28 March, 2024

Blog

“නිර්මාල් සමග නැගිටිමු!”

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

සමකාලීන දේශපාලනය අරභයා අප සහ නිර්මාල් රංජිත් දේවසිරි අතර සිදු වෙමින් පවතින විවාදය වඩාත් විධිමත්ව සිදු විය යුතුය යන්න මගේ අදහසයි. ඔහුද එවන් අදහසක සිටින බව මම විශ්වාස කරමි. එහිදී අපගේ පාර්ශවයෙන් රැකිය යුතු කතිකාමය ආචාර ධර්ම ගැන මෙයට වඩා සැලකිලිමත් විය යුතු බව මගේ මිතුරන්ට ප්‍රථමයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි. දෙවනුව, මෙම විවාදය හුදු විවාදයක උවමනාව වෙනුවෙන් හෝ දේශපාලන කියැවීම් වලදී වඩාත් නිවැරදි වුයේ කව්රුන්ද කියා නිශ්චය කිරීම වෙනුවෙන් කෙරෙන්නක් නොවිය යුතුය. අපට අද සැබවින්ම උවමනා වන්නේ පසුගිය ආණ්ඩු මාරුවෙන් පසුව යළි සකස් වෙමින් තිබෙන දේශපාලන සැකැස්ම තුළ විමුක්ති දේශපාලනයේ දිශානතීන් පිලිබඳ වඩා ගැඹුරු සාකච්ජාවකි. එහිදී සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් වෙත අපගේ ඉක්මන් අවධානය යොමු කළ යුතුව පවතී.

(1) ජනවාරි 08 ආණ්ඩු මාරුවට සහාය දුන් ‘යහපාලන’ කඳවුර තුළින් ඍජුවම නවලිබරල් ප්‍රතිසංස්කරණ වලට දෘෂ්ටිවාදී සහාය දක්වන ප්‍රවණතාවක් මතු වෙමින් තිබීම සැලකිල්ලට ගත යුතුය. මේ ඇතැම් ‘නව-ලිබරල් යහපාලනවාදීන්’ අතීත වාම පසුබිමක් සහිත අයවලුන්ය. ‘රාවය’ පුවත්පත එක් නිදසුනක් පමණි. දැන් නව ලිබරල් ප්‍රතිපත්ති ඍජුවම ආරක්ෂා කරමින් රොහාන් සමරජීව වැන්නන් ලියන ලිපි පළවන්නේ ‘රාවය’ තුළය. මහා බැංකු බැඳුම්කර සොරකම වාර්තා වූ සතියේ සෙසු සියලුම පුවත්පත් එය විවේචනය කරන විට ‘රාවය’ පැවසුවේ එම සොරකම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයට රාජපක්ෂ විසින්ද සලකා ඇතැයි යන පුවතක් පමණි. ‘රාවය’ මේ ප්‍රශ්ණයට අවතීර්ණ වන විට ප්‍රධාන ධාරාවේ සියලුම පුවත්පත් මෙන්ම ‘ලංකා’ සහ ‘ජනරළ’ යන පුවත්පත් එය විස්තීර්ණ ලෙස සාකච්ජා කොට අවසන්ය. එපරිදිම ‘රාවය’ යෝජිත 20 වන සංශෝධනය මගින් ප්‍රධාන ධනපති පක්ෂ දෙකේ දේශපාලන ඒකාධිකාරය ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රයත්නයට සුභ පැතීය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කුඩා පක්ෂ තම පාක්ෂික අභිලාෂයන් සම්මුතිගත කළ යුතු යයි තර්ක කළ කුමුදු කුසුම් කුමාරගේ අදහස් අවිවේචනාත්මකව භාර ගත්තේය. (ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදයේ එක් මූලධර්මයක් වන ජනතා නියෝජනය වෙනුවෙන් තවත් මූලධර්මයක් වන බහුවිධත්වය කැප කරන ලෙස ඉල්ලීම ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ පටු සංකල්පීයකරණයකි).

අද ‘රාවය’ වාම බුද්ධිමය සංවාදය අත් හල සහ එජාප ව්‍යාපෘතියේ දෘෂ්ටිවාදී කර්තව්‍යන් ඉටු කරන පුවත්පතක තැනට වැටී ඇති සෙයකි. (‘රාවය’ අතීතයේදී පිරවූ විකල්ප කතිකාමය අවකාශය අත්පත් කර ගන්නා සැබෑ විකල්ප පුවත්පතක අවශ්‍යතාව අද බරපතල ලෙස දැනෙමින් තිබෙන අතර ‘ සත්හඬ’ තුළ නව සංවාද අවකාශයක් විවර කරගත හැකිදැ’යි සොයා බැලීම වැදගත්ය). ‘රාවය’ට ලියන අජිත් පැරකුම් ජයසිංහ නවලිබරල් වෙළඳපල මූලධර්මවාදය ආරක්ෂා කරන මාවතේ කොතෙක් දුර ගොස් තිබේද කියතොත් මෑතකදී පුබුදු ජයගොඩ සහෝදරයා සමග මූනත්තහඩු පොතේ (Facebook) කළ වාදයකදී “ධනවතුන් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලැබීමේ ඇති ප්‍රශ්ණය කුමක්දැයි” ඔහු විමසා ඇත. (අජිත් පැරකුම් ධනවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති සම්බන්ධය ගැනද නවලිබරල් ප්‍රතිසංස්කරණ ගැනද ලියා තිබූ දේ න්‍යායික සහ කරුණුමය වැරදි වලින් ගහණය. නමුත් ඉදිරියේදී වඩා දැන උගත් පිරිස් මේ සංවාදයට එක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය). නමුත්, ජනවාරි 08 න් පසුව නවලිබරල්වාදය එළිපිට ආරක්ෂා කළ හැකි තත්වයක් සහ ප්‍රවණතාවක් සිංහල කතා කරන සිවිල් සමාජය තුළින් මතු විය හැකිව තිබීමේ තත්වය අප සැලකිල්ලට ගත යුතුය. මගේ මතය නම් මෙම ‘විය හැකි භාවයට’ එක් හේතුවක් වන්නේ පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරය පසුබිම් කොට ගෙන දේශපාලන ප්‍රධාන ධාරාව තුළ ආර්ථික ගැටළු නිර්-දේශපාලනීකරණය වීමක් ප්‍රවණතාත්මකව සිදුවීමයි.

