1 May, 2025

Blog

ගොඩබිමෙන් අවශ්‍ය ඉඩම් ඕනෑ තරම් තිබියදී අලූතින් ගොඩනැගිලි හැදීම සඳහා අක්කර 500 ක් මුහුද ගොඩකරන්නේ ඈයි?

රනිල් වික්‍රමසිංහ – 

රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩි කරන බවට 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටත් ජනතාවත් හමුවේ පැහැදිලිව පොරොන්දු වුණා. මේ පොරොන්දුව අනුව රාජ්‍ය සේවකයින් බහුතරය එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළා.

2010 ජනාධිපතිවරණය අවසන්වී මේ වන විට අවුරුදු 3 ක් ගත වී ඇතත් මේ දක්වාම පොරොන්දු වූ පරිදි රුපියල් 2500 කින් රාජ්‍ය සේවක වැටුප ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වැඩි කළේ නැහැ.

රනිල් වික‍්‍රමසිංහ

එම නිසා මේ අවුරුද්දේ අයවැයට පෙර සියලූම රාජ්‍ය සේවක සහ පෞද්ගලික අංශයේ සේවක වැටුප් වහාම වැඩි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් විරෝධතා ව්‍යාපාරයක් රටපුරා ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති එකට ඒකාබද්ධව තීරණය කර තිබෙන අතර, ඒ ගැන මේ වෘත්තීය සමිති මට මේ මොහොතේ දැනුම් දුන්නා.

එසේ නම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක වැටුප් වහාම වැඩි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් වෘත්තීය සමිති එකට ඒකාබද්ධව රට පුරා ගෙන යන වැඩ පිළිවෙළට එක්සත් ජාතික පක්‍ෂය සිය පූර්ණ අනුග්‍රාහය සහ දායකත්වය ලබා දෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව මේ රටේ පවුලකට ජීවත්වීම සඳහා මසකට රුපියල් 40,000 ක් අවශ්‍ය වනවා. රාජ්‍ය සේවකයින් බහුතරයට මසකට රුපියල් 40,000 ක වැටුපක් හිමි නොවන අතර, බොහෝ අයට හිමි වන්නේ රුපියල් 25,000 ක පමණ වැටුපකුයි.

එසේ නම් ජනතාව ජීවත් වන්නේ කෙසේද? ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නේ නැහැ. එමෙන්ම ඊට කිසිදු විසඳුමක් ලබාදීමට ක්‍රියා කරන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ බොහෝ අය සිය රැකියාව කරමින් තවත් අමතර රැකියාවක් කිරීමට උත්සාහ කරන අතර, සමහර අයගේ භාර්යාවන් ද රැකියා කරනවා.

මේ ආකාරයට තවදුරටත් ඉදිරියට යන්න වුණොත් සියලූ දෙනාටම කරන රැකියාව වෙනුවට තවත් රැකියා කිරීමට සිදු වන අතර, සිය දූදරුවන්ට පවා විවිධ වෙළදාම් කිරීමට නියත ලෙසම සිදු වනවා.

ගෙවුණු අවුරුදු තුන ඇතුළත දී ජීවන වියදම විශාල ලෙස වැඩි වුණා පමණක් නොව ආණ්ඩුවේ අධ්‍යාපන කප්පාදුව නිසා දූදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුර මුදලක් වැය කිරීමට දෙමව්පියන්ට සිදු වෙලා. නිදහස් සෞඛ්‍ය ක්‍රමය සම්පූර්ණයෙන්ම කප්පාදු කර තිබෙන නිසා මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට ජනතාවට සිදුව තිබෙනවා.

මේ සියල්ල වෙනුවෙන් අමතරව වියදම් කිරීමට ජනතාවට සිදුව තිබෙන අතර, මේ තත්ත්වයට යටතේ දරුණු රෝගයක් යමෙකුට වැළඳුනොත් ඇත්ත වශයෙන්ම ඒ මුළු පවුලම බංකොළොත් භාවයට පත් වනවා.

