් 20 වනදා, බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබෙනවා.

ඔවුන් සාඩම්බරයෙන් යුතුව පවසා ඇත්තේ: “කෙසේ වෙතත් ඉතාමත්ම වැදගත් වූයේ මහ රුජිනගේ ආණ්ඩුව විසින් සෑහෙන ඉක්මණින් සහ තීරණාත්මක බලපෑමක් ඇති කරමින් සපයන ලද කුඩා ප‍්‍රමාණයේ ආයුධ, වෙඩි බෙහෙත්, සන්නද්ධ රථ සහ අනෙක් අවශ්‍ය දේවළුයි”. වඩා දැඩි පියවර ගැනීම සළකා බැළුවත් “කාර්මික සහ ඉදිරිපත් කිරීමේ හේතූන්” මත එවැනි පියවර ගැනීම අතහැර දමන ලදී. ඒ කාලයේ සිටි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ඇලෙක් ඩග්ලස් හෝම් නිගමනය කළා, “නාපාම් බෝම්බ වෙනුවට බෙල් හෙලිකොප්ටර් සමඟ සපයන මැෂින් තුවක්කු යොදා ගැනීම විකල්පයක්” ලෙස.

මෙසේ ආයුධ සපයාදීමට අමතරව එම ආයුධ වඩාත්ම කාර්යක්‍ෂම ලෙස මර්දන කටයුතු සඳහා යොදා ගන්නේ කෙසේදැයි යන්න ගැන බි‍්‍රතාන්‍ය ත්‍ඣ ආයතනයේ හමුදා, පොලිස් සහ බුද්ධි අංශ නිලධාරින් ලංකාවේ රාජ්‍ය යන්ත‍්‍රයේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමත් කළා. ලිපිගොනුවල අඩංගු කරුණුවලට අනුව අපේ‍්‍රල් 21 සිට 28 දක්වා කාලය තුල පස් දින උපදේශක සේවාවක් සඳහා ත්‍ඣ ආයතනය විසින් තෝරා ගෙන තිබුනු උපදේශකයන් අතර ලෝකය පුරා නොයෙක් ප‍්‍රදේශවල යටත් විජිත විරෝධී අරගල මර්දනය කර දැමීමේ අත්දැකීම් සතු කර ගෙන තිබුන කර්නල් රොජර් මේද, කලින් උගන්ඩාවේ පොලිස් කොමසාරිස් ලෙස එවැනිම අත්දැකීම් රැුස් කොට ගෙන සිටි විදේශ කටයුතු පිළිබඳ පොලිස් උපදේශක මයිකල් මැකූන් ද වුනා.

මෙම ලිපිගොනුවල අඩංගු තොරතුරු වලට අනුව, 1971 මැයි මාසයේදී මැකූන් සපයා තිබුනා ලංකාවේ පොලීසියට ලබා ගත යුතුව තිබුන යුද මෙවලම්, භාණ්ඩ සහ අවශ්‍යතා පිළිබඳ ලැයිස්තුවක්. එයින් යෝජනා කොට තිබුනා අනාගතයේ ඇති විය හැකි නොසන්සුන් තත්වයන්ට මුහුණ දෙන විට අතරමඟ සමාදානයකින් තොර ප‍්‍රවේශයක් වැඩියෙන් අනුගමනය කරන ලෙසත්, පොලිස් කටයුතුවලදී සහ මහජන විනය පවත්වා ගැනීමේදී අර්ධ හමුදා ප‍්‍රවේශයක් (paramilitary approach) අනුගමනය කරන ලෙසත්.

මා ඉහත සඳහන් කළ අන්දමට, එවකට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරණායක මැතිනිය ඇගේ ආණ්ඩුවේ කැරලි මර්දන විශේෂඥවරයා ලෙස පත් කර ගත් ඵෂ 5 යුද තොරතුරු හා සම්බන්ධ බුද්ධි අංශයේ ජිම් පැට්රික් සතුව තිබුනු ප‍්‍රධාන සුදුසුකම වුනේ 1948—-x-1960 අතරතුර කාලයේ මලයාවේ විශේෂ කාර්යාංශයේදී මා ඕවාදී යටත්විජිත විරෝධී අරගල මර්දනය කරන්නට කළ කටයුතු වලින් ඔහු ලබා තිබුනු අත් දැකීමුයි. මලයාවේ ගෙන යන ලද කැරලි මර්දන උපාය මාර්ග බි‍්‍රතාන්‍ය විශේෂ කාර්යාංශයේ කටයුතු සමඟ ඒකාබද්ධවයි පවත්වා ගෙන ගොස් තිබුනේ.