Nirmal Ranjith Colombo Telegraph(2) මේ මතුව එන ‘නිදහස් වෙළඳපල මූලධර්මවාදය’ සමග අභිමුඛ වීමේදී අප ජනවාරි 08 ආණ්ඩු මාරුවට සහය දැක්වූ සියලුම දෙනා අපගේ පසමිතුරු අක්ෂය වෙත පලවා නොහැරීමට තරම් ප්‍රවේශම් විය යුතුය. මෙහිදී නිර්මාල් වරක් සඳහන් කළ නිදසුනක් අදට අදාළ කිරීමට මම යෝජනා කරමි. ඔහු වරක් සඳහන් කළේ (මගේ වචනයෙන්) නලින් ද සිල්වා සමග වාද කිරීමේදී 80 දශකයේදී ලංකාවේ වාම බුද්ධිමතුන් ප්‍රමාණවත් තරමින් දූරදර්ශී නොවූ බවයි. ඔවුන් නලින් මතු කළ මුලික ඥාන විභාගාත්මක ප්‍රශ්ණ මග හැර යාමෙන් බටහිර සබුද්ධිකවාදයට එරෙහි බුද්ධිමය ප්‍රවණතාවට මාක්ස්වාදී බුද්ධිමය සම්ප්‍රදාය තුළ වර්ධනය වීමට තිබූ අවකාශය අහුරා දැමූ බව නිර්මාල් පවසයි. (මා ඔහුව වැරදියට අර්ථ කථනය කරන්නේ නම් නිර්මාල් මා නිවැරදි කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි). නලින් මාක්ස්වාදයට සපුරාම පසමිතුරු අන්තයකට තල්ලු වීමට මෙයද හේතුවක් විණැ’යි නිර්මාල් යෝජනා කරයි. මා නලින් මාක්ස්වාදයෙන් අපසරණය වීම සම්බන්ධ මෙම තේරුම් කිරීම සමග මුළුමනින්ම එකඟ නොවුවද, බටහිර ප්‍රබුද්ධත්ව සම්ප්‍රදාය රැඩිකල් ලෙස ප්‍රශ්ණ කරන බුද්ධිමය ප්‍රවණතා සෙසු රටවල මාක්ස්වාදී නොහොත් පශ්චාත්-මාක්ස්වාදී සන්ධර්භයන් තුළම පැවතිය හැකි වීම සැලකිල්ලට ගත යුතුව තිබිණැ’යි විශ්වාස කරමි. (ලැක්ලාවූ සහ මූෆ් ගේ ‘හෙජමොනිය’ පොත පළවන්නේ නලින්ගේ ‘මගේ ලෝකය’ පළ වූ කාලයේදීමය). නලින් පිලිබඳ නිර්මාල්ගේ නිදසුන අදට අදාළ කළහොත්, අද අප සමග විවාදයේ නිරත සියළු දෙනාම අප වෙතින් පසමිතුරු අන්තයකට තල්ලු නොකිරීමට අප වග බලා ගත යුතුය. (කොටින්ම නවලිබරල්වාදයේ අවිවේචනාත්මක ආරක්ෂකයින් බවට පත්ව ඇති අජිත් පැරකුම්ට සහ ‘රාවය’ පුවත්පතට ප්‍රතිචාර දක්වන ස්වරයෙන්ම වාම බුද්ධිමය විභවයක් ඇති නිර්මාල් සහ අමරකීර්ති හට සැලකීම නොයුතුය). ලංකාව වැනි රටවල සමාජ සුභසාධනය සඳහා ව්‍යුහාත්මක බාධා ඇතැයි නිර්මාල් කළ ප්‍රකාශ සුමනසිරි සහෝදරයාගේද විවේචනයට ලක්ව ඇති බව සැබෑය. ජනවාරි 08 න් පසු ශිෂ්‍ය ව්‍යාපාරය පිලිබඳ නිර්මාල්ගේ ඇතැම් ප්‍රකාශයන්ද එතරම්ම ප්‍රශ්ණකාරීය. නමුත්, ජනවාරි 08න් පසු එජාපය (එම පක්ෂය නොවේ නම් පුළුල් අරුතින් ‘එජාප ව්‍යාපෘතිය’) සමග අනුගත වූ ‘යහපාලන’ කණ්ඩායම සහ එසේ අනුගත නොවූ කණ්ඩායම අතර වෙනස අප සැලකිල්ලට නොගන්නේ නම් එය අදූරදර්ශී ක්‍රියාවක් වනු ඇත.

(3) ‘යහපාලන බුද්ධිජීවීන් ‘ අතරින් මතු වන තවත් නිශේධනීය ප්‍රවණතාවක් නම් ‘ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්හරණය’ සහ ඒ අනුසාරයෙන් පැන නගින ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ දුස්-සංකල්පනයයි (misconception). මෙහි ප්‍රකාශණයන් කේ. ඩබ්ලිව් ජනරංජන, කුමුදු කුසුම් කුමාර සහ ‘කතිකා අධ්‍යන කවය’ ඇසුරෙහි හඳුනාගත හැකි අතර මෑතකදී චමීර පෙරේරා විසින් Colombo Telegraph වෙබ් අඩවියේ සහ ‘රාවය’ පුවත්පතේ පල කළ “ප්‍රජාතන්ත්‍රවාදයේ අදාලත්වය” නමැති ලිපිය ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සමකාලීන තේරුම් කිරීම් සඳහා සම්භාව්‍ය නිදසුනකි[1]. චමීරගේ ලිපිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යෝජනා කෙරී ඇත්තේ පටු තේරුම් කිරීමකි. පළමුව ඔහු ප්‍රජාතන්ත්‍රවාදය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ලඝු කරයි. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී අපද සම්බන්ධ වූ ‘වමේ පෙරමුණ’ අවධාරණය කළේ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ මූලික බලවේගය තැනූ බහුජන ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපෘතියක් අඩු තරමින් 2011 වසරේ සිට වර්ධනය වෙමින් ආ බවයි. ඒ කටුනායක කම්කරු අරගලය, විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගල, ෆූටා අරගලය, හලාවත ධීවර අරගලය, රතුපස්වල සහ තුන්නාන ස්වයං-සිද්ධ බහුජන පැන නැගීම් යනාදිය ඇසුරෙහිය. එම ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරය ආර්ථික ගැටළු සහ ජන ජීවිතයට අදාළ ඓන්ද්‍රීය ගැටළු කේන්ද්‍රස්ථානයෙහි තැබීය. නමුත් චමීර ඇතුළු යහපාලන කඳවුර පසුගිය මැතිවරණ ව්‍යාපාර පසුබිමෙහි ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රති-අර්ථකථනයට ලක් කළේ ආර්ථිකය ඇතුළු සෙසු ඓන්ද්‍රීය ජීවන ගැටළු නිර්දේශපාලනීකරණය කොට ව්‍යස්ථාමය ගැටළු කේන්ද්‍රයෙහි තබමින්ය. වම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරනවා යනු අමූලික බොරුවකි. කාරණය නම් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ වෙනස් ප්‍රවේශයන් දෙකක් පැවති බවයි. අදටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, යහපාලන ආණ්ඩුව මගින් පනවන ලද මර්ධන නීති (නිදසුනක් ලෙස සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේ තබා ගත හැකි කාල සීමාව දීර්ඝ කිරීමේ විධානය සහ මහජන ආරක්ෂක පනත යටතේ සන්නද්ධ හමුදා රට පුරා සේවයට කැඳවීමේ නියෝගය) අහෝසි කරවා ගැනීම යනාදී අරගලවලට නායකත්වය දෙන්නේ වමයි. මේවා ප්‍රජාතාන්ත්‍රික අරගල නොවේද?

