28 October, 2021

Blog

යුඇන්පිය බෞද්ධකමෙන් කර අරින්න හදයි ?

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

“සාමකාමී ස්ථාවර ශක්තිමත් ආර්ථිකයක් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපෙරොත්තු දැල්වෙමින් ඇති මෙහොතක විසි එක්වන සියවසේ ශ්‍රී ලංකාව තුළ ආගමික අසහනය සහ ජාතිවාදය වැපිරවීමට කිසිදු ඉඩක් තිබිය යුතු නැත.” එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් පසුගිය ජුනි 17 දා නිකුත් කරන ලද එම නිවේදනය මේ වන විට පොදු සමාජ කතිකාවකට බඳුන් වෙමින් තිබේ. ඒ ශ්‍රී ලාංකීය ජන සමාජයේ පවත්නා චිරාගත බෞද්ධ සාම්ප්‍රදායික උරුමය යටපත් කර ශ්‍රී ලංකාව නිර්ආගමික (Secular) රාජ්‍යයක් බවට පත් කිරීමේ එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවලක මුලාරම්භය එය විය හැකි බවට ඇතැමුන් තුළ සැක පහළවී ඇති බැවිනි.

ශ‍්‍රී ලංකාවේ පවත්නා උත්තරීතර නීතිය වශයෙන් එහිම දැක්වෙන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයෙහි නව වන ව්‍යවස්ථාව නම් වනුයේ ‘බුද්ධාගම’ යනුවෙනි. එම ඡේදය මෙලෙසිනි.

‘‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10වැනි ව්‍යවස්ථාවෙන් සහ 14වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු වන්නේය.’’

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාගේ ඉහත සඳහන් නිවේදනයට අනුව එම පක්ෂය කරන එක්සත් ජාතික පක්ෂය ඉහත සඳහන් ව්‍යවස්ථාමය වගකීම හීන් සීරුවේ කර ඇරීමට උත්සාහ කරන බවක් යමකුට ඒත්තු යා හැකිය.

නමුත් ඉහත සඳහන් ව්‍යවස්ථාව අනුව වුව හින්දු, ඉස්ලාම්, රෝමානු කතෝලික සහ සෙසු කිතුනු ආගම් නියෝජනය කරන දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා, මැලේ ආදී ජාතිකයන්ට ඔවුන්ගේ ආගම් ඇදහීමේ නිදහස ද තහවුරු කොට ඇත.

මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් වන ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස යනුවෙන් නම් කොට ඇති දසවන ඡේදයේ එන ඒ සම්බන්ධ වගන්තිය මෙලෙසිනි.

‘‘සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘද සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.’’

දේශපාලනය සහ ආගම මානව ඉතිහාසයේ අනාදිමත් කාලයක සිට එක්ව අත්වැල් බැඳ පැමිණ තිබේ. ලොව සෑම ජන සමාජයකම පූජක පැලැන්තිය සමාජය තුළ පාලකයන්ට ඉහළින් ස්ථාපිත වී තිබුණේ එබැවිනි.

නමුත් මානව බුද්ධි පරිනාමයේ එක්තරා අවස්ථාවකදී දේශපාලනය සහ ආගම දෙකට බෙදී දෙමංසලක ගමන් කිරීම අරඹා ඇත. ලෝක දේශපාලනයේ නවීනතම අවස්ථාවක් වන මෙය හැදින්වෙනුයේ පල්ලිය සහ රාජ්‍යය එකිනෙක වෙන්වීම (separation of Church and state ) යනුවෙනි. දෙශපාලනය නිරාආගමික විය යුතුය ලෝකයේ බොහෝ රටවල් පිළිගන්නට වූයේ ඒ අනුවය.

මේ තත්වය යටතේ වුවද ආගමික පදනම් වලින් යුතු දේශපාලනික සංවිධාන ලොව පුරා කොතෙකුත් බිහි වී සහ බිහිවෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ජාතික හෙළ උරුමය බෞද්ධ පදනමකින් යුතු දේශපාලන පක්ෂයකි. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු ඉස්ලාම් ආගමික පදනමකින් යුතු දේශපාලන පක්ෂ කිහිපයක්ද අප රටෙහි තිබේ. ඒ අනුව බෞද්ධ දේශපාලනය යනු ආගම සහ දේශපාලනය එක් වූ ලෝක දේශපාලනයේ අපරිනත අවස්ථාවක් නිරුපණය කරන්නකැයි යමෙකුට හැඟී යා හැක.

