25 April, 2024

Blog

අවනීතිය රජ වීම

‘ද නේෂන්’ කතුවැකිය –

මාලින්ද සෙනෙවිරත්න -‘ද නේෂන්’ කතු

මාලින්ද සෙනෙවිරත්න -‘ද නේෂන්’ කතු

හිංසනය දිගින් දිගට වර්ධනය වෙද්දී ඇති විය හැකි තත්වය ගැන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වරක් ලීවේය. මුලදී කෙනෙකු ඒ ගැන බියෙන් ඇළලී විරෝධය දක්වයි. එහෙත් හිංසනය දිග් ගැස්සෙමින් තව තවත් හිංසනයේ බිලි ඇස ගැසෙද්දී ඒ ගැන පුදුමාකාර මුනිවතක ගිලෙතැ යි ඔහු කීවේය. දශක ගණනාවක් හිංසනය සමග ජීවත් වීමට මේ රටට සිදුවිය. කැරලි දෙකක් සහ මහ පරිමාණ සන්නද්ධ ගැටුමක් විසින් සමාජය හිරිවැට්ටුවේය. ඒ කෙතෙක් ද යත්, මිනිමැරීම් වැනි වෙනත් හිංසනයන් ගැන කෙනෙක් ඇසක් ඇර නොබලන තරම් විය.
ඒ උදාසීනත්වය පශ්චාත්-යුද සමයේ දී කෙමෙන් මැකී යනු ඇතැ යි කෙනෙකුට සිතුණි. එහෙත් එසේ නොවුණි. කඹුරුපිටියේ පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ බිරිඳව තිරිසන් අන්දමින් ඝාතනය කළ ප‍්‍රධාන සැකකරුවෙකු ඝාතනය කොට වැඩි දවසක් නැත. ‘කොමාන්ඩෝ අජිත්’ නම් වන අත්අඩංගුවට පත් මේ සැකකරුවා, රහස් ආයුධ ඇති තැනක් පෙන්වන්නට ගෙන යද්දී එයින් ආයුධයක් ගෙන පොලිසි නිලධාරියාට ප‍්‍රහාර එල්ල කොට ඇති අතර, ‘ආත්මාරක්ෂාව තකා පොලීසිය එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරයෙන්’ ජීවිතක්ෂයට පත්විය.

මේ සිද්ධියේ තවත් සැකකරුවන් දෙන්නෙකු අත්වල මාංචු පවා දමා තිබියදී අත්අඩංගුවෙන් පැන යාමට තැත් කොට තිබේ. එය ද, සඟවා තැබූ ආයුධ වගයක් පෙන්වීමට රැුගෙන යාමේදී ය. මොවුන් පැන යාමට තැත් කොට ඇත්තේ ජලාශයකට පැනීමෙනි. එහි දී ජලයේ ගිලී ඔවුන් මරුමුවට පත්ව ඇත. ඊළඟට, මේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවා වන ‘කැටයම් චින්තකගේ’ මළ සිරුර සෙනසුරාදා නිල්වලා ගෙඟ් පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.

පොලිස් අණ නොතකා කටයුතු කරන විට වෙඩි වැදී මියයාමේ මේ කතාව දැන් සුපුරුදු ය. සිදු වී යැයි කියන පොර බැදීමක දී හෝ වෙඩි හුවමාරුවක දී ඇති විණැ යි කියන තුවාලවලින් එක් පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කොට තිබේ. මේ කතාව විශ්වාස කරන අය අල්ප යි. අතේ මාංචු දමා ඇත්තෙකු ජලාශයකට පැන පිහිනා ගොස් ගැලවීමට සිතති යි විශ්වාස කළ නොහේ.

