19 April, 2024

Blog

යුක්තිගරුක වෛද්‍යවරුන් ඉදිරියේ ජ​’පුර​ රෝහලේ සභාපති සහ අධ්‍යක්‍ෂ පරාදවේ!

චින්තිකා ද සිල්වා

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ විසින් රෝහල් මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා නීතිවිරෝධී ලෙස ඉවත් කර සිය හෙන්චය්යන් තිදෙනෙකු ඒ වෙනුවට පත් කර ගැනීමට ගත් ප්‍රයත්නයක් අද දින ව්‍යර්ථ වූ බවට කලම්බු ටෙලිග්‍රාෆ් වෙත වාර්තා වෙයි. විශේෂඥ රැස්වීමක් කැඳවූ සභාපති වරයා රෝහල් ඉතිහාසයේ පෙර නොවූ විරු ලෙස “සෞඛ්‍ය අමාත්‍ය වරයා මෙම විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා ඉවත් කර වෙනත් විශේෂඥවරුන් තිදෙනෙකු පත් කරන ලෙස තමාට නියෝග කළ බව” ව්‍යාජ ලෙස පවසමින් එසේ කිරීමට තැත් කර ඇත. කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නැති සුසිත සේනාරත්න නමැති වෛද්‍ය නිලධාරියා 2015 වසරේ සිට රෝහලේ අධ්‍යක්ෂක කාර්යාලය කිසිදු පරිපාලනමය පදනමකින් තොරව අත් පත් කර ගෙන සිටියි. මෙම ව්‍යාජ “පත් වීම” කෝප් කමිටුවෙන් සහ අධිකරණයේදී අභියෝගයට ලක්ව තිබේ. මෙම නීති විරෝධී “පත් වීමට” විශේෂඥ වෛද්‍යවරුන් වන කනිෂ්ක ඉන්ද්‍රරත්න, මාධව කරුණාරත්න සහ ප්‍රභාත් අඹවත්ත යන අය දිගින් දිගටම විරෝධය පල කරමින් සිටිති.

කහඳලියන්ගේ, සේනාරත්න සහ සේනාරත්න​

කහඳලියනගේ: ව්‍යාජවිසුරුවන්නා”!

අද දින පැවැත්වූ රැස්වීමේ දී කහඳලියනගේ සාවද්‍ය ප්‍රකාශයක් කරමින් පෙන්වන්නට උත්සාහ කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් මණ්ඩලය විසුරුවාහැරිය බවයි. කිසිදු ලිඛිත සාක්ෂියකින් තොරව මෙම සාවද්‍ය ප්‍රකාශය නිකුත් කළ කහඳලියනගේ තව දුරටත් බොරු කියමින් උත්සාහ කළේ තමාට ගැති විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු මණ්ඩලය තුළට රිංගවා ගැනීමටය. මෙහිදී 30 කට අධික විශේෂඥ වෛද්‍යවරුන් එක්සත්ව පවසා ඇත්තේ මෙවැනි පරිපාලන දාමරිකකම් තමන් නොපිළිගන්නා බවත්, සභාපති සහ අධ්‍යක්ෂක වහාම රැස්වීම් ශාලාවෙන් ඉවත්ව යා යුතු බවත්ය. මොවුන්ගේ විරෝධය හමුවේ මෙම පුද්ගලයන් ශාලාවෙන් ඉවත්ව ගිය බව වාර්තා වෙයි.

