26 April, 2024

Blog

‘දින 100’ සහ ඊළඟ මැතිවරණයේ පෙකෙණිවැල ගැන නැවත සිතා බැලීමක්

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

මීට සති දෙකකට පෙර මේ තීරුවේ මෙසේ ලියා තිබේ:

‘‘දින 100 ක’’ වාචික වූත්, සංඛ්‍යාත්මක වූත් කෘත‍්‍රීම සීමාවක් පනවාගෙන තිබුණ ද, ඉහත කී ජනතා අභිලාෂයේ ගරුත්වය සැලකිල්ලට ගනිමින්, වර්තමාන පාර්ලිමේන්තුවේ නියමිත නිල කාලයෙන් තව කොටසක් අදාළ ‘වැඩපිළිවෙල’ වෙනුවෙන් වැය කිරීම ගැන විපක්ෂය පවා විරුද්ධ නැති බව මේ අවස්ථාවේ දී අප අමතක නොකළ යුතුය.

මේ නිසා, සමානුපාතික දිස්ත‍්‍රික් ඡන්ද ක‍්‍රමයේ සහ මනාප ඡුන්ද ක‍්‍රමයේ මාරාන්තික පිළිලය එසේම තබාගෙන මෙවර මැතිවරණයත් එම ක‍්‍රමයටම පැවැත්වීම සඳහා හෙවත් කේවල සහ සමානුපාතික මිශ‍්‍ර ක‍්‍රමයකට මේ මොහොතේ නොයාම සඳහා ඉහත කී දින 100 සීමා බාධකය තර්කයක් සේ ගෙනහැර පෑමේ සුජාත අයිතියක් වර්තමාන ආණ්ඩුවට හිමි නොවන්නේය. එය ව්‍යාජ තර්කයකි. ජනතාව රැුවටීමකි.

එසේ හෙයින්, මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දින 100 අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ, ඒ කාලය තුළ කිරීමට පොරොන්දු වූ දේවල් ඉටු කළහොත් පමණි. නොඑසේ නම්, ලබන වසරේ අපේ‍්‍රල් දක්වා ද වන කාලයත් පාවිච්චියට ගෙන අදාළ පොරොන්දු ඉටු කිරීමට නව පාලකයන් බැඳී සිටින්නේය.’’

ගත වූ දෙසතිය තුළ දේශපාලන තලයේ ඇති වූ වෙනස්කම් දෙස බලන විට, අප ඉහතින් යෝජනා කළ ආදර්ශය සහ යෝජනාව වර්තමාන විපක්ෂය ඇතුළු ජාතිවාදී සහ ආගම්වාදී බලවේග ප‍්‍රයෝජනයට ගැනීමට යන්නේ, අප අපේක්ෂා කරන යහපත් සමාජයක් පිළිබඳ පරමාදර්ශයක් පෙරදැරිව නොවන බව දැන් වටින්ගොඩින් පෙනෙන්ට තිබේ. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පසු ගිය දා කියූ පරිදි, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ඔවුන් එකඟ නැත. ඔවුන් එකඟ වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයේ මතුපිට පොත්ත අයින් කිරීමට පමණි. දැන් පෙනෙන හැටියට, මේ නායකයෝ 1994 සිට හුරුපුරුදුව සිට විධායක ජනාධිපති ක‍්‍රමයේ ඉනා ගුරුකමට තවමත් වසඟ වී සිටින සෙයකි.

ඒ අතරේ ජාතිවාදී සහ ආගම්වාදී පරිධියේ කණ්ඩායම් ඔසවා තැබීමට බොහෝ පෞද්ගලික මාධ්‍ය ආයතන පෙරමුණ ගනිමින් සිටී. ගලගොඩඅත්තේ ඥානසාරට තමන්ගේ නාලිකා සහ මුද්‍රිත ප‍්‍රකාශන හරහා ඔවුන් දෙමින් සිටින තැන කෙතෙක්ද යත්, 1815 ගිවිසුම එදා ඉංග‍්‍රීසීන් විසින් කඩ කළ අවස්ථා සොයා බලන්නැ යි ඔහු කරන ඉල්ලීමට පවා ප‍්‍රමුඛත්වයක් දීමට දැන් වගබලා ගැනේ.

