28 March, 2024

Blog

ලාංකීය ලිබරල්වාදයේ අර්බුදය සහ සිස්ටම් චේන්ජ්

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

කලකට පසු කොළඹ විශ්වවිද්‍යාලය යළිත් අරගල බිමක් බවට පරිවර්තනය විය. ඒ සඳහා විශාලම දායකත්වය දැක්වූයේ ශ්‍රී ලංකා පොලීසියයි. ඒ පසුගියදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ ශිෂ්‍ය උද්ඝෝෂණයකට කොළඹ විශ්වවිද්‍යාලය අසලදී ප්‍රහාරයක් එල්ල කිරීම මගිනි. ශාරීරික ප්‍රහාරයක් හමුවේ සිදු කෙරෙන සොබාවික ප්‍රතිචාරයක් ලෙස සිසුන් සරසවි පරිශ්‍රය තුළට දිව ගියහ. එවිට පොලිසිය කළේ සරසවි පරිශ්‍රය තුළට අනවසරයෙන් ඇතුල් වී ප්‍රහාර එල්ල කිරීමයි. ඉනුත් නොනැවතී ඒ වනවිට දෛනික අධ්‍යයන කටයුතු සිදුවෙමින් පැවති විශ්වවිද්‍යාලයක් වෙත කඳුළු ගෑස් මුදා හැරීමයි. වාර්තා වන ආකාරයට එහි ප්‍රතිපලයක් ලෙස විශ්වවිද්‍යාලයේ ආරක්ෂක කටයුතුවල නිරත වෙමින් සිටි නිලධාරී මහතෙකු මරණයට පත් වී තිබේ. පොලීසිය සාමාන්‍යයෙන් මෙවන් ප්‍රහාර සාධාරණීකරණය කරන්නේ මහජන සාමය ආරක්ෂා කිරීම, මාර්ග අවහිරතා වැලැක්වීම වැනි හේතු ඉදිරිපත් කරමින්ය. උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා උසාවි නියෝග ලබා ගන්නේද එවන් හේතු දැක්වීම් මත පදනම් වෙමින්ය. නමුත්, විශ්වවිද්‍යාල භූමියක් තුළට ඇතුල් වී සිසුන්ට ප්‍රහාර එල්ල කිරීමක් එවන් කිසිදු හේතු දැක්වීමක් මගින් යුක්තිසහගත කළ නොහැකිය. එය පැහැදිලිවම උසාවි නියෝගයේ සීමාවන් ඉක්මවා යාමකි.

පොලිස් ප්‍රහාරයට අණ දුන් අය හට ඉදිරිපත් කරන්නට හැකි එකම තර්කය වන්නේ උද්ඝෝෂකයින් පාලනය කිරීම සඳහා ඔවුන් හඹා ගොස් පහරදීමටත් ඔවුන් පළා යන ස්ථාන වෙත කඳුළු ගෑස් එල්ල කිරීමටත් සිදු වූවාය යන්නයි. මෙම අතිශය නිර්-ප්‍රජාතාන්ත්‍රික තර්කය අනුව, යම් හෙයකින් පහර කෑමට ලක් වූ සිසු සිසුවියන් රෝහල් භූමියක් තුළට දිව ගියේ නම් එම රෝහල වෙත වුවත් කඳුළු ගෑස් එල්ල කිරීම සාධාරණීකරණය කළ හැකිය. සැබවින්ම මේ වනාහී යුද්ධය පැවති අවධියේ රාජපක්ෂ පාලනාධිකාරයේ දෘෂ්ටිවාදය සැකසූ සිංහල වර්ගෝත්තමවාදීන් විසින් ඉදිරිපත් කරන ලද දැක්ම මිස අන් කිසිවක් නොවේ. ත්‍රස්තවාදය මර්දනය කිරීම පිණිස ත්‍රස්තවාදීන් පළා ගොස් සැඟවෙන පාසැල් හා රෝහල් වෙත වුවත් බෝම්බ හෙළීමට සිදුවේය යන්න එකල දකුණේ යුදවාදීන්ගේ අදහස විය. දැන් රනිල් වික්‍රමසිංහගේ පාලනාධිකාරය සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රතිචාර දක්වනු ලබන්නේ එම ‘යුදවාදී රාජපක්ෂ දෘෂ්ටිය’ අනුයමිනි. වික්‍රමසිංහ රාජපක්ෂලාගෙන් වෙන් කොට දක්වන්නට ප්‍රයත්න දරන ඇතැම් ඊනියා ලිබරල්වාදී විශ්ලේෂකයින් හට මගහැරෙන කාරණය වන්නේ එයයි.

