8 November, 2024

Blog

නව ලිබරල්වාදය, දේශපාලනය සහ සමාජය අමානුෂික වීම

සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

පසුගිය දශක ගණනාව තුළ මුළු ලෝකයම පාහේ නව ලිබරල්වාදයේ බලපෑමට යටත්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වල ප‍්‍රධාන පෙළේ විධායක නිලධාරීන්ගෙන් සමන්විත නව ලිබරල්වාදයේ දෘෂ්ටිවාදීන් කියන පරිදි, ප‍්‍රධාන තීරණ ගැනීම වෙළඳපොළට භාර කළ යුතුව ඇත. ඒ, භාණ්ඩ සහ සේවාවන් නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම සහ පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් බොහෝ මානව ක‍්‍රියාකාරීත්වයන්ට අදාළ තීරණ ගැනීම ද සම්බන්ධයෙනි. ඒ අනුව, ආර්ථික සහ සමාජ ක්ෂේත‍්‍රවල රාජ්‍යයේ මැදිහත් වීම ස්වේච්ඡුාවෙන්ම අවම කළ යුතු බව කියැවේ.

මෙය, මානව ක‍්‍රියාකාරකම් සහ පරිසරය වැනි අංශ, වෙළඳපොළේ හිතුමතයට භාර නොකළ යුතු යැයි කියන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශනයෙන් වෙනස් වෙයි. නව ලිබරල්වාදී යුගය තුළ වෙළඳ පොළේ නරක බලපෑම් අවම කිරීමට සමත්, ශක්තිමත් සාමූහික ක‍්‍රියාකාරීත්වයක් නැති වීමේ තත්වය තුළ, ඇතැම් නිසග ගුණාංග සහිත බොහෝ මානව ප‍්‍රයත්නයන්, බොහෝ විට, භෞතික ලාභාපේක්ෂා පෙරදැරි කරගත් උපයෝගී ක‍්‍රියාකාරකම් බවට පත්ව ඇත. විද්‍යාත්මක පර්යේෂණ, දැනුම නිෂ්පාදනය, කලාව, ක‍්‍රීඩා, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමාජ සේවා, සන්නිවේදනය, දේශපාලනය සහ උපදේශනය වැනි අංශත් ඊට යටත් ය. එසේ හෙයින්, පාසල් පිහිටුවීම හෝ පරිපාලනය කිරිම කිසි විටෙක තම අරමුණ කර නොගත් ‘සමාගම් පනත’ යටතේ ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම පුදුමයක් නොවේ. ලෙඩුන්ට, වැඩිහිටියන්ට පිරිත් සජ්ජායනා කරමින් ගම් නියම්ගම් පුරා වැඩ වදාරන බෞද්ධ භික්ෂූන් තවදුරටත් නැත. ඔවුනුත් දැන් යන්නේ එන්නේ අධි සුඛෝපභෝගී යානවාහනවලිනි. ඒවා ද, බොහෝ විට, මහජන වියදමෙනි.

ජනතාවට සේවය කිරීමට ඡුන්දයෙන් තෝරා පත්කර ගන්නා දේශපාලඥයන්, තමන් සහ තම සහචර පිරිවර වෙනුවෙන් මහජන ධනය අපයෝජනය කිරීම ගැන කිසි හිරිකිතකින් පෙලෙන්නේ නැත. සිසුන්ගෙන් මුදල් අයකර ගැනීම ගැන ගුරුවරුන්ට ගානක් නැත. එක දවසක් තුළ ලෙඩුන් සිය ගණන් බලමින් ඉස්පිරිතාල ගානේ දුවන වෛද්‍යවරුන්ට හිතේ සහනයක් නැත. පුණ්‍යාධාර සංවිධානවල ප‍්‍රධාන විධායක නිලධාරීන්, සංවර්ධිත රටවල සමාජ සවිඥානක පුරවැසියන්ගෙන් එකතු කරගන්නා සුළු සම්මාදම්වලින් මිළදී ගත් නවීන පන්නයේ විලාසිතා මෝටර් රථවල යති එති.

