28 November, 2021

Blog

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? – සිව්වන කොටස

සුමිත් චාමින්ද

ජනතාව නමැති හිස් හැඟවුම්කාරකය

“මේ වගේ වෙලාවකදී තමයි මිනිස්සු වෙනදාට වඩා වැඩියෙන් සිතන්න පෙළඹෙන්නේ. මානව සංහතිය තමන් අභිමුව ප්‍රශ්න පත්‍ර මාලාවක් නිර්මාණය කරන කාලවලදී තමයි, ඉතිහාසය සුදුසු විසඳුම්, සුදුසු මාවත් නිර්මාණය කර ගන්නේ. මම විශ්වාස කරනවා අපි මේ පසුකරමින් සිටින්නේ එවැනි වෙලාවක්. මේක ලංකාවේ අපට පමණක් නොවෙයි මුළුමහත් ලෝකවාසීන්ගේ පැත්තෙන් බැලුවත් හැමෝටම හිතන්න බල කරලා, සාමූහික විඥානය පාදාගන්නත් බල කෙරුණු වේලාවක්.”

ඉහත ප්‍රකාශය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේය. ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ආණ්ඩු පක්ෂ සන්ධානයේ විමතිකයන්ගේ කණ්ඩායම යුගදනවි ගිවිසුමට එරෙහිව පසුගිය 29 වනදා ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීය. පක්ෂ සන්ධානයේ අභ්‍යන්තරයෙන් එල්ල වන විරෝධය අවසන් මොහොතේ හෝ සමනය කරගැනීමට රාජපක්ෂ බලාධිකාරය දැරූ ප්‍රයත්නය සාර්ථක වී නොමැති බව පැහැදිලිය. විමතික පක්ෂ එකොළහේ එකතුවේ දෘෂ්ටිවාදී නායකත්වය ලෙස සැලකිය හැකි විමල් වීරවංශගේ ප්‍රකාශ දෙස බැලූ විට පෙනී යන්නේ යුගදනවි බලාගාරය පිළිබඳ සුවිශේෂී ප්‍රශ්නයට සීමා නොවූ කිසියම් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ගොඩ නගා ගන්නට ඔවුන් උත්සාහ දරමින් සිටින බවය. දැනට එය ඉදිරිපත් වෙමින් ඇත්තේ “මහජන මන්ත්‍රණ සභාව” යන තේමාව යටතේය. ටෝනි බ්ලෙයාර්ගේ ඊනියා නව-කම්කරු පක්ෂයේ නව-ලිබරල් සම්මුතිවාදය සිහියට නංවන “තෙවන මග” යන නමින් සඟරාවක්ද ඔවුන් එළිදක්වා තිබේ.

ජනවාර්ගික බහුතරවාදයේ සීමා

සිංහල-බෞද්ධ ජාතිකවාදී බුද්ධි ශ්‍රේණීන්ගේ වැඩි සහයෝගයක් හිමිව ඇත්තේ මෙම තෙවන මග ප්‍රවණතාවටය. මෙම එකතුව විසින් ප්‍රයත්න දරනු ඇත්තේ වර්ධනය වෙමින් පවතින පාලනාධිකාර විරෝධය බහුතරවාදී ජාතිකවාදී රාමුවක් තුළ සංවිධානය කිරීමටය. ඉහත උපුටනය තුළ වීරවංශ “සකල ලෝකවාසීන්” ගැන කතා කළද, ඔහු නියෝජනය කරන ජනවාර්ගික ජාතිකවාදී කතිකාවේ සීමා නිර්ණයන් සකස්ව ඇත්තේ ගුණදාස අමරසේකරගේ “සභ්‍යත්ව රාජ්‍යය” නමැති ෆැසිස්ට් ගම්‍යයන් සහිත කෘතියේ දැක්මට අනුවය. එසේම, එම කතිකාව තුළ අධිරාජ්‍ය විරෝධය ජනප්‍රිය බටහිර විරෝධයක් බවට ඌනනය කෙරෙන අතර, අහිමි වූ යුක්තිය වෙනුවෙන් ගෝලීය මානව හිමිකම් ආයතනවලට අයැදුම් කරන සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් අධිරාජ්‍යවාදීන්ගේ ස්වදේශික ඒජන්තයින් ලෙස නාමකරණය කෙරේ.

මෙම බහුතරවාදී ජාතිකවාදය විසින් වීරවංශ පෙරමුණේ හෙජමොනික ශක්‍යතාවන්ට විශාල සීමාවක්ද පැනවේ. එනම්, සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ ඉල්ලීම් සහ අභිලාෂයන් තම ව්‍යාපෘතිය වටා ගොණු කර ගැනීමට එය අසමත් වීමයි. නමුත්, වත්මන් පාලනාධිකාරයට එරෙහි විපාක්ෂික අවකාශය අත්පත් කර ගත හැක්කේ බහුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවේ සැලකිය යුතු තරම් ප්‍රමාණයක සහයෝගය දිනා ගන්නා අතරම දෙමළ, මුස්ලිම්, කිතුණු සහ වතුකරයේ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම්ද සුසම්බන්ධ කරගත හැකි නායකත්වයකට පමණි.