විදුලිය ගාස්තු වැඩිවී තිබෙන අතර, විදුලි ඒකක 60 වැඩිය පාවිච්චි කරනවා නම් විදුලි ගාස්තුව විශාල ලෙස ඉහළ යනවා. ආණ්ඩුව විදුලිය ගාස්තු මෙසේ අසීමිත ලෙස වැඩි කළේ කිසිදු පදනමකින් තොරව බව කිව යුතුයි.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය තිබෙනවා නම් විදුලිය ගාස්තු අඩුවිය යුතු අතර, එම ජලාශවල ජල මට්ටම පහළ ගොස් තිබෙනවා නම් පමණක් විදුලිය ගාස්තු වැඩි විය යුතුයි. නමුත් ඊට පරස්පර වූ අලූත් ක්‍රමයකට ක්‍රියා කරමින් ඒකාධිපති රෙජිමය ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරී ඉතිරී ගොස් තිබිය දී විදුලිය වෙනුවෙන් අති විශාල ගාස්තුවක් ජනතාවගෙන් අය කරනවා.

ඒ අනුව ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය යටතේ නොඅඩුව වැස්ස ලැබෙනවා නම් විදුලිය ගාස්තු වැඩි වන අතර, වැස්ස අඩු වුණාමත් එලෙසම විදුලිය ගාස්තු අසීමිත ලෙස ඉහළ යනවා. මේ සියලූ බර දරා ගැනීමට සිදුව තිබෙන්නේ මේ රටේ අන්ත සහ අසරණ ජනතාවට බව කිව යුතුයි.

රාජ්‍ය සේවක වැටුප රුපියල් 2500 කින් වැඩි කරන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අවසානයේදී කළේ රුපියල් 750 ක දීමනාවක් ලබාදී එම සේවකයින් රැවටීම බව කවුරුත් දන්නවා. එමෙන්ම මේ දිමනාව රාජ්‍ය සේවකයින් සඳහා ගෙවන්නේ තෙමසකට වරක් වන අතර, මෙසේ තෙමසකට වරක් සේවක වැටුප් ගෙවන රටක් ලෝකයේ තිබෙනවා ද කියා ප්‍රශ්න කළ යුතුයි.

රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා මුදල් නොමැති බව කියන ආණ්ඩුව මහා මාර්ග ඉදිකිරීම සඳහා ආණ්ඩුවේ අනුග්‍රාහය ඇතිව බැංකු මාර්ගයෙන් ජාත්‍යන්තරයෙන් ණයට මුදල් එකතු කරමින් සිටිනවා.

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට සහ පොරොන්දු වූ වැටුප් වැඩිවීම ලබාදීමට ආණ්ඩුවට මුදල් නොමැති වුණාට නැව් නොමැති හම්බන්තොට වරාය ඉදිකිරීමට නම් ආණ්ඩුවට ඕනෑ තරම් මුදල් තිබුණා. එමෙන්ම අහස් යානා නොමැති ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් මත්තල ඉදිකිරීමට මුදල් වියදම් කළ ආණ්ඩුව කී්‍රඩකයින් නොමැති කී්‍රඩාංගනයක් සූරියවැව ඉදිකිරීමට ද විදුලිය නිෂ්පාදනය නොකෙරෙන තාප විදුලි බලාගාරයක් පුත්තලම නොරොච්චෝලයේ ඉදිකිරීමට ද අති විශාල මුදලක් නාස්ති කළා. ආණ්ඩුව මේ ව්‍යාපෘති වෙනුවෙන් ගත් අතිවිශාල විදේශ ණය සම්භාරය ගෙවීමට සිදුව තිබෙන්නේ ජනතාවටයි.