ඔබේ පුද්ගලික ප‍්‍රශ්නවලට අනුශාසනා සපයන වෘත්තීය උපදේශකයෝ සිටිති. හැබැයි, ඒ යම් මුදලක් අය කර ගනිමිනි. ධනවත් මැද පෙරදිග ළමුන් බලා ගැනීමට, තමන්ගේ ළමුන් මහළු දෙමාපියන් ළඟ තියා අපේ මව්වරු විදේශගත වෙති. නීතිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණු අය, යුක්තිය පසිඳලීමට වඩා, එම ක‍්‍රමය තමන්ගේ වාසියට යොදා ගනිති. අතීතයේ දී විද්වතුන් සේ වර්ග කෙරුණු සරසවි ඇදුරන්, ශිෂ්‍යයන් තමන් ළඟට එන තෙක් දැන් බලා සිටින්නේ නැත. තමන් උගන්වන විශ්ව විද්‍යාලයෙන්ම පවත්වන බාහිර උපාධි සඳහා පෙනී සිටින අපේක්ෂකයන් සඳහා වන යෝධ ටියුෂන් පංතිවල ඉගැන්වීමට පිට පළාත්වලට යති. අවසාන වශයෙන්, බොහෝ ලේඛකයෝ පොත් ලියති. ඒ, ව්‍යාපාරයක් වශයෙන් මිස, පාඨක ප‍්‍රජාව දැනුවත් කිරීමට නොවේ.

ඉහත සඳහන් කෙළේ, පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ සහ ලෝකයේ වෙනත් තැන්වල සිදුව ඇති විපර්යාසයට උදාහරණ කිහිපයකි. ඇමරිකාවේ සහ වෙනත් තැන්වල බලූ පොරයට මැදි වී සිටින තරුණ පරපුරේ චරිත ස්වභාවය කෙරෙහි මේ කියන නව ලිබරල්වාදය බලපා ඇති තරම, ‘චරිතයේ මළ බැඳීම’ නැමැති සිය කෘතියෙන් රිචඞ් සෙනෙට් විස්තර කරයි. ඉහත සඳහන් ක‍්‍රියාකාරකම්වල ඉස්සර පැවති නිසග මානව ගුණාංග වියැකී ඇති සැටි එහි පැහැදිළි කෙරේ. මේ තත්වයට ප‍්‍රධාන හේතුව වන්නේ, කෙනෙකුගේ අවශ්‍යතා සතපා ගැනීමේ හැකියාව, බොහෝ දුරට කෙනෙකුට ඇති මිළ දී ගැනීමේ ශක්තිය මත පදනම් වීමයි. ධනය එක්රැුස් කර ගත් ඇත්තෝ, හොඳට කති බොති, ප‍්‍රීති වෙති. ආහාර, ගමනාගමන සහ සෞඛ්‍ය වැනි දෛනික අවශ්‍යතා සඳහා සාමාන්‍ය මිනිසා මුහුණදෙන ගැටළු ඔවුන්ට නොපෙනෙන සෙයකි.