දෙවනුව, චමීර දේශපාලන න්‍යායවේදී ශන්තාල් මූෆ්ගේ අදහස් පදනම් කර ගන්නා බවක් පෙන්නුම් කරන අතරම තමන් සහාය දෙන්නේ ලිබරල්වාදයට නොව ප්‍රජාතන්ත්‍රවාදයට බව ඉඳුරා පවසයි. මෙයින් පෙනෙන්නේ ඔහු මූෆ් උපුටා දැක්වුවද ඇයව හරි හැටි කියවා නොමැති බවයි. ශන්තාල් මූෆ් පවසන පරිදි වාමාංශයේ අරමුණ විය යුත්තේ දෙසිය වසරකට පෙර ඇරඹි ප්‍රජාතාන්ත්‍රික විප්ලවය පෘථුල හා ගැඹුරු බවට පත් කරලීමයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය එක හෙලා ඉවත හෙලීම වෙනුවට කළ යුත්තේ එහි අත්‍යන්ත සීමාකම් විචාරයට සහ විස්ථාපනයට ලක් කිරීම මගින් එය ධනවාදයට දරා ගත නොහැකි තරමට රැඩිකල්කරණය කිරීමයි. මන්දයත්, මූෆ් සහ ලැක්ලාවූ පෙන්වා දුන් පරිදි සමාජය සංවිධානය කිරීම සඳහා “සෑම මානවයෙක්ම නිදහස් හා සමානවේ”ය යන මූලධර්මයට වඩා රැඩිකල් මූලධර්මයක් සොයා ගත නොහැකිය. වත්මනෙහි අප ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය ලෙස දක්නා දේශපාලන දහම 19 වන සියවස තුළත් 20 වන සියවසේ මුල්භාගය තුළත් ඓතිහාසිකව ස්ථාපිත වූවකි. ලිබරල්වාදය කිසිකලෙකත් ස්ථායී, ඒකීය දහමක් ලෙස නොපැවති අතර එය කලින් කලට පුද්ගලික දේපල අයිතිය, පුද්ගල නිදහස, මූලික අයිතීන්, බහුවිධවාදය, නියෝජන ආණ්ඩුකරණය, බලය බෙදීම, රාජ්‍ය-නිර්බාධවාදය, සබුද්ධික පුද්ගලවාදය හා ධනවාදී වෙළඳපල ආර්ථිකය යනාදී සංඝටකයන්හි අසංවිධිත එකතුවක් ලෙස විවිධ ආකෘතීන් ඔස්සේ විකාශය විය. ප්‍රජාතන්ත්‍රවාදය රූසෝවියානු අරුතින් ‘පොදු අභිලාශය’ පිලිබඳ අදහස මත පදනම් වූ අතර පුද්ගලික නිදහසට වඩා පොදු (සමාජයීය) යහපත අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය අතර දිගු කලක් මුළුල්ලේ පැවතියේ ප්‍රතිවිරුද්ධතාවකි. ලිබරල්වාදී දේශපාලන ආයතන ප්‍රජාතන්ත්‍රීයකරණය වීම ‘බහුතරයේ උපරිම සතුට’ වෙනුවෙන් පෙනී සිටි යුරෝපීය උපයෝගීතාවාදය පැන නැගීම ඇසුරෙහි සිදු විය. ලැක්ලාවියානු අරුතින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය අතර ගොඩ නැගුනු සුසම්බන්ධය අහඹු/අනිශ්චිත වූවක් බව සැබෑය; පුද්ගල දේපල අයිතිය සහ පොදු යහපත අතර ආතතිය/ප්‍රතිවිරුද්ධතාව සමකාලීන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සැකසුම් තුළ විවිධ ස්වරූපයන්ගෙන් මතුව ඒ. බහුවිධත්වය හා පොදු අභිමතය අතරද, නිදහස හා සමානත්වය අතරද පවතින්නේ නිරන්තර ආතතිමය සබඳතාවකි. කෙසේ වුවත්, ලැක්ලාවූ සහ මූෆ් රැඩිකල්කරණය කළ යුතු යයි යෝජනා කරන්නේ හුදු ප්‍රජාතන්ත්‍රවාදය නොවේ; ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදයයි; (මෙහිදී නිදහස් ආර්ථිකවාදය සහ ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති වෙනස අවධාරිතය. එසේම ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය අතර කිසිදු අනිවාර්ය සබඳතාවක් නොමැති බවද සිහි තබා ගත යුතුය). මන්දයත්, ප්‍රජා-මූල වාදය පිලිබඳ ස්වකීය න්‍යායික ගවේෂණයේදී මූෆ් පෙන්වා දෙන පරිදි නිදහස හා බහුවිධත්වය පිලිබඳ මූලධර්ම වලින් වෙන් කොට ගත් කල්හී සාමුහික අභිමතය පිලිබඳ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය සමස්තතාවාදී (totalitarian) ස්වරූපයක් අත්පත් කර ගනු ඇත[2]. නිදහසෙන් තොර වූ කල්හී සමානාත්මතාවාදය ගමන් කළ හැකි අන්තය පැරණි සෝවියට් සමුහාණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රාජ්‍ය තන්ත්‍රය විසින් අපට පසක් කොට දී නොතිබේද? මූෆ්ගේ The Democratic Paradox කෘතිය මුළුමනින්ම කැපව ඇත්තේ මේ ගැටළුව විචාරය කිරීම පිණිසය. මේ අනුව, ‘වමේ කේන්ද්‍රයේ’ සාමාජිකයෙක් වන චමීර පෙරේරා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලියා ඇති ඉහත කී ලිපිය දේශපාලනිකව මෙන්ම න්‍යායිකවද ගැටළු සහගතය. ඔහු ශන්තාල් මූෆ් උපුටා දැක්වුයේ මන්දැයි මට නම් සිතා ගත නොහැකිය.                                .

