23 October, 2020

Blog

ඔහුව එල්ලන්න එපා හිරේ දාන්න ජීවිතේටම: ඔබ කොමාව එල්ලන්නේ කොතැනින්ද?

දොන් මනු –

තමාගේ මතයම පාර්ලිමේන්තුවත් දරන්නේ නම් ඊළඟ වසරේ සිට මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගිය මාසයේ ප‍්‍රකාශ කොට සිටීමත් සමග, කුඩා සේයා දැරිය දූෂණය කොට ඝාතනය කළ මිනිසා එල්ලා මැරීම සඳහා බන්ධනාගාර පාලකවරයා පෝරකයේ පලංචියට ඇණ ගසන හඬ දැන් සිටම රටට ඇසේ.

තම දෙපාර්තමේන්තුවට හිටිහැටියේ පැවරෙන්ට යන වැඩ කන්දරාව ගැන සිතා බන්ධනාගාර කොමසාරිස්වරයා අලූත් අළුගෝසුවන් දෙන්නෙකුත් සේවයට ගෙන ඇත. ඒ, ඔහු කියා ඇති පරිදි, ‘පුංචි, සැහැල්ලූ පරිපාලන රාජකාරියක්’ නිල වශයෙන් ඉටුකැරැුලීමට ය. බාලදක්ෂ ආදර්ශ පාඨයේ සම්ප‍්‍රදාය අනුව යමින්, ‘අපි ලැහැස්ති වෙන්න ඕනේ’ යැයි පසුගිය බදාදා ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහුට ලැහැස්ති වන්ට පුලූවන. එසේම ඔහුගේ හෘද සාක්ෂියත් තෘප්ත විය හැක. නිරාකූල විය හැක. ඔහු සුවචව ඉටු කරනු ලබන්නේ, රටේ අතිශය කාර්යක්ෂම සහ පරිණත නිල ඝාතක කණ්ඩායමේ නිසි බලධාරී අධිපතියාගේ අප‍්‍රියකර රාජකාරියයි. එහෙත්, විල්ලූද අත්වැසුම් පැළඳ දොහොත් මුදුන් දෙන යාච්ඤාවෙන් වුව, ජාතියක් වශයෙන් තම අත්වල ලේ තවරා ගැනීමට රටක් ලැහැස්තිද? කුඩා දැරිවියක් තිරිසන් අයුරින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රටම බිරාන්තව, කම්පිතව සහ කුපිතව සිටියේ වී මුත්, එය මොන තරම් පොළොව නුහුලන අපරාධයක් වන්නේ මුත්, ඉන් ජනිත කැරැුවෙන අසීමිත ආවේගය, තවත් මිනිස් ජීවියෙකුගේ ජීවිතය සහ මරණය පිළිබඳ ප‍්‍රශ්නය තීන්දු කිරීමට තරම් වන යෝග්‍යතම පදනමක්ද? දෙවියන්ගේ කාර්යය මිනිසා අතට ගැනීම, මොනම අපරාධයකින්වත් යුක්ති සහගත කළ හැක්කේද?

sadeumiපුංචි සේයාගේ සිරුර, දූෂණය කොට ඝාතනය කොට, ඇළක් ළඟ දමා ගොස් තිබී සොයා ගැනීමෙන් දින පහකට පසුව, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන බිම්දොර ඇරියේය. මරණ දඬුවම පිළිබඳ විවාදාපන්න ප‍්‍රශ්නය ජනතා නිරීක්ෂණයට ලිහා හැරියේය.

සැප්තැම්බර් 18 වැනි දා ගාල්ලේ ‘මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ව්‍යාපෘතිය’ අමතමින් ජනාධිපතිවරයා මෙසේ කීය: ‘‘කුඩා දැරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් පස්සේ, මරණ දඬුවම ඉල්ලලා මහජන මතයක් ගොඩනැගී තියෙනවා. පහුගිය අවුරුදු කිහිපය මුළුල්ලේත් මෙවැනි අපරාධයක් සිද්ධ වුණහම මරණ දඬුවම ඉල්ලා මිනිස්සු උද්ඝෝෂණය කළා. ඒ පුංචි දැරියගේ අවමගුලෙදීත්, මරණ දඬුවම පනවන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හිටිනවා මං දැක්කා. ඒත් මේක මානව හිමිකම්වලට සම්බන්ධ ප‍්‍රශ්නයක්. මානව හිමිකම් සංවිධාන මරණ දඬුවම දෙනවට විරුද්ධයි. කොහොම වුණත්, චීනය සහ ඇමරිකාව වගේ බලගතු රටවලත් තවමත් මරණ දඬුවම තියෙනවා. ඒ නිසා, මරණ දඬුවම පැනවීම ගැන මගේ අකමැත්තක් නැහැ. අධිකරණයකින් දෙන මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමේ බලය මට තිබුණත්, මම ඒ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා නෙවෙයි. එහෙම දෙයක් අවශ්‍ය නැහැ. ඒ වුණත් ඔවුන්ගේ අදහස දැනගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඒකට පොදු එකඟත්වයක් තියෙනවා නං, ලබන අවුරුද්දේ ඉඳං මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්න මට පුලූවන්.’’

