සිංහල ජාතිය අනතුරේ, සිංහල ජාතිය නැතිවෙලා, ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් නැති වෙලා, ආදී ලෙස දේශපාලනයේ සමහර අවස්ථාවලදී අපට අහන්න ලැබෙනවා. මුස්ලිම් අපි අපේ ආගම අදහන්නේ කෙසේදැයි සමහරුන් ප්‍රශ්න කරනවා. මෙසේ අයිතිවාසිකම් ගැන, ජාතිවාදය ගැන විවිධ දේ අහන්න ලැබෙනවා. ඒ නමුත් අපි රූපවාහිනියෙන් ක්‍රිකට් ක්‍රීඩාව නරඹන විට අපි සියල්ලන්ම ශ්‍රී ලාංකිකයෝ. එහිදී කිසිම පුද්ගලයෙක් සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ලෙස වෙන් වෙන්ව සිතන්නේ නැහැ. එය ඕනෑම නවීන රාජ්‍යයක එක ලක්‍ෂණයක්. අපි සියලු දෙනාම දන්නවා අපි ජීවත් වන්නේ නවීන රාජ්‍යයක බව. එහි විවිධ ජන කොටස්, ආගම් හා පංති අතර අරගල පවතිනවා. අයිතිවාසිකම් ගැන කතා කරනවා. නමුත් මෙහිදී අපි ක්‍රියා කළ යුත්තේ එක රාමුවක් තුළ. ඉන් බැහැරව කටයුතු කිරීමට අපහසුයි. අපේ අත්දැකීම් තුළින් එය පැහැදිලි වෙනවා. කිසිම ආගමකට ජාති, මායිම් ලෙස සීමාවන් නැහැ. එය සෑම දෙනාටම පොදුයි. ලෝකයේ ඕනෑම තැනක ආගම් සහ සංස්කෘතිය ඇති වී තිබෙන්නේ ජාතික මායිම් තුළයි.
මාක්ස්වාදය එක රටකට පමණක් අදාල යැයි කාල් මාක්ස් කිසි විටෙක සඳහන් කළේ නෑ. නමුත් ස්ටාලින් සඳහන් කළා මාක්ස්වාදය පළමුව එක රටක ඇති කරමු කියලා. ඉතින් සෑම වාදයකම, රටකටම, ආගමක, සංස්කෘතිය තුළම පරස්පර විරෝධී අදහස් දෙකක් තිබෙනවා.
අපේ රටේ නිදහස ලැබීමට පෙර, සර්වජන ජන්ද බලය ලැබීමට පෙර, රජ සමයේ සියලු දෙනාම රජතුමාට පක්ෂපාතීත්වය දැක්වූවා. සිංහල, ද්‍රවිඩ, හින්දු හෝ මුස්ලිම් වුවත් සියලු දෙනාම එකල රජතුමාට පක්ෂපාතීත්වය දැක්වූවා. ඒ නිසා 1815 බි්‍රතාන්‍ය විසින් අප රටේ බලය ලබාගත් පසු සෑම ජන කොටසක්ම මහරජුට, වික්ටෝරියා මහරැජිනට, 5වන ජෝර්ජ් රජතුමාට පක්ෂ පාතීත්වය දක්වලා එකමුතු බව ඇති කර ගත්තා. ඒ සමගම නවීන රාජ්‍ය තුළත් මේ දේම සිදු වුණා.
එදා තිබූ කෘෂිකාර්මික පදනම වෙනුවට කර්මාන්ත පදනම ඇති කළා. වෙළදාම සහ නවීකරණය ඇති වුණා. අපි නිදහස කරා යන ගමනේදී ජාතික සමගිය තිබිය යුතු බව ඩී.එස්. සේනානායක මැතිතුමාට වැටහුණා. මෙහිදී නිරන්තරයෙන් මතු වූ ප්‍රශ්නය වන්නේ, අපි කෙසේද බෙදී සිටින විවිධ ජන කොටස් අතර නිදහස ඇති කරන්නේ සහ කෙසේද එය ආරක්‍ෂා කරන්නේ යන්නයි. එදා එම අභියෝගය ඩී.එස්. සේනානායක මැතිතුමා භාරගත්තා. නිදහස ඇති කර ගැනීමේ මාර්ගය කියා දෙන්නේ ජාතික සමගියයි.
ජාතික සමගිය ඇති කිරීමේදී ඔබේ සංස්කෘතිය, ජාතිය, ආගම අතහරින්න යැයි ඩී.එස්. සේනානායක මැතිතුමා කිසිවිටක සඳහන් කළේ නෑ. 1946 එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කිරීමේදී එතුමා ඉංග්‍රීසි භාෂාවෙන් “New Ceylonese Nation is born,” ලෙස සඳහන් කළේ නව ලාංකික රාජ්‍යයක් දැන් බිහිවී ඇති බවයි.