මේ අතර, කොළඹ අක්කර 500 ක් මුහුද ගොඩ කිරීමට තීරණය කර තිබෙන ආණ්ඩුව ඒ වෙනුවෙන් අතිවිශාල මුදල් සම්භාරයක් විදේශයෙන් ණයට ගැනීමට කටයුතු කරමින් සිටිනවා. අලූතින් ගොඩනැගිලි හැදීම සඳහා අක්කර 500 ක් මුහුද ගොඩකිරීමට අවශ්‍ය නොවන අතර ඒ සඳහා ගොඩබිමෙන් අවශ්‍ය ඉඩම් ඕනෑ තරම් සොයා ගත හැකියි. එසේ නම් ආණ්ඩුව මේ ව්‍යාපෘතිවලට මුවා වී මේ මුදල් වියදම් කරන්නේ කවුරුන් වෙනුවෙන් ද? මේ මුදල් නැවත ගෙවීමට සිදු වන්නේ කිනම් අයෙකුට ද?

ජාත්‍යන්තරයෙන් ගත් ණය ගෙවීමට යැයි කියා ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් යොදවා තිබෙන ප්‍රතිපාදන කප්පාදු කරමින් සිටිනවා. සංවර්ධනයක් ගැන ආණ්ඩුව කතා කළත් මේ කියන සංවර්ධනයෙන් රටේ සේවක සේවිකාවන්ගේ සාක්කුවට සහ පසුම්බියට මුදල් වැටී නැහැ.

පොරොන්දු වූ පරිදි රුපියල් 2500 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවට මුදල් නොමැති වුණාට රුපියල් කෝටි ගණන් වියදම් කර අක්කර 500 ක් කොළඹ, මුහුද ගොඩ කිරීමට නම් හැකියාව තිබෙනවා.

මේ ආණ්ඩුව යටතේ විශ්‍රාමිකයින්ට කිසිඳු සහනයක් මෙතෙක් සැලසී නොමැති අතර ආණ්ඩුව මෙසේ මුදල් සොයා ගැනීම සඳහා බැංකුවලින් ණයකර නිකුත් කළ විට ඒ සල්ලි ගෙවීමට සිදු වන්නේ ද ජනතාවටයි.

මේ වැඩ කටයුතු සඳහා ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ තිබෙන වැඩ කරන ජනතාවගේ මුදල් යොදා ගන්නවා. ආණ්ඩුව විදේශ බැංකුවලින් සහ ජාත්‍යන්තරයෙන් බොහොමයක් ණය ගෙන තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා භාරකාර අරමුදල මාර්ගයෙනුයි. එපමණක් නොව, මහා මාර්ග ඉදිකිරීමට, පුද්ගලික අංශයේ සමාගම්වලට කොන්ත්‍රාත් ලබාදීමට සහ මහා මාර්ග අධිකාරියේ බැඳුම්කරවලට යොදවා තිබෙන්නේ ද මේ ආයතන දෙකේ මුදලූයි.

සේවක අර්ථ සාධක අරමුදලේ සහ භාර අරමුදලේ මුදල් ආණ්ඩුව මෙසේ ගන්නා විට ඊට විරෝධය පළ කරමින් වැඩ කරන ජනතාව උද්ඝෝෂණය කළ අවස්ථාවේ දී ආණ්ඩුව රොෂාන් චානක තරුණයාට වෙඩි තබා ඝාතනය කළා.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුව ජනතාවට කිසිසේත් සහන ලබා නොදෙන අතර ආණ්ඩුව සහන ලබා දෙන්නේ ඒ අයගේ හෙංචයියන් සුළුතරයකට පමණයි. ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය ක්‍රියා කරන්නේ ජනතාව වෙනුවෙන් නොව, තමා වෙනුවෙනුයි.

සිය වටේ සිටින ව්‍යාපාරිකයින් සුළු පිරිසකට ඕනෑ තරම් ආධාර උපකාර කරන ඒකාධිපති රෙජීමය නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය විනාශ කිරීමට බැඳී සිටිනවා. වැඩ කරන ජනතාව සම්පූර්ණයෙන්ම අමතක කර සුළුතරයක් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරන ඒකාධිපති රෙජීමය වැඩ කරන ජනතාවට කිසිඳු සෙතක් සලසන්නේ නැහැ.

එම නිසා වැඩ කරන ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් සහ ආදායමක් වෙනුවෙන් සටන් කළ යුතු කාලය එළැඹතිබෙනවා. ඒ සටනට පූර්ණ සහයෝගය සහ දායකත්වය ලබා දෙමින් ඊට සම්බන්ධ වීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කළා.