මරණ දඬුවමට නියම වූ මිනීමරුවන් එල්ලා මැරීම සඳහා පාර්ලිමේන්තුවේ අලූත් පනතක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවක් නැති බව කීම සැබෑවකි. ශ‍්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහය තුළ, මිනීමැරුම යන අපරාධය සඳහා මරණ දඬුවම කවදත් තිබුණි. ඒ නිසා තවත් පාර්ලිමේන්තු පනතක් ඒ සඳහා අනවශ්‍යයි. ලංකාවේ අවසාන වරට කෙනෙකු එල්ලා මැරුවේ 1976 දී ය. එවක් පටන් ගතවූ 39 වසරක් තිස්සේ එය අභාවයට ගියේ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන කිසි විටෙකත් අවසාන මරණ වරෙන්තුවට අත්සන් නොකොට, ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් බවට මරණ දඬුවම පත්කිරීමට කැමැත්තක් දැක්වූ බැවිනි. මේ වසරේ ‘මෛත‍්‍රී යුගයක’ උදාව පිළිබඳ පොරොන්දුව සමග මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති පදවියට පත්වූ ආකාරයෙන්ම, එදා ‘ධර්මිෂ්ඨ සමාජයක්’ පිළිබඳ පරමාදර්ශය ඔස්සේ ජනාධිපති පදවියට පත් ජේ. ආර්. ජයවර්ධන, තම ලෞකික බල සීමාව ඉක්මවා යන කාරණයක් සම්බන්ධයෙන් සිය අභිමතය අභ්‍යාස කිරීම ප‍්‍රතික්ෂේප කෙළේය. සමහර විට ඔහු රට්ටු නොදැන සිටි තරමේ හොඳ බෞද්ධයෙකු වූවා විය හැකිය. මන්ද යත්, කර්ම බලය පිළිබඳ ස්වභාවික නියාමය තුළ, කර්මය පල දීම ලිහිල් කරවන හෝ අහෝසි කරවන සාධකයක් වශයෙන් අභිපේ‍්‍රරණය (කෙනෙකු යම් ක‍්‍රියාවක නියැලීමට පොළඹවන හේතුව) ක‍්‍රියාත්මක නොවන බව ඔහු දැන සිටින්ට ඇති බැවිනි. අභිපේ‍්‍රරණය කුමක් වෙතත්, අස්වැන්න ලැබෙන්නේ වපුරන දෙය අනුවයි. එය, වැපිරීමට පාදක වන චේතනාවට වෙනස් ය.

ඝාතන කර්මය සිදුවීමට චේතනාව අත්‍යාවශ්‍යමයි. අභිපේ‍්‍රරණය, යහපත් වුව අයහපත් වුව, එසේ නැත. යම් අභිපේ‍්‍රරණයක් යහපත්ද දුෂ්ටද යන්න තීරණය වන්නේ කෙනෙකුගේ සංස්කෘතික සැකැස්ම සහ ආගමික මොළ සේදීම මතයි. බෞද්ධයෙකු දුෂ්ට අභිපේ‍්‍රරණයක් වශයෙන් සළකන දෙයක් ඉස්ලාම් ආගමිකයෙකු සුචරිතවත් අභිපේ‍්‍රරණයක් වශයෙන් සැළකිය හැකිය. එසේම, ඉස්ලාම් ආගමිකයෙකු දුෂ්ට අභිපේ‍්‍රරණයක් වශයෙන් සළකන දෙයක් බෞද්ධයෙකු සුචරිතවත් අභිපේ‍්‍රරණයක් වශයෙන් සැළකිය හැකිය. කවුරුන් හරිද කවුරුන් වැරදිද යන්න තීරණය කරන්නේ කවුරුන්ද?