සේනාරත්නට තර්ජනයක්: යුක්තිය වෙනුවෙන් පෙනී සිටි විශේෂඥ වෛද්‍යවරුන් 

සුසිත සේනාරත්න නමැති ව්‍යාජ රෝහල් අධ්‍යක්ෂකවරයා ගේ “පත්වීම” අභියෝගයට ලක් කෙරෙන නඩුවක් අධිකරණයේ ගොනු කර ඇති අතර එහි විභාග කිරීම ඔක්තෝම්බර් මස 23 වන දාට යෙදී ඇත. කහඳලියනගේ ගේ මෙම උත්සාහය එම නඩු විභාගයට පෙර මෙම අවංක විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා රෝහල් මණ්ඩලයෙන් ඉවත් කිරීමය. එයට ප්‍රධාන හේතුව නම් උක්ත නඩු විභාගයේදී මෙම විශේෂඥ වෛද්‍ය වරුන් තිදෙනා පෞද්ගලික නීතිඥයකු මාර්ගයෙන් රෝහල් මණ්ඩලයේ මතයට පිටුපා 23 න වන දින මෙම නීති විරෝධී පත්වීම ට එරෙහිව කරුණු දැක්වීමට නියමිතව තිබීමය. ව්‍යාජ ලේඛන සැකසීම, අධිකරණයට සහ රජයට සාවද්‍ය කරුණු දැක්වීම, අධිකරණය නොමග යැවීමට තැත් කිරීම, අධිකරණ තීන්දු හෑල්ලු වන ආකාරයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් කිරීම ආදී අක්‍රමිකතාවයන්ගේ කෙල පැමිණි කහඳලියනගේ සිය වෘත්තීය ජීවිතය පුරාවටම එවැනි අක්‍රමිකතා සඳහා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. කෙටියෙන් කියතොත් ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි අවධ්යෙහි වංචනික ලෙස පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටියදී  ඔහුව ඉන් ද නෙරපා දමන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව රෝහල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්නගේ “පත්වීමෙහි” නීතිවිරෝධී භාවය මත රෝහල් මණ්ඩල රැස්වීම් වලට ඔහු සහභාගී වීම අධිකරණය නියෝග CA WRIT 184/2018 මගින් තහනම් කර ඇත. 

ඉහත විශේෂඥ වෛද්‍ය වරුන් තිදෙනා හැරුණු විට මෙම මණ්ඩලයේ අන් සියල්ලන් වනාහී දේශපාලන ගැත්තන්ය. මොවුන් නමින් මහාචාර්ය ජනක ද සිල්වා, ඉංජිනේරු චමත් ද සිල්වා, ගණකාධිකාරී නන්ද ලලිත් සේනානායක, ආර් සේරසිංහ (ලලිත් වීරතුංග සිල් රෙදි වංචාවේ සැකකරු) සහ කහඳලියන්ගේ වෙති. රෝහල් මණ්ඩලය විසින් රඳවා වෙන ඇති නීතිඥයා වන මනෝහර සිල්වා මහතාට එක වරකට පෙනී සිටීමට රෝහල් මුදලින් රුපියල් ලක්ෂ 4 ක් වැය කරමින් මොවුන් නීති විරෝධී පත්වීමක් රකිති. ඉහත නම් සඳහන් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා මෙසේ රෝහලේ මුදල්, ඇමැතිවරයකුගේ ගැත්තෙකු වෙනුවෙන් වැයකිරීමට දිගින් දිගටම විරෝධය දක්වා ඇත. එමෙන්ම ව්‍යාජ අධ්‍යක්ෂකවරයා රැකීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම, තීරණ ගැනීම කල් මැරීම, අධිකරණයට සහ රජයට ව්‍යාජ කරුණු දැක්වීම ආදී සියලු අකටයුතු කම් වලටද සිය විරෝධය දක්වා ඇත.

