26 September, 2020

Blog

ව්‍යවස්ථා ප්‍ර​තිසංස්කරණ සහ මානව හිමිකම් පිළිබඳ හමුදාමය පර්යාදර්ශය

ඩැනියෙල් අල්ෆොන්සස්

ඩැනියෙල් අල්ෆොන්සස්

‘‘දෙමළ අයටම විශේෂිත වූ දුක්ගැනවිලි නැත’’- උදය ගම්මන්පිල (2014)
‘‘දැන් සුළු ජාතීන් කියා කොටසක් නැත’’ – මහින්ද රාජපක්ෂ (2009 මැයි)

2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් අනතුරුව වාර්ගික ප්‍ර​චණ්ඩත්වයේ මූලික හේතු කාරණා පිළිබඳ ජනප්‍රිය මතවාදය ගොඩනැගුණේ ප්‍ර​ධාන පෙළේ තනි ආඛ්‍යානයක් වටා ය. එම ආඛ්‍යානය මූලික ප්‍ර​ස්තුත තුනක් සහ එක් නිගමනයක් මත පදනම් විය.

පදනම අංක 1: වාර්ගික ඝට්ටනයේ මූල හේතුකාරකය වන්නේ, නොමග ගිය දෙමළ ජනතාවකට නායකත්වය සැපයූ දෙමළ දේශපාලනික ප්‍රභූන්ගේ බල ලෝභීත්වයයි.

පදනම අංක 2: මේ ප්‍රභූන්ව බල ගැන්වුණේ, වෙනත් රටවලට අතපොවන විදේශ රාජ්‍යයන් විසිනි. ඒ රාජ්‍යයන් (1) එදා පටන්ම ‘ශ්‍රී ලංකා-විරෝධී’ ය. (2) ‘ඩයස්පෝරාව’ මගින් සටකපට ලෙස මානනය කරනු ලබන්නේය. (3) භූ-දේශපාලනික කූටෝපායන්හි අගතැන්පත් ය.

පදනම අංක 3: දෙමළ ජනතාව තුළ ප්‍ර​චණ්ඩත්වයට පාර කැපූ, නොවිසඳුණු දේශපාලනික හෝ ආර්ථික දුක්ගැනවිලි ඇතොත් ඒ ඉතා ස්වල්පයකි.

නිගමනය: ප්‍ර​චණ්ඩත්වයකට පාදක වූ සැලකිය යුතු ආර්ථික හෝ දේශපාලනික හේතු නොමැති නිසා දුක්ගැනවිලිවලට ආමන්ත‍්‍රණය කිරීම සඳහා ප්‍ර​තිසංස්කරණවල අවශ්‍යතාවක් පැන නොනගී. එබැවින් ප්‍ර​චණ්ඩත්වය යළි ඇති වීම වළක්වනු වස්, හුදෙක් හමුදාමය ප්‍රතිචාරයක් සෑහෙයි.

මේ අධිපතිවාදී ආඛ්‍යාන තර්කණය බොහෝ විට තවත් ඉසව් කිහිපයකට විහිදෙයි.ප්‍රචණ්ඩකාරීත්වය යළි ඇති වීම වැළැක්වීම සඳහා රාජ්‍ය බලය මධ්‍යගත කළ යුතුය යන්න ඉන් එකකි. ඒ ආශ‍්‍රයෙන් දෙමළ ජනතාව කෙරෙහි අධිපතිවාදී පාලනයක් පවත්වා ගත යුත්තේය. එසේම, හුදෙකලාවාදී විදේශ ප්‍ර​තිපත්තියක් අනුගමනය කළ යුත්තේය. අවසාන වශයෙන්, නානා විධ වූ ශ්‍රී ලාංකීය සමාජය, සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය යටතේ ඒකරාශී කළ යුත්තේය. මේ තර්ක ක‍්‍රමයට අනුව, සැබෑ දේශපාලනික දුක්ගැනවිලි නැති නිසා, ප්‍රචණ්ඩත්වය යළි ඇති වීම වැළැක්වීම සඳහා දේශපාලනික ප්‍ර​තිචාරයක් අවශ්‍ය නොකරන්නේය.