සිංහල-බෞද්ධ ප්‍රා-චීනවාදය

වීරවංශ පෙරමුණේ හෙජමොනික ශක්‍යතාවන් සීමා කරන තවත් වැදගත් සාධකයක් තිබේ. එය වත්මන් ලාංකීය දේශපාලන හැඩ ගැසීම් සමග අත්‍යන්තයෙන් බැඳී තිබෙන භූ-දේශපාලනික සාධක හා සම්බන්ධය. තිසරණී ගුණසේකර නිවැරදිව නිරීක්ෂණය කොට තිබෙන පරිදි, වීරවංශ ඇතුළු ආණ්ඩු පක්ෂ සන්ධානයේ විමතික කණ්ඩායම එක්සත් ජනපද සහ ඉන්දීය අධිපතිවාදයට එක හෙළා එරෙහි වන අතර චීන ආධිපත්‍ය කෙරෙහි සෞම්‍ය ස්ථාවරයක් දරයි. මහජන මන්ත්‍රණ සභාවේ රැස්වීමේදී ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් චීන පාලනාධිකාරය මෑතකදී දැක් වූ අධිපතිවාදී ප්‍රතිචාරය සෘජුව විවේචනයට ලක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පමණි. (කෙසේ වුවත්, ජයසේකරගේ මේ වෙනස් ප්‍රවේශය සටහන් කර ගැනීම ප්‍රයෝජනවත්ය). ඊනියා කාබනික පොහොර ආනයනය පිළිබඳ ගැටළුවේදී චීන පාලනාධිකාරය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධන සේවාවේ පරීක්ෂණ වාර්තා නොතකා හරිමින්ද මහජන බැංකුව අසාදු ලේඛණගත කරමින්ද ක්‍රියා කළ ආකාරය අතිශයින්ම අධිපතිවාදී වූවක් බැව් කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

විදේශීය ආධිපත්‍යයට එරෙහි ශ්‍රී ලාංකීය පොදු ජන දේශපාලන අවිඥානය හුදෙක් බටහිර විරෝධයකට පමණක් ලඝු කළ නොහැක. එබැවින්, සියළු ආකාරයේ විදේශීය ආධිපත්‍යයන්ට එරෙහි ස්වදේශික ජනරජවාදී සහ ජන සම්මතවාදී සම්ප්‍රදායන්ට ආමන්ත්‍රණය කිරීමට මෙදා පොටේ ප්‍රා-චීනවාදී වීරවංශ භාෂාව ප්‍රමාණවත් වෙතැයි සිතිය නොහැකිය.

ආර්ථික සටන් පෙරමුණ

මේ සියල්ලටම වඩා වීරවංශ පෙරමුණේ හෙජමොනික ශක්‍යතාවට ඇති ප්‍රධානතම සීමාව වන්නේ මේ දිනවල වේගයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථිකමය සහ සමාජමය පීඩනයන්ට එරෙහිවත් අහිමි වෙමින් යන ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙනුත් පැන නගින මහජන ඉල්ලීම්වලට ආමන්ත්‍රණය කරන්නට එය අසමත් වීමයි. වත්මන් ආර්ථික සහ සමාජමය අර්බුදයේ තීව්‍රතාව සැලකූ විට, තෝරා ගත් විදේශීය ආධිපත්‍යයකට එරෙහිව ගොඩ නගන බහුතරවාදී ජාතිකවාදී ව්‍යාපාරයක් මගින් පමණක් මේ ජනතා විරෝධය සංවිධානය කිරීමට නොහැකිය. නිශ්චිතවම ආර්ථිකය දේශපාලනීකරණය කිරීමත් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දිනා ගැනීමත් මේ මොහොතේ රාජපක්ෂ හෙජමොනියට එරෙහි ප්‍රති-හෙජමොනික දේශපාලනයේ කේන්ද්‍රස්ථානයට පත් වීම වැලැක්විය නොහැක.

ගොවි ජනයා කබලෙන් ලිපට ඇද දැමීමට හේතු වන ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලද ඊනියා කාබනික පොහොර වැඩ පිළිවෙළට එරෙහිව ගොඩ නැගෙමින් පවතින පොදුජන විරෝධය දැන් ආර්ථික සටන් පෙරමුණේ තීරණාත්මක සාධකයකි. ආණ්ඩුවේ විමතික කණ්ඩායමේ සිටින ජනවාර්ගික ජාතිකවාදී කොටස් ආරම්භයේදී මෙම කාබනික පොහොර වැඩ පිළිවෙළට සහාය දැක්වීය. ජාතික සංවිධාන එකතුව එය හැඳින්වූයේ ගෝඨාභය පාලනාධිකාරය විසින් කිසිසේත්ම රිවර්ස් නොකළ යුතු තීරණයක් ලෙසිනි. දැන් තම වැරදි දේශපාලන තක්සේරුව රිවර්ස් කිරීමට ඔවුනටද දුෂ්කර වනු ඇත.