Mahinda Wimal

නිමල් සිරිපාල සිල්වා තමන්ගේ ආසනයෙන් ද පරාජය වී වැඩි කලක් නැත. එසේ තිබියදී, ඔහුගේ ඔඩොක්කුවට විපක්ෂ නායක කම අහසින් පාත් වී තිබේ. සමහර විට, මොන හෙයියම්මාරුවකින් හෝ පවතින විධායක ක‍්‍රමයම එක දිගටම පවත්වා ගතහොත්, මහින්ද රාජපක්ෂ මාදිලියේ ජනාධිපති තනතුරක රස බැලීමටත් තමාටත් බැරි කමක් නැතැ යි ඔහු සිතනවා ඇති.

කෙසේ වෙතත්, ඇති විය හැකි අයහපත් තත්වය පිළිබඳ දළ අවබෝධයක් අපට ලබා ගැනීම සඳහා දේශපාලඥයන් තුළ පවතින මෙකී පුද්ගලවාදී තණ්හාව පිළිබඳ සාධකය පමණක් සැලකිල්ලට ගැනීම ප‍්‍රමාණවත් නොවන බව අපි දනිමු. ඊට වඩා චිත‍්‍රය සංකීර්ණ ය. එසේම, එය අත්‍යන්තයෙන්ම දේශපාලනික ය.

විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි චරිත ඇමති තනතුරකින් සහ ඊට අදාළ අවශේෂ මස් කටු ලෙව කෑමෙන් සෑහීමකට පත්විය හැකි පිරිසකි. හේතුව, ඔවුන් කිසිවෙකුට තමන්ගේම වන පක්ෂ යාන්ත‍්‍රණයක් හෝ ජනතා පදනමක් හෝ නැති වීමයි. ඔවුන්ට වරප‍්‍රසාදිත විය හැක්කේ මහින්ද රාජපක්ෂ කෙනෙකුගේ නායකත්වය යටතේ පමණි. අනිත් අතට, නිමල් සිරිපාල, සුසිල් පේ‍්‍රමජයන්ත සහ අනුර ප‍්‍රියදර්ශන යාපා වැන්නෝ ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙති. ඇත්ත වශයෙන්ම, නිමල් සිරිපාල වැන්නෙකුගේ ජීවිතයෙන් දීර්ඝ කාලයක්, මහින්ද රාජපක්ෂගේ බල කාමයේ අඬුපඬු නිසා නාස්ති කෙරුණි. පක්ෂයේ ඊළඟ නායකත්වයක් සේ ගොඩනැගෙනවා වෙනුවට මේ අයට සිද්ධ වුණේ, ‘තවත් එක් ඇමතිවරයෙකුගේ’ නපුංසක භූමිකාවට උර දී එයින් සෑහීමට පත්වීමටයි.

දැන් ඉතිහාසය අළුතින් නිර්මාණය වී ඇත. නොසිතූ විරූවක් සිදුවී ඇත.

ජේ. ආර්. ජයවර්ධනගෙන් 1978 දී පටන් ගෙන, කෙමෙන් තිරිහන් වී අවුත්, පවුලෙන් පිටස්තරයන් සඳහා එතෙක් විවරව පැවති කුඩා ඉඩකඩ පවා අවුරමින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ මහින්ද රාජපක්ෂ ඇටවූ උගුල වර්තමාන ආණ්ඩුවේ නායකත්වය විසින් මුළුමණින් ඉවත් කිරීමට යන බව දන්නේ නම් නිමල් සිරිපාල වැන්නන් ඒ ගැන සතුටු වෙනවා මිස ඊට එරෙහි වන්නේ මන්ද යන ප‍්‍රශ්නය අප ඉදිරියේ මතුවෙයි. එක පැත්තකින්, යෝජිත ව්‍යවස්ථා සංශෝධන හරහා අපේක්ෂා කරන්නේ, පවතින විධායක ජනාධිපති බලතල, විධායක අගමැති බලතල බවට පත් කිරීමක් නොවන බව පැහැදිළියි. විධායක ජනාධිපති කෙනෙකු වෙනුවට විධායක අගමැතිවරයෙකු යන සූත‍්‍රය සාවද්‍ය හැඳින්වීමක් වන්නේ එබැවිනි. ඇත්ත වශයෙන් සිදුවන්නේ, වර්තමානයේ ජනාධිපතිවරයා උසුළන බලතලවලින් අතිබහුතරය, අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව තුළට විකේන්ද්‍රණය කිරීමයි. එවිට ආණ්ඩුකරණයේ සැබෑ බල කේන්ද්‍ර, අඩු වැඩි වශයෙන්, තුනක් තිබිය හැකිය. ඒ, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවයි. එසේ මුලාශ‍්‍ර තුනකින් විභවය ලැබීමේ හේතුව නිසා ස්වභාවිකවම තුලනයට ලක්වීමට අමතරව, එම බලය, නැවත වරක් ආයතන ව්‍යුහයකින් ද මෙල්ල කෙරේ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා නැවත ගෙන ඒමේ අභිප‍්‍රාය එයයි. එවැනි පාලන ව්‍යුහයක් තුළ අත්තනෝමතික රාජ්‍ය තන්ත‍්‍රයකට ඇති ඉඩකඩ අවම කෙරේ.