මේ කියන මතවාදය සමග එකඟ නොවන්නන්ව බොහෝ විට හැඳින්වෙන්නේ ‘අපේ රණවිරුවන්ව පාවා දෙන්නන්’ වශයෙනි. ‘රණවිරුවන්මත්’ ඉහත කතාව එකහෙලා අනුමත කරති යි යන අදහසක් එයින් ගම්‍ය කෙරේ. එහෙත් ඒ සම්බන්ධයෙන් වන පොදු එකඟත්වයක් ඇත්තෙන්ම හමුදාව තුළ නැති බවට මේ ලිපියෙන් තර්ක කෙරේ. ඇත්ත වශයෙන්ම, හමුදා නිලධාරීන්ගේ ලියවිලි පරීක්ෂා කරන විට පෙනී යන්නේ, හමුදා නිලධාරීන් විසින්ම ඉහත කී කතාව බොහෝ විට කෙලින්ම ප්‍රශ්න කරන බවකි. නැත්නම්, එම කතාවට බරපතල කොන්දේසි පනවන බවකි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල පර්යේෂණ අධ්‍යයන අංශ නොමැති කම නිසා, මේ ප්‍ර​වාදය පරීක්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය විද්වත් සාක්ෂි සොයා ගැනීම පහසු නැත. මාක්ස්වාදී නැගිටීම් දෙකක් ඇතිව තිබියදීත්, තිස් අවුරුදු යුද්ධයක් ඇතිව තිබියදීත්, ශ්‍රී ලංකාව පිළිබඳ ග්‍ර​න්ථ නාමාවලීන් තුළ ආරක්ෂක සහ උපාය මාර්ගික අධ්‍යයන අංශයන් දක්නට නොමැත. ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණයකින් ලියැවී ඇති ඉතා සුළු පොත් සංඛ්‍යාව පවා ලියැවී ඇත්තේ බාහිර බලවතුන් සමග වන සම්බන්ධතා තුළින් පැන නගින ගැටළු ආශ්‍රිතව ය. අභ්‍යන්තර ගැටුම් පිළිබඳ හමුදාමය දෘෂ්ටි කෝණයෙන් ලියැවුණු අධ්‍යයනයන් ඇතොත්, එය, මානව හිමිකම්, නෛතික, ඓතිහාසික, දේශපාලන විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක දෘෂ්ටි කෝණවලින් ලියැවී ඇති පොත් සංඛ්‍යාව සමග සසඳන කළ, ඉතා නොසැලකිය යුතු සංඛ්‍යාවකි. මේ අතර, යුද්ධය සමග සෘජු අත්දැකීම් සහිත හමුදා නිලධාරීන් විසින් ලියැවී ඇති ඉතා සුළු සංඛ්‍යාවක් වන චරිතාපදාන, බොහෝ කොට කතන්දර කලාවට මිස විමර්ශනාත්මක රීතියකට අයත් ඒවා නොවේ. මේ පර්යේෂණමය දුගී භාවය එසේ තිබියදීත්, හමුදා නිලධාරීන්ගේ සංජානනයන් පිරික්සා බැලීම සඳහා පාවිච්චියට ගත හැකි වැදගත් මූලාශ්‍රයක් වන්නේ, යුද්ධයෙන් පසුව ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් විසින් ලියන ලද සහ ප්‍ර​සිද්ධ කොට ඇති ශාස්ත්‍රීය නිබන්ධනයන් ය. මේ ලිපිය ලියන අවස්ථාව වන විට, ත්‍රිවිධ හමුදාවන්හි නිලධාරීන් විසින් ලියන ලද සහ ප‍්‍රකාශයට පත් කරන ලද එවැනි නිබන්ධන එකොළහක් සොයා ගැනීමට තිබේ. මේ නියැදිය තුළ ශාස්ත්‍රීය සීමා කම් කිහිපයක් ඇති නමුත්, මුලින් කී අධිකාරී ආඛ්‍යානයට වෙනස් හමුදා උපාය මාර්ගික චින්තනයක් හමුදාව තුළම පවතින්නේය යන තර්කය දුර්වල කිරීමට එම සීමාවන් තුඩු නොදෙයි.

