26 April, 2024

Blog

ඡන්ද කල් දමා ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

පලාත් සභා චන්ද කල් දැමීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 20 වන සංශෝධනය ආණ්ඩුව විසින් ගැසට් කර ඇත. සබරගමුව, උතුරු-මැද හා නැගෙනහිර පළාත් සභාවල ධූර කාලය අවසන් වීම හේතුවෙන්තව සති කිහිපයකින් එනම්, ඔක්තෝබර් මාසයමුලදී එමපළාත් සභා විසුරුවා හැරීමට නියමිත විය.යෝජිත 20 වනව්‍යවස්ථා සංශෝධනයසම්මත වුවහොත් මෙම වසරේත්, ලබන වසරේත් කල් පිරෙන සියළුම පළාත් සභා වල ධූර කාලය 2019 ඔක්තෝබර් දක්වා කල් දැමෙනු ඇත. ඡන්දයක් නොපවත්වා පළාත් සභා වල ධූර කාලයදිගු කිරීම ජනතාවගේ පරමාධිපත්‍යත් ඡන්ද බලයත් අමු අමුවේ උල්ලංගනය කිරීමකි. ආණ්ඩුව මේ ආකාරයට පළාත් සභා ඡන්ද කල් දැමීමට පිඹුරුපත් සකසන්නේ මීට අවුරුදු දෙකහමාරකට කළින් පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන ඡන්දයද දින නියමයක් නැතුව කල් දමා ඇති  පසුබිමකය. 2015 ජනවාරි 08 වන දා විදෙස් බලවතුන්ගේ සහාය ඇතුව කුමන්ත්‍රණ කාරී ලෙස බලයට පැමිණි මේ ආණ්ඩුව සිදුකොට ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් වල නවතම එක පළාත් සභා ඡන්දය කල් දැමීමට ගෙනවිත් තිබෙන මේ ව්‍යවස්ථා සංශෝධනයයි.

වත්මන් ආණ්ඩුව 2015 ජනවාරි 09 වන දා සිටම ප්‍රජාතන්ත්‍රවාදය කනපිට හැරවීම පටන් ගත්තේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන් 144 දෙනෙකුගේ සහය තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරයා ධූරයෙන් පහකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු සිටි එක්සත් ජාතික පක්‍ෂ නායකයාව අගමැතිධූරයට පත් කරන ලදී. එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය හා සමස්ථ ලංකා මක්කල් කොංග්‍රසය ඇතුලු දේශපාලන පක්‍ෂ ගණනාවක අපේක්‍ෂකයා හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයා බලයට පත්වීමෙන් පසු විධායක බලය පාවිච්චි කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් නායකත්වය සියතට ගත්තේය. එවක සිටි අග්‍ර විනිශ්චයකාරවරයා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවන ලද තුන්ඩුවකින් සිය ධූරයෙන් පහකරන ලදී. 2015 ජනාධිපතිවරණයේ ප්‍රධානම පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වුවත්, ඒ සඳහා යැයි කියමින් ගෙන එන ලද 19 වන සංශෝධනය හුදෙක්ම රැවටීමක් පමනක් විය. විධායක ජනාධිපති ක්‍රමය තිබුණාටත් වඩා බලවත්ව තවමත් පවතී.

අප සියලු දෙනාම දේශපාලනයට පිවිසි දේශපාලන පක්‍ෂය දෙකඩ නොකළ යුතුය යන හැඟීම නිසා අපි කවුරුත් 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරඟ කෙරුවෙමු. නමුත් ඡන්දයට දින ගණනක් තිබියදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිණුවත් මට අගමැති ධූරය ලබා නොදෙන බව කීමෙනුත්, ඡන්දයට පැය 48 ක් තිබියදී ශ්‍රීලනිපයේ මහලේකම් වරයා හා එජනිසයේ මහලේකම්වරයා එම ධූර වලින් පහ කිරීමෙනුත් තම විධායක බලය පාවිච්චි කොට ඡන්දයේ ප්‍රතිඵලය විකෘති වන ආකාරයට කටයුතු කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මේ ආකාරයේ සිදුවීම් මධ්‍යයේ පැවැත්වුණ ඒ ඡන්දය නිදහස් හා සාධාරණ ඡන්දයක් යැයි කිවහැක්කේ කේසේද?