සැකකරුවන්ව මෙසේ ජීවිතක්ෂයට පත්වීමට තුඩුදුන් මිනිමැරුම් සිද්ධිය දින ගණනාවක් මාධ්‍යයේ අවධානයට ලක්විය. එහි ‘බිහිසුණු’ කම කැපී පෙනුණි. එම සිද්ධියේ සැකකරුවන්ගේ ඉරණම ගැන වැඩිමනත් ප‍්‍රශ්න නොකෙරෙන්නේ, සමහර විට, අර කී අපරාධයේ ස්වභාවය නිසා විය හැකිය. අනිත් අතට, මේ සැකකරුවන්ගේ ඉරණම, ‘අධිකරණයේ යුක්තියට’ සමාන තත්වයේ ලා සැලකෙන සමාජ මතයක් බිහි වීම, සමහර විට, අපේ නීති පරිපාටියේ කාර්යක්ෂමතාව පිළිබඳ පළ වන දෝෂාරෝපණයක් වශයෙන් ද ගිණිය හැකිය. එහෙත්, ‘කොමාන්ඩෝ අජිත්ගේ’ මළගම දා එම ප‍්‍රදේශයේ ජනතාව රතිඤ්ඤා පත්තු කිරීම අප සළකන්නේ කෙසේ ද? එක්තරා විරේචක සහනයක් වශයෙන් ගැනීමෙන් එය පැහැදිළි වේද?

මීට කලකට ඉහතදී ‘වෙඩි හුවමාරුවකින්’ බොහෝ සැකකරුවෝ මියගියහ. ඔවුන් පාතාලයේ ප‍්‍රධාන චරිත විය. ඔවුන්ව අත්අඩංගුවට ගතහොත් ඉහළම නීති සහාය ලබා ඔවුන් නිදහස් වන බව දනෝ කියති. එසේම පාතාල චරිතය සහ දේශපාලඥයන් අතර වන දැඩි බන්ධනයක් නිසා එවැන්නන් දඩුවමට ලක්වීමෙන් ආරක්ෂා කෙරෙන බවත් කියැවේ. මේ තත්වය සැබෑවක් නම්, රටේ පවතින් අධිකරණ පද්ධතිය ගැන බොහෝ ප‍්‍රශ්න මතු කෙරේ. කෙසේ වෙතත්, ‘වෙඩි හුවමාරුවකින්’ සැකකරුවන් මෙසේ ඝාතනය වීම සාමාන්‍ය ජනතාව බරසාරව ගන්නා බවක් පෙනෙන්ට නැත. සිදුවිය යුත්තේ එසේ නම් එසේ සිදුවීම තුළ වරදක් නැතැ යි සිතන්නාක් මෙනි. ඒ වනාහී, ඉලක්කය විසින් ඒ වෙත ළඟා වෙන මාර්ගය යුක්ති සහගත කරන්නේ ය යන තර්කණයයි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, එවැනි පියවරයන් සාමාන්‍ය ක‍්‍රියාවලිය බවට පත්වන විට, නීතිය සහ නීතිය ක‍්‍රියාත්මක කිරීමත්, සමස්ත අධිකරණ පද්ධතියමත් දැවැන්ත ව්‍යාජයක් බවට පත්වීමයි.

‘යුද්ධයේ දී නීතිය නිශ්ශබ්දයි’ යන්න, බොහෝ විට ගෙනහැර දැක්වෙන, පාලන බලය හොබවන්නන්ගේ පාවිච්චියට යෙදවෙන, නියාමයකි. එය සටන් බිමේ දී සිදුවන අසීමාන්තික සිදුවීම් සාධාරණිකරණය සඳහා පමණක් නොව, වෙනත් තැන්වල සිදුවන අපරාධ යට ගැසීම සඳහා ද පාවිච්චි කෙරේ. එහෙත් දැන් අප සිටින්නේ යුද්ධයෙන් පසු අවධියකයි. යුද්ධයෙන් පසු යළි පිළිසකර වීමේ අවධියක් තිබිය යුතු බව පිළිගත හැකි වෙතත්, ඒ කාලය තුළ නිවැරදි මාවතේ යන ප‍්‍රගතියක් දැකීමට අපේක්ෂා කිරීම යුක්ති සහගත ය. එහෙත් අද අපට පෙනෙන්ට ඇත්තේ එහි ප‍්‍රතිපක්ෂයයි. නීතිය පැත්තෙන් බැලූවත්, සමහර විට ඒ හේතුව නිසාම හෝ වෙනත් කාරණයක් නිසා හෝ විය හැකිව තිබෙන ජනතාවගේ ආකල්ප අතින් බැලූවත් තත්වය එවැන්නකි.