ඊට එක හේතුවක් වන්නේ, මේ කියන සීමා කම් ‘එකකින් එකක් කැපී යාමයි’. උදාහරණයක් වශයෙන් ගතහොත්, මේ නිබන්ධන ලේඛකයන් තුළ, ‘විභාග පරීක්ෂකයන් සඳහා’ ලිවීමට, එනම් ඇමරිකාවේ හමුදා විද්‍යාලයේ පරීක්ෂකවරුන් සඳහා ලිවීමට යම් නැමියාවක් එක පැත්තකින් ද, තවත් පැත්තකින්, තමන්ගේ ‘දේශපාලනික හාම්පුතුන්’ හෙවත්, පශ්චාත්-යුද්ධ ශ්‍රී ලංකාවේ අධිකාරී මතවාදය අනුමත කරමින් ලිවීමට යම් නැමියාවක් ද තිබිය හැකි වීමයි.

යුද්ධයේ හේතු කාරණා: වාර්ගික අව-සැලකීම්, බලතල බෙදාහදා ගැනීමට අසමත් වීම සහ මානව හිමිකම් අපයෝජනයන්

ඉහත කී නිබන්ධන එකොළහෙන් පහක් තුළ ප්‍ර​චණ්ඩත්වයේ සහ යුද්ධයේ හේතු කාරණා ගැන සාකච්ඡා කෙරේ. අව-සැලකීම්, බලතල බෙදාහදා ගැනීමට අසමත් වීම්, මානව හිමිකම් අපයෝජනයන් සහ ආර්ථිකම අවස්ථාවන් විසින් යුද්ධය කෙරෙහි දක්වන ලද බලපෑම සහ ප්‍ර​චණ්ඩත්වය කෙරෙහි දක්වන ලද බලපෑම ගැන මේ නිබන්ධන පහ තුළ අවබෝධයකින් යුතුව සාකච්ඡා කෙරේ.

මුලින්ම, අව-සැලකීම් සහ අසමාන පුරවැසි භාවය, යුද්ධයේ හේතුකාරක වශයෙන් එහිදී හඳුනා ගැනේ. ගුවන් හමුදා උසස් නිලධාරියෙකු වන චමින්ද වික‍්‍රමරත්න, ඞී. ඇස්. සේනානායකගේ බහු-සංස්කෘතික, අසමානතා රහිත ප‍්‍රතිපත්ති විසින් ඇති කරන ලද යහපත් තත්වය, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ ප්‍ර​තිපත්ති විසින් විනාශ කළ ආකාරය මෙසේ විස්තර කරයි: ‘‘ප්‍ර​ජාතන්ත‍්‍රීය කරණය තුළ අත්පත් කර ගත් සාර්ථකත්වය, 1956 දී එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක බලයට පත්ව ‘සිංහල පමණයි’ නැමැති රාජ්‍ය භාෂා පනත හඳුන්වා දීම හරහා ආපස්සට හැරැුවීය. මේ පනත මගින් එතෙක් පැවති බහු-වාර්ගික ප්‍ර​තිපත්තිය අතහැර දැමීමක් සිදු විණැයි පෙනී ගිය අතර, දෙමළ සුළුතරය ඒ හේතුවෙන් වික්ෂිප්ත භාවයට පත්කෙරුණි… එහි ප‍්‍රතිවිපාකයක් වශයෙන්, දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වූ උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා ස්වාධීනත්වය ඉල්ලා සිටීමේ තත්වයක් නිර්මාණය වුණි’’.