ඡන්දයෙන් පසු යමපාලන විරෝධී ප්‍රතිපත්තියක් මත පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රීලනිප මන්ත්‍රී වරුන් 40 දෙනෙකුට වැඩි ගණනකට ඇමතිකම් දී ආණ්ඩුවට එක් කර ගන්නා ලදී. එපමණක්ද නොව, ඡන්දයෙන් පරාජය වූ ජනාධිපතිවරයාගේ හිතවතුන් එජනිස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලදී. එජනිසයේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකු විපක්‍ෂයේ සිටියත් විපක්‍ෂ නායක කම ලබාදෙනු ලැබුවේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු සිටි දෙමළ ජාතික සන්ධානයටයි. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කම ලැබුණේ මන්ත්‍රීවරු 6 දෙනෙකු පමනක් සිටින ජනතා විමුක්ති පෙරමුණටයි. මේ ආකාරයට ආණ්ඩුවත්, පාර්ලිමේන්තු විපක්‍ෂයත් යන දෙකම අල්ලාගෙන ඒකාධිකාරයක් ගොඩනගාගෙන ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදීයමපාලන කඳවුර නියෝජනය කල දේශපාලන කණ්ඩායම්ය. මේ ආකාරයට ආණ්ඩුවත් විපක්‍ෂයත් තමන් සතු කරගත් යමපාලන එකතුව, රජයේ සියලුම වැදගත් පත්වීම් කරන ව්‍යවස්ථාදායක සභාවට පත්කර ගත්තේද තම කඳවුරේ අය පමණි.

මෙහි ප්‍රතිඵලයක් වූයේ සියලුම ස්වාධීන කොමිසම් වලට හා ඉහලරාජ්‍ය තනතුරු වලට යමපාලන හිතවතුන් පත් කිරීමයි. මේ රට නිදහස ලැබූ දා සිට පැවති කිසිදු ආණ්ඩුවක් විසින් මේ තරම් දරුණු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කර නැත. යමපාලන ආණ්ඩුව 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගත්තේ ආසන 106 ක් පමණක් වුවත් ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් ඇමතිකම් බාර ගැනීම නිසා ආණ්ඩුවේ බහුතරය තුනෙන් දෙක දක්වා වැඩි වී ඇත. විධායක ජනාධිපති ධූරය අඥාදායකත්වයක් යැයි කියා එය අහෝසි කිරීමට බලය ලබාගත් උදවිය අද විධායක ජනාධිපති ක්‍රමයේ බලතල වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකු නොකල ආකාරයට අවභාවිතයට ලක් කරමින් සිටී. මේ ආකාරයට විධායක බලය අවභාවිතයට ලක් වන්නේ ආණ්ඩු බලය රැකගැනීමට පමණක් නොවේ. රටේ වැදගත් ජාතික සම්පත් පාර්ලිමේන්තුවටවත් නොදන්වා අත්තනෝමතික ලෙස විදෙස් රටවලට විකිනීමටත් විධායක බලය දැන් පාවිච්චි කරනු ලැබේ. යම් ජාතික සම්පතකට ලන්සු දෙකක් ලැබුනහොත් තෝරා ගැනෙන්නේ ලංකාවට වඩාත් අවාසිදායක ලන්සුවයි.මේ සම්පත් විකිනෙන මිල ගණන් දෙස බැලූ විට මහා පරිමාන ‘ගනුදෙනු’ සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිය.

මේ ආණ්ඩුවේ සිටින සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ මා විසින් නායකත්වය දෙනු ලැබූ යමපාලන විරෝධී ඡන්ද ව්‍යාපාරයකිනි. ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ කිරීමට එජාපයට උදවු දීමට නොවන බව ඔවුන් සියලු දෙනාටම මතක් කර දීමට කැමැත්තෙමි. පලාත් සභා චන්ද කල් දැමීමට ඉදිරිපත් කොට ඇති මේ 20 වන ව්‍යවස්ථාසංශෝධනයටසියලුම ශ්‍රීලනිප හා එජනිස මන්ත්‍රීවරුන් එරෙහි වුවහොත්, ආණ්ඩුවට මේ සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලය නොලැබෙනු ඇත. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍ය හා ඡන්ද බලයට අදාල වෙන නිසා, ඒ සඳහා ජනමතවිචාරණයක්ද අවශ්‍ය වේ. අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. නමුත්, සියලුම ශ්‍රිලනිප/එජනිස මන්ත්‍රීවරුන් එකට කටයුතු කළහොත්, මෙය ව්‍යවස්ථාදායකයේ මට්ටමෙන් නතර කළ හැකිය.  මෙය සියලුම ශ්‍රිලනිප හා එජනිස මන්ත්‍රීවරුන් ජාතිය වෙනුවෙන් කල යුතු යුතුකමකි.

මෙහිදී අවශ්‍ය වන්නේ සියලුම පලාත් සභා ඡන්ද එකම දිනයකදී පැවැත්වීමට නම් ආණ්ඩුව කල යුත්තේ මුලින්ම විසිරෙන පලාත් සභා වලට සමගාමීව අනෙක් පලාත් සභාද විසිරුවා හැර සියලු ඡන්ද එකම දිනක පැවැත්වීම මිස පවතින පලාත් සභා වල ධූර කාලය 2019 අවසානය දක්වා දික් කිරීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම නොවේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.