මේ අනුව, වර්ධනය වෙමින් පවතින ජනතා විරෝධය වාමාංශික අලංකාරෝක්තීන් සහිත බහුතරවාදී ජාතිකවාදයක් සමග සුසම්බන්ධ කිරීමේ වීරවංශ ව්‍යාපෘතිය මතුපිටින් පෙනෙන තරම් ශක්තිමත් වූවක් නොවේ. නමුත්, ඉදිරි ප්‍රති-හෙජමොනික දේශපාලනයේ හැඩ ගැසීම් සම්බන්ධයෙන් කිසියම් නිශේධනාත්මක බලපෑමක් ඇති කිරීමට එයට හැකිය. එනම්, මෙම ජනතා විරෝධය පුළුල් වාම-ප්‍රජාතාන්ත්‍රික අක්ෂයක් ඔස්සේ සංවිධානය කිරීමේ ප්‍රයත්නයන්ට බාධා ඇති කරමින්, රාජපක්ෂ හෙජමොනියට සංකීර්ණ ලෙස සහාය දක්වන පටු ජනවර්ගවාදී සහ ප්‍රා-චීනවාදී හවුලක් නිර්මාණය කිරීමය. නිදසුනක් ලෙස, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රීලනිපයේ ජනරජවාදී උරුමය නියෝජනය කරන කොටස් වාම-ප්‍රජාතාන්ත්‍රික පෙරමුණක් වෙත දිනා ගැනීමේ ප්‍රයත්නයකට වීරවංශ ව්‍යාපෘතිය සෘජුවම බාධා කරනු ඇත. ඒ අතරම එය ඊනියා සභ්‍යත්ව රාජ්‍යයේ දැක්ම අනුයමින් සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් තවදුරටත් ආන්තික කර දමන්නට උත්සුක වනු ඇත. වීරවංශ ව්‍යාපෘතියේ ඇති මෙම නිශේධනීය විභවතාව නිසාම එය විශ්ලේෂණය කොට බැලීමේ අවශ්‍යතාවක් පැන නගී.

ජනතාව ගොඩ නැගීමේ වෙනස් ප්‍රවේශ

ආණ්ඩු පක්ෂ විමතිකයන්ගේ සම්මන්ත්‍රණයට පසුවදා, එනම් ඔක්තෝබර් 30 වනදා, චම්පික රණවකගේ නායකත්වයෙන් දියත් වන “43 සේනාංකය” පළමු වරට මහජන තලයේ ක්‍රියාත්මක වීම නිවේදනය කළේය. හරියටම ඉන් දෙදිනකට පසුව, එනම් නොවැම්බර් පළමු වෙනිදා, ජනතා විමුක්ති පෙරමුණ “ගමෙන් පටන් ගමු” යන උදෘතයෙන් නව බහුජන ක්‍රියාකාරීත්වයක් ආරම්භ කළේය. ඒ අතර සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස “ගමෙන් ගමට” යන වැඩ පිළිවෙලක් ආරම්භ කොට තිබේ. දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයාද පසුගියදා උතුරේ සාම්ප්‍රදායික කුඹුරු සී සෑමේ ප්‍රජා කටයුත්තකට සහභාගී වූ බව වාර්තා විය. ඒ අතර දෙමළ සහ මුස්ලිම් පක්ෂ එකතුවක් තමන්ට බලපාන පොදු ගැටළු වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ගැන උතුරේදී සාකච්ජාවක් පවත්වා ඇතැයි තවත් පුවතකි.

බහුජන දේශපාලනය වෙත හැරීමේ ඉහත ප්‍රවණතා සියල්ලට පෙර වාමාංශික ප්‍රවේශයකින් ජන අරගල අවකාශය තුළ ක්‍රියාකාරීව සිටින පක්ෂයක් වේ නම් ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. රෝහණ විජේවීරගේ වචනයෙන් කිව හොත්, “අන් අයට පෙර අවදි වී සිටීමේ වාසිය” පෙරටුගාමීන් සතුය. පෙසප තවමත් මැතිවරණ දේශපාලනයේදී ඉතාම පසුපසින් සිටින පක්ෂයක් වුවද, ඉදිරියේදී වඩා තීරණාත්මක වන ජන අරගල දේශපාලනයේදී එය සතු හැකියාව කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතුය. පසුගිය කාලයේදී ඔවුන්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් දියත් කළ “අසිරි හදවත” ව්‍යාපාරය සහ ඔවුන් වෙනත් වාමාංශික පක්ෂ සමග පොදු ක්‍රියාකාරීත්වයන් සඳහා දැක්වූ උනන්දුව සාක්ෂි දරන පරිදි පෙසප දැන් ප්‍රති-හෙජමොනික දේශපාලනයට දැනුවත්ව මැදිහත් වෙමින් සිටී.

මෙයින් පෙනී යන්නේ විපාක්ෂික නායකත්වයන් ගණනාවක්ම “ජනතාව” ආමන්ත්‍රණය කිරීමේ තරඟයක යෙදී සිටින බව පමණක් නොවේ. කාරණය ඊට වඩා සංකීර්ණය. සැබවින්ම මේ එකිනෙක නායකත්වයන් දකින්නට කැමති වන ජනතාව එකිනෙකින් වෙනස්ය. තවමත් තමන් දකින්නට කැමති ආකාරයෙන් ජනතාව නමැති දෙය ගොඩ නැගී නොමැති බව වීරවංශ, චම්පික, අනුර, සජිත්, සුමන්තිරන් සේම කුමාර් ගුණරත්නම්ද කල්පනා කරනවා විය යුතුය. “ජනතාව” යනු දැනටමත් පවතින දෙයක් නොව ගොඩ නැගිය යුතු දෙයකි. සැබවින්ම දැන් පවතින්නේ “ජනතාව” වෙනස් ආකාරවලට ගොඩ නැංවීම සඳහා විවිධ හෙජමොනික නායකත්වයන් අතර නිර්මාණය වන අරගලයකි. එම අරගලයේදී බුද්ධිමය සහ දෘෂ්ටිවාදීමය තලයේ ක්‍රියාකාරීත්වයන්ට විශාල වැදගත්කමක් ලැබේ. “43 සේනාංකය” සේම “ගමෙන් පටන් ගන්නා” ජවිපෙද අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයකින් වැඩ පටන් ගත්තේ ඒ අවබෝධය නිසා විය යුතුය.