ප්‍රභූ තන්ත්‍රයට ආවඩන ලිබරල්වාදීන්

රාජපක්ෂ-වික්‍රමසිංහ සන්ධානය කොතරම් යථාර්තයක්ද යන්න ඇස් පනාපිට පෙනෙමින් තිබියදීත් එය එසේ නොවේ යැයි පෙන්නුම් කරන්නට ප්‍රයත්න දරන ලාංකීය ලිබරල්වාදීන් පත්ව සිටින තත්ත්වය සමාන වන්නේ යාන්ත්‍රිකව ඉහළ සිට එන අණ ක්‍රියාත්මක කිරීමේ අප්‍රියජනක රැකියාවක නිරතව සිටින පොලිස් හා ආරක්ෂක හමුදා භටයන්ගේ තත්ත්වයටය. මන්දයත්, එම දෙපිරිසටම කරන්නට සිදුව තිබෙන්නේ තම දේශපාලන ස්වාමියාගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ සාමාන්‍ය තර්ක බුද්ධියට එරෙහිව යාමය.

ජනතා විරෝධය හමුවේ බිඳ වැටුණු රාජපක්ෂ පාලනාධිකාරයට තව දුරටත් බලය හොබවන්නට හැකිව තිබෙන්නේ වික්‍රමසිංහගේ මැදිහත්වීමට පින් සිදුවන්නට බව නොදන්නෝ කවරහුද? තම බලය තහවුරු කරගත් වහාම ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහි ප්‍රහාරයක් දියත් කළ වික්‍රමසිංහ, පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නොබියව තම ගම් පළාත්වලට ගොස් ආපසු සංවිධාන වැඩ ආරම්භ කළ යුතු බවයි. එම පණිවිඩය දුන්නේ ඔහුගේ පක්ෂයේ ක්‍රියාකාරීන්ට නොව රාජපක්ෂ බල-ජාලයටය. ඉනුත් නොනැවතී එජාපය සහ පොදුජන පක්ෂය අතර මැතිවරණ සන්ධානයක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ඔහු විසින්මය. ආර්ථික අර්බුදය සඳහා ක්‍රියාවට නගමින් තිබෙන ‘වික්‍රමසිංහ විසඳුම’ තුළ රාජපක්ෂ බල-ජාලයේ දේශපාලන-ව්‍යාපාරික ශ්‍රේණීන්ට කිසිදු අවහිරයක් සිදු නොවීම කිසිසේත්ම පුදුමයට කරුණක් නොවේ. එක් අතකින් අයි.එම්.එෆ් උපදෙස්වල අංගයක් ලෙස ඉහළ වැටුප් ලබන වෘත්තිකයින් හට ආදායම් බදු පණවන අතර (වමේ දෘෂ්ටියෙන් ගත් කල ආදායම් බදු පැණවීම සම්බන්ධයෙන් මූලධාර්මික ගැටළුවක් නැත) දැනට අති විශාල වශයෙන් බදු ගෙවීම පැහැර ඇති සමාගම් ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබීම පුදුමයට කරුණක් නොවේ. විදේශීය අක්වෙරළ ගිණුම්වල තැන්පත් කර තිබෙන මහා පරිමාණ අපනයනකරුවන්ගේ ධනය ගැන අවධානයක් යොමු නොවීම පුදුමයට කරුණක් නොවේ. මහජන දේපළ අයුතු ලෙස පුද්ගලික ඉපැයීම් බවට පරිවර්තනය කරගත් දේශපාලන-ව්‍යාපාරිකයින්ට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පුදුමයට කරුණක් නොවේ. මන්දයත්, වික්‍රමසිංහ විසඳුම ක්‍රියාවට නැගෙමින් තිබෙන්නේ රාජපක්ෂ බල-ජාලයේ දේශපාලනමය මෙන්ම ආර්ථිකමය අභිලාෂයන්ටද කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙනි.