ව්‍යාපාරික විධායක නිලධාරියෙක්, ඇඟලූම් කම්හලක සේවකයෙකුගේ මාසයක පඩියක්, කොළඹ ආපන ශාලාවක එක ? කෑම වේලකට වියදම් කරයි. විශේෂඥ වෛද්‍යවරයෙක් එක ලෙඩෙක් බැලීම සඳහා පමණක්, නුපුහුණු කම්කරුවෙකුගේ දින දෙකක පඩියකට සමාන මුදලක් අය කරයි. දවස ගැටගසා ගැනීමට නොහැකි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙසෙන රටක දේශපාලඥයෙක්, රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් වාහනයක් හිමි කර ගනී. රටට විදේශ විනිමය උපයා දෙන වතු සේවකයන් වැන්නෝ අපා දුක් විඳිති. අනක්ගුණක් නැති පෞද්ගලික බස්රථ රියැදුරෝ ලාභය උපරිම කර ගනු වස් නීතිය අතට ගෙන මගීන්ගේ මෙන්ම පදිකයන්ගේ ද ජීවිත අනතුරේ හෙලති. සීග‍්‍රයෙන් වර්ධනය වන මත්පැන් ආර්ථිකය, අපරාධවලට අත වනයි: එයින් රජය ලබන ආදායමට වැඩි වියදමක්, ඒවා නිසා ඇති වන සමාජ ප‍්‍රශ්න සඳහා වැය කෙරේ. අල්ලක් තරම් ඉඩම් කෑල්ලක ඔප්පුවක් සඳහා නඩු කියන දිළිඳු ගැමියන්ව, දීර්ඝ සහ වියදම්කාරී නඩු පරිපාටිවලට පටලවා ගැනීමේ වරදකාරී හෘද සාක්ෂියේ බරක් ප‍්‍රාදේශීය නීතිඥයන්ට නැත. තමන්ගේ පැවැත්ම රැුකෙන ආකාරයෙන් දිළිඳු රටවලට දීර්ඝ කාලීන ණය සපයන දියුණු රටවල් ඒ ණය නිසා එකී දිළිඳු රටවල් සදාකාලික පරායත්ත භාවයේ පැවතීම ගැන කලබල නොවෙති.

ඉහත සඳහන් කාරණා හේතුවෙන් අනාරක්ෂාව සහ සමාජ අසාධාරණය පිළිබඳ හැඟීමක් සාමාන්‍ය ජනතාව තුළ ඇතිවෙයි. මනුස්ස කම සමාජයෙන් තුරන්ව ඇතැ යි ඔවුන්ට සිතේ. ප‍්‍රභූ පංතියේ සාමාජිකයන් තවදුරටත් අනුන් පිළිබඳ හිතනමතන කෙනෙකු වශයෙන් නොපෙනේ. තවත් විදිහකින් කිවහොත්, සාමාන්‍ය ජනතාව කෙරෙහි යම් කිසි බලයක් අභ්‍යාස කිරීමේ සදාචාරමය අයිතිය තවදුරටත් ඔවුන්ට හිමි නොවේ. එහෙත්, සාමාන්‍ය ජනතාවට වෙනත් තේරීමක් නැත. බොහෝ සේවාවන් සහ පහසුකම් සඳහා ඔවුන්ට යැපීමට සිදුවන්නේම එකී ප‍්‍රභූ පංතිය මත යි. එම ක‍්‍රියාවලිය තුළ සාමාන්‍ය ජනයා මත පැටවෙන්නේ අතිවිශාල පීඩනයකි. සමහරු, මෘග අමානුෂික ආකාරයකින් ඊට ප‍්‍රතිචාර දක්වති. මුදල් සඳහා හෝ පළිගැනීම සඳහා අනුන්ව මරමින් අපරාධකරුවන් බවට පත්වෙති. තවත් අය, වාචාල ජන නායකයන්ගේ පැත්තට හෝ අළුත් ආගමික ප‍්‍රවණතා පැත්තට බර වෙති. තවත් අය, තමාගේම අභ්‍යන්තරයට හැරෙමින්, එක්කෝ පිස්සන් වෙති. නැත්නම්, සියදිවි නසා ගනිති.

මුදල් පස්සේ පන්නන පිස්සුව සහ සදාචාරමය පරිහානිය පසුපස්සේ ඇත්තේ, සමාජය අරා පැතිර ඇති ආර්ථිකමය සාපරාධීත්වයයි. බොහෝ අපරාධකරුවන් පාවිච්චි කරන්නේ, ලෝකයේ දියුණුම අවි ආයුධයි. ජීවත් වන්නේ, විශාල මන්දිරවලයි. යන්නේ එන්නේ, අපේ දේශපාලඥයන් මෙන්ම, සුඛෝපභෝගී යානවාහනවලයි. අනිත් අතට, අල්ලක මාසික වැටුපකින් දිවි ගැටගසා ගන්නා කෙනාට යන එන මගක් නැත. අන්තිම දිළින්දන් පැත්තකින් තිබ්බත්, මධ්‍යම පංතියේ පවුලක පවා ඉතිරි කරගත් සමස්ත සේසත, බරපතල එක ලෙඩ දුකක් නිසා එක පැහැර වාෂ්ප වන්නට පිළිවන.

