13 December, 2024

Blog

ශ‍්‍රී ලංකාවේ සිංහල බුද්ධාගම

ෂාර්මිනී සේරසිංහ

ෂාර්මිනී සේරසිංහ

‘‘ප‍්‍රජා පීඩකයා අසාමාන්‍ය ආගමික භක්තියක් ආරෝපණය කරගත යුතු වන්නේය. දෙවියන්ට භය පක්ෂපාත බැතිමතෙකු වශයෙන් සැළකෙන පාලකයෙකුගෙන් එල්ල වන අනීතික සැළකිලි කෙරෙහි යටත් වැසියන් සැක පහළ කරගන්නේ අඩුවෙනි. අනිත් අතට, දෙවියන් සිටින්නේ ද එම පාලකයාගේ පැත්තේ යැයි විශ්වාස කරන විට, ඔහුට එරෙහිව මිනිසුන් පහසුවෙන් නැගී සිටින්නේ නැත.’’ = ඇරිස්ටෝටල්

බුදුන් වහන්සේ අද ජීවමානව සිටියේ නම් උන්වහන්සේ එක දෙයක් කරනු ඇත: ශ‍්‍රී ලංකාවේ සිංහල=බුද්ධාගම තහනම් කිරීම.

බුදු දහමේ දේශනා කෙරෙන බෞද්ධ දර්ශනය සහ එම දහමේ කඩතුරාව යටතේ මෙරටේ බහුතරයක් අනුගමනය කරන ධර්මය අතර ඇති බරපතල වෙනස්කම් පැහැදිළි කිරීමට, ශ‍්‍රී ලාංකිකයෙකු වශයෙනුත්, ඇදහීමෙන් බෞද්ධයෙකුත් වන මට, ඊට වෙනස් කෙනෙකුට නැති වගකීමක් තිබේ. මෙය මා කරන්නේ මගේ ආගමිකත්වය හුවාදැක්වීම සඳහා නොව, බුද්ධාගමේ නාමයෙන් අද මෙරට සිදුවෙමින් පවතින දේවල් ගැන ව්‍යාකූලත්වයට පත්ව සිටිය හැකි බහු=ආගමික ශ‍්‍රී ලාංකිකයන්ටත්, සෙස්සන්ටත් කරුණු පැහැදිළි කිරීම සඳහා ය.

බෞද්ධයන් යැයි නම් කරගන්නා ලංකාවේ බෞද්ධයන්ගෙන් බහුතරය එසේ වන්නේ උපතින් බෞද්ධයන් වීම නිසා බව මුලින්ම කිව යුතුය. එයින් කියැවෙන්නේ, බුදු දහම ගැන අවබෝධයකින් සහ විශ්වාසයකින් නොව, බෞද්ධ පවුලක උපන් නිසාම මේ අය බෞද්ධයන් වී ඇති බවයි.

බුද්ධාගම, එහි මූල ස්වභාවයෙන් ගත් කල, ඉතා ගැඹුරු ය. එය, සාමාන්‍ය මනසකට අවබෝධ කර ගැනීමට අසීරු වන තරමේ සංකීර්ණ දර්ශනයකි. එබැවින්, එම ඉගැන්වීම් බොහෝ සෙයින් වරදවා වටහාගැනේ. ‘ජන්ම බෞද්ධයන්’ විසින් ඒවා වැරදි අර්ථකථනයන්ට ලක්කෙරේ. ඒ අනුව, තමන් බෞද්ධයන් වශයෙන් නම් කරගන්නා සහ ආගමක් වශයෙන් බුද්ධාගම අදහන්නන්ගෙන් බොහොමයක් එසේ කරන්නේ, තම තමන්ගේ දැනුම් තේරුම් අනුවය. බුදුන් වහන්සේගේ දර්ශනයට කිසි ලෙසකින් සම්බන්ධයක් හෝ නෑකමක් නැති සංකේතවාදයක් සහ පුදපූජා අභිචාරයක මායාමය මිශ‍්‍රණයක් බවට අද එය පිරිහී ඇත්තේ එබැවිනි.

උදාහරණයක් වශයෙන්, වෙන කිසි දවසකට තබා, පෝය දවසටවත් පන්සල් ගොස්, අල්ලපු වත්තෙන් හොරකම් කරගත් මල් අහුරක්, උන්වහන්සේගේ යැයි සිතින් ගත් මැටි හෝ ගල් පිලිමයක් අභියස තබා පූජා කරන්නැ යි බුදුන් වහන්සේ කවදාවත් දේශනා කොට නැත. එසේ කිරීම පින්කමකැ යි දේශනා කෙළේ ද නැත.