ආඥාපති ඒ.අයි.පී. ද සිල්වාගේ අදහස ද මීට සමාන ය. 1978 ව්‍යස්ථාව නිසා, ‘ඉන් පසුව බලයට පත්වන සෑම සිංහල ආණ්ඩුවක් සමගම වන සම්බන්ධතාවන් තුළ දෙමළ ජනතාවගේ ස්ථානය දෙවැනි තත්වයකට පත්වීමේ තත්වයක් නිර්මාණය වුණි.’

දෙවැනුව, අන්තර්-වාර්ගික ගැටුමේ හේතුකාරයක් වශයෙන් ලුතිනන් ඊ. ඇම්. චන්ද්‍රදාසගේ නිරීක්ෂණය තුළ බොහෝ විට දක්වනු ලැබන්නේ බලතල බෙදාහදා ගැනීමට දක්වන ලද අසමත් භාවයයි. ඔහු එහිදී මෙසේ කියයි: ‘‘බලතල බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් වන දුක්ගැනවිලිවලට ආමන්ත‍්‍රණය කෙරෙන ආකාරයෙන් සහ ප්‍ර​තිපත්ති සම්පාදන යාන්ත‍්‍රණයන් තුළ අදහස් උදහස්වල විසමතාවන් සඳහා යම් ඉඩහසරක් සැලසෙන ආකාරයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය සකස්ව තිබුණි නම්, තිස් අවුරුදු සිවිල් යුද්ධය වළක්වා ගත හැකිව තිබුණි.’’ ඒ මතය වක‍්‍රාකාරයෙන් අනුමත කරන ලුතිනන් කර්නල් අයි. හේරත්, ‘‘බෙදුම්වාදය වෙනුවට බලතල බෙදාහදා ගැනීමක් වෙනුවෙන් පෙනී සිටි ‘වැඩිහිටි සහ මුහුකුරා ගිය’ දෙමළ දේශපාලන නායකයන්’’ ගැන කතා කරයි.

තෙවැනුව, මානව හිමිකම් උල්ලංඝනයන් ද, ප්‍ර​චණඩත්වයේ හේතුකාරකයක් වශයෙන් බොහෝ විට දක්වනු ලැබේ. ජේ. ආර්. ජයවර්ධනගේ ‘දෙමළ ජනතාව පාලනය කිරීමේ ප්‍ර​තිපත්ති, ශ්‍රී ලංකාවේ කැරලිකාරී අරගලය තීව‍්‍ර කළ’ බව කියන ද සිල්වා, ‘1979 දී ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ සම්මත කර ගනු ලැබ, ඒ මගින් දෙමළ තරුණයන්ව අත්අඩංගුවට ගෙන මාස අටක කාලයක් දක්වා අත්අඩංගුවේ තබා ගැනීමේ හැකියාවක් නිර්මාණය කෙරුණු’ බව පෙන්වා දෙයි. සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම සහ ගැටුම්කාරී තත්වය නිරාකරණය කර ගැනීම වැළැක්වීම සඳහා වූ සිංහල අන්තවාදීන්ගේ ප්‍ර​යත්නයන් චන්ද්‍රදාස විවේචනයට ලක් කරයි. ‘‘සුළු ජාතික අයිතීන් ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඇති හැකියාවට, සිංහල ජනතාවගේ අන්තවාදී කොටස්වල බරපතල විරෝධය එල්ල විය’’