මූලික අවශ්‍යතා සඳහා වන මුදල් පීඩනය මෙන්ම, නූතන පරිභෝජනවාදය කෙරෙහි වන ලෝලය ද නිසා, සුළු පරිමාණයේ දූෂණ, රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ දෛනික ජීවන මාදිලිය බවට පත්ව තිබේ. රූපවාහිනියේ ප‍්‍රචාරය කෙරෙන සෑම දෙයක්ම පරිභෝජනය කිරීමට ඇති හැකියාව, ‘යහපත් ජීවිතයක්’ වශයෙන් මාධ්‍ය මගින් හුවාදක්වනු ලැබේ. කෙසේ වෙතත්, එසේ පරිභෝජනය කිරීම සඳහා සල්ලි මල්ලක් තිබුණත් ප‍්‍රමාණවත් නොවේ.

සමාජමය වශයෙන් කළමනාකරණය නොකෙරෙන වෙළඳපොලක් තුළ, ව්‍යපාරික ප‍්‍රභූ පැලැන්තිය සහ තවත් ස්වල්ප දෙනෙකු අතේ, මේ තත්වය තුළ, ධනය ඒකරාශී කර ගැනීමේ අවස්ථාව උදා වී ඇත. අපේ රටේ පොහොසත්ම ව්‍යාපාරිකයන්, දීර්ඝ කාලීන කාර්මික සංවර්ධනය සඳහා දායක වන්නන් නොවේ. ඔවුන්ගෙන් බොහෝ දෙනා සිය ආයෝජන යොදවන්නේ කාර්මික නිෂ්පාදන සඳහා නොව, ආනයනික භාණ්ඩ හා සේවා මිළදී ගන්නා සහ විකුණන ව්‍යාපාර සඳහා ය. තවත් අය සිය ව්‍යාපාරික ඉලක්කය බවට පත්කර ගන්නේ, සමාජයේ ඉහළ ආදායම් ලබන ජන කොටස් ය. නිවාස අංශය ඊට පැහැදිළි උදාහරණයකි. පහළ පංතියේ සමාජ කොටස් සඳහා පෞද්ගලික ව්‍යාපාරික අංශයෙන් කෙරෙන නිවාස ව්‍යාපෘති නැති තරම් ය. සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශවල තත්වයත් එයමයි. ඉහළ ව්‍යාපාරික ලෝකයේ සමාජ වගකීම පිළිබඳ තත්වය එයින් පෙනේ.

ආර්ථිකය විවෘත කිරීමෙන් පසු දශක ගණනාවක්ම ගතව ඇතත්, රටේ නිෂ්පාදන අංශය, ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 ක් වැනි ඉතා කුඩා ප‍්‍රතිශතයක් පමණක් නියෝජනය වීම මෙහි දී කැපී පෙනේ. රටේ විවිධ පළාත්වල කර්මාන්ත ස්ථාපිත කෙළේ නම්, දැන් තරමට කොළඹ තුළ ධනය ඒකරාශී නොවන්ට තිබුණි. ධනය එසේ කොළඹට ඒකරාශී වන විට, මිළ අධික භාණ්ඩ සහ සේවා සඳහා ඉල්ලූම් ඇති වන්නේ ද කොළඹිනි. මේ නිසා, ආර්ථික අවස්ථා සහ පරිභෝජන අවස්ථා සොයමින් තව තවත් සෙනග කොළඹට එති. මේ වන විට, රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න ප‍්‍රමාණයක් බටහිර පළාතේ ඒකරාශී වී සිටීම එහි ප‍්‍රතිඵලයයි. ඒ හේතුවෙන් පරිසර විනාශය පමණක් නොව, නාගරික පරිසරයක අවශ්‍යයෙන්ම තිබිය යුතු විවෘත අවකාශමය ගුණයත් වියැකී යයි.