(4) සමකාලීන ලාංකීය සංධර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්හරණය වීමට බලපෑ තවත් ප්‍රධාන කාරණයක් නම් යහපාලනය පිලිබඳ සරලමතික තේරුම් කිරීමයි. යහපාලනය යනු කුමක්දැයි කිසිදු ලාංකීය ලිබරල් බුද්ධිමතෙකු තවමත් හරි හැටි පැහැදිලි කොට නොමැත. නමුත්, එය ප්‍රජාතන්ත්‍රවාදයේ පර්යාය පදයක් ලෙස දිගින් දිගටම භාවිතා කරන ලදී. නමුත්, ප්‍රායෝගිකව මෙරට ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිපත්ති හැඩගැස්වීමෙහිලා බලය හිමි ‘තාක්ෂණ-කළමනාකරණ පංතිය’ යහපාලනය පිලිබඳව අධිපති නවලිබරල් නිර්වචනය ගුරු කොට ගනී. එහෙයින්, යහපාලනය පිලිබඳ එකී නිර්වචනය අනුව යම් යම් කරුණු කාරණා සිද්ධ වෙමින්ද තිබේ. කෙසේ වුවත්, අද දිනයේ මෙරට වාමාංශික දේශපාලනයේ අනාගතය සම්බන්ධයෙන් සේම ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය සම්බන්ධයෙන්ද තීරණාත්මක අවශ්‍යතාවක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලන කතිකාවෙන් ගලවාගෙන පුනර්-නිර්වචනය කිරීමත් එනයින් එය රැඩිකල්කරණය කිරීමත්ය. එයට පෙර අප යහපාලනයේ දේශපාලන පුරා-විද්‍යාව ගවේෂණය කළ යුතුය.

යහපාලනය පිලිබඳ සමකාලීන ගෝලීය කතිකාව පැන නගින්නේ 1989 දී ලෝක බැංකුව විසින් ප්‍රකාශිත ‘Sub-Saharan Africa; from crisis to sustainable growth ‘ නමැති වාර්තාව[3] ඇසුරිනි. එමගින් පරීක්ෂාවට බඳුන් වුයේ නව-ලිබරල් ‘ව්‍යුහාත්මක ගැලපුම්’ වැඩ පිළිවෙල මගින් ලෝක බැංකුව විසින් අපේක්ෂිත ආර්ථික කාර්යක්ෂමතාව එම කලාපය තුළ ඇති නොවුයේ මන්ද යන්නයි. “අප්‍රිකාව තුළ නිදහස් වෙළඳපල ක්‍රමය මනාව ක්‍රියාත්මක වීම සඳහා හුදු ආණ්ඩුකරණයක් පමණක් නොව යහපාලනයක්ද අවශ්‍ය වේ”ය යන්න එම වාර්තාව මගින් ඉදිරිපත් වූ නිගමනයයි. ඉන්පසුව ‘යහපාලනය’ යන්න ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව සහ සෙසු ගෝලීය මුල්‍ය ප්‍රාග්ධන ඒකාධිකාරීන්/කළමණාකාරීන් අතර ප්‍රචලිත යෙදුමක් බවට පත් විය. එය එම ආයතනවල ණය ප්‍රතිපත්තීන්වල අංගයක් බවටද පරිවාරයේ රටවල් කෙරෙහි මැදිහත්වීමේ උපක්‍රමික මෙවලමක් බවටද පරිවර්තනය විය. ‘යහපාලනය’ සිංහල දේශපාලන කතිකාවට එක් වුයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ලාංකීය ඊනියා සිවිල් සමාජ න්‍යාය පත්‍රය ඇසුරිනි. මෙම යහපාලනය පිලිබඳ ව්‍යාපෘතිය ලැක්ලාවූ, මූෆ්, බදියු, රොන්සියර්, ශිෂෙක්, නෙග්‍රී සහ හාර්ඩ් යනාදී සමකාලීන රැඩිකල් න්‍යායවේදීන්ගේ තියුණු විවේචනයට ලක් වූ ‘දේශපාලනය කළමනාකරණ භාවිතයකට යටත් කිරීමේ’ (සහ එනයින් එය රැඩිකල්හරණයට නොහොත් නිර්-දේශපාලනිකරණයකට ලක් කිරීමේ) ඊනියා පශ්චාත්-දේශපාලන තර්කනය ඇසුරින් පැන නැගුනකි.

මා වෙනත් ලිවීම් වලදී පෙන්වා දී ඇති පරිදි යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර කිසිදු අනිවාර්ය සම්බන්ධයක් නැත. ලාංකීය යහපාලනවාදීන් යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ පර්යාය පදයක් ලෙස භාවිතා කළද, ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන සැකසුම් තුළ යහපාලනය ක්‍රියාත්මක වීම පිලිබඳ ජාත්‍යන්තර නිදසුන් රැසක් පවතී. 1992 දී ලෝක බැංකුව විසින් ප්‍රකාශිත ‘Governance and Development’ නමැති වාර්තාවට[4] අනුව යහපාලනය නිර්වචනය කෙරී ඇත්තේ ‘මනා සංවර්ධන කළමනාකරණයට’ සාම්‍ය වූ යෙදුමක් ලෙසය. යහපාලනයේ මුලිකාංග ලෙස එය දක්වන්නේ රාජ්‍ය අංශයේ ප්‍රශස්ත කළමනාකරණය, වගවීම, තොරතුරුවල නිදහස් ගලනය (විනිවිදභාවය) සහ සංවර්ධනය සඳහා උචිත නෛතික රාමුවක් පැවතීම යන මේවාය. මේ කිසිවක් සඳහා ප්‍රජාතාන්ත්‍රික චින්තනයේ අත්‍යන්ත අංගයන් වන සමානාත්මතාව, ජනතා නියෝජනය, පුද්ගල සහ සමාජ නිදහස, ජනතා පරමාධිපත්‍යය හෝ බහුවිධත්වය යනාදිය අත්‍යවශ්‍ය පූර්ව-කොන්දේසි වන්නේ නැත. එහෙයින්,ලාංකීය සංධර්භය තුළ සිංහල වර්ගෝත්තමවාදී හෙළ උරුමය යහපාලනයේ ප්‍රධාන ප්‍රකාශකයා වීම පුදුමයට කාරණයක් නොවේ.