ජනවාර්ගික අනුග්‍රාහක දේශපාලනය

එසේ තිබියදීත් ඇතැම් ලාංකීය ලිබරල්වාදීන් රාජපක්ෂලා සහ ඊනියා රාජපක්ෂවාදය විවේචනයට ලක් කරන අතරම වික්‍රමසිංහ ප්‍රතිපත්ති අගයන්නට හේතුවක් සොයාගෙන තිබේ. ඒ විශේෂයෙන්ම බිඳ වැටෙන රාජපක්ෂ කඳවුරේ ආරක්ෂකයාත් එහි නව නායකයාත් වන වික්‍රමසිංහ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ආරම්භ කළ ආන්දෝලනය මුල් කොට ගනිමිනි. නමුත්, 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කළ යුතු පළමු කාර්යය – එනම් පළාත් සභා මැතිවරණ ඉක්මණින් පැවැත්වීම – ගැන ඔවුන් කිසිවක් කියන්නේ නැත. සරදම්ජනක ලෙස, මෙහිදී රාජපක්ෂවාදය (එවැන්නක් පවතී නම්) නියෝජනය කරන්නේ වික්‍රමසිංහ-හිතවාදී ලිබරල්වාදීන්ය. මන්දයත්, පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින තාක් දුරට සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ට තම ප්‍රාදේශීය නියෝජිතයින් මගින් බලය අභ්‍යාස කරන්නට ඉඩ නොලැබේ. ඒ වෙනුවට ඔවුනට ව්‍යවස්ථාවෙන් තහවුරු කළ අයිතීන් සඳහා පවා මධ්‍යගත විධායකය (ජනපතිවරයා) මත රඳා පවතින්නට සිදු වේ. එවිට ජනපතිවරයා හට සුළුතර ජනවාර්ගික නායකත්වයන් සමග ඔහුට වඩා පහසු අනුග්‍රාහක දේශපාලන සම්බන්ධයක් පවත්වා ගන්නට හැකියාව ලැබේ. සුළුතර ප්‍රජාවන් හට හිමි විය යුතු අයිතීන් හරියට තම දේශපාලන අනුග්‍රහය මත ලබා දෙන දේ ලෙසින් හුවා දක්වන්නට ඔහුට හැකියාව ලැබේ.