මේ වැඩපිළිවෙල සාර්ථක වන්නේ නම්, එය රටට සහ ජනතාවට තරමට, පරාජිත සහ දූෂිත දේශපාලඥයන්ට සෙතක් වන්නේ නැත. එවැනි වැඩපිළිවෙළක සාර්ථකත්වයක් හරහා තවදුරටත් අර කී දේශපාලඥයන් මහ ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ වැඩි ය. එසේ හෙයින්, පවතින ආණ්ඩුවේ වර්තමාන සංඛ්‍යාත්මක දුර්වලතාව පාවිච්චියට ගනිමින්, අපේක්ෂිත ප‍්‍රතිසංස්කරණ යම් ආකාරයකින් අඩාල කළ හැකි වන්නේ නම්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති විය හැකි අරාජකත්වය සහ ව්‍යාකූලත්වය වර්තමාන පාලකයන්ගේ මෙන්ම, යෝජිත පරිවර්තනයේ ද අසාර්ථකත්වයක් වශයෙන් හඳුන්වා දීම හරහා ජනමතය නැවත වරක් තමන්ගේ පැත්තට හරවා ගැනීමට මෙන්ම, විධායක ජනාධිපති ක‍්‍රමය තවදුරටත් ආරක්ෂා කර ගැනීමටත් තමන්ට හැකි වෙතැ යි මේ කල්ලි ගණන් හදමින් සිටින සෙයක් පෙනෙන්ට තිබේ.

රට අගාධයට ගියේ 78 ව්‍යවස්ථාව ඔස්සේ බවත්, නිමල් සිරිපාල සිල්වා වැන්නන් හැලූණේ 18 වැනි සංශෝධනය ඔස්සේ බවත්, තේරුම් ගැනීමේ පහසුව තකා මතුපිටින් වටහා ගත් විට, 78 තියාගෙන 18 පමණක් කටුගෑමෙන් සෑහීමට පත්නොවීමට හේතුවක් නිමල් සිරිපාල වැන්නන්ට නැත. කොටින්ම ඔහුගේ හතුරා ජේ. ආර්. ජයවර්ධන නොව, මහින්ද රාජපක්ෂයි.