එහෙත් එහි යථාර්ථය ඊට ඉඳුරාම වෙනස්ය.

බෞද්ධ රාජ්‍ය පාලනයේ පරමාදර්ශය ‘ධර්ම රාජ්‍යය’ නමින් හැඳින්වෙයි. මෙය කිසියම් ආගමික රාජ්‍යයක් වශයෙන් යමකුට සිතිය හැකි වුව ද සක්විති රජ කෙනකුන් විසින් පාලනය කරනු ලබන ධර්ම රාජ්‍යය තුළ බුදු සමය ඇතුළු ලොව කිසිදු ආගමකට විශේෂ තැනක් හිමි නොවේ. දීඝ නිකායේ එන චක්කවත්තී සිහනාද සූත‍්‍රය පිරික්සීමෙන් එය මනාව වටහා ගත හැක.

මිනිසුන්ට සේම අපා, දෙපා, සිව් පා, බහු පා ආදී සතුන්ටත්, අහසේ පියාසර කරන පක්ෂීන් සහ ජලයේ වෙසෙන මත්ස්‍යයන්ටත්, වෘක්ෂලතාදියටත්, වාතය, පස, ජලය යන භෞමික සාධකවලටත් සම මෙත, සම සෙත ඉටු කෙරෙන මෙම බෞද්ධ ධර්ම රාජ්‍ය සංකල්පය ලොව පරමාදර්ශී දේශපාලන දර්ශනයකි. කිසිම ආගමික ලබ්ධියක් සුවිශේෂ කොට ගෙන ඊට විශේෂ අනුග‍්‍රහ සැලසිය යුතු යැයි එහි කිසිම තැනක සඳහන් නොවේ.

මතුපිටින් බලන විට මෙහි ‘බෞද්ධ’ යන හැදින්වුම තිබුනද සැබෑ අර්ථ විග්‍රහයට අනුව මෙය සැලකිය හැක්කේ නිර්ආගමික රාජ්‍යය සංකල්පයක් වශයෙනි.

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ජනගහණය සමස්ත ජන ප‍්‍රතිශතයෙන් 69.30%කි. එහෙත් ඉන්දියානු ජනගහණයේ හින්දු ආගමික ප‍්‍රතිශතය 79.8%කි. ඊට අමතරව ඉන්දියාවේ සෙසු ආගම්වලට අයත් ජනගහණය ප‍්‍රතිශතයක් ලෙස මෙලෙසිනි.

ඉස්ලාම් 14.2%, ක‍්‍රිස්තියානි 2.3%, ෂීක් 1.7%, බෞද්ධ0.7%, ජෛන 0.4%, වෙනත් ආගමික 0.7%, නිර්ආගමික 0.2%

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනගහණයට සාපේක්ෂව හින්දු ජනගහණයේ 10%කට වැඩි ප‍්‍රතිශතයක් පෙන්වන ඉන්දියාව මේ වනවිට ‘නිර්ආගමික’ රාජ්‍යයක් බව වත් අප රටේ බොහෝ දෙනෙක් නොදනිනි. ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15-25 වගන්තිවලින් එහි ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර තිබේ.

1947 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ග‍්‍රහණයෙන් මිදුණු ඉන්දියානු රාජ්‍යයේ නිර්ආගමික බව 1976 අංක 62දරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම රටේ උත්තරීතර නීතියට එක්කොට තිබේ.