මේ අවස්ථාවේදී අප අමතක නොකළ යුතුයි, මලයාවේ කරන ලද මර්දන ක‍්‍රියාවලියේ ඇතැම් අත්දැකීම්. මක්නිසාද, එවැනි අත්දැකීම් අපේ ගෝලීය මෙන්ම දේශීය වර්තමානයටත් අදාල නිසා. මේ අත් දැකීම් අප කාටත් පොදුයි. 1971 අරගලයටත්, 88-x89 අරගලයටත් මෙන්ම වසර තිහකට අධික කාලයක් තිස්සේ පැවති දමිල සටන්කාමීන්ගේ අරගලයටත් මෙම අත්දැකීම් පොදු නිසා. ලංකාවේ වසර තිහකට අධික කාලයක් තිස්සේ පැවති යුද්ධයේදී දමිල මෙන්ම මුස්ලිම් ජන කොටස් ඇතැම් ගම් ප‍්‍රදේශවලින් විස්ථාපනය කර දැම්මාක් මෙන්ම මලයාවේ ලක්‍ෂ පහක් පමණ වූ චීන ජන කොටසක් බලහත්කාරයෙන් අළුත් ගම් 500 ක පදිංචි කරනු ලැබුවා.

මලයාවේත් බොහෝ සමූහ ඝාතන කෙරුනා. උදාහරණයක් ලෙස බි‍්‍රතාන්‍යයන් විසින් කරන ලද ‘මි ලායි’ ඝාතනය ලෙස හඳුන්වන සිද්ධිය දෙස බලමු. Scots Guards නමැති හමුදා ඛණ්ඩයක් විසින් ‘බටන් කාලි’ නමැති ගමේ ආයුධ සන්නද්ධ නොවූ ගම් වැසියන් 24 දෙනෙක් අමු අමුවේ මරා දමා තිබුනා. මා මුලින් සඳහන් කළ එඞ්වඞ් හීත්ගේ ආණ්ඩුව 1970 දී මෙම ඝාතනය පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීම, අවශ්‍ය තරම් සාක්‍ෂි නැතැයි කියමින් අතරමඟ නතර කර දැම්මා. ඉන් දශක කිහිපයකට පස්සේ හෙළිදරව් වුනා, එම ඝාතනය කළ හමුදා කණ්ඩායමේ සොල්දාදුවෙකු විසින්ම කරන ලද පාපෝච්ඡාරණයක් එම පරීක්‍ෂණය සිදු කළ අය සතුව තිබී ඇති බව. එම පාපෝච්ඡාරණයට අනුව ඔවුන්ගේ ඉහළ නිලධාරින් ඔවුන්ට අණ දී තිබුනා එම සමූහ ඝාතනය සිදු කරන ලෙසට. මෙම සිද්ධියට අදාල තොරතුරු 2012 වෙන තෙක් වසන් කොට තිබුනා. අවසානයේ දී ඒ ලිපිගොනු නිරහස් බවට පත් කරනු ලැබුවා.

1971 දී බි‍්‍රතාන්‍යය ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට රහසිගත ලෙස මැදිහත් වීම දිවයින ඔවුන්ගේ පශ්චාත් යටත්විජිත පාලනයට නතු කර ගෙන සිටීමේ වැඩ රටාවේ කොටසක් පමණයි. ජිම් පැට්රික් ලංකාවෙන් පිටව ගියාට පසු මලයාවේ MI 5 බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂකව සිටි ජැක් මෝර්ටන් 1979 දී ලංකාවට ආවා. 1971න් පසුව ලංකාවේ කි‍්‍රයාත්මක කරන ලද බුද්ධිමය තොරතුරු ජාලය පදනම් වූයේ ජැක් මෝර්ටන් සකස් කළ “මෝර්ටන් වාර්තාව” මතයි. මෙම ජාලය පදනම් කර ගෙන බි‍්‍රතාන්‍යය ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට කරන ලද අත පෙවීම් පිළිබඳ තොරතුරු වසර 30ක් ඉක්මවා යන තෙක් වාරනයට ලක් වෙනවා. ඒ කෙසේ වෙතත්, බහුජන මර්දන ව්‍යුහයක් නිර්මාණය කිරීමේදී බි‍්‍රතාන්‍යය විසින් ඉටු කරන ලද මූලික වැඩ කොටස, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව 1983 සිට 1989 දක්වා දියත් කරන ලද මර්දනයේදීත්, වසර තිහකට අධික කාලයක් තිස්සේ පැවති දමිල සටන්කාමීන්ගේ අරගලයට එරෙහිව දියත් කරන ලද මර්දනයේදීත් පැහැදිලිව දකින්නට තිබෙනවා.