සිංහල, දෙමළ, මුස්ලිම් කිසිම ජාතියකට හෝ බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආදී කිසිම ආගමකට තම අනන්‍යතාවය නැති කර ගන්න කියලා එතුමා පැවසුවේ නැහැ. ඒ සියලු දෙනාටම පැවසුයේ, “මෙම සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් කුමන ජාතියක වුණත් මෙය මගේ රට මෙය මගේ මව්බිම යනුවෙන් අපි ආඩම්බර විය යුතුයි,” යනුවෙන් එතුමා පැවසුවා.
ආනන්ද සමරකෝන් ශූරීන් අපේ ජාතික ගීය තුලින් පැවසූවේද අපි එක මවකගෙ දරුවෝ ලෙසයි. එය අපේ ශ්‍රී ලාංකික එකමුතුකමත්, අපේ විවිධ වූ අනන්‍යතාවයත් ආරක්‍ෂා කර ගෙන ඉදිරියට ගමන් කළ යුතුයි. අපි ශ්‍රී ලාංකිකයෝ ලෙස ආඩම්බර වනවා සේම අපි සිංහල දෙමළ හෝ මුස්ලිම් වේවා, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි කවුරුත් ඒ ගැන ආඩම්බර විය යුතුයි. ඇත්තෙන්ම එතනදි අපි එකමුතු විය යුතුයි.
මේ රට සිංහල ජනතාවට පමණක් යැයි හෝ, උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට දිය යුතුයි යැයි හෝ සිතා තනි තනිව වැටවල් ගහනවා නම් අපි කිසිම අවස්ථාවක ජාතියක් බවට පත්වන්නේ නැහැ. වැඩ වසම් යුගයේදී මෙවැනි උදාහරණ තිබුණා. දුටුගැමුණු රජතුමා මාගම්පුරේ සිට අනුරාධපුරය දක්වා ගෙන ගිය සටන ඉතා දීර්ඝ සටහන් බව මහාවංශයේ සදහන් වෙනවා. ඉන්පසු රජවරු මාගම්පුරේ සිට අනුරාධපුරයට ඉතා කෙටි කලකින් ළඟා වුණා. දුටුගැමුණු රජුට මේ ගමනේදී හැම තැනකදීම සටන් කරන්න සිදුවුණා. දුටුගැමුණු රජුට ඒ ඒ තැන්වල විරුද්ධවාදීන් සිටියා. එළාර රජු සමග සිටි සමහර අය සිංහල සේනාධිපතිවරු. මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ රෝහිණි කෘතියද එවැනි කතාවක්.
දුටුගැමුණු රජු එළාර සමඟ සටනට ගොස් ජයග්‍රහණය කළ පසුව මෙසේ සදහන් කළා. එළාර රජුගේ නෂ්ඨාවශේෂ සියල්ලම එක තැනක තැන්පත් කරන්න. තැන්පත් කර එතැනින් පිටව යනවිට බෙර වාදනය නොකල යුතුයි. ඇවිද ගෙන පමණක් ගමන් කළ යුතුයි.
එළාර රජතුමාට විරුද්ධ වූ සියලු දෙනා ක්‍රියාවෙන් එකතු කර ගැනීම වෙනුවෙනුයි එදා දුටුගැමුණු රජතුමා එසේ සදහන් කළේ. එසේම දුටුගැමුණු රජු එළාර රජුට ගෞරව කිරීම තුලින් එළාර සමග සිටි පිරිස එකතු කර ගත්තා. එය ඉතා වැදගත් නිසා ඒ බව මතකයේ තබා ගෙන අප වැඩ කළ යුතුයි.
ඒ අයුරින් ඩී. එස්. සේනානායක මැතිතුමා ද සෑම ජාතියක්ම එකතු කර ගනිමින් ක්‍රියා කළා. 6 වෙනි පරාක්‍රමබාහු රජු කෝට්ටේ සිට උඩරට රාජධානියත්, යාපනයත් තමා යටතට ගෙන මේ රට එක්සේසත් කළා.
උඩරට, යාපනය, හා වන්නිය ඒ ඒ පැවති ක්‍රමයට පාලනය කිරීමට ඉඩ දුන්නා. මේ බව තේරුම් ගෙන බලය බෙදීමේ වැඩසටහනක් විවිධ ජාතීන් සිටින පසුබිමක ක්‍රියාත්මක කළා. අපි එම කරුණ දැනගෙන ඒ පසුබිම තුල කටයුතු කළ යුතුයි.