(5) ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ විකල්ප වාමාංශික තේරුම් කිරීමක් සඳහා අප මහජන නියෝජනය පිලිබඳ සමස්ත ගැටලුවම නව සංකල්පීය රාමුවක් තුළ ස්ථානගත කළ යුතුව ඇත. පසුගිය ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය වනාහී මා දන්නා තරමට ලිබරල් සමාජ සම්මුතිවාදය සිංහල ජනප්‍රිය දේශපාලන වහර තුළ වඩාත්ම පුළුල් ලෙස ව්‍යාප්ත කළ දේශපාලන සංසිද්ධියයි. යහපාලන සිවිල් සමාජ කඳවුරේ සියලු දෙනා පුනරුච්ජාරණය කළේ ජෝන් ලොක්ගේ සමාජ සම්මුතිවාදී දහමයි. ජනරංජන මැතිවරණ සමයේ රුපවාහිනී නාලිකා වල කළ කතා ජෝන් ලොක්ගේ දේශපාලන න්‍යාය පිලිබඳ සරසවියේ පළමු වසර දේශණ සිහි ගැන්වීය. ගාමිණී වියන්ගොඩ එකල රාවයට ලියූ ලිපිද එපරිදිමය. නමුත්, පාලකයා සහ පාලනය වන්නා අතර සම්බන්ධය සංකල්පගත කිරීමේ එකම ආකෘතිය ලිබරල් සමාජ සම්මුතිවාදය පමණක් නොවේ. (වමේ අදහස් යල් පැන ගියා යයි චෝදනා කරන්නන් පුනරුච්ජාරණය කරන්නේ කොතරම් පැරණි සංකල්ප රාමු ද?). මා මෙම කාරණය අරභයා වන බුද්ධිමය මැදිහත්වීමක් සඳහා ග්‍රාම්ස්චිගේ ඓතිහාසික හවුල (සහ පශ්චාත්-ග්‍රාම්ස්චියානු ජාත්‍යන්තර දේශපාලන ආර්ථික පාසැල විසින් වර්ධනය කළ ‘නවලිබරල් පාර-ජාතික ඓතිහාසික හවුල’) යන සංකල්පය සමකාලීන ලංකාවට අදාළ කිරීමට යෝජනා කරමි. මේ කරුණ මා මෑතකදී පල කළ ‘ජාතික ආණ්ඩු ප්‍රයාණය සංකල්ප ගත කිරීම සඳහා න්‍යායික කටු සටහන්[5]‘ නමැති ලිපියේ තරමක් සාකච්ජා කළ බැවින් එය මෙහි පුනරුච්ජාරණය නොකරමි. නමුත්, ලිබරල් සමාජ සම්මුතිවාදයෙන් මෙම ප්‍රවේශය වෙනස් වන්නේ කෙසේ දැයි කෙටියෙන් පවසන්නේ නම්,

ලිබරල් සමාජ සම්මුතිවාදය තුළ ස්වාධිපති රාජ්‍යය පුරවැසියන් අතර සම්මුතියක් ඇසුරින් ගොඩ නැගෙන බව තේරුම් කරයි. ග්‍රාම්ස්චියානු න්‍යාය එකී සම්මුතිය යම් පංතියක/සමාජ කණ්ඩායමක හෙජමොනික ව්‍යාපෘතියක ප්‍රතිපලයක් බව පෙන්වා දී එනයින් සමාජ සම්මුතියෙහි පදනම්මය බල සබඳතා සහ දේශපාලනික තර්කනයන් අවධාරණය කරයි.

(6) අපගේ අවධානයට ලක්‌ විය යුතු තවත් වැදගත් කරුණක් නම් ‘ජාතික ආණ්ඩුව’ නමින් කරළියට ආ ඊනියා සම්මුතිවාදී දේශපාලනය සංකල්පගත කර ගන්නේ කෙසේද යන්නයි. මෙය යහපාලන සිවිල් සමාජය විසින් මුළුමනින්ම නොතකා හරින ලද කරුණකි. ඊනියා ජාතික ආණ්ඩුව බිහි වී මාසයක් ඉකුත් වී යනතුරුත් රාවය පුවත්පතේ ඒ පිලිබඳ කිසිදු විචාරාත්මක ලියමනක් පළ නොවීය. ලංකාවේ දේශපාලනයට අදාළ තීරණාත්මක පරිවර්තනයක් ප්‍රමාණවත් විචාරයකට ලක්‌ නොවී පැවතීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? අප සිදුවීම් වල රළ වේගයෙහි ඔහේ පාවෙමින් යන පැවැත්මකට අවතීර්ණ වෙමින් සිටින බව විය නොහැකිද? විශේෂයෙන්ම එජාප-ශ්‍රීලනිප සන්ධාන ආණ්ඩුව බිහි කිරීමෙහිලා දායකත්වය දැක්වූ යහපාලන සිවිල් සමාජයට ඒ පිලිබඳ නිහඬවත රැකිය නොහැකිය. මෙහිදී වාමාංශයේ විශේෂ අවධානයට ලක්‌ විය යුත්තේ මෙම පක්ෂ දෙකේ සම්මුතියට පසුබිම සැකසූ වඩා පුළුල් දේශපාලන ආර්ථික තත්වයන් සහ ගෝලීය තලයේ පරිවර්තනයන් දෙසය. මන්දයත් ප්‍රධාන ධාරාවේ ධනපති පක්ෂ අතර සම්මුතිවාදී දේශපාලනයක් ගොඩ නැගීම අඩු තරමින් 80 දශකයේ අග භාගයේ සිට වර්ධනය වූ ප්‍රවණතාවකි. ගෝලීයව එහි පසුබිම වූයේ පශ්චාත්-තෘෂ්ණියුධ කාලීන ධනවාදයේ නව මුහුණුවරයි. ‘ඉතිහාසයේ අවසානය’ නිවේදනය කිරීම සහ ‘නවලිබරල් ධනවාදයට විකල්පයක් නොමැත’ යන අදහස අධිපති දේශපාලන සිතීම බවට පරිවර්තනය වීම මේ යුගයේ වැදගත් ගති ලක්ෂණයන්ය. ලංකාවේ මෙම සම්මුතිවාදයට දේශපාලන පදනම සැකසුණේ 1994 දී වුවත් සම්ප්‍රදායික පාලක ප්‍රභූන් අතර ඒ සඳහා වන දේශපාලන අධිෂ්ඨානය ගොඩ නැගුණේ රාජපක්ෂ-විරෝධී ව්‍යාපාරය පසුබිම් කොටගෙනය.

