19 April, 2024

Blog

නාලන්ද එල්ලාවල හා බැලුං-කාරයෝ

ආචාර්ය උදන් ප්‍රනාන්දු

ආචාර්ය උදන් ප්‍රනාන්දු

වසර විසිපහක් යනු පරම්පරාවකට කිට්ටු වසර ගණනකි. ලාංකීය පරිමාණයෙන් එය කල්පයක් වන්නේ අපගේ මතකය සති දෙකකට වඩා නොරැඳෙන බැවිනි (වාර්තා වූ පරිදි, රූ රැජිනක සමග බීමතින් රාත්‍රී එල්ලුම් ගස් චාරිකාවක ගිය ඇමතිවරයෙකු ගැන ඔබට මතක ද ?). නාලන්ද එල්ලාවල නමැති තරුණ දේශපාලඥයෙකු කලකට පෙර සිටි බව ද, අද දිනට ඔහු මහපාරේ වෙඩි තබා මරා දමා වසර විසි පහක් ගෙවී ඇතැයි ද යන්න නිදන්ගත සාමුහික ඩිමෙන්ශියාවකින් පෙළෙන ලාංකීය සමාජයට කොහෙත් ම මතක නැතිව ඇති.

නාලන්ද ගැන මගේ මතකය අවිස්සුණේ වසර තිස් හතකට පමණ පෙර අප ගත් මේ පොටෝව නිසා ය. මෙය අප උසස් පෙළ කළ පසු ඔහේ රස්තියාදු ගසන කාලයේ ගිය චාරිකාවක ගත් පොටෝවකි. මගේ අනෙක් පාසල් මිතුරන්ගේ අනන්‍යතාව සුරැකෙන පරිද ඔවුන්ගේ ඇස් වසා ඇත්තේ ඔවුන් ප්‍රසිද්ධියට කැමති නැති නිසා ය. අප බොහෝ දෙනා ‘පාවෙමින්’ සිටින අතර දී නාලන්ද සුපුරුදු ලෙස තම ගිටාරය සමග දැහැන් ගත වීමෙන් ගීයක මුමුණමින් සිටියේ සැහැල්ලුවෙනි.

නාලන්ද මට මුලින් ම හමුවන්නේ පාසැලේ තුන්වන ශ්‍රේණියේ මුල් දිනයේ ය. එන්. එස් එල්ලාවල ලෙස අප හැඳින්වූ ඔහු හිඳ ගත්තේ මගේ බැකුවේ එහා කොනේ ය. ඔහු අප පාසලට පැමිණියේ රත්නපුරයේ පාසලකිණි. කැහැටු පෙනුම, බොල්ලෑ දත් හා එල්ලාවල වැනි අමුතු නම නිසා ඔහු අප කවුරුත් ගණන් ගත්තේ නැත. ඔහු සිටියේ ලජ්ජාවෙන් හිස කඩා ගෙන ය. මෙය වෙනස් වුනේ චිත්‍ර පීරියඩ් එක ආ විට ය. අපගේ පංති ගුරුවරිය, මිසිස් විතානාච්චි, අපට කීවේ බැලුං කාරයෙක් අඳින ලෙස ය. අප සියල්ල අඳින අයුරු බලනු පිණිස ගුරුවරිය පංතියේ ඔබ මොබ ඇවිද ගියේ ය. ඈ එක වරම සිහිනෙකින් අවදි වූ වා මෙන් නාලන්ද ළඟ ඉද්ද ගැසුවා සේ නැවතුණා ය. එවිට ය අප සියළු දෙනා මවිතයට පත් වුණේ නාලන්ද ඇඳ තිබූ ජායාරූපයක් මෙන් සජීවී පෙනුමක් සහිත බැලුන් කාරයාගේ චිත්‍රය. පසු කලෙක ය මා දැන ගත්තේ ඔහුගේ මව, සුරංගනී එල්ලාවල, චිත්‍ර ගුරුවරියක බව.