‘නිසි පරිපාටිය’ යන්න සදහටම අත්හිටුවිය හැක්කක් ද?

එම්.ජී. ක්විබ්රා නැමැත්තෙක්, මීට දශකයකට පමණ පෙර, ‘‘වර්ධනය සහ දරිද්‍රතාව: නැගෙනහිර ආසියාතික ආශ්චර්යේ පාඩම් දෙස ආපහු හැරී බැලීමක්’’ නැමැති රචනාව තුළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ සංස්ථා සහ ආර්ථික සමෘද්ධිය අතර සම්බන්ධයක් නැතැ යි තර්ක කෙළේය. මෙය, සෑහෙන කලක් තිස්සේ ජනතාව දන්නා දෙයකි. එහෙත් වැදගත් කාරණය වන්නේ, ශිෂ්ට සම්පන්න සංවර්ධනයක් සඳහා නීතියේ ආධිපත්‍යය අත්‍යාවශ්‍ය වන බව ක්විබ්රා පෙන්වා දීමයි.

ඔහුට අනුව, ‘නීතියේ ආධිපත්‍යය යනු, පවතින නීති රෙගුලාසි කෙරෙහි සමාජයක් විශ්වාසයෙන් අනුගත වීමයි. එයින් ගම්‍ය කෙරෙන්නේ, රටක නීතිරීති පිළිබඳ ජනතා දැනුවත් භාවය, නීතිරීතිවල පැහැදිළි අරුත්, වෙනසකින් තොරව සැමට සමාන සේ නීතිරීති අදාළ වීම සහ ආණ්ඩුවක අත්තනෝමතික ක‍්‍රියා මැඩලන ශක්තියෙන් නීති පද්ධතිය සමන්විත වීම ය.’ මේ තර්කයට පදනම් වන ප‍්‍රධාන සාධකය වන්නේ, සාධාරණ, කාර්යක්ෂම සහ දේශපාලනික උප්පරවැට්ටිවලට යටත් නැති, නිසි බලධාරී ශක්තිමත් අධිකරණ පද්ධතියක්, නීතියේ ආධිපත්‍යයේ පූර්ව කොන්දේසියක් වන බවයි.

එය එක් මානක ලකුණකි. ඒ ආශ‍්‍රයෙන් අප ගැන විමසීමට අපට හැකි නම්, අප එක රතිඤ්ඤා කරලක්වත් පත්තු නොකරනු ඇත. ඒ වෙනුවට අප කළ යුත්තේ, සුදු කොඩියක් මැසීමට පටන් ගැනීමයි.

*2013 දෙසැම්බර් 1 වැනි දා ‘ද නේෂන්’ පුවත්පතේ පළ වූ  “The Rule Of Lawlessness” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ඉතා වැදගත් ලිපියක්. අප ජනතාව මුලාවේ පතුලටම කිමිදෙමින් සිටින අතර රාපපක්ෂ රෙජීමය තම කූට පාලනය ඉතා ලෙහෙසියන් අහිංසක ජනතාව අතර තහවුරු කරගෙන ඇත.රටක පැවැත්මට පලවෙනි සාධනය ”නීතිය සහ නීති ගරුක පාලනය ” බව අමුතුවෙන් කිවයුතු නැත. වර්තමාන ආණ්ඩුවට රටේ නීතිය පැවැත්වීමට කිසිදු උවමනාවක් නැති බව පැහැදිලිව පෙනේ. ඔවුන්ට රට ගැන කැක්කුමක් ඇත්නම් එය එසේ වෙන්නට දෙන්නේ කෙසේදය් ප්‍රස්නයක් ඇති වේ .මේ ප්‍රවනතාවය ඔවුන් ට අවැසි දේ ඒ අයුරින් ඉටු කර ගැනීමට අවකාශ ලබා දෙනමුත් පොදුවේ මහජනතාවට ලැබෙන සෙතක් නැත,අපට අවශ්‍ය නීතිය සුරකින රටක් .අයුක්තියට නීතියේ පිලිසරන ලැබිය යුතු අතර පොලිසිය නීතිය අතට ගෙන නීතියට පිටින් කටයුතු කිරීම ඉතා බිහිසිණු තටහ්වය නොවේද.
    “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද ඒ අයුත්ත “.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.