ආණ්ඩුව අයවැයෙන් වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් සහ රාජ්‍ය සේවකයින්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකළහොත් ජනවාරි මාසයේ සිට මේ ආණ්ඩුව පන්නා දැමීමේ වැඩ සටහන වහාම ආරම්භ කරනවා.

ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 2500 කින් වැඩි කරනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිවයි. නමුත් ආණ්ඩුව ඒ කිසිඳු පොරොන්දුවක් ඉටු නොකළ නිසා වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා මැතිවරණවල දී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්නැයි රාජ්‍ය සේවකයින්ගෙන් අප ඉල්ලා සිටිනවා.

රාජ්‍ය සේවකයින්ගේ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම සඳහා ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම සහ ස්වාධීන මැතිවරණ කොමිසම ලබා දීමට නොහැකි ආණ්ඩුවට යළිත් ඡන්දය ලබා දෙන්නේ මන්දැයි රාජ්‍ය සේවකයින්ගෙන් අප ප්‍රශ්න කරනවා. රාජ්‍ය සේවකයින් ගරු කිරීමට සූදානම් නොමැති ආණ්ඩුව ගුරුවරුන් දණ ගස්සවා රාජ්‍ය සේවකයින්ට අපහාස කරනවා. ස්වාධීන පොලිස් කොමිසම නොමැති නිසා මේ සිද්ධිය ගැන ස්වාධීනව පරීක්‍ෂණ කිරීමට පොලිසියට ඉඩකඩ ඇත්තේ නැහැ.

රාජ්‍ය සේවකයින්ට මෙසේ සලකන ආණ්ඩුවට මේ පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය ලබා නොදෙන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා සේම ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට ක්‍රියා නොකරන ලෙස ද ඉල්ලා සිටිනවා.

එසේ නම් ආණ්ඩුවට හොඳ පාඩමක් ඉගැන්වීම සඳහා ඔබේ වටිනා ඡන්දය එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පාවිච්චි කරන්නැයි සමස්ත රාජ්‍ය සේවකයින්ගෙන් අප ඉල්ලා සිටිනවා. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම සහ ස්වාධීන මැතිවරණ කොමිසම වෙනුවෙන් සටන් කරමින් රාජ්‍ය සේවකයින්ගේ ස්වාධීනත්වයත්, අභිමානයත්, ගෞරවයත් වෙනුවෙන් ක්‍රියා කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.

යුද්ධය පැවැති කාලයේ දී පවා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු රාජ්‍ය සේවක වැටුප් වැඩි කළත් පොරොන්දු වූ පරිදි රුපියල් 2500 කින් වත් වැටුප් වැඩි කිරීමට මේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැහැ.

එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද ප්‍රමාණය වැඩි වී අප ඒ ඒ පළාත්වල දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරන විට ආණ්ඩුවට විරුද්ධ ජන මතයක් නිර්මාණය වන නිසා මේ පළාත් සභා මැතිවරණයේ දී කිනම් දේශපාලන පක්‍ෂයක් නියෝජනය කළත් එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දී ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ පණිවුඩය ලබාදීමට කවුරුත් කටයුතු කළ යුතුයි.

ආණ්ඩුව ඒ අනතුරු හැඟවීමේ පණිවුඩය අනුව වැරදි නිවැරදි කර ගෙන ක්‍රියා නොකළහොත් අප සියලූ දෙනාම එකට එක් වී ආණ්ඩුවට එරෙහිව සටන් කරමින් 2014 දී ආණ්ඩු මාරු කරන ජාතික මැතිවරණයක් ලබා ගත යුතු අතර ඒ මැතිවරණයේ දී කිනම් අයෙකුගේ ප්‍රතිපත්ති වඩා හොඳ ද කියා තීරණය කිරීමට ජනතාවට අවස්ථාව තිබෙනවා.

*ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සමග 2013-09-02 වැනි දින කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේ පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.