මානව හිමිකම් උල්ලංඝණයන් හෝ ඒවාට සහාය දැක්වීම් නිසා, දේශපාලන උද්ඝෝෂණවල සිට ප‍්‍රචණ්ඩත්වයට තරුණ කොටස් තල්ලු කළ බවට පවා තවත් සමහර හමුදා නිලධාරීහු තර්ක කරති. උදාහරණයක් වශයෙන් ලුතිනන් නිශාන්ත මානගේ මෙසේ ලියයි: ‘‘සියල්ලටමත් වඩා, ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඒජන්තයෝ කාලයාගේ ඇවෑමෙන් කලකෝලාහලවලට වැඩි වැඩියෙන් සම්බන්ධ විය. ඒ නිසා සිදු වුණේ, ශ්‍රී ලාංකීය රාජ්‍යය සටකපට පමණක් නොව, දෙමළ ජනතාව කෙරෙහි විවෘතවම ප‍්‍රචණ්ඩකාරී ද වන බවට අදහසක් දෙමළ ජනතාව අතරේ ජනනය කැරැුවීමයි. ඉතාමත් විශාලතම සහ විනාශකාරී කෝලාහලය වූ 1983 ජුලිය, ඒ දක්වා වූ දෙමළ-විරෝධී ප්‍ර​චණ්ඩත්වයේ උච්ච අවස්ථාව නියෝජනය කළා පමණක් නොව, බොහෝ දෙමළ ජාතිකයන්ව ශ‍්‍රී ලාංකීය රාජ්‍යයට එරෙහි සටන්කාමීන් බවට ද පරිවර්තනය කෙළේය.’’

අවසාන වශයෙන්, වෙන් කොට සලකනු ලැබීමේ ආර්ථික ප‍්‍රතිවිපාකත් ප්‍ර​චණ්ඩත්වය උසි ගැන්වීමට හේතු වුණේය. ‘‘අක‍්‍රමිකතා නිසා සහ නිලධර තන්ත‍්‍රය තුළත්, වාණිජ සහ අධ්‍යාපනික ක්ෂේත‍්‍ර තුළත් අවස්ථා නැති කම නිසා, දෙමළ තරුණයෝ කෙමෙන් සංවිධානය වීමට වූහ. 1970 අවසාන භාගය වන විට එය නිදහස් අරගල ව්‍යාපාරයක් බවට පරිවර්තනය විය’’ යනුවෙන් වික‍්‍රමරත්න සටහන් කරයි. රාජ්‍ය ව්‍යුහය තුළ පවතින ආර්ථික විෂමතා, ගැටුම්වලට වැදගත් හේතුවක් වූ බව කියන චන්ද්‍රදාස, ‘‘සමාජ, ආර්ථික සහ දේශපාලනික විෂමතා පිළිබඳව සාධාරණ ආකාරයකින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය ප්‍ර​මාණවත් නොවූ නිසා, සිංහල සහ දෙමළ කොටස් අතර වාර්ගික ආතතියක් ඇති කෙළේ’’ යැයි කියයි.

තහවුරු කෙරෙන සාක්ෂි

කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ චින්තනයේ අඛණ්ඩ ආකාරය ඉහත සඳහන් හමුදා නිලධාරීන්ගේ අදහස් තුළින් නිරූපණය කෙරේ. එහිදී, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරනු ලැබීමෙන් පසුව දැරූ අදහස් සහ යුද්ධය අවසන් වීමට පෙරාතුව දැරූ අදහස් අතර බරපතල වෙනසක් පෙන්නුම් නොකරයි. යුද්ධය අතරතුර කාලයේ ජාතික ආරක්ෂාව පිළිබඳ පැවති චින්තනය ගැන යම් අදහසක් පහත සඳහන් උද්ධෘත මගින් ගෙනහැර දැක්වෙයි.

2003 දී ලියන මේජර් ජෙනරාල් කුලතුංග, ‘ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයේ ප්‍ර​ධාන හේතුකාරකය වන්නේ ආණ්ඩුවේ සිංහල පමණයි ප්‍ර​තිපත්තිය’ බව අවධාරණය කොට තිබේ. ප්‍ර​චණ්ඩත්වය වර්ධනය වීමට, වාර්ගික කලකෝලාහල ප්‍ර​ධාන භූමිකාවක් රඟපෑ බව, මේජර් රුවන් වනිගසූරිය පෙන්වා දෙයි. ‘දෙමළ ජනතාවට එරෙහිව රට පුරා හට ගත් ප‍්‍රහාරයන් (1983) නිසා, දෙමළ තරුණයන්ව සටන් කණ්ඩායම්වලට එක් වීමට බලවත් ලෙස තල්ලු කළ’ බව ඔහු කියයි. ‘1983 දී දෙමළ ජනතාව ආරක්ෂා කිරීමට අසමත් වීම හෝ අකමැති වීම හේතුවෙන්, දෙමළ කණ්ඩායම් වෙත අලුතෙන් එක් වීමටත්, ගරිල්ලා කණ්ඩායම් මගින් දියත් කෙරුණු ප‍්‍රහාරයන් වැඩි කිරීමටත් මග පෑදූ’ බව, 2006 දී ලියූ මේජර් කුලරත්නගේ නිබන්ධනය තුළ සඳහන් කෙරේ.