ජනතාව යනු නොපවතින දෙයක් නම් කිරීමකි

මෙලෙස “ජනතාව” වෙනස් ආකාරවලට ගොඩ නැංවීමේ හැකියාවක් ලැබී ඇත්තේ ජනතාව යන්නෙහි නිශ්චිත අරුතක් නොමැති නිසාය. න්‍යායික භාෂාවෙන් කිව හොත්, ජනතාව යනු හිස් හැඟවුම්කාරකයකි (empty signifier). එයට නිශ්චිත තේරුමක් නොමැති නිසාම එයට වෙනස් තේරුම් ලබා දීම සඳහා වූ අරගලයක් පැවතිය හැකි වේ. මෙහිදී පැහැදිලි කළ යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, “පන්තිය යනුවෙන් දෙයක් පවතින්නේ නැත, පවතින්නේ ජනතාවය” යන ප්‍රවාදයද න්‍යායිකව වැරදි බවය. ජනතාව යනු දැනටමත් පවතින දෙයක් නොවේ. එය සාධනීය අනන්‍යතාවක් නොවේ. පන්තිය සේම ජනතාවද පවතින්නේ දේශපාලනිකව (සහ එනයින් කතිකාමය ලෙස) ගොඩ නැංවිය යුතු දෙයක් ලෙසය. තවද, ජනතාවක් ගොඩ නැංවිය හැකි වුවත් එය කිසිදාක සර්ව සම්පූර්ණ සමස්තයක් බවට පත් වන්නේද නැත. එය නිර්මාණය කළ හැකි වන්නේ අසම්පූර්ණ සහ අස්ථාවර දෙයක් ලෙස පමණි. එම අසම්පූර්ණත්වය සහ අස්ථාවරත්වය නිසාම නව දේශපාලන බලවේගයකට මැදිහත් වී ජනතාව (යළිත් තාවකාලික ලෙස) වෙනත් ආකාරයකට ගොඩ නැංවීමේ හැකියාවක් පවතී.

යානීස් ස්ටව්රකාකිස් “ජනතාවගේ” මෙම ගොඩ නංවන ලද ස්වභාවය කදිමට පැහැදිලි කරමින් මෙසේ පවසයි;

“ක්‍රියාකාරී බලවේගයක් විදියට පවතින ජනතාව කියන්නේ මේ ක්‍රියාවලියේ ආරම්භක අවස්ථාව නෙමෙයි. ඒක තමයි අවසාන අවස්ථාව. ජනතාව කියන්නේ මේ එකිනෙකට වෙනස් කියා පෑම්, එකිනෙකට වෙනස් ඉල්ලීම්, එකිනෙකට වෙනස් අභියෝග එකතු කරලා නිර්මාණය කරන දේ. පවතින තත්ත්වය අභියෝගයට ලක් කරන්න උපාය මාර්ගික එක්සත්කමක් ඇති කර ගැනීමේ ක්‍රියාවලියක් මගින් නිර්මාණය වෙන දේ තමයි ජනතාව. හරියට චිලියේ වගේ. දැන් මිලියනයක් මිනිස්සු පාරට බැහැල ඉන්නවා. එයාල මීට කලින් කොහෙද හිටියේ? එයාල කොහෙවත් හොයා ගන්න හිටියේ නැහැ. ඊට පස්සේ මේ ජනතාව සාමූහික විෂයක් විදියට නිර්මාණය කිරීමේ, ජනතාවගේ පෙනී සිටීම දැනෙන දෙයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියක් පටන් ගත්තා.” (ස්ටව්රකාකිස්, 2020).

අද දවසේ ලංකාවේ අප ඉදිරියේ පවතින්නේද එලෙස “ජනතාව” නැවත ගොඩ නැංවීමේ හැකියාවක් සහිත දේශපාලන නිමේෂයකි. එවන් නිමේෂයක් නිර්මාණය වී ඇත්තේ කෙසේද? පිළිතුර ඉතාම පැහැදිලිය. මෙතෙක් කලක් ගොඩ නංවා තිබූ “ජනතාව” නමැති දෙයෙහි අසම්පූර්ණත්වය, අස්ථාවරත්වය, බිඳෙනසුළු භාවය, මිත්‍යාමතික භාවය දැන් හෙළිදරව් වෙමින් පවතින නිසාය. මෙය පසුගිය දශක ගණනාවක් පුරා අප දැක නොතිබුණු තරමේ බරපතල දේශපාලන අර්බුදයකි. මාවෝ සේතුං පැවසූ ලෙස “අහස් තලය යට සියල්ල දැන් ඇත්තේ මහා අවුලකය.” ඔහු තුළ විසූ විශිෂ්ට උපාය මාර්ගික දේශපාලන මැදිහත්කරුවා එයට මෙලෙසද එකතු කළේය; “තත්ත්වය ඉතා අනර්ඝය?”

සමාජ විස්ථාපනය

වත්මන් තත්ත්වය අප මෙතෙක් දැන සිටි සමාජ පිළිවෙලේ විස්ථාපනයක් (dislocation) ලෙසද හඳුනාගත හැකිය. අර්නෙස්ටෝ ලැක්ලාවූ පෙන්වා දෙන පරිදි කිසිදු සමාජ පිළිවෙලක් පූර්ණ වශයෙන් ස්ථාපනය වී නොමැත. එබැවින්, ඕනෑම සමාජ පිළිවෙලක් පවතින්නේ කිසියම් විස්ථාපනීය ගතිකයක් දරාගෙනය. නමුත්, කිසියම් සමාජයක් විශාල ආර්ථික අර්බුදයක්, සිවිල් යුද්ධයක්, වසංගතයක් හෝ සාගතයක් වැනි ක්ෂතිමය අත්දැකීමකට මුහුණ දෙන විට එතෙක් කලක් සැඟවී තිබුණු නැත්නම් යටපත් වී තිබුණු විස්ථාපනය එකී සමාජයට අභිමුඛ වේ.