නිදහසින් පසු යුගයේ බලයට පත් සෑම සිංහල නායකයෙකුම පාහේ වඩා ප්‍රිය කළේ සුළුතරයේ පක්ෂ සමග එවන් අනුග්‍රාහක සම්බන්ධතා පවත්වා ගැනීමටය. එම අනුග්‍රහයන් සඳහා ගෙවිය යුතු ගෙවීම වන්නේ සුළුතර ප්‍රජාවන්ගේ ජන්දයයි. ජේ.ආර් ජයවර්ධන ලංකා කම්කරු කොංග්‍රසය සමග පවත්වාගෙන ගිය සන්ධානය මෙම සම්බන්ධතා රටාවේ පරිපූර්ණ නිදර්ශකයක් ලෙස සැලකිය හැකිය. දැන් වික්‍රමසිංහ පළාත් සභා පත් කිරීමෙන් තොරව සුළුතර ප්‍රජාවන්ට තම අනුග්‍රහය යටතේ යම් යම් දේ ලබාදෙන බවක් හැඟවීමෙන් අනුගමනය කරන්නේ එම සාම්ප්‍රදායික සිංහල බහුතරවාදී නායකයින්ගේ උපායම මිස අන් කිසිවක් නොවේ. තම පුද්ගලික දේශපාලන අභිලාෂයන් සඳහා ජනවාර්ගික සබඳතා භාවිතා කිරීම යන කාරණයේදී ඔහු ජයවර්ධනගෙන් හෝ රාජපක්ෂගෙන් වෙනස් වන්නේ නැත. එබැවින්, සැබවින්ම බලය බෙදීමේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින ලිබරල්වාදීන් විසින් කළ යුතුව ඇත්තේ සුළුතරයේ නායකත්වයන් මධ්‍යගත විධායකය මත පරායත්තව සිටීමේ මෙම තත්ත්වය වෙනස් කිරීමට ප්‍රයත්න දැරීමයි. ඒ සඳහා පළමුවෙන් කළ යුත්තේ 13 වන සංශෝධනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීම සඳහා ඉක්මණින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට බල කිරීමයි. බලය බෙදීමේ ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කළ යුත්තේ සුළුතර ප්‍රජාවන්ගේ දේශපාලන නියෝජනය බල ගැන්වීමේ එම ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය හා සමගාමීවය. ඊටත් පෙර, දැනටමත් දේශපාලන න්‍යාය පත්‍රයේ පෙරට පැමිණ තිබෙන නමුත් වික්‍රමසිංහ-රාජපක්ෂ හවුල විසින් පස්සට දැමීමට ප්‍රයත්න දරමින් තිබෙන පළාත් පාලන මැතිවරණ වහාම පැවැත්වීමට බල කිරීමද අවශ්‍යය. 13 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින ලිබරල්වාදීන් හට සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ට පළාත් පාලන මට්ටමින් තම නියෝජිතයින් පත් කර ගන්නට ලැබෙන අවස්ථාව අහිමි කිරීම ගැන නිහඬව සිටිය හැකිද?

රාජ-වික්‍රම වෛරසය

රාජපක්ෂ සහ වික්‍රමසිංහ අතර ගොඩ නැගී තිබෙන සංකීර්ණ සබැඳියාව විසින් අප කලක් තිස්සේ න්‍යායික ප්‍රවාදයක් ලෙස පමණක් දැන සිටි කාරණයක් ඇස් පනාපිට සනාථ කරනු ලැබ පවතී. එනම්, නව-ලිබරල්වාදයත් අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයත් එකම කාසියේ දෙපැත්ත වන්නේය යන ප්‍රවාදයයි. කාසියේ දෙපැත්ත දැන් අන් කවරදාටත් වඩා හොඳින් දෘෂ්‍යමාන වන්නේ සමකාලීන බහු-විධ අර්බුදය හමුවේ දක්ෂිණාංශික දේශපාලනය නමැති කාසිය පෙරළෙමින් හා දෝලනය වෙමින් පවතින බැවිනි. දැනට වසර කිහිපයකට පෙර වික්‍රමසිංහගේ නව-ලිබරල් යහපාලනවාදය පෙනී සිටියේ රාජපක්ෂගේ සිංහල-බෞද්ධ රණකාමී ජාතිකවාදයට විකල්පයක් ලෙසිනි. “2015 ජනවාරි විප්ලවය” ලෙස දෘෂ්ටිවාදීව නාමකරණය කරන ලද්දේ කාසියේ එම පැත්තයි. ඊට එරෙහිව රාජපක්ෂලාගේ ඊනියා සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් වූයේ බහුතරවාදී ජාතිකවාදයේ විකල්පය ලෙසයි.