තත්වය එසේ නම්, දින 100 සහ ඊළඟ මැතිවරණය අතර ඇති සහසම්බන්ධය ගැන නැවත සිතා බැලීමට අපට බල කෙරේ. නියමිත කාලය ඇවෑමෙන් දරුවන් බිහි වීම සාමාන්‍ය ක‍්‍රමයයි. එහෙත්, විශේෂිත අවස්ථාවකදී, එනම් මවගේ හෝ දරුවාගේ හෝ ඒ දෙන්නාගේම ආරක්ෂාව එකී සාමාන්‍ය ක‍්‍රමය හරහා සහතික නොවන විට වෛද්‍යවරු සිසේරියන් සැත්කමකට යොමු වෙති. එම සැත්කම කරන්නේ, ජ්‍යොතිෂයට අනුව ඊනියා ශුභ මොහොතකදී දරුවා බිහි කිරීමට නම්, අප එයට එකඟ නැත. එනම්, යම් කිසි පක්ෂයක් හෝ කණ්ඩායමක් නියමිත කාලයට කලින් මැතිවරණයකට යන්නේ තමන්ගේ පාක්ෂික පටු අරමුණු පෙරදැරිව නම් අප ඊට එකඟ නැති බවයි. එහෙත්, අකල් මැතිවරණයක් පැවැත්වීමට බල කෙරෙන්නේ, රටේ යහපත අපේක්ෂාවෙන් නම් සහ නැවත හිස ඔසවන අත්තනෝමතිකත්වයක මාර්ගය ඇහිරවීමට නම්, ඊට එරෙහි වීමට හේතුවක් අපට නැත. අනිත් අතට, දින 100 පිළිබඳ පරිපූර්ණ සාර්ථකත්වයක සහතිකය ඉල්ලා සිටින්නේ, තමන්ගේ සැඟවුණු අරමුණු සඳහා මැතිවරණය හැකි තාක් කල් දමා ගැනීමට නම්, අප කොන්දේසි විරහිතව ඊට ද එරෙහි විය යුතුය.

මහින්ද රාජපක්ෂගේ පරණ වේශයෙන්ම ආපසු ඔහුව වැඩමවීම සඳහා කැසකවන ජාතිවාදී සහ ආගම්වාදී විමල් වීරවංශලාගේ සිට, දැන් විවිධ හේතු යටතේ විධායක ජනාධිපති ක‍්‍රමය රැුකගත යුතු යැයි කියන නිමල් සිරිපාලලා දක්වා වන බලකාමී පිරිස් නියෝජනය කරන ප‍්‍රතිගාමී අපේක්ෂා දිනෙන් දින කරළියට එයි. ඔවුන් කෝඳුරු තෙල් ඉල්ලා සිටින්නේම වෙදකම අසාර්ථක කැරැුවීමට නම්, කල් නොයවා ඊළඟ මැතිවරණයට යාම අනිවාර්ය කෙරේ. මහින්ද රාජපක්ෂව පරාජය කළ ආකාරයෙන්ම, මේ දූෂිත දේශපාලඥයන්වත් කටු ගා දැමිය හැක්කේ එවිටයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    සිරිසේනට චන්දය දුන් අති බහුතරය ඔහුගේ අනුගාමිකයන් නොවේ. ඔවුන්ට සිරිසේන යනු මහින්ද ඉවත් කිරීමේ ඉත්තෙක් පමනි. මගේ ගනන් හැදීමට අනුව සිරිසේනට චන්දය දුන් අයගෙන් 3%ක් පමන ජවිපෙට චන්දය දෙන්නන්ය. 20% ක් පමණ පා වෙන චන්දය. 25%ක්ම ටිඑන්එ් වැනි ජාති වාදී සහ මුකො වැනි අාගම්වාදි පක්‍ෂ වලට චන්දය දෙන්නන්ය. 50%ක් පමණ සම්ප්‍රදායික එජාපයට චන්දය දෙන්නන්ය. මහින්ද විරෝධි ශ්‍රිලනිප පාක්‍ෂිකයන් වන ඉතිරි 2% පමණක් සිරිසේන ගේ අනුගාමිකයන් විය හැක. එනිසා ශ්‍රි ලංකාවේ පත් වූ දුර්වලම විධායක ජනාධිපති සිරිසේන බවට තර්ක විතර්ක අවශ්‍ය නැත.

    නමුත් සිරිසේනගේ දින 100 යේ වැඩසටහනින් යහපාලනය කෙසේ වෙතත් මුලු රටම විලම්බිතයක් කර අැති සේය. බලහත්කාරය රජ කරවා එසේ කර අැති සේය. පාර්ලිමේන්තුවේ සුළුතරයෙන් අගමැතිත් බහුතරයෙන් විපක්‍ෂ නායකත් ජනාධිපති විසින් පත් කර අැත්තේ ව්‍යවස්ථාව ඔලුවෙන් හිටවලාය. සුළුතර අගමැති මෙතුවක් කල් රට පාලනය කලේ පාර්ලිමේන්තුව විසුරවා නවක මංත්‍රි වරුන්ගෙ පැන්ෂොන් එක නැති කොරනවා යයි ඔවුන් බය කර ගෙනය.