එවිට, අර්බුදයට පත් වන්නේ සමාජ ආයතන පමණක් නොවේ. රාජ්‍ය ව්‍යුහයන් පමණක් නොවේ. මිනිසුන් එතෙක් හුරු පුරුදු වී සිටි සමාජ ක්‍රියාපාටීන් පමණක් නොවේ. එකී ආයතන, ව්‍යුහයන් සහ භාවිතයන් සමග සම්බන්ධ වීමෙන් මිනිසුන් ගොඩ නගාගෙන සිටි සමාජ සහ පුද්ගල අනන්‍යතාවන්ද අර්බුදයට පත් වේ. කොටින්ම මිනිසුන් කුමක් කරන්නදැයි නොදන්නා, කොහේ යන්නේදැයි නොදන්නා අන්ද මන්ද වූ තත්ත්වයකට පත් වේ. එතෙක් කලක් තම ජීවිතවලට කිසියම් තේරුමක් ලබා දුන් මහා කතන්දර තවදුරටත් විශ්වාස කළ නොහැකි මං මුලා වූ තත්ත්වයකට ඔවුන් ඇද වැටේ. දේශපාලන අර්බුදය අනන්‍යතා අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් වන්නේ මෙනිසාය.

මාවෝ සේතුං මෙවන් මහා වියවුලක් ‘කොතරම් කදිමදැයි” පැවසුවේ මන්දැයි දැන් ඔබට පැහැදිලි විය යුතුය. මිනිසුන් අලුත් කතන්දරයක් අසන්නට සූදානම් වන්නේ තමන් මෙතෙක් දිවි හිමියෙන් ඇදහූ කතන්දර සියල්ල ඇස් පනාපිට බිඳ වැටෙන වාතාවරණයක් තුළ නොවේද? මේ අරුතින් මේ ලිපියේ ආරම්භයේදී මා උපුටා දැක්වූ විමල් වීරවංශගේ නිරීක්ෂණය නිවැරදිය. නමුත්, ඔහුට වත්මන් බහු-විධ අර්බුදය තුළ අන්ද මන්ද වූ ජන සමාජයට කියන්නට ඇත්තේ පැරණි කතන්දරයමය.

ජාතිය සහ ජනතාව

වීරවංශට කියන්නට ඇති කතන්දරය පැරණි එකක් වන්නේ මන්ද? මේ කාරණය පැහැදිලි කිරීම සඳහා යුරෝපීය සංධර්භය තුළ ස්ටව්රකාකිස්ගේ තවත් නිරීක්ෂණයක් සැලකිල්ලට ගැනීම වටී. ඔහු මෙසේ පවසයි;

“ඔයා දක්ෂිණාංශික ජනතාවාදියෙකුගෙන් ඇහුවොත් එයාල කතා කරන ජනතාව කවුද කියල, එයාල ජාතිය, ලේ, වර්ගය වගේ දේවල් ගැන කියයි. එතන ඉතාම තද හැඟවුම්කරණ ක්‍රියාවලියක් තියෙනවා. ඒක “ජනතාව” කියන මේ අයැදුමේ විවෘතභාවයට සීමා පණවනවා.”

මෙය යුරෝපයේ පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ වෙනත් තැන්වලද දක්ෂිණාංශික ජාතිකවාදයේ පොදු සීමාවක් ලෙසින් සැලකිය හැකිය. ඔවුන් ජනතාව යන්නෙන් සැබවින්ම අදහස් කරන්නේ ඔවුන් දැනටමත් (සාධනීය අනන්‍යතාවක් ලෙස) පවතිනවා යැයි විශ්වාස කරන “ජාතිය” මිස අන් කිසිවක් නොවේ. සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්, සංක්‍රමණිකයන්, වෙනස් සංස්කෘතික කණ්ඩායම් යනාදීන් එම ජාතියට නොහොත් ජනතාවට අයිති නැත.

නමුත්, ස්ටව්රකාකිස් නිවැරදිව පෙන්වා දෙන පරිදි, වාමාංශික ජනතාවාදයේදී ජනතාව යන්න සලකනු ලබන්නේ දැනටමත් පවතින අනන්‍යතා කණ්ඩායමක් ලෙසින් නොව හිස් හැඟවුම්කාරකයක් ලෙසිනි. අතලොස්සක් වූ ප්‍රජා-පීඩක පාලක හවුලට (1%) එරෙහිව සංවිධානය වන අතිමහත් ජනයා (99%) ලෙසිනි. පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩගේ වචනයෙන් කිව හොත්, “වසංගතය වසන්තයක් වූ පන්තිය” ට එරෙහිව “වසංගතය ව්‍යසනයක් වූ පන්තිය” යනු එයයි. (ඇතැම් ඓතිහාසික සංධර්භයන් තුළ, නිදසුනක් ලෙස ආජන්ටිනාවේ පෙරොන්වාදය තුළ, “කම්කරුවන්” යන්න “ජනතාව” හඳුන්වන නාමයක් ලෙසින් යොදනු ලැබී යැයි ලැක්ලාවූ පෙන්වා දෙයි). (ලැක්ලාවූ, 2005:87). කෙසේ වෙතත්, එය දැනටමත් පවතින්නක් නොව දේශපාලනිකව ගොඩ නැංවිය යුත්තකි.