ගසක් දිරාපත්ව මැරී යාමටත් සැලසෙන පරිද්දෙන් බෝ ගසක් දෝවනය කරන්නැ යි බුදුන් වහන්සේ දේශනා කොට නැත. එසේ කිරීමෙන් පින්සිදු වේ යැයි කියා හෝ, රැුකියා සහ ධනය අහිමි වීම සහ ලෙඩරෝගාදියෙන් පිරුණු නරක කලදසාවක් දුරු වෙතැ යි කියා හෝ උන්වහන්සේ දේශනා කොට නැත.
එසේම, මළගිය අයවළුන් කෙලින්ම දෙව්ලොව යැවිය හැකි වන ආකාරයෙන් ඔවුන් වෙත පින් අනුමෝදන් කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා නිවසට වැඩමවා දන් දිය යුතු බවක් ද උන්වහන්සේ දේශනා කොට නැත. මිනීමරුවන්, ස්ත‍්‍රී ¥ෂකයන්, ළමා අපචාරකයන් වැන්නන්ට ද එමගින් දෙව්ලොව ගිය හැකි වීමක් හෝ නිවනට ළඟා විය හැකි වීමක් කෙසේ නම් උන්වහන්සේ වදාරන්න ද?

මෙයින් පෙන්නුම් කරන්නේ, බොහෝ ශ‍්‍රී ලාංකිකයන් අනුගමනය කරන බුද්ධාගම වනාහී, නූගත් සහ මෝඩ බහුතරයකගේ ‘අවශ්‍යතාවක්’ පිරිමසන ධර්මයක් වී ඇති බවයි. වෙනත් ආගම් තුළ මෙන්, යම් ආපදාවක දී සරණ පතා යාච්ඤා කළ හැකි දෙවි කෙනෙකු බුද්ධාගමේ නැති වීම එවැනි තත්ත්වයකට තුඩුදෙයි. අර්බුදයකට පත්වූ විට යම් අධිතාත්වික බලවේගයක සරණ පැතීම සාමාන්‍ය මිනිස් ස්වභාවය යි. ඉතිං, ශ‍්‍රී ලාංකික ‘බෞද්ධයා’ පන්සලට දුවයි. පිළිම ඉදිරියේ මල් පූජා කරයි. වතුර ගැලූම් ගණන් වක්කොට බෝධිය නහවයි. හින්දු කෝවිලට ගොස් පොල් ගසයි. සමහර විට, ක‍්‍රිස්තියානි පල්ලියට පවා ගොස්, යේසුස් වහන්සේ හෝ කන්‍යාමරියතුමිය හෝ වෙනත් ශාන්තුවරයෙකු ඉදිරියේ යාච්ඤා කරයි.

ඉහත සඳහන් කළ සහ නොකළ තවත් බොහෝ වතාවත් කෙරෙහි කෙනෙකු යොමුවන්නේ, යම් වේදනාවකින් සුවපත් වෙතැ යි හෝ තව තවත් භෞතික සම්පත් අත්කර ගැනීමට තරම් පින් දහම් ඉන් රැුස්කෙරෙතැ යි හෝ යන විශ්වාසයෙනි. මේ අනුව, ශ‍්‍රී ලංකාවේ ‘බුද්ධාගම’ තුළ සැබෑ දහමේ පැනෙන කර්මවාදයට ඉඩක් නැති බව පෙනේ. කෙසේ වෙතත්, ලංකාවේ ගිහි=පැවිදි බෞද්ධයන් අතර නිවැරදි ධර්මය පිළිපදින්නන් නැති බවක් මෙයින් අදහස් නොවේ. එහෙත් අවාසනාවකට, බහුතරයක් ‘බෞද්ධයන්’, දේශපාලඥයන් ද ඇතුළුව, අර කී අනිත් බුද්ධාගමේ අනුගාමිකයන් ය.