නමුත්, දැන් තත්ත්වය කුමක්ද? ආර්ථික නව-ලිබරල්වාදය ක්‍රියාවට නගන ජනපතිවරයා තම අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාගෙන ඇත්තේ සිංහල-බෞද්ධ ජාතිකවාදී ස්වෝත්තමවාදයේ ප්‍රධානතම ප්‍රකාශකයෙකි. ජනපතිවරයා 13 වන සංශෝධනය ක්‍රියාවට නැගිය යුතු යැයි විපක්ෂයට යෝජනා කරන විට එම සංශෝධනය ක්‍රියාවට නැගීමට වැඩිම විරෝධය දක්වන මන්ත්‍රී කණ්ඩායම අසුන් ගෙන සිටින්නේ ඔහුට පිටුපසිනි. ඔහුගේ සර්ව-පාක්ෂික සාකච්ජාවලට විරෝධය දක්වමින් ජනවර්ගවාදී විරෝධයක් පාරට ගෙන එන්නේ එම මන්ත්‍රී කණ්ඩායමේම සාමාජික පිරිසකගේ නායකත්වයෙනි. එම විරෝධතාවලට පොලීසිය ප්‍රතිචාර දක්වනු ලබන්නේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ඉල්ලා කෙරෙන ජනතා විරෝධතාවලට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් නොවේ. ශිෂ්‍ය නායකයින් සහ ජනතා අරගලයේ නායකයින් මෙන් සිංහල-බෞද්ධ ජනවර්ගවාදීන් කිසිවෙකුත් වික්‍රමසිංහගේ පොලීසියේ අත් අඩංගුවට පත් වන්නේ නැත. කාසියේ පැති දෙක කදිමට එකිනෙක පෝෂණය කරයි. එසේ තිබියදීත් ඇතැම් ලාංකීය ප්‍රවර්ගයේ ලිබරල්වාදීන් යෝජනා කරමින් සිටින්නේ මේ ජනපතිවරයා මගින් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ දිනා ගත හැකි බවයි. රාජ්‍යය සහ සමාජය අතර සම්බන්ධය වඩ වඩාත් මර්දනීය එකක් බවට පරිවර්තනය කරමින් සිටින පාලකයෙකුගේ අනුග්‍රහය යටතේ සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් දිනා ගත හැකි බවයි. අභාවයට පත්වෙමින් තිබෙන්නේ වත්මන් ප්‍රභූ තන්ත්‍රය පමණක් නොව එම ප්‍රභූ තන්ත්‍රයේ එක් පාර්ශවයක් අතිශයෝක්තියට නංවන තම විශ්ලේෂණවල විශ්වසනීයත්වයද බව වටහා ගන්නට එම ලිබරල් බුද්ධිමතුන් දැනටමත් ප්‍රමාද වැඩිය.

අවසන් වශයෙන්, වත්මන් රාජපක්ෂ-වික්‍රමසිංහ හවුල වත්මන් ගෝලීය දේශපාලනයට අදාළව ස්ලේවෝයී ශිෂෙක් ඉදිරිපත් කරන රූපිකයක් සිහියට නංවයි. රුසියාවේ පුටින් සහ තුර්කියේ එර්දොගන් ජනපතිවරුන් සසඳමින් ශිෂෙක් පවසන්නේ වරෙක එකිනෙකාට පහර දෙමින්ද තවත් වරෙක එකිනෙකාව ආරක්ෂා කරගනිමින්ද ඔවුන් දෙදෙනා දඟර නැටුමක නිරත වෙමින් සිටින බවයි. සිරියාවේ බෂාර් අල් අසාද්ගේ පාලනාධිකාරයට පුටින් සහාය දක්වන විට එයට එරෙහි කැරළිකරුවන්ට එර්දොගන් සහාය දක්වයි. සිරියානු සරණාගතයින් යුරෝපය වෙත ගලා යැවීමේ පොදු ක්‍රියාන්විතයක දෙදෙනාම නිරතව සිටින්නේ ඔවුන් සරණාගතයින් බවට පත් කිරීමේ ක්‍රියාවලියට එක සේ දායක වන අතරතුරදීමය. ශිෂෙක් මේ අන්ත-දක්ෂිණාංශික නායකයින් දෙදෙනාව ‘පුටොගන් වෛරසය’ ලෙස නම් කරයි. වත්මන් ලාංකීය සංධර්භය තුළ ප්‍රභූ තන්ත්‍රයේ පොදු මෙහෙයුමක කොටස්කරුවන් දෙදෙනා විසින්ද නිර්මාණය කර ඇත්තේ එවන් සංකීර්ණ දඟර නැටුමක් බව පෙනේ. අවශ්‍ය නම් අපට එය ‘රාජ-වික්‍රම වෛරසය’ ලෙසින් හැඳින්විය හැකිය.