කහඳලියනගේ විසින් පාර්ලිමේන්තු පනතක් උල්ලංඝනය කිරීම

ශ්‍රී ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කරන ලද 1983 අංක 54 දරන පාර්ලිමේන්තු පනතෙහි ඉතා පැහැදිලි ලෙස රෝහල් මණ්ඩලයට විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරීම එහි 3 (a) (iv) වගන්තිය යටතේ දක්වා ඇත. “විශේෂඥ වෛද්‍යවරුන්, තමන් විසින් තෝරාපත්කර ගන්නා සාමාජිකයා තිදෙනෙක්” ගෙන් රෝහල් මණ්ඩලය සමන්විත විය යුතු බව එහි පැහැදිලිව දැක්වෙයි. රෝහල් මණ්ඩලයේ බහුතරය නීති විරෝධී කටයුත්තක් කරද්දී ඊට එරෙහි වීම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් රෝහල් මණ්ඩලයෙන් ඉවත් කිරීමට බලයක් ඇමතිවරයා වෙත පවරා නැත. තවද විශේෂඥ වෛද්‍යවරුන් අතරින් ඔවුන් රෝහල් මණ්ඩලයට පත් කර ගත යුත්තේ කවුරුන්ද යන්න තෙරණය කිරීමට බලයක්ද ඇමතිවරයා සතු නොවෙයි.

අඳුරු සෙවනැලි අතර සැඟවුණු වංචනිකයින්

කලම්බු ටෙලිග්‍රාෆ් වෙත වාර්තා වන ආකාරයට විවිධ වරදාන ලබා දෙමින් කහඳලියනගේ සහ සුසිත සේනාරත්න විසින් මෙල්ල කරගත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් රෝහල් මණ්ඩලයට අනියම් ලෙස රිංගා ගැනීමට මාන බලමින් සිටිති. මොවුන් ව එසේ මල්ල කරගැනීමේ මෙවලම් ලෙස භාවිතා කර ඇත්තේ විවිධ පරිපාලනමය, මුල්‍යමය සහ පෞද්ගලික වරදාන ලබා දීමයි. ටෙන්ඩර් ප්‍රදානයේදී වර දාන ලබා දීම, එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන්ට නීති විරෝධී වරදාන ලබා දීම, ඖෂධ ව්‍යාපාරිකයන්ගේ ගේ අනුග්‍රහයෙන් මෙරට සහ විදේශ වල සංචාරය සඳහා අසීමිත ලෙස  නිවාඩු අනුමත කිරීම, අයතා ලෙස ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට අනුබල දීම සහ අයථා පෞද්ගලික සේවයට ඉඩ සලසා දීම ආදියයි. මෙම විශේෂඥ වෛද්‍යවරුන් අතරින් එක් අයෙක් මාස ගණනාවකින් සිය සායනයට පැමිණ නැති අතර ඉතා දරුණු ජීවිත අවදානමකදීවත් රෝගියා වෙත නොපැමිණෙන අතර එම කටයුත් සියල්ල සිදු කරවා ගනු ලබන්නේ පශ්චාද් උදාධි පුහුණු වෛද්යවරුන් වෙතිනි.

උද්ගතව ඇති දේශපාලනිකරණය හේතුවෙන් නමින් කතා කිරීමට අකමැති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් කලම්බු ටෙලිග්‍රාෆ් වෙත අදහස් දක්වමින් පැවසුයේ “එක වරම රෝහල් මණ්ඩලය විසුරුවිම නඩුවක් විභාගවන අතරතුර අධිකරණයට කෙරෙන අපහාසයක් වන්නට පුළුවන්. මෙම ව්‍යාජ අධ්‍යක්ෂකවරයා රෝහල් මණ්ඩලය පත්වී ඇත්තේ ඇමතිවරයාගේ පත් කිරීමක් ලෙස මිස රෝහල් අධ්‍යක්ෂකවරයා ලෙස නොවෙයි. රෝහල් මණ්ඩලය විසිරුවොත් ඔහුගේ පත් වීමද අවසන්. සුසිත සේනාරත්න නමැති පුද්ගලයාට ලැජ්ජාවක් නැහැ. ඔහු මෙම නීතිවිරෝධී පත් වීමේ එල්ලී සිටින්නේ කූඩැල්ලෙක් වගෙයි”

සුසිත සේනාරත්නගේ පත් වීම පිළිබඳව ඉහත ප්‍රකාශය සනාත කරවන ඔහුගේ පත්වීමේ ලිපිය පහත පළවේ:

පසුගිය ලිපි:

දූෂණයේ දොවොල: දිනකට මිලියන 4ක් පාඩු ලබන ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල

පරපෝෂිතයන්ගේ පාලනය: ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.