    මහින්ද ගම් වල කර ගන ගිය පාරවල් හැදීම බස් ස්ටැන්ඩ් හැදීම පොලවල් සෑදිම වැනි බොහෝ සංවර්ධන වැඩ අද වන විට නවතා දමා අැත. එ් වෙනුවට ජනතාවගෙ ඉහමොල වලට වෙෙරය ස්ථාපිත කිරීම සඳහා පූර්ණ කාලීන බොරු හොරු අැල්ලීමක් (හොරා පොලිස් වැඩක්) සංවර්ධනය ලෙස කර ගෙන යයි. අය වැයෙන් මහ බැංකුව දන්සැලක් කර ජනතාව ගොනාට අන්දවා අැත. අඩු කල බදු වලින් ජනතාවට සෙතක් වී නැත. මිල අඩුවී අැත්තේ භාණ්ඩ කිහිපයක් පමණි. සංවර්ධනය සඳහා මහින්ද ඉතිරි කර මුදල් වලින් රටට දරා ගත නොහැකි පඩි වැඩි කිරීමක් ලක්‍ෂ 14ක රජයෙ සේවකයන්ට පමණක් ලබා දී අැත. පුද්ගලික අංශයෙ සේවකයන්ට කිසිම පඩි වැඩි කිරීමක් දී නැත.

    මුදල් අැමති කම විනිමය වංචා චෝදනාවකට නඩුවක් අැති අයෙකුටත් මහ බැංකුව බාර දී අැති සිංගප්පූරු කාරයා අද වන විට බිලියන ගණනක බැඳුම් කර හොරකමක් තම බෑනා ලවා කලා යයි ජවිප විසින් චෝදනා කිරීම ම යහපාලනයේ තරම තේරුම් ගැනීමට ප්‍රමාණවත් ය.

    නමුත් රනිල් හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපෙට පහසු ජයක් අත්කර ගත හැකි බවය. අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීමට හැක්කේ මනාප ක්‍රමයට තබන ඉක්මන් චන්දයකින් බවත් හොඳ අැම්ඩන් කෙනෙක් වන රනිල් දනී. එ් අනුව මහ මැතිවරණයට ප්‍රථම ජනාධිපති සතු විධායක බලය කොල්ල කා ගැනීම අගමැති රනිල්ගේ වැඩ සටහනේ කොටසක් බව ජයම්පතිලාගේ ව්‍යවස්ථා සංශෝධන ලැයිස්තුවෙන් පැහැදිලිය.

    කෙසේ වෙතත් සිරිසේන ජනාධිපති සෝපිත දෙවියන්ට අළුත් පඬුරක් ගැට ගසා අැති බව පෙනේ. එ් අනුව සෝපිත දෙවියන් බාර ගත් දින 100 යේ බාරය වැඩ 100 ක බාරයකට හරවා ගෙන අැත. නමුත් එජාප යේ කබීර් ලා ජොන්ලා විශ්වාස කරන්නේ අල්ලාහ්/යහෙවෙහ් දෙවියන් මිස පන්සල් වලට අරක් ගත් දෙවියන් නොවේ. අප්‍රියෙල් 23 පාර්ලිමේනතුව විසිරුවා නොඅැරියොත් පාරට බහින බව ඔවුන් කියන්නේ එනිසා විය යුතුය. එ් අතර ජනාධිපතිගේ විපක්‍ෂ නායක කියන්නේත් සෝපිත දෙයියන්ගේ කතාවමය. කාට කාටත් එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලං බලත හැකිය. අපොයි රටට ගිය කලක්.

    හොඳට හෝ නරකට සිරිසේන රනිල් හවුලේ මධු සමය ඉවර වී ගන යන බව නම් පැහැදිලිය. හෙනගෙඩි අාතුරයන් ගේ පඬුරු වෙනුවට තමන්ට අවනත කර ගත හැකි අාතුරයෙක්ගෙ පඬුරු බාර ගැනීම සෝපිත දෙවියන්ගේ කාලෝචිත ක්‍රියාවක් බව මගෙ අදහසයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.