වැඩි කලක් යන්නට පෙර නාලන්ද රත්නපුරේ අළු ගසා දමා ගල්කිස්සේ මුහුදු පින්නෙන් පාට වැටී කල එලි බැස්සේ ය. බෝඩිමේ සිටි නිසා ඔහු හොකී, ටෙනිස්, ටේබල් ටෙනිස් ක්‍රීඩාවල නිරත ව, පසු කලෙක වර්ණලාභියෙකු ද විය . දක්ෂ කථිකයෙකු හා රචනා ලියන්නෙකු ද විය. ඉගෙනීමටත් ඒ හා ම දස්කම් පෑවේ ය. චිත්‍ර ශිල්පය තවත් ප්‍රගුණ කළේ ය. පාසැලේ වාර්ෂික බිග් මැච සුවනියරයේ ක්‍රීඩකයින්ගේ කැරිකැචර-චිත්‍ර පර්ෆෙක්ට් ලෙස අඳින්නේ ඔහු ය. ඒ සියල්ලට ම වඩා අප ඔහුට ආදරය කළේ ඔහුගේ සරල නිහතමානී ගතිගුණ නිසා ය. රත්නපුරේ ඔහුගේ ‘අප්පෝ’කම ද පියාගේ දේශපාලන රැස් වළල්ල ද නාලන්ද කිසි දිනෙක පාසැලට ගෙන නොආවේ ය. කොළඹ විශ්ව විද්‍යාලෙය් ද නීති විද්‍යාලයේ ද මා සිටි අවධියේ ඉගෙනගත් ඔහු ඒ ලෙස ම තම කැහැටු සිරුර සහිත ව පොත් මිටියක් ද රැගෙන වැඩි කලබලයක් නැති ව සිටියා මතක ය. එහෙත් උපාධිය හා නීති විභාගය අවසන් වන්නට පෙර ම ඔහු පාර්ලිමේන්තුවට රත්නපුරයේ වැඩි ජන්දයෙන් තේරී ආවේ ය. නාලන්දගේ ඉතිරි කතාව අපට ඒ තරම් අදාල නොවී ය. වසරකට වරක් පැවැත්වෙන ස්ටැග් නයිටයට ඔහු නොවරදවා පැමිණෙන අතර අප සමග එළිවෙන තුරු කා බී සිංදු කියා සෑම දෙනා සමග තනි තනි ව කතා කර යෑම පමණ ය අපට අදාළ වුණේ.

පාසැල් බෝඩිමේ සිටින කොල්ලෝ, ‘ඩේ-ස්කොලර’යන්ට වඩා බැඳීමකින් සිටිය හ. නාලන්දගේ මරණයට චුදිත වූ නිලමේ තුමා ද සිටියේ අප පාසැලේ බෝඩිමේ ය. දිග ශාලාවක එක පැත්තක ඇඳන් තිහක් බැගින් දෙපැත්තට සටින සේ සකසා තිබූ ඒ බෝඩිම් ශාලාවේ සිටි අයෙකු එහි ම ඇඳක වසර කිහිපයක් සිටි තවත් අයෙකුට වෙඩි තබා මැරූ බවට වුදිතයෙකු වීම කෙතරම් උත්ප්‍රාස ජනක ද ? මගේ තේරුම් ගැනීම අනුව නාලන්දගේ මරණයට අඩු වැඩි වශයෙන් වග කිව යුත්තේ වෙඩි තැබූ දේශපාලඥයා නොව ඔහු ව ප්‍රකෝප කළ, නාලන්ද සමග සිටි වාචාල වසල දේශපාලඥයා ය. නාලන්ද ද මේ පාප-මිත්‍ර සේවනයෙන් ඔද්දල් වී ඔහු ද යම් ප්‍රකෝපකාරී හැසිරීමක නිරත වූවා විය හැක. කොකා ගැස්සුවේ නිලමේවරයෙකු හෝ රත්තරංතිලකයෙකු හෝ වෙනත් අයෙකු වුව ද උණ්ඩයේ වෙඩි බෙහෙත් කෙටුණේ පරේරාමය වාචාල කටක ය.