සිංහල ජාතිය මල්වතු ඔය ආශ්‍රිතව පදිංචි වෙලා ථෙරවාදී බුදු දහම ආරක්ෂා කරමින් විශාල සංස්කෘතියක් ඇති කළා. ඒ ගැන ආඩම්බර වන්නේ සිංහල අය පමණක් නොවෙයි.
එදා ඒ ඇරඹු රාජධානිය හා සමානව වෙන කිසිම රාජධානියක් ආරම්භ කිරීමට නොහැකි වූ බව පොන්නම්බලම් රාමනාදන් මහතා පවසනවා. ඒ ගැන අපිට ආඩම්බර විය හැකියි. අපි මෙතනදී සිංහල ජාතිය බෞද්ධ ආගම ගැන ආඩම්බර වෙනවා සේම වෙනත් ජාතියක් ආගමක් කොන් කිරීමට අවශ්‍ය නැහැ. මෙහිදි සදහන් කළ යුතුයි අපේ බෞද්ධ විහාරස්ථානවල විශ්ණු දෙවියන් අදහනවා. ප්‍රධාන විශ්ණු දේවාල තිබෙන්නේ කන්දේ විහාරේ, දෙවිනුවර ආදී ස්ථාන වලයි. ඒවගේම අද බෞද්ධ විහාරස්ථානවල කතරගම දෙවියන්, පත්තිනි දෙවියන්, විශ්ණු දෙවියන් ආදි දෙවිවරුන්ට වන්දනා මාන කරනවා, භාරහාර වෙනවා. මේ ආකාරයෙන් හින්දු, බෞද්ධ ආගම් එකට එකතු වී තිබීම දකින්නට පුළුවන්. පත්තිනි දෙවියන් කේරලයෙන් ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන වලට වැඩම කෙරෙව්වේ කෝට්ටේ රාජධානිය සමයේදියි. නමුත් එදා පත්තිනි දෙවියන් යාපනයට වැඩම කෙරෙව්වේ නැහැ. අපි ලංකාවේ ද්‍රවිඩ ජනතාව ගැන සදහන් කළොත් ඔවුන්ගේ හින්දු සංස්කෘතිය ඉන්දියාවේ හින්දු සංස්කෘතියට වඩා වෙනස්. අපේ රටේ සෑම සිංහල ජනතාවකගේම එක සමාන ලක්ෂණ දකින්න පුළුවන්. කඳුකරයේ හින්දු ජනතාවගේ ලක්ෂණ යාපනයේ හින්දු ජනතාවට වඩා වෙනස්.
ඉස්ලාම් ආගම ලංකාවට පැමිණියේ අරාබියෙන්. නමුත් ඔවුන් ජීවත් වුනේ සිංහල ගම්මානවල. ඒ නිසා ඔවුන් තුල සිංහල ක්‍රමවේද පවතිනවා. එහි වෙනසක් නෑ. සෑම තැනකම හින්දු, සිංහල, ඉස්ලාම් මිශ්‍ර වී පවතිනවා. ක්‍රිස්තියානි ආගමද එසේමයි. මේ සියල්ල තුල විශාල මිශ්‍රණයක් පවතිනවා. ඒ මගින් බෙදී වෙන් නොවී අපට එකතු වී ගමන් කිරීමට පහසුයි. ව්‍යවස්ථාව මගින් කිසිම කෙනෙකුට මදි පුංචිකමක් නොකර අපි සෑම කෙනෙකුම අයිතිවාසිකම් ලබා දෙන්නේ කෙසේද? බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ගමන් කිසිම ආගමකට මදි පුංචිකමක් නොකළ යුතුයි. එය ද්‍රෝහිකමක් නොවේ.
“සෑම ආගමකටම, ධර්මයකටම ගෞරව කරන්න,” යනුවෙන් අශෝක අධිරාජ්‍යයාගේ සෙල් ලිපියේ සදහන් වනවා.
අපිට එවැනි පසුබිමක් තියෙනවා. අපේ සමහර පුද්ගලයන් සිංහල අවුරුද්ද, තෛපොංගල්, රාමසාන්, වගේම නත්තල් වලටත් සහභාගි වෙනවා. මෙවැනි රටවල් පහසුවෙන් දැක ගන්න ලැබෙන්නේ නෑ. ඒත් එක්කම විවිධ ජාතීන් අතර විවිධ ප්‍රශ්නත් තිබෙනවා. ඇමෙරිකාවේ ද එවැනි ප්‍රශ්න තිබෙනවා. එදා යුරෝපයේ පැවතියේ සුදු යුරෝපයක්. නමුත් ආසියාවෙන්, අපි්‍රකාවෙන් මෙන්ම අද වන විට මැදපෙරදිගෙන් ද යුරෝපයට මිනිසුන් පැමිණෙනවා. ආසියාවේ අපි්‍රකාවේ මැද පෙරදිග සංස්කෘතීන් වෙනස් කියලා සමහරු පවසනවා. ඒ අතර ලන්ඩන් නුවර සමහර ස්ථාන වලට ගිය විට ඒ ප්‍රදේශ ඉන්දියාවට සමාන යැයි සිතෙනවා.