යම් ක‍්‍රියාවක් කෙනෙකුට හෝ කෙනෙකුගේ හිතෛශීන්ට හෝ කෙනෙකුගේ ප‍්‍රජාවකට සුභසිද්ධියක් සළසන විට, ඒ සඳහා පොළඹවන හේතුව, යහපත් අභිපේ‍්‍රරණයක් වශයෙන් සාමාන්‍යයෙන් සැළකේ. එය කලින් කලට වෙනස් වන්නටත් පුලූවන. වසර සීයකට කලින් යහපතක් සේ සැලකූ යම් දෙයක් අද නපුරක් සේ හෙළාදකින්ට පුලූවන. එහෙත් ස්වභාව ධර්මයේ ගුරුත්වාකර්ෂණ නියාමය හෝ චලිත නියාමය මෙන්, කර්ම නියාමය සහසුද්දෙන් ක‍්‍රියාත්මක වන්නේ, චේතනාව නැමැති වැදගත් සංඝටකය සමග සිදුවන සෑම ක‍්‍රියාවක්ම, ඊට සමාන සහ ඊට අනුරූප ප‍්‍රතික‍්‍රියාවක් ජනනය කරන්නේය යන පදනම මතයි.

රාජකාරිය පිළිබඳ සංකල්පය, මිනිසා හදාගත් දෙයකි. එවැනි නීත්‍යානුකූල රාජකාරියකට අනුගතව පෙරකලාසියෙන් (වෙන කෙනෙකු ලවා) යම් කෙනෙකු මරණයට පත්කිරීමට යමෙකු අනුමැතිය දීම ඔහුගේ රටවැස්සන් ඉදිරියේ යුක්ති සහගත විය හැකි වෙතත්, අනීතික වරදක් කෙළේය යන චෝදනාවෙන් ඔහුට නිදොස් විය හැකි වෙතත්, කර්ම නියාමයේ ස්වභාව සාධනය තුළ ඔහුට සමාවක් නොලැබේ. මිනිසා විසින් හදා ගත් නෛතික පදනම යටතේ මිනිසා විසින් හදා ගත් අධිකරණයකින් මරණ දණ්ඩනය පැනවිය හැකිය. එම දඬුවම අපරාධකරුවා කෙරෙහි ක‍්‍රියාත්මක කිරීම, මනුෂ්‍යයන්ගේ ලෞකික කි‍්‍රයාකාරකම් පාලනය කිරීමට මිනිසා විසින් හදා ගත් ව්‍යවස්ථාවක් මගින් රටේ ප‍්‍රථම පුරවැසියා මත පවරා තිබිය හැකිය.

මිනිසා විසින් හදා ගත් නීතිරීතිවලට අදාළ නිසි ක‍්‍රියාවලිය ඔස්සේ සැපයෙන මුක්තියෙන් සන්නද්ධව සිය අභිමත බලය පාවිච්චි කරන එවැනි කෙනෙකු ඉහළම ගරු සම්භාවනාවට පත්ව, ඔහු නියෝජනය කරන ජනතාවගේ උත්තරීතර ප‍්‍රණාමයට හිමිකාරයෙකු විය හැකිය. රටවැස්සන්ගේ පැත්තෙන් ගත් විට, ඔහුගේ අභිපේ‍්‍රරණය ගැන කිසි ප‍්‍රශ්නයක් නැත. ඔහුගේ එම ක‍්‍රියාව මහත් වූ සත්පුරුෂ කි‍්‍රයාවකැයි වර්ණනාවට ලක්විය හැකිය. එහෙත් කර්මයේ බල ප‍්‍රදේශය තුළ, මිනිසුන් විසින් හදා ගත් එවැනි සංකල්පවලට සහ සාධාරණීකරණයන්ට ඉඩක් නැත. එබැවින් මිනිසා විසින් හදාගත් අධිකරණ සහ ඒ මගින් නිකුත් කරනු ලබන තීන්දු ප‍්‍රකාරව මරණ වරෙන්තුවේ අවසාන අනුමැතිය සඳහා ජනාධිපතිවරයා අත්සන තබන විට ඔහු කරන්නේ, පෙරකලාසියෙන් ඝාතන ක‍්‍රියාවට සහභාගී වීමයි. සේයාගේම ටීෂර්ටයෙන් ඇගේ මිනීමරුවා ඇගේ ගෙල සිර කොට මරා දැමූ ආකාරයෙන්ම, තවත් කෙනෙකුගේ බෙල්ලට තොණ්ඩුවක් දමා නීත්‍යානුකූලව එල්ලා මැරීමේ ප‍්‍රායෝගික ක‍්‍රියාවෙන් තමන් සිටින්නේ බොහෝ ඈතින් යැයි ජනාධිපතිවරයාට හැඟී ගිය හැකි වෙතත්, ඝාතන ක‍්‍රියාවේ හවුල්කාර පංගුවෙන් ඔහුට නිදහස් විය නොහේ.