1971 අපේ‍්‍රල් නැඟිටීම ලංකාවේ රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා කරන ලද අරගලයක් ද? තවමත් ඒ පිළිබඳ මගේ මතය වන්නේ එය අපේ දේශපාලනය සඳහා, අපේ දේශපාලන පැවැත්ම සඳහා අපට ඇති අයිතිය රැුක ගැනීමට කරන ලද ක‍්‍රියාවක් බවයි. අනෙක් අතට, රාජ්‍ය බලය අල්ලා ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන අරමුණක් නොවූයේ නම් එහි පැවැත්මට වෙනත් උපාය මාර්ගික හේතුවක් තිබුනේද නැත. එහෙත් විප්ලවය සහ සන්නද්ධ නැඟිටීම අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාවය පිළිබඳව අපට පැහැදිලි අදහසක් තිබුනේ නැහැ. මොකද, කම්කරු පංතියේ සහ වැඩ කරන ජනතාව වෙනුවට අප පක්‍ෂය ආදේශ කළ නිසා.

ජනතා විමුක්ති පෙරමුණ, ස්වයං ආරක්‍ෂාව වෙනුවෙන් පළමුවෙන් සන්නද්ධ වෙන්නට ගත් තීරණය පදනම් වූයේ, විප්ලවය යනු සංවිධානය වූ පක්‍ෂයක් සන්නද්ධ නැඟිටීමක් ඇති කොට ඒ මඟින් පක්‍ෂය අතට බලය අල්ලා ගැනීමය යන සංකල්පය මතයි. එබැවින් ජනතා විමුක්ති පෙරමුණ පුළුල් බහුජන ක‍්‍රියාකාරිත්වය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කලේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවෙයි, හැත්තෑවේ දශකයේ පමණක් නොවෙයි, අද දවසේ පවතින නොයෙක් ආකාරයේ සටන්කාමී සංවිධාන පවා මෙම වියවුලෙන් පෙලෙනවා. සමාජ විප්ලවය යනු පක්‍ෂයක් විසින් සංවිධානය වී ඇති කරන සන්නද්ධ නැඟිටීමකට ලඝු කරනවා. විප්ලවය යන්නෙන් අදහස් වෙන්නේ පුළුල් බහුජන ක‍්‍රියාකාරිත්වයේ, කම්කරු පංතියේ සහ වැඩ කරන ජනතාවගේ සාමූහික ක‍්‍රියාකාරිත්වයේ උච්ච අවස්ථාවක් බව අප තේරුම් නොගැනීම නිසා ජනතා විමුක්ති පෙරමුණ කම්කරු පංතිය වෙනුවට ආදේශ වුනා.

මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ නැඟිටීම මත විශ්වාසය තබා කටයුතු කළා. ඒ සඳහා සූදානම් වුනා. මේ නිසා පුළුල් බහුජනතාව, කම්කරු පංතිය සහ වැඩ කරන ජනතාව ඔවුන්ගේම වූ නැඟිටීමක් කරා සංවිධානය කරන්නට ජනතා විමුක්ති පෙරමුණ අපොහොසත් වුනා. මෙම තත්වය ධනේශ්වර රාජ්‍ය යන්ත‍්‍රයට වාසිදායක වුනා. පුළුල් බහුජන ක‍්‍රියාකාරිත්වය මත විශ්වාසය තබා කටයුතු කළා නම්, ඇතැම් විට ජනතා විමුක්ති පෙරමුණට හැත්තෑවේ දශකයේ පැවති රාජ්‍ය මර්දනයට වඩා සාර්ථක ලෙස මුහුණ දෙන්නට තිබුනා. ‘සොයා බලා විනාශ කර දැමීමේ’ රජයේ සාපරාධී සැලැස්මට ප‍්‍රතික‍්‍රියා කරන්නටත් විරෝධය පාන්නටත් බහුජනතා ක‍්‍රියාකාරිත්වය මත විශ්වාසය තබා උද්ඝෝෂණ සහ විරෝධතා වැනි වෙනත් අන්දමේ ක‍්‍රියා මාර්ගවල නිරත වෙන්නටත් ජනතා විමුක්ති පෙරමුණට හැකිව තිබුනේයයි ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට සිතෙනවා.

ඒ සමඟම මම අවධාරනය කරන්න කැමතියි, අද තත්වය එදාට වඩා බරපතලයි. අද දවසේ ධනේශ්වර රාජ්‍යය, නව ලිබරල් වාදී එකක්. එය ජාතික සීමාවන් අභිබවා යන එකක්. එහි මර්දන යන්ත‍්‍රය එදාට වඩා ප‍්‍රමාණයෙනුත් ගුණයෙනුත් විශාල වශයෙන් වර්ධනය වෙලා. මර්දන කටයුත-ු සඳහා ඉතාමත් දියුණු තාක්‍ෂණ ක‍්‍රම වේදයන් යොදා ගෙන තිබෙනවා. නව ලිබරල් වාදය සිය ඵල ප‍්‍රයෝජන ආරක්‍ෂා කර ගැනීම සඳහා ලොව කොතැනක හෝ පෙනී සිටින්නේ නිමේෂයකින්. මේ නිසා සමාජ වෙනසක් සඳහා කටයුතු කරන සියළු සහෝදර සහෝදරියන්ට මම යලි යලිත් අවධාරනය කරන්නට කැමතියි, මෙම නව වර්ධනයේ ඇති බරපතළ කම අවබෝධ කර ගෙන ඒ අනුව තම උපාය උපක‍්‍රම සීරුමාරු කර ගැනීමේ අවශ්‍යතාවය.