වර්තමාන ශ‍්‍රී ලංකාවට මේ සා හානි පමුණුවන පිරිහුනු ‘සිංහල බුද්ධාගම’ ව්‍යාප්ත කෙළේ, කිසි චකිතයකින් තොරව ආගම පාවිච්චි කළ, එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරණායක බව, ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දෙස් දෙයි. බහුතරයක් ‘බෞද්ධයන්ගෙන්’ සමන්විත සිංහල ඡුන්දායකයාගේ දුර්වලතා සහ නැමියාවන් වටහා ගත් ඔහු, උපතින් මෙන්ම මරණයේ දී පවා එංගලන්ත සභාවේ කිතුණුවෙකු වුව ද, දේශපාලනික වාසි තකා ‘බෞද්ධයෙකු’ බවට පත්ව, ‘සිංහල බෞද්ධ’ ධජය යටතේ පොදුජන උන්මාදයක් ජනිත කෙළේය. මේ ජාතිය අද මුහුණදෙන සකල ව්‍යාධියේ හේතුකාරකය එය යි. ‘කර්මය’ පල දීමෙන් දෝ, බණ්ඩාරනායකව වෙඩි තබා ඝාතනය කෙළේ ද වෙන කිසිවෙකු නොව, චීවරධාරී ‘සිංහල=බෞද්ධයෙකු’ මය.

එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක හඳුන්වා දුන් මේ ‘සිංහල=බෞද්ධ’ යක්ෂ සංකල්පය, ඔහුගෙන් පසු ශ‍්‍රී ලංකාවේ බිහි වූ දේශපාලඥයන්ට, විශේෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයන්ට, නැතිවම බැරි ඡුන්ද ගුන්ඩුවක් විය. ධනපති පක්ෂයක් සේ වැඩියෙන් සැළකෙන එක්සත් ජාතික පක්ෂය ‘සිංහල බුද්ධාගම’ පාවිච්චි කෙළේ යාප්පුවෙනි. ධර්මය සම්බන්ධයෙන් සැබෑ බෞද්ධයෙකු වශයෙන් පෙනී සිටි ජේ. ආර්. ජයවර්ධන ‘සිංහල බුද්ධාගමට’ කිසි විටෙක විවෘත අනුබලයක් දුන්නේ නැත.

කෙසේ වෙතත්, ඔහුගේ අනුප‍්‍රාප්තික රණසිංහ පේ‍්‍රමදාස, මේ ‘සිංහල බුද්ධාගම’ අපූරු කලාවක් කරගත්තේය. ‘සිංහල බුද්ධාගමෙන්’ සැපයෙන දෙයින් පමණක් සෑහීමට පත් නොවු ඔහු, හින්දු ආගමත් බදාගත්තේය. ලංකාවේ සහ ඉන්දියාවේ හින්දු දෙවි දේවතාවුන් ඉදිරියේ තමන්ගේ වරදාන ඉල්ලා සිටීමේ ඒ ප‍්‍රවණතාව, ඔහුගෙන් පසු බිහිවූ අනිත් දේශපාලඥයන්ටත් බෝ විය.

ඉතිං, අද අප ජීවත් වන්නේ, ඉහත යුගයක සිටි අ¥රදර්ශී සහ ආත්මාර්ථකාමී දේශපාලඥයන් බිහි කළ, සංගෙකට නැති ‘සිංහල බෞද්ධ’ ශ‍්‍රී ලංකාවක ය. මිනීමරුවන්, ස්ත‍්‍රී ¥ෂකයන්, ළමා අපචාරකයන් සහ තක්කඩි මැරයන්ගේ පිරිහුනු ජාතියක් බවට අද අපි පත්ව සිටිමු. ඊටම සරිලන, ‘සිංහල බෞද්ධයන්’ බහුතරයකින් සහ ‘සිංහල බෞද්ධ’ පාලකයෙකුගෙන් සමන්විත ආණ්ඩුවකැ යි කියන මුග්ධත්වයක් අපට ලැබී තිබේ. ‘අන්තර්=ආගමික සමාදානය සහ ඉවසීම වැඞීමෙන් සෑම ප‍්‍රජාවකම ආගමික නිදහස සහතික කෙරෙන අතරේ බුද්ධාගම ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට තමන් බැඳී සිටිති’ යි එම නායකයා කියයි.

ඔහු අදහස් කෙළේ, බුද්ධාගම නොව, ‘සිංහල බුද්ධාගම’ ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම යැයි මම සිතමි.

බුදුන් වහන්සේගේ පැවිදි ශ‍්‍රාවකයන් දරා සිටි පූජණීය සිවුර අද, අසහනය, කෲරත්වය සහ සෙසු ආගම් අවඥාවට ලක්කෙරෙන ‘සිංහල බෞද්ධ’ ආධානග‍්‍රාහීන්ගේ නිල ඇඳුමක තත්ත්වයට ඇතැමුන් විසින් පත්කොට තිබේ: එය, සැබෑ බුදු දහමේ සපුරා ප‍්‍රතිවිරුද්ධය යි.