ගෝලීයව ප්‍රවණතාවක් බවට පත් වූ සම්මුතිවාදී දේශපාලනය ගැන (චමීර පෙරේරාද උපුටා දැක්වූ) ශන්තාල් මූෆ් ඇතුළු වාම න්‍යායවේදීන් දක්වන ප්‍රතිචාරය විමසා බැලීම අපට ලංකාවේ තත්වය සංකල්පගත කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. තෘෂ්ණි යුද්ධයේ නිමාවෙන් පසුව විශේෂයෙන්ම යුරෝපීය සංධර්භයන් තුළ මධ්‍ය-වාමාංශික සහ මධ්‍ය-දක්ෂිණාංශික පක්ෂ නායකත්වයන් අතර ගොඩ නැගුනු “මාධ්‍යමික සම්මුතිකාමිත්වය” ශන්තාල් මූෆ් “පශ්චාත් දේශපාලනය” ලෙස සංකල්පගත කරයි[6]. ඇය පෙන්වා දෙන පරිදි ටෝනි බ්ලෙයාගේ ඊනියා නව කම්කරු පක්ෂ ප්‍රවණතාව මාග්‍රට් තැචර් විසින් ස්ථාපිත කළ නව-ලිබරල් න්‍යාය පත්‍රයේ මූලධර්ම ප්‍රශ්ණ නොකළේය. මාධ්‍යමික-වම නව-ලිබරල්වාදයට විකල්පයක් ඉදිරිපත් කිරීමට අසමත් විය. ප්‍රංශයේ ෆ්‍රන්සුවා හොලන්ඩේගේ සමාජවාදී ආණ්ඩුව සාර්කොසිට වඩා වෙනස් කිසිවක් නොකළේය. මාධ්‍යමික වාමාංශික සපටිරෝද දක්ෂිණාංශයෙන් මුලධාර්මිකව වෙනස් නොවීය. මූෆ් ‘On the Political’ (2005) කෘතිය මගින් වම සහ දකුණ අතර ඊනියා තුන්වන මාවතක් ගැන කතා කරමින් “වෙළඳපල ධනවාදයට විකල්පයක් නොමැත” යන අදහසට උල් පන්දම් දුන් උල්රිච් බෙක් සහ ඇන්තනි ගිඩන්ස් තියුණු විවේචනයකට ලක් කරයි. ඔවුන්ගේ සම්මුතිවාදී දේශපාලනයේ ප්‍රතිපලය වන්නේ ප්‍රජාතාන්ත්‍රික අවකාශයෙන් පසමිතුරුතාවන් බහීෂ්කරණය කිරීමත් එනයින් දේශපාලනය හුදු කළමනාකරණ තර්කනයකට අනුව යළි හැඩ ගැසීමත්ය.

යහපාලනය සහ තදනන්තර සම්මුතිවාදී ආණ්ඩුව යටතේ ලංකාවේ සිදු වෙමින් පවතින්නේද එවැන්නක් නොවේද? විශේෂයෙන්ම රනිල්-මෛත්‍රී පාලනය යටතේ ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීම සහ විදේශ සබඳතා ක්ෂේත්‍රය වේගයෙන් (ග්‍රම්ස්චියානු අරුතින්) තාක්ෂණ කළමනාකරණ පංතියක් අතෙහි ගොනු වෙමින් තිබේ. අර්ජුන් මහේන්ද්‍රන් හා පාස්කරලිංගම් එහි ප්‍රසිද්ධ ප්‍රකාශන දෙකක් පමණි. රනිල්ගේ ඉන්දීය සංචාරයේදී එළැඹි ද්වි-පාර්ශික එකඟතා ගැන තවමත් ඇත්තේ නොපැහැදිලිතාවකි. විශේෂයෙන්ම නිදහස් වෙළඳපල ක්‍රියාකාරිත්වයට අදාළ ප්‍රතිපත්ති හැසිරවීම මහජන සංවාදයෙන් දුරස් කීරීම ඉදිරියේදී වඩ වඩාත් බලාපොරොත්තු විය හැකිය. යහපාලනය යටතේ විනිවිදභාවය ගැන කුමක් පැවසුවද ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ ක්ෂේත්‍රය මහජන පරීක්ෂාවට කෙසේවත් අනාවරණය නොවේ. මෑතකදී රාවයට සම්මුඛ සාකච්ජාවක් දෙමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඕ.ජී දයාරත්න ප්‍රකාශ කොට තිබුණේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී වාමාංශික දේශපාලන පක්ෂ ආණ්ඩුකරණයෙන් ඈත් කොට තැබිය යුතු බවයි[7].

රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් සම්පාදිත (නමුත් සම්මත නොකළ) තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත තුළද ව්‍යාපාරික රහස් අනාවරණය නොකිරීමේ නාමයෙන් ආර්ථික ක්ෂේත්‍රයට අදාල වැදගත් තොරතුරු විනිවිදභාවයට යටත් නොකර පවත්වා ගැනීමට ඉඩ සලසා ඇත. (‘රාවය’ පුවත්පත ඇතුළු යහපාලන සිවිල් සමාජය තවමත් නහයෙන් අඬන්නේ මෙම යෝජිත පනත් කෙටුම්පත සම්මත නොකිරීම ගැනය; එහි විනිවිදභාවය ආර්ථික ක්ෂේත්‍රයටද අදාළ කෙරෙන පරිදි එම පනත් කෙටුම්පතේ අන්තර්ගතය වෙනස් කරන ලෙස ඔවුන් නොඉල්වයි; හරියට කුමුදු කුසුම් කුමාර ඇතුළු වමේ කේන්ද්‍රය යෝජිත 20 වන සංශෝධනය මගින් කුඩා පක්ෂ වලට සහ ප්‍රාදේශීයව විසිරුණු සුළු ජනවාර්ගික පක්ෂ වලට වන අසාධාරණය ගැන නොතකා එය හුදෙක් සම්මත කරන ලෙස ඉල්ලූ පරිදිමය). ඩේවිඩ් හාවී යළි යළිත් පෙන්වා දෙන පරිදි නවලිබරල්වාදය තුළ පුද්ගලික සමාගම් නීතිය ඉදිරියේ පුද්ගලයන් ලෙස සලකා පුද්ගලික අයිතීන් වලට අදාල ලිබරල් මුලධර්ම ඒකාධිකාරී සමාගම්වල අවශ්‍යතා උදෙසා භාවිතා කරනු ලැබේ[8]. මේ යහපාලනය නවලිබරල් කතිකාව තුළ අර්ථ කථනය වූවක්ය යන්නට තවත් නිදසුනකි.