සමස්තයක් වශයෙන් ගත් විට, රටේ ප‍්‍රභූ පැලැන්තිය සාමාන්‍ය ජනතාවගෙන් වියෝ වී ඇති බවත්, ඒ හේතුවෙන් ජනතාව මත අභ්‍යාස කළ හැකි සදාචාරමය අයිතිය එම ප‍්‍රභූ පැලැන්තියෙන් ගිලිහී ගොස් ඇති බවත් පෙනේ. එම පැලැන්තිය, තමන්ගේ වාසියට පමණක් වැඩ කරන, සෙස්සන් ගැන නොතකන සමාජ කොටසක් වශයෙන් එවිට චිත‍්‍රණය වෙයි. බලය සහ සම්පත් ඇති පංතිය, ඇති වී තිබෙන සමාජ පරිවර්තනය තුළ ‘කල දුටු තැන වළ ඉහගන්නා’, සමාජමය සහ සදාචාරමය වගකීමකින් කටයුතු නොකරන සමාජ කොටසක් බව සමාජයට වැටහෙයි.

සම්මත අගැයීම් පදනම් දෙදරා ගිය වර්තමාන සමාජ-ආර්ථික ක‍්‍රමය අරා වැඩ වසන්නේ එම පංතියයි. එවැනි තත්වයක් තුළ හතර වටින් කලඑලි බසින්නේ, හිංසනය, නොඉවසීම, සාපරාධීත්වය, උන්මත්තක භාවය, ස්වයං-විනාශය, ධන තණ්හාව සහ රෝග පීඩා වැනි දේවල් පමණි. රටේ ධනය සහ සම්පත් බෙදා හැරීම කළමණාකරණය කළ හැකිව තිබු රාජ්‍යය, දුර නොදකින අවස්ථාවාදී දේශපාලඥයන් සහ ස්වාර්ථය පමණක් පෙරට ගත් ව්‍යාපාරික පංතියේ අවශ්‍යතා නිසා ද, වෙළඳපොළ සහ පෞද්ගලික අංශය ගැන අසීමිත විශ්වාසයක් තබා ගැනීම නිසා ද, අකර්මණ්‍ය වී තිබේ. එය, සංවර්ධන කි‍්‍රයාවලිය සහ ධනයේ ප‍්‍රතිව්‍යාප්තිය ගැන මනා සැලකිල්ලෙන් සිටි රාජ්‍යයන් වූ අග්නිදිග ආසියාතික බොහෝ රටවල ඇති නොවූ තත්වයකි.

*2013 දෙසැම්බර් 17 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Neo-Liberalism, Politics and Dehumanization of Society නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Latest comments

  • 0
    0

    Good analytical article but nothing to do with Liberalism or neo Liberalism. Neo Liberalism s a concept coined by left political theorists or neo marxists.

    if some one wants to know what neo liberalism is he should first understand the two main trends of liberalism , those namely classical liberalism and welfare oriented liberalism. according to classical liberalsm , the state should not interfere with economic activity of individ0uals but a school evolved later that the state has role in welfare. However it was pointed out by Von H-ayek that socialism is not democratic and state monopoly would lead to corruption , nepotism and beurocratic advantages.

    By 1970’s it was felt thta state is inefficient and corrupted and it became a hindrance to economic development and the IMF and World bank found that main economic actors in the world as the private sector not the state.

    The social ills described by Mr Hettige in this article are nothing do with liberalism or neo liberalism. It is a manifestation of loose cultural factors of sri lankans. all these ills are manifested in the service sector . Question is consumerism. People need money as they have lots of requisites.

    Contract killing is a basic norm in this buddist society. The killers also have necessities. Human trafficking isa good business in this Sinhala society. Is liberalism , socialism or neo liberalism is the culprit?