මේ වෛරසයෙන් නියෝජනය වන්නේ පසුගිය දශක කිහිපය තිස්සේ මෙරට ගොඩ නැගී ස්ථාපිත වූ ප්‍රභූ-දේශපාලන ව්‍යාපාරික බල-ජාලයකි. අරගලය තුළ සිස්ටම් එක යනුවෙන් හඳුන්වා දෙනු ලැබුවේ එයයි. දැන් වික්‍රමසිංහ සාර්ථක ලෙස වැල් පාළමෙන් එගොඩ කරන බවට උදම් අනන්නේ එම සිස්ටම් එක නමැති දරුවාය. නමුත්, පළාත් පාලන මැතිවරණ ප්‍රචාරය තුළ මෙතෙක් නිරීක්ෂණය කළ හැකි වූ පරිදි පොදු ජන සමාජය තුළ එම සිස්ටම් එකට තවදුරටත් සුජාතභාවයක් නොමැත. පොහොට්ටු-අලි සන්ධානය සිටින්නේ ඉතාම පසුපසිනි. ඉක්මන් මැතිවරණයක් දිනා ගත හැකි වුව හොත් නියෝජන ආයතනවල බලය මධ්‍ය-දක්ෂිණාංශය සහ ප්‍රතිසංස්කරණවාදී වම අතර බෙදී යාමට කිසියම් අවකාශයක් විවර වී පවතී. රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයේ අවශේෂ කොටස් වන ඊනියා උත්තර ලංකා සභාගය, නිදහස සන්ධානය සහ ශ්‍රීලනිපය වැනි කොටස් දේශපාලන කතිකාවේ අද්දරට තල්ලු වී යාමට ඉඩ තිබේ. මෙම පරිවර්තනය සිදු කළ හැකි නම්, එය අරගලයේ අපේක්ෂාවක් වන ප්‍රජාතාන්ත්‍රිකකරණයේ දෘෂ්ටියෙන් ගත් කල ඉතාම වැදගත් පරිවර්තනයකි. සියල්ලට පෙර ජන වරමක් නොමැති ප්‍රභූ තන්ත්‍රය (එහි රොඩු බොඩුත් සමගම) ගෙදර යා යුතුය. ක්‍රම වෙනසක් වෙනුවෙන් අරගල කරන රැඩිකල් වාමාංශික කඳවුරේ අභිලාෂයන් හා නිෂ්ටාවන් එයින් ඉටු නොවූවද, එම අභිලාෂයන් හා නිෂ්ටාවන් ඉටු කර ගැනීම සඳහා වඩාත් වාසිදායක තත්ත්වයක් එයින් නිර්මාණය වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    මෙම පරිවර්තනය සිදු කළ හැකි නම්, එය අරගලයේ අපේක්ෂාවක් වන ප්‍රජාතන්ත්‍රවාදයේ දෘෂ්ටි කෝණයෙන් ඉතා වැදගත් පරිවර්තනයකි.

    වත්මන් ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමෙන් පසු අනාගත ඕනෑම ආණ්‌ඩුවක්‌ ඉදිරියට යාමට නම්, ඔවුන් තම තේරීම්වලට ඡන්දය දීමට ජනතාවට ඉඩ දිය යුතුය. ඉදිරි මාස කිහිපය තුළ එය සිදුවනු ඇත.

    මගේ පැතුම නුදුරු අනාගතයේ දී රාජපක්ෂ සිරගත කළ යුතු ය යන්නයි. මුන් ඔක්කොම හිරේ දාන්න වටිනවා. ඊයේ මහින්ද රාජපක්ෂ මහතා මොන්රාගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔවුන්ගේ ආධාරකරුවන් ලෙස බොහෝ පිරිසක් පැමිණියා. එළදෙනුන් ඔළුව වනනවා වගේ, ඔවුන් එසේ කරනවා දකින්නට ලැබුණා. මිනිසුන්ට ඔවුන්ගේ චින්තන රටාව වෙනස් කිරීමට වැඩි කාලයක් අවශ්‍ය බවට මෙය අපට සලකුණක් ලබා දෙයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.