එළාර නැමැති දෙමළ රජාව ඝාතනය කිරීමෙන් සිංහල බෞද්ධ ධජය යටතේ ලංකාව එක්සේසත් කොට මහා සෑයක් ඉදි කිරීමේ කුසල කර්මයේ ආනුභාවයෙන් දුටුගැමුණු රජතුමා මරණින් පසු තුසිත දෙව්ලොව ඉපදිණැයි කියන මහාවංශ මතය දරන්නන්ට වෙනස්ව, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම පුත‍්‍රයා වන ගෞතම බුදුන්ගේ අනුගාමිකයෙකැයි තමන්ව හඳුන්වා ගත් ජේ. ආර්. ජයවර්ධනට, කර්ම සංකල්පය, සමහර විට, ඊට වඩා සියුම් අන්තර්ඥානයකින් හැඟී ගියා විය හැකිය.

ඔහුගෙන් පසු බලයට පත් සියලූ ජනාධිපතිවරුන්/වරියන්, මරණ වරෙන්තුවකට අත්සන් කිරීමේ සදාචාරමය අපුල දැනී, ඒ මාරක ක‍්‍රියාවෙන් ඥානාන්විතව වැළැකී සිටියා විය හැකිය. සමහර විට, කලින් සිටි ජනාධිපතිවරයා තරමේම බලයක් ඇති මුත් එය අභ්‍යාස නොකරන වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනත් ඒ සඳහා සාමූහික එකඟත්වයක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ, එකී අධිකරණමය ඝාතනයේ බර තනියෙන් දැරීමට නොහැකිව, සාමූහිකත්වය හරහා යම් සදාචාරමය සැනසිල්ලක් ලැබීමට විය හැකිය. තවත් විදිහකින් කිවහොත්, ඒ බරින් කොටසක් ඔවුන්ටත් දරණ ලෙස ඉල්ලා සිටීමට විය හැකිය.

එහෙත් අවාසනාවක මහත වන්නේ, කර්ම ධාතුව මැනවින් දත් අර්හත්වරුන්ගෙන්වත්, දේව උදහසේ දිව්‍යාංගනාව අරක්ගත් සර්වදේව මණ්ඩලයේ වැඩවාසය කරන දෙවිවරුන්ගේ දිව්‍යමය ඥානයේ ආලෝකය සැපයිය හැකි ග‍්‍රීක දේවතාවුන්ගෙන්වත් අපේ පාර්ලිමේන්තුව සමන්විත නොවීමයි. නැත, මරණ වරෙන්තුව ලිවීම ගැනත්, ඒ ගැන සාමූහික වගකීමට කර ගැසීම ගැනත්, මුළු රටම ජනාධිපතිවරයාට ආශිංසනය කළත්, ජනතාව දුන් බලය පාවිච්චි කරමින් තවත් මිනිස් ප‍්‍රාණියෙකු පූර්ව චේතනාවෙන් යුතුව අධිකරණමය වශයෙන් ඝාතනය කිරීම සඳහා අනුමැතිය පෑමේ කර්මය අහෝසි වන්නේ නැත. මැරෙනසුළු මිනිසුන් විසින් තම ක‍්‍රියාවන් යුක්ති සහගත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන කිසි හේතුවක් දැකීමට හෝ ඇසීමට කර්මය අන්ධ බැවිනි. බිහිරි බැවිනි.

මහ පොළොවේ නීතිය විසින් ඔහුගේ ක‍්‍රියාවට සමාව දෙනු ඇත. එහෙත් ස්වර්ගයේ නීතිය එය හෙළාදකිනු ඇත. ඔහු පේ‍්‍රරණය වුණේ තම ජනතාවගේ සුභ සිද්ධිය සඳහා වෙතත්, වෙනත් මිනීමරුවන් අධෛර්යමත් කරවනු වස් තවත් කෙනෙකු අති දුෂ්ට ලෙසින් එසේ මරණයට පත්කිරීම ස්වර්ග නීතිය ඉදිරියේ සමාවට කාරණයක් නොවේ.

*2015 ඔක්තෝබර් 18 වැනි දා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ ‘සන්ඩේ පන්ච්’ නැමැති තීරුවේ පළවූ, මේ සමග අමුණා ඇති “Hang Him Not Jail Him for Life: Where Would You Put the Coma?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.