මරණයේ උණුසුමෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පාර්ලිමේන්තු පාරට හැරෙන තැන නාලන්දගේ කෙසඟ පිළිමයක් තැණී ය. එවකට ප්‍රගතිශීලී ලේබලය අළවා ගෙන සිටි ඩලස් අලහස්පෙරුම, තම නව-උපන් දරුවාට නාලන්ද කියා නම් තැබී ය. නාලන්ද නමින් පදනමක් ද ස්ථාපිත කෙරිණ. පිළිමය බොහෝ කලකට පෙර කාටත් නොකියා අතුරුදහන් වී ය. පදනමට වූයේ කිමද කියා මම නොදනිමි. නාලන්ද අලහප්පෙරුම දරුවා නම් දැන් අවුරුදු විසි පහක තරුණයෙක් ව සිටිනවා විය හැක. වාචාල වෙඩි බෙහෙත් කෙටුම්කරු පක්ෂයෙන් පක්ෂයට පනිමින් තම වාචාලත්වය එලෙස ම නඩත්තු කරගෙන යන බව පෙනෙයි.

ඉන්නා සිටින තැනක සිට, නාලන්ද මේ සියල්ල, බැලුං-කාරයෙකු ලෙස නොව ‘බැලුම්-කාරයෙකු’ ලෙස බලා සිටිනවා විය හැක.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    1 of 2 උදන්, නාලන්දගේ මරණයට වග කිව යුතු දෙතුන් දෙනෙක් ගේ නම් ඔබ ව්‍යංගාර්ථයෙන් පෙන්වලා තියෙනවනේ? ඒ ගැන මගේ කිසිම අවුලක් නෑ. හැබැයි, ඔබ නොලියූ, ඔබ බොහෝ විට නොදන්නා කෙනෙකුත් මේ මරණය පස්සේ ඉන්නවා. ඒ තමයි නලන්දගේම පීතෘ රත්නය වූ නන්ද එල්ලාවල. ඔහුත් මේ මරණයට වග කිව යුතුයි. නන්ද එල්ලාවල 1960 ගණන් වල අගදී දේශපාලනයට ඇවිත් 1970 රත්නපුර ආසනය වැඩි චන්ද 20,000 කටත් වැඩියෙන් අරන් ජයගන්නවා. ඒ චන්ද මෙහෙයුමේදී ඔහු නීති විරෝධී ගිණි අවියක් පාවිච්චි කරලා ප්‍රතිවිරුද්ධ UNP විජේසුන්දරගේ ආධාර කරුවෙකුට තුවාල සිද්ධ කරනවා. මේ සිද්ධිය නිසා චන්ද පෙත්සමකින් නන්දට ආසනය අහිමි වෙනවා. ඒ නිසාම අතුරු මැතිවරණයකුත් එනවා. හැබැයි තාක්ෂණික හේතුවක් නිසා නන්ද නඩුවෙන් දිනනවා. එවකට ලංකාවෙ තිබුන නීතිය අනුව, උසාවිය මගින් වැරදි කරුවකු හෝ නිවැරදි කරුවකු කලත්, උසාවියේ නඩුවක වග උත්තරකරු වූ පුද්ගලයෙකුට පවා පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීම සම්පූර්ණයෙන්ම තහනම්! එහි පරමාර්ථයනම් චූදිතයකු වී උසාවි ගිය පුද්ගලයකු උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් අවනම්බුවක් බවයි.

    • 6
      0

      JIT,
      .
      AS USUAL I HAT OFF TO YOU: You have been doing a great job.
      :
      Thanks and greetings from central Europe.

      • 3
        0

        To you too, appreciated LM!! :)