සාම්‍යතා දාමයක අවශ්‍යතාව

වත්මනෙහි ශ්‍රී ලංකාව තුළ “වසංගතය වසන්තයක් වූ පන්තියට” එරෙහිව ජනතා නැගී සිටීම් රාශියක් දැක ගත හැකි බව සැබෑය. නමුත්, ඒවා තවමත් “ජනතාවක්” ගොඩ නගන දිශාවට ගමන් කරන්නේ යැයි කිව නොහැක. ඒ මන්ද? අරගලයේ යෙදෙන ශිෂ්‍යයින්, ගුරුවරුන්, ගොවීන්, කම්කරුවන්, රාජ්‍ය සේවකයින් යනාදීන් අතර සාම්‍යතා දාමයක් (equivalential chain) නිර්මාණය කර ගන්නට තවමත් ඔවුන් සමත් වී නැති බැවිනි.

මෙහිදී මම “සාම්‍යතා දාමය” යන්න යොදන්නේ ලැක්ලාවියානු අරුතින්ය. මෙය හැකි තාක් සරලව පැහැදිලි කරන්නට ප්‍රයත්න දරන්නට මට ඉඩ දෙන්න. මේ මොහොතේ අප ඉදිරියේ ජනතා අරගල රාශියක් පවතී. තම වෘත්තීය අයිතීන් උදෙසා සටන් වදින ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්, අධ්‍යාපනික අයිතීන් වෙනුවෙන් සහ රාජ්‍ය මර්දනයට එරෙහිව අරගලයේ නියුතු ශිෂ්‍යයින්, මහා සමාගම්වලට පමණක් වාසි ගෙනදෙන ඊනියා කාබනික පොහොර වැඩ පිළිවෙලට එරෙහිව අරගල කරන ගොවීන්, තම ආර්ථික අයිතීන් වෙනුවෙන් හඬ නගන රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවන්, ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන්, පොදු දේපළ පුද්ගලීකරණයට එරෙහි වෘත්තීය සමිති, ස්වදේශික සම්පත් එක්සත් ජනපද, ඉන්දීය හෝ චීන සමාගම්වලට පැවරීමට එරෙහි දේශප්‍රේමීන් යනාදී කණ්ඩායම් රාශියක් ඒ අතර වෙයි. ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට වුවමනාවක් තිබෙන සියලු දෙනා ඉදිරියේ දැන් පවතින ගැටළුව වන්නේ මේ වෙනස් ජනතා නැගී සිටීම් අතර පොදු එක්සත් බවක් ගොඩ නගන්නේ කෙසේද යන්නයි.

මේ අරගලයේ නියුතු සියළු දෙනාට එක් දේශපාලන පක්ෂයක් යටතේ සංවිධානය වන ලෙස ඉල්ලා සිටීම දැන් කෙසේවත් ප්‍රායෝගික නැත. සියළු කණ්ඩායම් අතර වෙනස්කම් මකා දමා පොදු තැනකට පැමිණෙන්නැයි ආරාධනා කිරීමෙන්ද පලක් වන්නේ නැත. විවිධ කණ්ඩායම්වලට ඇත්තේ එකිනෙකට වෙනස් සහ සුවිශේෂී වූ ඉල්ලීම්ය. එම විවිධත්වය සහ වෙනස්කම් මුළුමනින්ම අහෝසි කර දැමීමට දරන ප්‍රයත්නයක ප්‍රතිපලය වනු ඇත්තේ වඩා භයානක සමස්තතාවාදයකි. නමුත්, මේ සියළු දෙනාට කිසියම් “පොදු සතුරෙකුට” එරෙහිව එක් විය හැකිය. ජනතාවාදී දේශපාලනයේදී පොදු සතුරා වන්නේ ප්‍රජා-පීඩක ප්‍රභූ පාලක අතලොස්සයි. නමුත්, වීරවංශගේ වැනි ජාතිකවාදී නායකත්වයන් ප්‍රයත්න දරනු ඇත්තේ ජනතාවගේ සතුරාගේ තැනට “බටහිර බලවතුන්” ලෙස පාර්ශවීයව නිර්වචනය කරන ලද විදේශික බලවේග පත් කොට, සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් සහ ලිබරල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් එම සතුරු කඳවුරට ගාල් කිරීමටය; ඒ අතරම වත්මන් පාලනාධිකාරයේ කිසියම් කොටසක් ජනතාවගේ මිතුරන් ලෙස නැවත භෞතීස්ම කිරීමටය. මේ අනුව, සමාජය බෙදනු ලබන්නේ කුමන පසමිතුරුතා අක්ෂය ඔස්සේද යන්න තීරණය වන්නේ හෙජමොනික අරගලය මගිනි.

ජනතාවගේ කඳවුර තුළ සිටින විවිධ කණ්ඩායම් එකිනෙකින් වෙනස් වන අතරම ඔවුන් අතර කිසියම් සාම්‍යතාවක්ද ගොඩ නැගිය හැකි බවය, මෙයින් කියැවෙන්නේ. අරගලයේ යෙදෙන බලවේග තුළ මෙලෙස “වෙනස්භාවයේ තර්කනය” සේම “සාම්‍යතාවයේ” තර්කනයද ක්‍රියාත්මක වේ. මේ මොහොතේ ලාංකීය වාම-ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය ඉදිරියේ තිබෙන ප්‍රධානතම අභියෝගය වන්නේ විවිධ කණ්ඩායම් අතර සාම්‍යතා තර්කනය වැඩි වර්ධනය කරන්නේ කෙසේද යන්නයි.