(7) මාධ්‍යමික සම්මුතිවාදී දේශපාලනය පිලිබඳ විචාරයකදී අපගේ සැලකිල්ලට ලක්‌ විය යුතු තවත් චින්තකයෙක් නම් ජාක් රොන්සියර්ය. දැනට ඔහු පිලිබඳ සිංහලෙන් යම් සාකච්ජාවක් සිදු වනවා නම් ඒ ඔහුව සිනමා සහ සංස්කෘතික විචාරකයෙකු ලෙස හඳුන්වා දෙමින් කරන සාකච්ජාවකි. මේ රොන්සියර් පිලිබඳ අතිසරල අර්ථකථනයකි. ඔහුගේ සිනමා න්‍යාය දේශපාලන න්‍යායෙන් වෙන් කළ නොහැකිවා පමණක් නොව පළමුවැන්න දෙවැන්න තුලින් පැන නගින්නේද වේ. එහෙයින්, රොන්සියර්ගේ සිනමා විචාර න්‍යාය පිළිගන්නා අතර ප්‍රායෝගිකව මාධ්‍යමික සම්මුතිවාදයට සහය දැක්වීම හරියට අයිජාස් අහමඩ් ඉන්දීය නිර්ප්‍රභූ ඉතිහාසවේදීන් සම්බන්ධයෙන් පැවැසූ පරිදි ග්‍රාම්ස්චි කොමියුනිස්ට්වාදියෙකු බව අමතක කොට ඔහුව සංස්කෘතික උපරිව්‍යුහය පිලිබඳ චින්තකයෙකු ලෙස භාර ගැනීම වැනිය.

රොන්සියර්ගේ දේශපාලන ලිවීම් බොහොමයක් 1981 සිට 1995 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධූරය දැරූ ප්‍රන්ශුවා මිතරෝන්ගේ ඊනියා දේශපාලන සම්මුතිවාදයට එරෙහිව ලියැවී ඇත. මිතරෝන් බලයට පත් වන විට එකල මතු වෙමින් තිබු තැචර්-රේගන් බල හවුලේ නව-ලිබරල් වෙළඳපල මුලධර්මවාදයට විරුද්ධ ස්ථාවරයක් ප්‍රකට කළේය. ඔහු ඇතැම් පුද්ගලික ආයතන රජයට පවරා ගැනීම, රැකියා උත්පාදනය, රාජ්‍ය අංශයේ වැටුප් ඉහල දැමීම, සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති සහ වඩා ප්‍රගතිශීලී විදේශ ප්‍රතිපත්තියක් යෝජනා කළේය. නමුත් බලයට පත්ව වසරක් ගත වී යත්ම ඔහු දේශපාලන ‘යූ ටර්න්’ එකක් ගසා රජයේ වියදම් කපා හැරීම, සමාජ ප්‍රතිසංස්කරණ සුමට කීරීම සහ වඩා ප්‍රයෝජ්‍යතාවාදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කීරීම ඇරඹීය. ප්‍රංශයේ දක්ෂිණාංශික ආණ්ඩුවලට ‘සමාජවාදී’ මිතරෝන් සමග සම්මුතිවාදී දේශපාලනයක නිරත විය හැකි විය. රොන්සියර් පෙන්වා දෙන පරිදි මිතරෝන් 1988 දී යලි බලයට පත් වන විට ඔහු 1981 දී යෝජනා කළ ප්‍රතිසංස්කරණ යෝජනා සියල්ල ඉවත දමා තිබිණ. පසුකාලීනව බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු යුරෝපීය රටවල ප්‍රවණතාත්මක ලෙස වර්ධනය වූ මධ්‍ය-වාමාංශික, මධ්‍ය-දක්ෂිණාංශික සම්මුතිවාදී දේශපාලනයේ ‘ප්‍රොටෝ’ මොඩලය මිතරෝන් විසින් 1982 තරම් ඉහතදී එලෙස ඉදිරිපත් කෙරිණ. රොන්සියර්ගේ දේශපාලන න්‍යාය ගොඩ නැගෙන්නේම නව ලිබරල් ප්‍රතිපත්තිවලට දේශපාලන පසුබිම සැකසූ මෙම සම්මුතිවාදයට එරෙහිවය. ඔහු සිය ‘Disagreement: Politics and Philosophy (1998)’ කෘතියේ පටන්ම පවත්නා තත්වය යුක්ති සහගත කරන ‘පොලිස්’ තර්කනයට එරෙහිව දේශපාලන තර්කනය පෙරට ගෙන ඒම යෝජනා කරන විට ප්‍රායෝගිකව අභියෝග කළේ වර්ධනය වෙමින් පැවැති මෙම මාධ්‍යමික සම්මුතිවාදයටය.