  • 5
    0

    2 of 2 ඊට පස්සේ තමයි නියම සිරි ලංකා නීති පොත් වෙනස් වෙන්නේ. එවකට අගමැති සිරිමා හෙවත් නන්දගේ ලඟම ඥාති සහෝදරිය පාර්ලිමේන්තුවට පනතක් ගේනවා චෝදනාව කෙසේ වෙතත් නඩුවකින් දිනපු පුද්ගලයකුට චන්දයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. තුනෙන් දෙකේ බලයක් තිබන ආණ්ඩුවක් මේක ලේසියෙන්ම සම්මත කරලා දානවා. ඉතින් නන්ද චන්දෙට ඉදිරිපත් වෙලා අයෙත් උඩින්ම දිනනවා. උදන්, දැන් ඔයා හිතල බලන්න මේ මැර දේශපාලනය පටන් ගත්තේ කවුද, මොන ක්‍රමයද කියල. නන්ද එල්ලාවල එතෙක් තිබූ ඉතාම නිවැරදි නීතියක් විපරිත කලේ තමන්ගේම පුද්ගලික වාසියටනේ? එකෙන් මොකද්ද වෙච්ච උපහැරණය? පුළුවන් නම් නඩු වලින් බේරියල්ලා ඊට පස්සෙ චන්දෙට වරෙල්ලා කියන පණිවිඩේ නේද? ඉතින් පුන්චිනිලමෙලා නැත්නම් රත්නතිලකලා පසුකාලීනව බිහි වීම මොන පුදුමයක්ද? තල වපුරා මුං නෙලිය හැකිද??? 1970 ට පෙර දේශපාලනයට ඇවිත් තමන්ගේ ඉඩ කඩම් පවා නැති කර ගත් මිනිස්සු හිටිය රටක් මේක! ඩඩ්ලි, සී පී, ඊරියගොල්ල, බණ්ඩා, මොන්ටේගු, MDH, කැප්ටන් CPJ මේ ඔක්කොම 70 දී අන්ත පරාජයකට ලක්‌ වෙලා උපතින් ලැබිල තිබුන පාරම්පරික වස්තුව ඔක්කොම නැති කර ගෙන අකාලේ මිය ගිය දේශපාලකයන් හැටියට ඉතිහාසගත වෙලා තියෙනවා. ඔබ නීතිය හැදාරූ කෙනෙක් නිසා මේ කතාන්දරය සොයා බලන්න. ඔබ විස්මයට පත් වෙන දේවල් හොඟක් හම්බු වෙයි. මට මේවා බොහොමයක් විස්තර කරලා දුන්නෙ මගේ නැතිවී ගිය දයාබර මාමා කෙනෙක්. ඔහු 59 – 74 දක්වා සිටිය අවංක සිවිල් සේවකයෙක්.

    • 6
      0

      හිතවත් උදාන්,
      ලිපිය සඳහා ස්තුතියි.
      නමුත් පහත හෙලීමට නොවේ, මේ රටේ අධිකරණමය නොවන ආකාරයේ ඝාතනවලට කී දෙනෙක් හසුවී ඇත්ද? එවැනි අපරාධ සිදුවීම් අද අපට ඕනෑම දිනක අසන්නට ලැබේ. මේ අපරාධ අසා හැදී වැඩුණු පරම්පරා වෙනත් මගක් දකින්නේ නැත. එය ඔවුන් ජීවත්ව සිටින තාක් කල් පවතිනු ඇත. හාස්‍යයට කරුණක් නම්, මගේ මව්බිම වන ඊනියා “සිංහල බෞද්ධ” ආධිපත්‍යය දරන ශ්‍රී ලංකාවේ භූමි යථාර්ථය මෙයයි. 89 අග වන විට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සහ ගමේ කෙළවරේ මට කණ්ඩායම් සහකරුවන් සංඛ්‍යාවක් අහිමි විය. ඔවුන්ගෙන් සමහරෙක් සහ ඔවුන්ගේ ආදරණීයයන් ඔවුන්ගේ ආදරණීයයන්ගේ වියෝව දරාගත නොහැකිව ඔවුන් විසින් සියදිවි නසා ගත්හ. අදටත් අපි ඉහළින් කතා කරන අතර අපරාධකරුවන් සම්බන්ධයෙන් කිසිවක් ක්‍රියාත්මක වී නැත, සමහර විට, ශ්‍රී ලංකා අධිකරණය ජාත්‍යන්තර නීති ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ කාර්යය කළේ නම්, වත්මන් ජනාධිපති වැරදිකරුවෙකු වීමට ඉඩ තිබුණි.
      අපි “ජමාල් ඛෂෝගි ම්ලේච්ඡ අබිරහස් මිනීමැරුම” වෙත ද ඇඟිල්ල දිගු කරමු, නමුත් අන් කිසිවෙකුට වඩා අපව ඉහළින් තබා ගනිමින්, ඔවුන් ගණන් නොගැනීම නිසා අප කෙතරම් අපරාධ කර ඇත්ද? මෙය වඩා විශාල ශාපයකි, එය අපගේ යටි සිත කිසිදාක අපට සමාව දීමට ඉඩ නොදේ.
      අපාය වැනි මාතෘභූමිය තුළ මා කිසිවිටෙකත් අවාසනාවන්ත විෂම චක්‍රවලට අනුබලයක් හෝ අනුබලයක් ලබා දී නොමැති නිසා, මා මෙහි අපේ ජාතියට ආරක්ෂාව සැපයිය යුතු යැයි මම නොසිතමි. මම හෝ එවැනි අය කිසිදා රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන් වෙනුවෙන් පෙනී සිටින්නේද නැත. රාජපක්ෂලා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමෙන් වැළකිය යුතු බවත්, අවදානමට ලක්විය හැකි ජනතාවට බවත් අපි නිරන්තරයෙන් අනතුරු අඟවා ඇත්තෙමු.