ගුරු අරගලයේ පාඩම්

ගුරු අරගලය නිදසුනක් ලෙස ගනිමු. අරගලයේ නිරත ගුරු විදුහල්පති ප්‍රජාව ඉතාම බුද්ධිමත් ලෙස තමන්ව සෙසු ප්‍රජාවන්ගෙන් හුදෙකලා කිරීමට පාලනාධිකාරය දැරූ ප්‍රයත්නය පරාජය කරන්නට සමත් වී තිබේ. ඒ, දෙමාපියන්, ආදී සිසු සිසුවියන්, සෙසු වෘත්තීය සමිති ඇතුළු පුළුල් සහයෝගීතා ජාලයක් ගොඩ නගා ගන්නට සමත් වීමෙනි. නමුත්, එය තවමත් ඇත්තේ සාම්‍යතා දාමයක් ගොඩ නැගීමේ ආරම්භක අවස්ථාවේ පමණි. විවිධ කණ්ඩායම් අතර සහයෝගීතාව ගොඩ නැගීම පමණක් ජනතාවාදී දේශපාලනයේදී කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැත. එයින් ඔබ්බට යන්නට නම්, තම සුවිශේෂී වෘත්තීය ඉල්ලීම්වල සීමාව තරණය කරන්නට ගුරු-විදුහල්පති ප්‍රජාව සමත් විය යුතුව තිබේ. සරලව කිව හොත්, ගුරු අරගලය බහුජන අරගලයක් බවට පරිවර්තනය කිරීමට නම්, මින් පෙර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති අරගලයේදී ඉදිරිපත් කරන ලද “අධ්‍යාපනයට 6%” වැනි සටන් පාඨයක් වුවමනා වේ.

ජනතාව වෙනස් ආකාරයකට ගොඩ නැගීමේ දේශපාලනයකදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් මානයක් අපට ඉහත සාකච්ජාව තුළින් මතු කර ගත හැකිය. එනම්, සුවිශේෂී අරගලයක් විසින් “විශ්වීයත්වයේ ස්ථානය” අත්පත් කරගන්නේ කෙසේද යන්නයි. ජනතාව එක්සත් කරන “විශ්වීය ආමන්ත්‍රණයක්” නිර්මාණය කරන්නේ කෙසේද යන්නයි. දැනටමත් මේ ලිපිය බොහෝ දීර්ඝ වී පවතින බැවින් එය මීළඟ කොටසින් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.

පරිශීලන

Gunasekara, Tisaranee, 24th October, 2021, The Two year Crash Course, in https://www.colombotelegraph.com/index.php/the-two-year-crash-course/

Laclau, Ernesto, 1990, New Reflections on the Revolution of Our Time, Verso: New York and London.

Laclau, Ernesto, 2005, On Populist Reason, Verso: New York and London.

Stavrakakis, Yanis and Zamponi, Lorenzo, 2020, The People is an Empty Signifier, In The Populismus, No. 06.

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    ඔවුන් කට ඇරිය විට අසූචි වලවල් වලට වඩා වෙනස් නොවේ. ගෝඨාභය වරක් කියා සිටියේ තම රජය දැනටමත් “ෆයිබර් ඔප්ටික්” ලබා දී ඇති බවයි. නමුත් උගේ උගත්කමක් නැති අනෙක් සහෝදරයා එනවා ඔහුගේ රජය එය නැවත ලබා දෙන බව. මේ බැල්ලිගෙ පුත්තු එකම මිනිස්සුන්වම රවට්ටන්නෙ කොහොමද?
    https://www.youtube.com/watch?v=hO1nU01fuMw

    • 2
      0

      අපේ තරුණ තරුණියන් ඒ වෙනස දැකිය යුතුයි. …. JVP/NPP Punguththharayas (මම නියම හොඳ හාමුදුරුවරුන්ට ගහන්නේ නැහැ) හෝ පන්සල් පස්සේ යන්නේ නැහැ නමුත් ඔවුන් අපි හැමෝම වගේ බුද්ධාගමට ගරු කරනවා. කෙසේ වෙතත්, වහලුන් අතර ජනප්‍රිය වීමට ඔවුන් හැකි තරම් බෝධිය ලෙවකමින් කාලය නාස්ති නොකරයි. රාජපක්ෂලාගේ ඊනියා ජනප්‍රියත්වය වූයේ මේ රටේ පහසු ඉලක්ක නොමග යවමිනි. ලිබියාවේ සහ සිම්බාබ්වේවල ද යෙදුවේ එයයි. ඔහු වැඩි වැඩියෙන් මහනුවර බෝධිය හා දළදා මාලිගාව ලෙවකන්න ගිය අතර, රට පුරා වහලුන් විසින් වැඩි අවධානයක් දිනා ගන්නා ලදී.