  • 0
    0

    සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වශයෙන් තමන්ම හඳුන්වා ගන්නා සිරි හෙට්ට්ගේ ගේ ලිපියේ ඇත්තේ සමාජ විද්‍යාත්මක විග්‍රහයක් නොව දේශපාලන අදහස්ය. කමල් කොහොම කිව්වත් එය විස්තරාත්මක මිස විග්‍රහාත්මක නොවේ. විග්‍රහය යනු දේවල් එසේ වන්නේ මන්දැයි පැහැදිළි කිරීමට උත්සාහ ගැනීමය.

    විශ්ව විදයාල ආචාර්ය සමිති සම්මේලනය මෙරට රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල රැක ගැනීම සඳහා දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තුමා එම කාරණය පිළිබඳ එකම එක ලිපියක් වත් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් නොලීවේ එම සටන නව ලිබරල්වාදී වූ නිසාද?

    ලිබරල්වාදී කමල් කැමති වොන් හයෙක් ගේ ශුද්ධ ලිබරල්වාදයටය. ශුද්ධ ලිබරල්වාදී රටක් ලොව කොහිවත් තිබේද? අද ලොව පවතින්නේ ජෝන් රෝව්ල්ස් ගේ න්‍යායෙන් සනාථ තළ සුභසාධන ලිබරල්වාදය යි. මේ දෙකටම නැත්තේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රබල අදහසකි.

  • 0
    0

    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තුමා නිසග ගුණාංග සහිත මානව ප‍්‍රයත්නයන් වෙළෙඳ පොළ තර්කනයට යටත් කළ යුතු නැතැයි යෝජනා කිරීම වැදගත්ය.

    ඒවායේ පිරිහීමට හේතුව සියල්ල මුදලට යට කිරීම යි යන්න විග්‍රහයක් නොවේ. අවශ්‍යවන්නේ මෙලෙස මිනිසුන් අත සියල්ල මුදලට යට වන්නේ මන්දැයි විග්‍රහ කිරීම යි.

    දුප්පතා ගැන නොසිතා තම සුඛ විහරණය ගැන පමණක් සිතීමට පදනම සපයන්නේ වෙළෙඳ පොලේ පුද්ගල නිදහස පදනම් කරගත් ලිබරල් ලෝක දර්ශනය නොවේද?

    ලිබරල් දර්ශනයට සාමුහික ජීවිතයේ පොදු යහපත පිළිබඳ දැක්මක් නැත. එයට පොදු යහපත යනු වෙළෙඳ පොලේ සකසා ගන්නා පුද්ගල යහපත් වල එකතුවක් පමණි.

    මෑතක් වන තුරුම ලිබරල්වාදී ලෝක දෘශ්ටියෙන් ලොව දුටු බව පෙණුනු මහාචාර්ය තුමා දැන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශනය අගය කරන බව පෙනෙයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ලිබරල්වාදයට සුභ සාධනය එකතු කරනවා පමණි. එයටත් සාමුහික පොදු යහපත පිළිබඳ දේශපාලනික අදහසක් නැත. පුරවැසි දේශපාලනය පිළිබඳ සක්‍රීය අදහසක් නැත.

    සිරි හෙට්ටිගේ ගේ විග්‍රහයට අනුව සාමාන්‍ය ජනයා ගේ යහපත රැඳී ඇත්තේ ප්‍රභූ ජනයා ඔවුන්ට හොඳින් සැලකීම මතය.

    සමාජ අසාධාරණයන් නිසා සාමාන්‍ය ජනයා මත පැටවෙන අතිවිශාල පීඩනය හේතුවෙන් මිනිස්සු අපරාධ කරති යි කීම අති සරල කතාන්දරයකි. බොහෝ දුප්පත් මිනිස්සු නොයෙකුත් පීඩනයන් මැද මහන්සියෙන් දිවි ගෙවති. සමහර මිනිසුන් තමන් මුහුණ පාන තත්වයන් හමුවේ මෘග අමානුෂික ආකාරයකින් ප‍්‍රතිචාර දැක්වීමෙන් සාමන්‍ය තත්වය නියෝජනය නොවේ.