සමාජ විප්ලවය යනු පක්‍ෂය සන්නද්ධ වී බලය අල්ලා ගැනීමක් නොවෙයි. කම්කරු පංතියේ සහ පුළුල් වැඩ කරන ජනතාවගේ සාමූහික ක‍්‍රියාකාරිත්වයේ උච්ච අවස්ථාවක්. ඒ වගේම සමාජ විප්ලවය කියන්නෙ පක්‍ෂයක ආඥදායකත්වය හෝ අත්තනෝමතිකත්වය සමාජය මත ස්ථාපිත කිරීම නොවෙයි. කම්කරු පංතිය සහ පුළුල් වැඩ කරන ජනතාව විසින්ම ඔවුන්ගේ වැඩ කරන ආයතන තුල ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමයි. එය පිටස්තර ආයතනයක් මගින් ආරෝපනය කළ හැකි දෙයක් නොවෙයි.

කෙසේ වෙතත්, හැත්තෑවේ දශකයේ ක‍්‍රමයෙන් ඉහළ නැඟුනු ප‍්‍රචණ්ඩකාරී කටයුතු විෂම චක‍්‍රයකට මඟ පෑදුවා. ඇතැම් බුද්ධිමතුන් තවමත් මෙම නැඟිටීම නොමඟ ගිය තරුණ පරපුරේ නොමනා හැසිරීමක්, පිස්සන්ගේ වැඩක් ලෙස හඳුන්වා එය හෙළා දැකීම කණගාටුවට කරුණක්. මේ බුද්ධිමත්තු කාලයෙන් කාලයට ලංකාවේ පැන නැඟුනු ප‍්‍රචණ්ඩකාරී තත්වයන්ට හේතුකාරක වූ ප‍්‍රධාන ආර්ථික, සමාජමය හා දේශපාලනමය කරුණු දෙස බැලීමේ දී අන්ධයන් ලෙසයි ක‍්‍රියා කරන්නේ. ඒ අනුව ගත් විට මෙම දූෂිත සමාජ ක‍්‍රමය රැුක ගැනීමට ඔවුහු සමාවට කරුණු ඉදිරිපත් කර සිටිනවා. අක‍්‍රීය සමාජ ස්ථර නියෝජනය කරන ඔව්හු සමාජ ප‍්‍රගතිය හමුවේ ඊට බාධා පමුණුවන්නන් බවට පත්ව සිටිනවා. එවැනි අයගෙන් අපට ඉල්ලා සිටිය හැක්කේ සන්නද්ධ හමුදාවල දේශපාලන මතවාදය නොවලහා දක්වන ප‍්‍රකාශ දෙස තම දෑස් දල්වා බලන ලෙසයි:

මේ මහා බි‍්‍රතාන්‍යයේ සෑන්ඞ්හර්ස්ට්හි පුහුණුව ලද, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යුද සම්බන්ධීකරන නිලධාරියා වශයෙන් සිටි, පසුව විදේශ තානාපති කෙනෙකු ලෙස පත් කරන ලද ලෙඏ්ටිනන්ට් කර්නල් සිරිල් රණතුංග ගේ ප‍්‍රකාශය යි:

“අපි වියෙට්නාමයෙනුත් මැලේසියාවෙනුත් වුවමනාවටත් වැඩි තරම් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. අපි ඔවුන් සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.”(International Herald Tribune, 20 April 1971)

එකල සභාග ආණ්ඩුවේ සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමතිවරයාව සිටි, සමසමාජ නායකයෙකු වූ ලෙස්ලි ගුණවර්ධන මහතා මෙසේ පැවසුවා:

හදිසි අවස්ථාව ප‍්‍රකාශයට පත් කරන ලද්දේ “කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ සහයෝගය ඇතිව”; සන්නද්ධ හමුදාවලට ”අවශ්‍ය බලතල” ලබාදී තිබෙනවා, “කඩාකප්පල්කාරී කොටස් අතුගා දමා නීතිය හා සාමය පවත්වා ගැනීමට.”(Ceylon Daily News. 19 March 1971)

ඔබ සියළු දෙනාට බොහොම ස්තුතියි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.