27 April, 2024

Blog

‘‘පක්ෂය බේරා ගැනීමේ’’ ව්‍යාපෘති සඳහා අපව ඈඳාගන්නේ ඇයි?

රුවන් වීරසිංහ

ආචාර්ය රුවන් වීරසිංහ

ආචාර්ය රුවන් වීරසිංහ

කැබිනට් ඇමතිවරුන් නම් කිරීම සඳහා අලූත් ආණ්ඩුව තරමක් කල් ගැනීම ගැන මගේ එතරම් අසන්තෝසයක් නැත. සාමාන්‍ය ක‍්‍රමය වන්නේ, අප ඡන්ද පොළට ගොස් අනලස්ව ඡන්දය පාවිච්චි කොට ගෙදර විත් ඡන්ද ප‍්‍රතිඵල අසා අවසන්ව දින දෙකක් හෝ තුනක් යන්නටත් කලින්, අලූත් කැබිනට් මණ්ඩලයක් අප මත පැටවීමයි.

ජාතික ආණ්ඩුවක් තුළ තීරණ ගැනීම තරමක් පමා විය හැකි බව ඇත්ත. මන්ද යත්, කැබිනට් මණ්ඩලය පත්කිරීම වැනි වැදගත් තීරණ ගැන වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට සිදුවන බැවිනි. එසේ වුවද, ජාතික ආණ්ඩුවක් පිළිබඳ අදහසට අපෙන් බොහොමයක් දෙනා විරුද්ධ නැත.

එහෙත් ජනවාරි 8 වැනි දා මෙන්ම, අගෝස්තු 17 වැනි දාත් රටේ ප‍්‍රගතිශිලී වෙනසක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අපට නොදිරවන කාරණය වන්නේ, අපේ නමින් යැයි කියමින් ‘‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම’’ යන ව්‍යාපෘතියට අපේ කැමැත්තකින් තොරව අපව ඈඳා ගැනීමයි.

මෙහි ප‍්‍රථම නිමිති පෙනුණේ, රටේ අප‍්‍රසාදයට පත් කිහිප දෙනෙකු ජනතාව විසින් මේ මැතිවරණයේදී පරාජය කරනු ලැබ තිබියදීත්, ජාතික ලැයිස්තුව හරහා ඔවුන්ව පාර්ලිමේන්තුව තුළට ගෙන එමේදී ය. එවැන්නක් කළ බව කියන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමටලූ. එම අරමුණ මොන තරම් උදාර එකක් විය හැකි වෙතත්, වෙනසක් සඳහා ඡන්දය පාවිච්චි කළ බහුතරයක් එසේ කෙළේ එවැන්නකට දායක වීමට නොවන බව නොකිවමනා ය.

Ranil Maithri‘සන්ඩේ ටයිම්ස්’ දේශපාලන තීරුව වැනි විවිධ ඊනියා ‘විශ්වාස කටයුතු ආරංචි මාර්ග’ පිළිබඳ මාධ්‍ය වාර්තා ගැන අප විශ්වාසය තබන්නේ නම්, මීටත් වඩා නරක තත්වයක් ඇති වීමට නියමිතව තිබේ. වර්තමාන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත්වීමෙන් පසුව පවා ඔහුට විවෘතව හතුරුකම් කළ, ඉතා අප‍්‍රසන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ‘ජ්‍යෙෂ්ඨයන්’ සමහරෙකු ද යෝජිත ජාතික ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් වීමට නියමිතලූ. ඇත්ත වශයෙන්ම එය, අප තුළ හුදු අප‍්‍රසාදය ජනනය කිරීමට වැඩි දෙයකි. ඒ වනාහී, පසුගිය මැතිවරණයේදී රටේ බහුතරයක් ජනතාව දුන් ජන වරම උල්ලංඝණය කිරීමකි.

නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් පේ‍්‍රමජයන්ත සහ අනුර ප‍්‍රියදර්ශන යාපා වැනි මන්ත‍්‍රීවරු අවපාලනයේ ප‍්‍රතිමූර්ති වැන්න. පසුගිය ආණ්ඩුවේ සියලූ අවකල් ක‍්‍රියා වෙනුවෙන් ඔවුහූ පෙනී සිටියහ. ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව මහ මැතිවරණය සඳහා පවා තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා ඔවුන් සැකසූ නාම යෝජනා ලැයිස්තුව සමන්විත වුණේ, අතිශය දූෂිත පුද්ගලයන්ගෙනි. වැදගත් ඇමති පදවි කෙසේ වෙතත්, මොනම ඇමති කමක්වත් එවැන්නන්ට දීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය විගඩමක් බවට පත්කිරීමකි.