    වත්මන් ලාංකීය සමාජයේ සමාජ අසාධාරණය පිළිබඳ පීඩනය දැනෙන්නේ මැද පංතිකයන්ට මිස සාමාන්‍ය ජනයාට නොවේ. මැද පංතිකයන්ගේ ජීවන අපේක්ෂා ඉහළය. මැද පංතික අපේක්ෂාවන් සාමාන්‍ය සමාජයට සාමාන්‍යකරණය කිරීම වලංගු නොවේ.

    මහාචාර්යවරයා ‘මුදල් පස්සේ පන්නන පිස්සුව සහ සදාචාරමය පරිහානිය‘ ක් ගැන කතා කරයි. මෙබඳු අති සාමන්‍යකරණය කළ බණ කියන ආකාරයේ අදහස් වලින් සමාජ වෙනස තේරුම් ගත නොහැකිය. අද ලාංකේය සාමාන්‍ය ජනයාගේ පවා පාරිභෝජන රටාවන් වෙනස් වී සහ පුළුල් වී තිබේ. ඉහළ සහ මැද පැලැන්තියේ අය පරිභෝජනය කරන දේම නොවුනත් තම ජීවිතය සැපවත් සහ පහසු කරන දේ පරිභෝජනය කරන්නට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වීම හෙළා දැකිය යුතු නොවේ.

    සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බණ කියන අතරතුරේ මහාචාර්යවරයා කාර්මික සංවර්ධනය පිළිබඳ ධනේශ්වර සංවර්ධන මිත්‍යාව විසඳුමක් වශයෙන් යෝජනා කරයි. කාර්මික සංවර්ධනය රටක ජනජීවිතය යහපත් කිරීමේ එකම මඟ යැයි පිළිගැනීම යුරෝපීය ධනේශ්වර නවීකරණ සංවර්ධන ආකෘතියේ සිරවීමකි. මාක්ස්වාදී සංවර්ධන න්‍යායත් මේ එකම කාසියේ අනෙක් පැත්තයි.

    මහාචාර්ය තුමාට අනුව කොළඹ කේන්ද්‍ර කොට ගෙන ජනයා ඒක රාශී වීම “හේතුවෙන් පරිසර විනාශය පමණක් නොව, නාගරික පරිසරයක අවශ්‍යයෙන්ම තිබිය යුතු විවෘත අවකාශමය ගුණයත් වියැකී යයි.“ මෙය අනිවාර්යයෙන්ම එසේ විය යුතු නොවේ. ලොව අතිවිශාලම නගර මෙබඳු ඉරණමකට අනිවාර්යයෙන් මුහුණ දී නැත. නගරයේ ජනගහණය වැඩී වීම එහි විවිධත්වය මත ජන ජීවිතයේ සරුබව පෝෂණය කරයි. “විවෘත අවකාශමය ගුණයත් වියැකී යයි“ යන්නෙන් දුප්පතුන් නගරයට කරදරයක් කොට සැළකීමේ ගෝටා ගේ ඊනියා නගර සංවර්ධන න්‍යායට මහාචාර්ය තුමා වක්‍ර සහායක් දෙන්නේ දැයි සැකයක් මතුවෙයි.

    රටේ ප්‍රභූ පැළැන්තියට රට පාලනය කිරීමේ සුජාත භාවය පිළිගැනීමක් ජනතාව අතර නැතැයි මහාචාර්යතුමා කීවද, ඡන්දයෙන් පසු ඡන්දයක් ලෙසින් ජනයා විසින් වත්මන් දේශපාලන ප්‍රභූ පැළැන්තිය යළි යළිත් බලයට පත් කරන්නේ මන්දැයි මහාචාර්යතුමා ට විග්‍රහ කළ හැකිද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.