ඒ ආකාරයට අප කොහොමද මේ සමාජය ගොඩනගන්නේ. අපි එතනට යා යුතුයි. ඒ ශක්තිය තුලින් අපේ සංවර්ධනය වැඩි දියුණු වෙනවා. අපි එකිනෙකා බෙදුණු නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. උදාහරණයක් වශයෙන් නේරු මැතිතුමා සදහන් කළ හැකියි. ඉන්දියාවට නිදහස ලැබුණොත් ඉන්දියාව එක්කළ නොහැකි බව සමහරු පැවසුවා. තමිල්නාඩුව කේරලය එක කොණක අනෙක් කොනේ සීකිම් රාජධානිය පැවතියා. ඉන්දියාව කියලා එක රටක් තිබුණේ නැහැ. අශෝක සහ මෝගල් අධිරාජ්‍ය සමයේ විශාල රාජධානි පැවතුණා. නමුත් නේරු මැතිතුමා ගත් පියවර නිසා වසර 10ක් ගතවීමට පෙර ඉන්දියාවට රටක් ලෙස එකමුතුකම පිළිබද ගැටළුව විසදා ගැනීමට හැකිවුණා. අපිත් එතනට යා යුතුයි. එහිදී වෙනත් රටවල අත්දැකීම් අපට වැදගත් ඒවගේම අපිටත් අත්දැකීම් තිබෙනවා. ඒ නිසා බය නැතිව අපි ඉදිරියට යා යුතුයි. මේ වෙනුවෙන් බාකිර් මාකර් මධ්‍යස්ථානයෙන් කරන සේවය අපි අගය කරනවා. ඒ සමගම වෙනත් රටවල අත්දැකීම් ගැන සිතිය යුතුයි. තුර්කිය නැමති රට බිහිවුණේ පළමු වෙනි ලෝක යුද්ධයෙන් පසුවයි. එහි පැවතුනේ ඔටමාන් අධිරාජ්‍යයයි. එය නැතිවී කැඩි බිදී විවිධ රාජ්‍යයන් බිහිවුණා. ඉරාකයෙන් කොටසක් යුගෝස්ලාවියාවට ගියා. නමුත් රටක් ලෙස ඔවුන් අනන්‍යතාවය ගොඩ නගා ගත්තේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
කිමාල් අටාටුක් ජනපතිතුමා යටතේ ආරම්භ වූ තුර්කිය වර්තමානයේ ඔබතුමන්ලාගේ පාලනය යටතේත් විවිධ වෙනස්කම්වලට භාජනය වී ඉදිරියට පැමිණ තිබෙනවා. එය එක තැන නතර වන්නේ නෑ. ජනරජයක් තුළ වුවත් 1920 පළමුවැනි සංකල්පය නොවේ අද පවතින්නේ. මෙය සෑම තැනකටම පොදුයි. ඉන්දියාවේ නේරුතුමාට වඩා වෙනස් අදහස්, සංකල්ප අප ලඟ තියෙන්නේ. නමුත් අප අපේ ගමන යා යුතුයි.
අවුරුදු 2000 කට වඩා තනි රාජ්‍යයක් ලෙස අප දිගු ඉතිහාසයක් තියෙන රටක්. ඒ තුළින් අප ඉදිරියට යා යුතුයි. ඒ තනි රාජ්‍යයක් ලෙස ඉතිහාසයෙන් අප ප්‍රයෝජන නොගන්නේ නම්, අප එකතු වී වැඩ කරපු කාලයෙන් ප්‍රයෝජන ගන්නේ නැත්නම්, ඔවුන් මේ රටේ විශාලම ජාතිද්‍රෝහීන් ලෙස සලකන්න පුළුවන්. යුද්ධය අවසන් වී තිබෙන මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියළු දෙනාම එක්වී මේ ගමන යමු.
*2017 අගෝස්තු මස 08 වන දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති හිටපු කථානායක දේශමාන්‍ය මොහොමඩ් අබ්දුල් බාකීර් මාකර් මහතාගේ 20 වන අනුස්මරණ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්