මෙවැනි පුද්ගලයන් ඇමතිවරුන් වශයෙන් සිටින ආණ්ඩුවක්, ඔවුන්ටත්, හැරෙන සැණින් නැවත බලයට ඒමට අරඅඳින ඔවුන්ගේ සගයන්ටත් එරෙහිව දැනට පවතින විවිධ චෝදනා කිසි දවසක අපක්ෂපාතීව විභාග කර බලයිද? ඒ චෝදනා සම්බන්ධයෙන් දැනට ආරම්භ වී ඇති විමර්ශන ක‍්‍රියාවලිය නතර කිරීමට, පමා කිරීමට සහ ව්‍යාකූල කිරීමට මේ පිරිස් හැකි උපරිමයෙන් කටයුතු නොකරාවිද? පාර්ලිමේන්තුව ඇතුළේදී මෙන්ම පිටතදීත් අවකල් ක‍්‍රියාවන්ගෙන් පිරි අතීතයක කැරැට්ටුවක් ඇත්තන් නායකයන් වශයෙන් සිටින ජාතික ආණ්ඩුවක් කෙරෙහි අපට විශ්වාසය තැබිය හැකිද?

මේ තත්වය වැළැක්වීම සඳහා අවසාන මොහොතේදී හෝ යම් පියවරක් නොගතහොත් සහ මේ අපතයන් නව ඇමති මණ්ඩලයෙන් පිටමං කොට නොතැබුවොත්, සමස්ත ජාතික ආණ්ඩු ප‍්‍රයත්නය දෙසම සැකයෙන් බැලීමට මංපෑදෙනවා සේම, එම වෑයම යෝජිත අවුරුදු දෙක ගතවීමටත් බොහෝ කලින්ම ව්‍යර්ථ වීමටත් ඉරණම්කාරී වන්නේය.

එක්සත් ජාතික පක්ෂයත්, තමන් සඳහා ඡන්දය පාවිච්චි කළ බොහෝ ඡන්දදායකයන් සිය නියෝජතයන්ගෙන් අපේක්ෂා කළ කාර්ය ශූරත්වය සහ නිපුණත්වය වෙනුවට පක්ෂපාතීත්වය මත පදනම් වෙමින් කැබිනට් තනතුරු පිරිනැමීමට මේ අවස්ථාවේ නැමියාවක් දක්වන බවක් පෙනේ. හිටපු මුදල් ඇමති සහ අධ්‍යාපන ඇමති වැනි පක්ෂපාතීත්වය දක්වන්නන්, ඇත්තෙන්ම එක්සත් ජාතික පක්ෂයට සිටින වඩාත් කාර්යක්ෂම සහ දක්ෂ අයවළුන්ද? මැතිවරණයකින් ජයග‍්‍රහණය කිරීමට පවා තමන් සමත් බව පෙන්වා ඇති සමත් වෘත්තිකයන් වන හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික‍්‍රමනායක වැන්නන්ට තැනක් නැත්ද? අවසානයේදී හෝ හොඳ සිහිය පෑදේවා යැයි අපේක්ෂා කිරීම හැර, නව ආණ්ඩුවේ ඇමති තනතුරු පිරිනැමීමේදී පක්ෂපාතීත්වයට වඩා කාර්ය ශූරත්වයට ප‍්‍රමුඛත්වය දිය යුතු බව අවබෝධ කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වේවා යැයි ප‍්‍රාර්ථනා කරනු මිස, වෙන කරන්ට දෙයක් නැත.

කොටින්ම, පසුගිය කාලය තුළ සිවිල් සමාජය කළ අප‍්‍රතිහත මෙහෙවර සහ පොදු ඡන්දදායකයාගේ සවිඥානකත්වය, පක්ෂවල ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා අපහරණය කරනු දකින්ට අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය කරන්නේ, පක්ෂයකට සැපයිය හැකි දක්ෂතම පුද්ගලයන් විසින් මේ රට ඉදිරියට ගෙන යනු දැකීමයි.

ජනාධිතිතුමනි, අගමැතිතුමනි, යහපාලනය මත පදනම් වන හිතකර ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් ජනතාව දුන් වරම, ඔබ දෙපළ නායකත්වය දරණ පක්ෂවල මන්ත‍්‍රීවරුන් පාලනය කිරීමේ සහ මෙහෙයැවීමේ පක්ෂ දේශපාලනය සඳහා අවභාවිතයට ගත යුතු නැත.

*2015 අගොස්තු 31 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Why Are We Being Enlisted In ‘Save The Party’ Projects?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    I prognosticate that installing rascals rejected by the voters of this country will bring disaster and the civil society will become restive and unite to demonstrate violently en masse against this so called elusive Yama palanaya.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.