ලූතිනන් කර්නල් රාජ් විජයසිරි, වඩාත් සංයුක්ත විග‍්‍රහයක් ඉදිරිපත් කරයි. දෙමළ පමණයි ප්‍ර​තිපත්තිය මගින් ‘දෙමළ ජනතාව විලෝපනය කෙරුණු’ බවත්, ‘බොහෝ රජයේ සේවකයන්ව මේ ප්‍ර​තිපත්තිය නිසා පීඩාවට පත් කෙරුණු බවත්’ ඔහු පෙන්වා දෙයි. එහිදී කරුණු දක්වන ඔහු මෙසේ ද කියයි: ‘‘කුසලතාවන්ට වඩා වාර්ගිකත්වය මත ශිෂ්‍යයන්ව විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ලදි. ඒ හේතුව නිසා, ඉහල ලකුණු ලබා ගත් බොහෝ දෙමළ තරුණයන්ට විශ්ව විද්‍යාලවලට ඇතුලූ විය නොහැකි විය. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා සටන්කාමී කණ්ඩායම් වෙත ආකර්ශණය කෙරුණි.’’ සිංහල බහුතරයේ අන්තවාදීන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බවත් විජයසිරි පෙන්වා දී තිබේ. ‘දෙමළ ප්‍ර​දේශවලට බලතල බෙදා හැරීම පිළිබඳ කාරණය මතු වූ අවස්ථාවේ සිංහල බහුතරයේ අන්තවාදීන් එය වැළැක්වූ’ අතර, ‘1956 සහ 1983 අතර කාලයේ ඇති වූ ජාතිවාදී කෝලාහල තුළින් දෙමළ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන ගිනි තබා කොල්ලකනු ලැබූ අතර දෙමළ ජනතාව ඝාතනය කෙරුණු’ බව ඔහු පෙන්වා දෙයි. දෙමළ ජනතාවට එරෙහිව දියත් වුණු එකී ප්‍ර​චණ්ඩත්වයට අමතරව, ‘සිංහල පමණයි’ පනත සහ බලය බෙදා හැරීමේ අසාර්ථකත්වය මේ හමුදා නිලධාරීන්ගේ නිබන්ධන තුළ ප්‍ර​ධාන තැනක් ගනී.

ජෙනරාල් සිරිල් රණතුංගත් මේ මතය සමග එකඟ වෙයි. ‘අනුන් පෙලන ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය නිසා බොහෝ දෙමළ තරුණයෝ ත‍්‍රස්තවාදී කණ්ඩායම් වෙත ගොදුරු වූහ. ආරක්ෂක අංශ වෙත තිබූ සහාය ඒ නිසා වියැකී ගියේ’ යැයි ඔහු කියයි. ජාතික බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න, ‘‘වෙඩි හුවමාරු මධ්‍යයේ සිටි පොලිස් නිලධාරියා’’ නැමැති සිය කෘතියෙන් පෙන්වා දෙන පරිදි, 1990 ගණන්වල බලය බෙදා හැරීමට අසමත් වීම සහ දකුණේ ජීවත් වූ දෙමළ තරුණයන්ට ආර්ථික අවස්ථා අහිමි වීම වූ කලී ‘සිංහල පමණයි’ ප්‍ර​තිපත්තියේ ප්‍ර​තිවිපාකයක් බවත්, දෙමළ ජනතාව අතරේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජනප‍්‍රියත්වයට ජාතිවාදී කෝලාහල හේතුකාරක වූ බවත්, සඳහන් කරයි. ඒ දුක්ගැනවිලිවලින් ලැබූ ජනප්‍ර​ය සහාය නොවන්නට, ප‍්‍රාථමික කැරලි කල්ලියක සිට බලවත් සන්නද්ධ හමුදාවක් බවට පරිවර්තනය වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉඩක් නොතිබූ බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි. ‘ත‍්‍රස්තවාදයත්, ඉතා කුඩා ප‍්‍රමාණයකින් යුත් ගරිල්ලා කල්ලිත්, රහස් අවි ආයුධ ඇතිව, මුහුණට මුහුණ ලා සටන් කිරීමෙන් වැළැකී හදිසි ප්‍ර​හාර දියත් කිරීමට හැකියාව ලැබීම, මහජන සහයෝගයකින් තොරව කළ හැකි දෙයක් නොවුණු’ බව ඔහු කියයි.