බුද්ධ ශාසනයේ කීර්තිමත් ගුරු පියෙකු වූ, ලෝ ප‍්‍රකට අති පූජ්‍ය පියදස්සී මහ නාහිමියන්ගේ ගිහි ශිෂ්‍යාවක වීමේ භාග්‍යය මට තිබුණි. එතුමන් අපේ පවුලේ සමීප මිතුරෙකු වීම නිසා උන්වහන්සේ සමග වන සහෘද හැඳිනීමක් ඇති කරගැනීමට අපට පිළිවන් විය. තමා සමග එකම මේසයේ වාඩි වී කෑම ගැනීමට අපව පෙළැඹවූ එතුමන්ගෙන්, එදා කුහුල් නව යුවතියක සේ මා ඇසූ ප‍්‍රශ්නවලට සාවධානව සවන්දුන් එතුමෝ සුපැහැදිළිව පිළිතුරු දුන්හ. අද අවශ්‍ය කරන්නේ එවැනි ගුරුවරුන් සමග පවත්වන අන්තර් සම්බන්ධයකි. 1998 එතුමන්ගේ අපවත් වීම, එදා මට පෙනුණු හැටියට, වෙන කිසිවෙකුට පිරිමැසිය නොහැකි අඩුවක් විය. එහෙත් අද මට ඊට වැඩි අවබෝධයක් තිබේ. අද පවා එතුමන්ගේ ඥාන ප‍්‍රභාව සහිත, වන්දනීයත්වයට සුදුසු යතිවරු සිටිති. අනාගත බෞද්ධ ප‍්‍රජාව නිවැරදි මගේ මෙහෙයැවිය හැක්කේ එවැනි භික්ෂූන්ට ය. නොකිළිටි බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීම වර්තමාන ජනාධිපතිවරයාගේ අව්‍යාජ අභිප‍්‍රාය නම් ඔහු කළ යුතුව ඇත්තේ, කහ සිවුරු පොරවාගත් සිංහල බෞද්ධ ආධානග‍්‍රාහීන්ව විසුරුවා හැර, එක්කෝ ඔවුන්ව පුනරුත්ථාපනය කිරීමයි. නැත්නම්, අපේ රට හෝ ආගම ¥ෂණය කිරීමට ඉඩ නොදී සදහටම ඔවුන්ව විලංගුවේ ලෑමයි.

තව ද, අපේ අනාගත තරුණ පරපුරට ධර්මය කියා දිය හැකි බුද්ධිමත් සහ උගත් භික්ෂූන්ට ධර්මයේ හැසිරිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ද ජනාධිපතිවරයාගේ වගකීමකි.

එසේම, ‘අන්තර්=ආගමික සමාදානය සහ ඉවසීම වැඞීමෙන් සෑම ප‍්‍රජාවකම ආගමික නිදහස සහතික කෙරෙන අතරේ බුද්ධාගම ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට තමන් බැඳී සිටිති’ යි ජනාධිපතිවරයා සැබවින්ම විශ්වාස කරන්නේ නම්, ‘තුලනාත්මක ආගම’ නැමැති විෂය සෑම පාසලකටම හඳුන්වාදීම ගැන සළකා බැලීමටත් පිළිවන. එය අපේ දරුවන්ට ළමා කාලයේ දීම, ශ‍්‍රී ලංකාවේ අදහන වෙනත් ආගම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වන්නේය. එවැනි අධ්‍යාපනයක් ලබන දරුවා, අනිකාව ඉවසීමටත්, අනිකාගේ ආගම තමාට තර්ජනයක් වශයෙන් නොගැනීමටත්, පුරුදු වනු ඇත.

එවැන්නක්, සෑම වාර්ගික කණ්ඩායමකට සහ ආගමකටම සහජීවනය කළ හැකි සාමකාමී, නොබෙදුණු පරමාදර්ශී ශ‍්‍රී ලංකාවකට මං පාදනු නිසැකයි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, එවැනි අභියෝගයක් භාර ගැනීමට තරම් අපේ දේශපාලඥයන් පරාර්ථකාමී ද යන්නයි.

*2013 පෙබරවාරි 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sinhalabuddhism In Sri Lanka ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Latest comments

  • 0
    0

    mewa tamai hamuduruwo apita kiyala denne one gahaganne nowei

  • 0
    0

    You are a courageous writer. Keep it up..!

  • 0
    0

    [Edited out]

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.