      අදටත් ජවිපෙන් එය නොකරන්නේ ඇයි? මම JVP නොවෙමි, නමුත් මම කිසිවෙකුගේ යහපත් සිතුවිලි වලට ගරු කරමි. මිනිසුන්ට හරි මග පෙන්වීමට අපි සෑම උත්සාහයක්ම ගන්නේ, අවදානමට ලක්විය හැකි මනස හැසිරවීම වැරදි දෙයක් බව JVP කාරයින් දන්නා බැවිනි.
      සාමාන්‍යයෙන් අපේ මිනිස්සු කිසිම දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්නේ නෑ.අසල්වැසි PETER දවසට දෙපාරක් මුත්‍රා බොනවා නම් අපේ අය කිසිම දැනුමක් නැතුව ඒක කරලා බලනවා. ඒ ධම්මික පැනි සාදන්නා ජනතාවගේ සැබෑ මානසිකත්වය හෙළි කළේය. ඔහුගේ මොංගල් මානසිකත්වය මුළු පාර්ලිමේන්තුවම සහ ජාතියම නොමඟ යැවූ නමුත් දකුණු ආසියාවේ ඉහළ සාක්ෂරතාවක් සහිත ජාතියක් ලෙස හැඳින්වේ. එමගින් “ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මානසිකත්වයේ” ස්වභාවය හෙළිදරව් විය. නූගත් පමණක් නොව උපාධිධාරීන් පවා ඔවුන් අතර සිටි අතර, ඔවුන් එතරම් තැකීමක් නොකළ නමුත් පෝලිමට සම්බන්ධ වූහ.
      මුන්ට අබ ඇටයක් තරම් මොලේ තියනවනම් google එකෙන් ඉල්ලලා චෙක් කරන්න තිබ්බේ. ප්‍රදර්ශනය සඳහා අන්තර්ජාල සම්බන්ධතාව භාවිතා වේ… ඔවුන් තම දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා ගූගල් හි වාසිය ගන්නේ නැත. තාත්තා පුන්නක්කු කනවා නම්, ඔවුන් ඒවා නොකන්නේ මන්දැයි ඔවුන්ගේ තරුණයන් ප්‍රශ්න නොකරනු ඇත …. ඇයි ඒ ?

      අනෙකා අනුකරණය කිරීමට පෙර ශ්‍රී ලංකන් තාරුණ්‍යය දෙවරක් ප්‍රශ්න කරන්නේ නැත.
      පණිවිඩයක් ලැබෙන්නේ නම්, ඔවුන් එය කියවා හොඳ අනාගතයක් සඳහා පැහැදිලි වෙනසක් ගැන සිතන්නේ නැත, ඔවුන් අද දවසේ ඔවුන්ගේ ජීවිතය ගත කරති. සිතීම සහ තමන්ගේම ඡන්ද බලය ඕනෑම පුරවැසියෙකුගේ ආයුධය වන අතර එය අපේ මිනිසුන්ට පැහැදිලි නැත.
      යුරෝපීය වීදියක යාචකයෙකු පවා ශ්‍රී ලංකාවේ සාමාන්‍යයට වඩා සිතයි.

    • 2
      0

      අපි ආගම්වලට ගරු කළ යුතුයි, නමුත් අනෙක් සියලුම අබෞද්ධ මිනිසුන්ට හිරිහැර කරන ආකාරයට අපි එය නොකළ යුතුයි. දේශපාලනයට ආගමික විශ්වාස මිශ්‍ර නොකළ යුතුයි. බලයේ සිටින නායකයින් ලෙස ජාතිය නොමඟ යැවීමට ඔවුන් තම නිත්‍ය මාධ්‍ය සංදර්ශන බවට පත්කරමින් සිටින්නේ සිංහල බෞද්ධකමයි. ග්‍රාමීය ප්‍රදේශවල අසරණ වූවන්ට ජීවිතයක් ලබාදීම සඳහා මෙවැනි මුදල් විශාල ලෙස නාස්ති කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඔවුන්ට නොහැකි වන්නේ ඇයි?
      ඒ ආකාරයෙන්ම අබෞද්ධ අනුගාමිකයින් එය බෞද්ධයන්ට කරදරයක් නොවන අයුරින් සිදු නොකළ යුතුය. අද රස්තියාදුකාර පවුල්වල ඉපදිලා ජාතියේ නායකයෝ වෙලා, ඇත්තටම නොව, අහිංසක ඡන්ද දායකයන් නොමග යවමින් බලය අල්ලාගෙන, මේ ජාතිය විනාශ කරනවා. අද දෛනික අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නැඟීම ගැන ඔවුන් එතරම් තැකීමක් නොකරයි. ඔවුන් සෑම ගැසට් පත‍්‍රයක්ම ආපසු හරවන්නේ එකම මිනිසුන් නොමග යවමිනි. ඔවුන් සාකච්ඡාවලට සහ විනිවිදභාවය පදනම් කරගත් දේශපාලනයට මුල්තැන දෙන්නේ නැහැ. රස්තියාදුකාර පවුලක උපන් තක්කඩි රෑනක් විසින් මෙහෙයවන රටක් ලෙසයි දකින්නේ. බටහිර ලෝකය ඔවුන්ට විරුද්ධයි. චීනය මීළඟ සතුරා බවට පත්වෙමින් තිබේ. ඉන්දියානුවන් ද පෙර මෙන් නොවේ. යහපත් අනාගතයක් සඳහා අපේක්ෂා කළ නොහැකි සැලසුම් නොමැත. ඔවුන් හුදෙක් ජනතාව අඳුරේ තැබීම සඳහා කරුණු වළලා දමයි.

      • 1
        0

        ජාතියේ බලයෙන් මත් වූ සතා යළිත් මිනිසුන්ගේ වියදමින් උපන් දිනය සමරයි… අසරණයන් තම දෛනික පැවැත්ම වෙනුවෙන් අරගල කරන අතරතුරය. වහලුන් විසින් ආධිපත්‍යය දරන මිනිසුන් අදටත් එතරම් තැකීමක් නොකරනු ඇත, මන්ද එය ඊනියා බුද්ධාගම චාරිත්‍ර වේශයෙන් සිදු වන බැවිනි.
        https://www.youtube.com/watch?v=T4IGtGfqUl0

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.