නිගමනය: දේශපාලනික ප්‍ර​ශ්නයකට දේශපාලනික විසඳුමක් අවශ්‍ය කෙරේ

ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේවාවන්හි විශාල නිලධාරීන් පිරිසක්, පවතින අධිපතිවාදී මතවාදයට වෙනස් මතයක් දැරූ බව, හමුදා නිලධාරීන්ගේ ඉහත සඳහන් නිබන්ධන සහ අදාළ සාක්ෂි අනුව පැහැදිළි වන්නේය. ඇත්ත වශයෙන්ම, යුද්ධයේ හේතුකාරක පිළිබඳව ඔවුන් ඉදිරිපත් කරන විග‍්‍රහය, බොහෝ දේශපාලන විද්‍යාඥයන්, ඉතිහාසඥයන් සහ ක‍්‍රියාධරයන් ජාතික දුක්ගැනවිලි මත පදනම්ව ඉදිරිපත් කොට ඇති විග‍්‍රහයන්ට සෑහෙන සාම්‍යත්වයක් දරයි.

එයින් පෙනී යන්නේ, පවතින අධිපති මතවාදය බොහෝ දෙනා විශ්වාස කරන තරම් හමුදාව තුළ ප්‍ර​චලිත මතවාදයක් නොවන බවයි. එය, අතීතය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොවන බව කියා පෑමටත් පැහැදිළි සාක්ෂි තිබේ. ඒ කාරණය තේරුම් ගැනීම වැදගත් වන්නේය. මන්ද යත්, අතීතය පිළිබඳ අපේ විග‍්‍රහය, අනාගතය පිළිබඳ අපේ උපාය මාර්ග සඳහා වැදගත් වන බැවිනි. ප‍්‍රචණ්ඩත්වයේ හේතුකාරකයන් සත්‍ය වශයෙන්ම ගත් විට දේශපාලනික වන්නේ නම්- හමුදාවේ ද බොහෝ දෙනා සිතන පරිදි එය එසේ වන්නේ නම්- එම ප‍්‍රචණ්ඩත්වය යළි ඇති වීම වැළැක්වීමටත්, දීර්ඝ කාලීන ජාතික ආරක්ෂාවටත්, මූලික වශයෙන් දේශපාලනික ප්‍ර​තිචාරයක් අවශ්‍ය කරන්නේය. වෙනත් වචනවලින් කිවහොත්, දේශපාලනික දුක්ගැනවිලිවලට ආමන්ත‍්‍රණය කිරීම- විශේෂයෙන් සමාන අයිතිවාසිකම් සහ බලතල බෙදාහදා ගැනීම පිළිබඳ ප්‍ර​ශ්නයට ආමන්ත‍්‍රණය කිරීම- ජාතික ආරක්ෂාව සඳහා නැතිවම බැරි කාරණයක් වනු ඇති බවයි.

*2017 නොවැම්බර් 3 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු The Military Perspective On Constitutional Reform & Human Rights නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.