(8) අවසන් වශයෙන් ඉහත කී කරුණු වැදගත් වන්නේ අද දිනයේ ලාංකීය වාමාංශය මුහුණ පා සිටින අභියෝගයන් ජය ගැනීමේ බුද්ධිමය ප්‍රයත්නයක් සඳහාය. මා සිතන්නේ වම අද මුහුණ දී සිටින වඩාත්ම බරපතල අර්බුධය වන්නේ එහි දේශපාලන බලය ගිලිහී ගිය පසුවද කාලයක් යනතුරු වමට (ග්‍රාම්ස්චියානු අරුතින්) හිමිව තිබු බුද්ධිමය සහ සදාචාරමය නායකත්වය –විශේෂයෙන්ම නවලිබරල් යහපාලන ව්‍යාපෘතිය කේන්ද්‍රයට පැමිණීම හමුවේ– ප්‍රශ්ණ කිරීමට ලක් වීමය. දැනට මේ ප්‍රශ්ණ කිරීම් වල යෙදෙන්නේ ප්‍රාමාණික බුද්ධිමතුන් විසින් නොවූවද ඉදිරියේදී වඩා දැන උගත් පිරිස් මේ ප්‍රවාහයට එක් වීමට ඉඩ තිබේ. මේ සඳහා නිදසුන් නම්, ‘නවලිබරල් ප්‍රතිසංස්කරණ වලට විකල්පයක් නැත’ යන මතය ජනප්‍රිය වීම, ජවිපෙ පසුගිය මැතිවරණයේදී සංකේතාත්මකව ‘ඉතිහාසයේ අවසානය පිළිගැනීම’ (මා මෙය මීට ඉහතදී පැහැදිලි කොට ඇත්තෙමි[9]), රාවය මාධ්‍යමික වමේ සිට දකුණට හැරීම, ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනයෙන් නිර්වචනය වීම, ආර්ථික ප්‍රතිපත්ති ක්ෂේත්‍රය දේශපාලන සංවාදයෙන් බැහැර වී යාම යනාදී මේවාය. ඉදිරියේදී වඩා තීරණාත්මක දේශපාලන අරගල අතරින් එකක් වනු ඇත්තේ විපාක්ෂික අවකාශය දිනා ගැනීම අරභයා වන අරගලයයි. එම අවකාශය ජාතිවාදීන් විසින් අත්පත් කර ගැනීම වැලැක්වීමට නම් වාමාංශය විසින් නායකත්වය දෙන රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික අරගල වලට පුළුල් සහායක් හිමි විය යුතුය. වත්මන් ආණ්ඩුවේ මර්ධන නීති සහ ක්‍රියාකාරීත්වයන්ට විරෝධය දක්වමින් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට බල කරමින් ඇරඹි ව්‍යාපාරයට වුවත් ‘ජනවාරි 08 විප්ලවයක්’ වූයේ යැයි විශ්වාස කළ බොහෝ සිවිල් සමාජ කොටස් සහාය නොදුන්නේය. එනයින් ඔවුන් (වක්‍රව) ජාතිවාදීන් හට විපාක්ෂික අවකාශය අත් පත් කර ගන්නට ඉඩ සලසයි. දැනට දේශපාලනය ගමන් කරන දිශාව අනුව බැලූ විට මෙම ජාතිවාදී බලවේග 2020 දී (හෝ ඊට පෙර) ඇතැම් විට මෛත්‍රිපාලගේ නායකත්වයෙන් මැතිවරණ ජයග්‍රහණයක් සඳහා මාන බලනවා විය හැකිය. මෙය සිදු විය නොහැක්කක් නොවේ. මෛත්‍රීපාල ඉක්මනින් පක්ෂය තුළ බලය තහවුරු කරගත හොත් ජවිපෙ ඇතුළු කුඩා පක්ෂ සහ වාර්ගික සුළුතර කණ්ඩායම් නියෝජන ආයතනවලින් පලවා හැරිය හැකි ලෙස හැඩ ගසන ලද 20 වන සංශෝධන යෝජනාව යළි පෙරට ගැනීමටද ඉඩ ඇත. මේ තතු යටතේ රාජපක්ෂ-විරෝධී ව්‍යාපාරයට සහාය දැක්වූ නමුත් නවලිබරල් යහපාලන ව්‍යාපෘතිය කෙරෙහිද විවේචනාත්මක වන බුද්ධිමතුන් සහ සමාජ ක්‍රියාකාරීන් සමග සංවාදයක් ගොඩ නගා ගැනීම වමේ ඉදිරි ගමන සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය වුවමනාවකි.

මා “නිර්මාල් සමග නැගිටිමු” යැයි යෝජනා කරන්නේ සිංහල ජාතිකවාදීන් “මහින්ද සමග නැගිටිමු” යැයි යෝජනා කරන අරුතින් නොවේ. පෙරටුගාමී වම නැගිටීමට ප්‍රයත්න දැරිය යුත්තේ නිර්මාල්ලාද සමග මිස තනිව නොවේය යන්න සංකේතාත්මකව ගෙන හැර දැක්වීම සඳහාය. නවලිබරල් පාරජාතික ඓතිහාසික හවුල පුළුල් අරුතින් අනේකත්වය ලෙස ගත් කල්හි කිසිවෙකුටත් තනිව නැගිටිය නොහැකිය. දැන් ප්‍රතිසංවිධානය වෙමින් සිටින ජාතිවාදී විපක්ෂය අනේකත්වය ලෙස ගත් කල්හිද තත්වයෙහි වෙනසක් නැත. ජාතිවාදය පරාජය කිරීම වෙනුවෙන් ගෙවන මිළ ලෙස නවලිබරල් අධිකාරය පිලි ගන්නවාද? දයාපාල තිරාණගම වැන්නන් යෝජනා කරන බව පෙනෙන්නට තිබෙන්නේ ඒ මාර්ගයයි[10]. දේශපාලන ප්‍රයෝජ්‍යතාවාදයේ එතරම් දුර ගිය පසුව මූලධාර්මික වෙනසක් ගැන කිසිවක්ම සිතිය නොහැකිය.

මා යෝජනා කරන්නේ ක්‍රමයෙහි මූලධාර්මික පරිවර්තනයක් කළ හැකි යැයි විශ්වාස කරන්නන් සේම එවැන්නක් කළ යුතු යැයි විශ්වාස කරන්නන්ද වමේ සංවාදයට එක් කරගත යුතු බවය. වමේ බුද්ධිමය සහ සදාචාරමය නායකත්වය යළි ගොඩ නගා ගැනීම සඳහා විවිධත්වයෙන් (සහ විවාදයන්ගෙන්) යුත් පුළුල් බුද්ධිමය සංස්කෘතික කඳවුරක් අවශ්‍යය. ඒ සඳහා වන සංවාදයකට දායකත්වය දැක්විය හැකි පිරිස අතර පුබුදු ජයගොඩ, සුමනසිරි ලියනගේ, විදර්ශන කන්නන්ගර, ප්‍රභාත් හේමන්ත, සුපුන් විශ්වබුද්ධි, විදුර මුණසිංහ, රමිඳු පෙරේරා, ගීතිකා ධර්මසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර, කෞශල්‍ය කුමාරසිංහ, අතුලසිරි සමරකෝන්, උපුල් වික්‍රමසිංහ, වරා ත්‍යාගරාජා, අමාලි වෙදගෙදර, සජිතා ලක්මාලි සහ නාලක විජේවර්ධන යනාදීහු වෙති. මේ ලැයිස්තුව සැබවින්ම මීට වඩා බොහෝ දිගය. නිර්මාල් සමග සංවාදය (හෝ විවාදය) මෙවන් සමාරම්භකත්වයක ප්‍රුමුඛත්වයට ඒම වැළැක්විය නොහැකිය.


[1] https://www.colombotelegraph.com/index.php/chameerasep-07-2015/

[2] Mouffe, Chantal, (2000), The Democratic Paradox, New York: Verso.

[3] http://www-wds.worldbank.org/external/default/WDSContentServer/WDSP/IB/1999/12/02/000178830_98101901364149/Rendered/PDF/multi0page.pdf

[4] http://www-wds.worldbank.org/external/default/WDSContentServer/WDSP/IB/1999/09/17/000178830_98101911081228/Rendered/PDF/multi_page.pdf

[5] https://www.colombotelegraph.com/index.php/sumith-chaamindasep-11-2015/

[6] Mouffe, Chantal (2005), On the Political, Abingdon and NY: Routledge.

[7] http://ravaya.lk/?p=10224

[8] Harvey, David (2005), A Short History of Neoliberalism, Oxford University Press.

[9] https://www.colombotelegraph.com/index.php/sumith-chaamindaaugust-18-2015/

[10] https://www.colombotelegraph.com/index.php/the-political-emancipation-of-sri-lanka/

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.