හින්දු, බෞද්ධ, ජෛන, ෂීක් යන ප‍්‍රධානම ආගම් හතර මෙලොවට දායාද කළ ඉන්දීය රාජ්‍යය දේශපාලනික වශයෙන් නිර්ආගමික වීම අති නවීන සංකල්පයක් සේ බටහිර විචාරකයෝ කියති. එහෙත්, බුදු දහමින් ඉදිරිපත් කෙරෙන අතිශය සහනශීලී අවිහිංසාවාදී පදනමක් වන අශෝක අධිරාජ්‍යයා විසින් ලොවට ඉදිරිපත් කළ ආගමික සහජීවන පිළිවෙත ඉන්දියාව තුළ පරිණාමයට, විකාශනයට සහ සංවර්ධනයට පත්වීමේ පියවරක් ලෙස ඉන්දියාව මෙලෙස නිර්ආගමික රාජ්‍යයක් වන්නට ඇත. මෙය අදද බොහෝ දෙනෙකුට නොවැටහෙන සත්‍යයකි.

වර්තමාන ඉන්දියානු රාජ්‍ය ලාංඡනය වනුයේ ද අශෝක අධිරාජ්‍යයා විසින් සාරානාත් හි පිහිටුවා තිබූ ශිලා මූර්තියක සංකේතයකි. මෙම මුර්තියේ දැක්වෙන සිව් දෙසට මුහුණ ලා ගත් ඉන්දීය සිංහයන් සිව් දෙනකුගේ රූප සීනුවක හැඩය සහිත පියුමක ආකෘතියක් මත ඇති පීඨයක් මත තනා තිබේ. එම පීඨයේ වම් පස අශ්වයකුගේ සහ දකුණෙහි ගවයකුගේ රූප දැක්වෙන අතර ඒ මධ්‍යයෙහි ඇත්තේ ගරාදි විසි හතරකින් යුතු ධර්ම චක‍්‍රයකි.

‘අශෝක චක‍්‍ර’ නමින් හැඳින්වෙන නිසැක ලෙසම බෞද්ධ ධර්ම චක‍්‍ර සංකේතයක් වන මෙය ඉන්දියාව 1947 ජූලි 22දා සිට ඉන්දීය ජාතික ධජයේ ඇති එකම සංකේතය ලෙස යොදාගෙන තිබේ. එහෙත්, සියයට අසූවක් පමණ හින්දු ජනගහණයක් වෙසෙන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයට සහ ජාතික කොඩියට ඊට වඩා ඉතා සුළු ජනගහණයක් අදහන බෞද්ධ සංකේතයක් යොදා ගැනීම පිළිබඳ කිසිදු විරෝධයක් එල්ල වී නැත.

ඊට හේතුව ඉන්දීය සංස්කෘතිය සහ සභ්‍යත්වය මුල්කර ගනිමින් ගොඩ නැගුණු උදාරතර ශිෂ්ටාචාරය මත පදනම් වූ ජාතිකත්වය සඳහා බුදු දහමින් සහ ධර්මාශෝක අධිරාජ්‍යයාගෙන් ලත් සුවිශේෂ පිටිවහලට කෘතගුණ පෑමක් වශයෙන් ද විය හැක.

ඒ තත්වය තුළ ශ්‍රී ලංකාව තුළ සැබෑ බෞද්ධ දර්ශනික දේශපාලනය ස්ථාපිත කරවීම යනු හුදෙක් හින්දු මහායාන ඇතුළු සෙසු ආගමික අංශද ඇතුළත් නූතන ව්‍යවහාරික බුද්ධාගම සහ දේශපාලනය එක් කර ගනිමින් වර්ගවාදී සංකල්ප පැතිර වීම නොවේ. ශ්‍රී ලංකාව තුළ සැබෑ බෞද්ධ දේශපාලන දර්ශනය ස්ථාපිත කළ හැක්කේ ශ්‍රී ලංකාව නිර්ආගමික රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පමණි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ලිපියේ ද අන්තර්ගතය අනුව , චක්‍රය ඉන්දියානු ධඡයට පැමිනෙන්නේ දේශපාලනික අර්ථෙයන් මිස ආගමික අර්ථයෙන් නොවන බව සිතමි.
    අශෝක පාළණ සමය ඉන්දියානු කලාපීය අධිරාඡ්‍යවාදයේ ( මහින්දාගමනය ඇතුලුව) වැදගත්ම මං සළකුණ නොවන්නේද

  • 0
    0

    ඉන්දියාවේ කරන හැම මගුලම මෙහෙ කරන්න බෑ හලෝ

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.