  • 7
    0

    “…………වැඩි කලක් යන්නට පෙර නාලන්ද රත්නපුරේ අළු ගසා දමා ගල්කිස්සේ මුහුදු පින්නෙන් පාට වැටී කල එලි බැස්සේ ය…..”

    උදන්, මේ ගැනත් මගේ ප්‍රශ්නයක් තියෙනවා. රත්නපුරේ, වන්නියේ, ආනමඩුවේ, මහියංගනේ, හොරොව්පතානේ එවුන්ට විතරද ඔය ‘අළු’ තියෙන්නේ? කොළඹ නැත්නම් ගල්කිස්සේ ඉන්න එවුන්ගේ ඇඟේ අළු නැත්ද? උත්තරේ හොයන්න ඕන නම් පහු ගිය චන්දෙදි රාජපක්ෂලාට, පොහොට්ටුවට චන්දෙ දීපු මිලියන කීයක් කොළඹ දිස්ත්‍රික්කේ ඉන්නවද කියල බැලුව නම් හොඳ නැද්ද? උන් ඔක්කොම අළු නාපු එවුන් නෙවෙයිද??

    • 7
      0

      Jit,
      වැඩි කල් නොගොස් නාලන්දාව රත්නපුරයෙන් අළු වී ගල්කිස්සට බැස ගියේය.

      උදාන් මටත් මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. ජිත් මේක උස්සන එක හරි.. ඔය ‘අළු’ තියෙන්නේ රත්නපුරේ, වන්නියේ, ආණමඩුවේ, මහියංගනයේ, හොරොව්පතානේ අයට විතරද?
      ජිත් සම්පුර්ණයෙන්ම හරි. හැටි බලද්දී බස්නාහිර පළාතම නොමග යවපු විමල් බුරුවන්සේට පළවෙනි දවසේ ඉඳන්ම ඡන්දේ දුන්නේ කොහොමද? මෙය වරක් නොව පසුගිය මැතිවරණයේදීද නැවත නැවතත් සිදු විය.
      කොළඹ හරි ගල්කිස්සෙ හරි උන්ගෙ ඇඟ අළු වෙලා නැද්ද?
      ඔවුන් කොහෙන් ආවත් කමක් නැහැ, ඔවුන් සියල්ලන්ටම අළු තියෙනවා.
      කවුරුහරි පොහොට්ටුවට ඡන්දය දුන්නා නම්, ඔවුන් කවදා හෝ පිරිසිදු වන්නේ කෙසේද?
      “මොළ ශෝධනය” පිටුපස ඇති තර්කයේ කරුණු සහ සංඛ්‍යා ලේඛන වලින් මිනිසුන් පෝෂණය වීමට කාලයයි මේ: “සඟ සිවුරු” ඇඳගෙන සිටින අය – ඔවුන්ට තවදුරටත් “බෞද්ධ භික්ෂූන්” ලෙස හැඳින්විය හැකිද යන්න ගැන මට අදහසක් නැත, නමුත් ඔවුන්ට දායක විය හැකි බව පැහැදිලි කළ යුතුය “සමාජය නැවත ගොඩනැගීම” තුළ – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් මෙහෙයවනු ලැබේ. සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ කොටස විවිධ ක්‍රම මගින් – දායක වීමට බලය ලැබේ.

  • 1
    0

    Thanks for all these comments, “Jit” and “leelagemalli”.
    .
    Somebody who writes actual articles in Sinhala is Dr W.A. Wijewardena.
    .
    Please listen to him here, on youtube in Sinhalese. Speaking today:
    .
    https://www.youtube.com/watch?v=kXJVDYS2mB0
    .
    Panini Edirisinhe of Bandarawela

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.