4 December, 2020

Blog

පරිසර දූෂණයෙන් තොර සංවර්ධනයක් තිබිය හැකිද?

ඩබ්. ඒ. ද සිල්වා –

මානව පැවැත්ම ආරම්භයේ පටන්ම මිනිසා පරිසර දූෂණයේ යෙදී තිබේ. අධික ජනගහන වර්ධනය, කාර්මීකරණය, මිනිස් වාසස්ථාන සංකේන්ද්‍රණය වීම සහ ස්වාභාවික සම්පත් අධි-උපයෝජනය කිරීම නිසා පරිසර දූෂණය බරපතල ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ තත්වය තුළ, පරිසරය ආරක්ෂා කර ගැනීමේ ප‍්‍රශ්නය ගෝලීය අභියෝගයක්, මිනිස් වර්ගයාගේ හුදු පැවැත්මටම එරෙහි අභියෝගයක් බවට පත්ව තිබේ.

පරිසර දූෂණයට හේතු වන එකම සාධකය, ආවාට ගියාට සිදුවන කාර්මීකරණයම නොවේ. ලෝකය පුරාම මේ ප‍්‍රශ්නයට තුඩු දෙන තවත් සාධක ගණනාවක් තිබේ. හිඟ සම්පත් සඳහා වර්ධනය වන ඉල්ලූම, පරිසර දූෂණයේ නරක ප‍්‍රතිවිපාක ගැන පවතින අනවබෝධය, යහපත් පරිසර භාවිතාවන් අඩු කම සහ ඒ සියල්ලටමත් වඩා දුප්පත් කම එම සාධක අතර තිබේ.

pollustionපරිසරය යනු කුමක්ද? ‘‘මා නොවන සියල්ල පරිසරය’’ යැයි ඇල්බට් අයින්ස්ටයින් කියා තිබේ. ‘‘වාතය, ජලය සහ භූමියට අදාළ යමක් හෝ සියල්ලම පරිසරය වන’’ බව, 1990 දී සම්මත කර ගත් බි‍්‍රතාන්‍ය පරිසර ආරක්ෂණ පනත පෙන්වා දෙයි. 1980 දී සම්මත කර ගත්, අංක 47 දරණ ජාතික පරිසර පනත එය හඳුන්වන්නේ, ‘‘පොළොව, පස, වතුර, වායුගෝලය, කාලගුණය, ශබ්දය, රස සහ ගඳ සුවඳට සම්බන්ධ අවකාශයත්, සෑම වර්ගයකම සත්ව සහ ශාකවලට සම්බන්ධ සියලූ ජෛවී සාධකත්’’ පරිසරය වශයෙනි.

දූෂණය යනු කුමක්ද? අංක 47 දරණ 1980 ජාතික පරිසර පනතේ දැක්වෙන පරිදි, ‘‘දූෂණය යනු, මහජන සෞඛ්‍යයට, ආරක්ෂාවට හෝ සුභසිද්ධියටත්, සතුන්ට, කුරුල්ලන්ට, ජලජ ජීවීන්ට, වන ජීවීන්ට හෝ ඕනෑම ආකාරයක ශාකයකට උපද්‍රවකාරී ආකාරයෙන් හෝ විභවාත්මක උපද්‍රවකාරී ආකාරයෙන් යමක් කිරීම හෝ අපද්‍රව්‍ය විමෝචනය කිරීම හෝ තැන්පත් කිරීමාදියෙන් පරිසරයේ ඕනෑම කොටසක ද්‍රව්‍යමය, තාපමය, රසායනිකමය, ජෛවමය හෝ විකිරණශීලී ස්වභාව තත්වයන් සෘජු ආකාරයෙන් හෝ වක‍්‍රාකාරයෙන් විපර්යාසයකට ලක්කෙරෙන ඕනෑම තත්වයක්’’ ය.

පරිසර නීතිය යනුවෙන් විශේෂිත නීතියක් තිබේද? පරිසර නීතියට වෙනත් ඕනෑම නීතියක අංග ඇතුළත් විය හැකිය. ව්‍යවස්ථා නීතිය, මානව හිමිකම් නීතිය, පාරිභෝගික ආරක්ෂණ නීතිය, මහජන සෞඛ්‍ය නීතිය, සංස්කෘතික උරුම නීතිය සහ අලාභහානි නීතිය වැනි ඕනෑම නීතියක අංග ඊට ඇතුළත් විය හැකිය.

පරිසර නීතියේ මුඛ්‍ය සාරය වන්නේ, ‘‘ස්වාභාවික සම්පත් සහ ඒවා භුක්ති විඳීමට අදාළ නීතිරීති’’ ය.

ශ‍්‍රී ලංකාවේ පරිසර නීතිය තුළ, ඉහත කී නීතිවලට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරගෙන ඇති යෝජනා, ප‍්‍රඥප්ති සහ ප‍්‍රකාශනයන් මත පදනම් වන නීතිද අන්තර්ගත වෙයි. කාර්මික හෝ වෙනත් ආකාරයක සංවර්ධන ක‍්‍රියාවලීන්, මූලික වශයෙන් 1980 අංක 47 දරණ ජාතික පරිසර පනත පරාමිතීන් සහ 1988 අංක 56 දරණ සංශෝධනයේ පරාමිතීන් තුළද, පොදුවේ ඉහතින් කී නීතිරීතිවල පරාමිතීන් තුළද සිටිමින් ක‍්‍රියාත්මක කළ යුතු වෙයි.

ඉහත කී පැනවීම් උල්ලංඝණය නොකොට සංවර්ධන ක‍්‍රියාකාරකම් කළමනාකරණය කර ගැනීම අතිශය දුෂ්කර ය. පරිසර සංරක්ෂණය ගැන නොතකා කාර්මික සංවර්ධන ව්‍යාපෘතීන් ප‍්‍රවර්ධනය කිරීමක් හෝ ක‍්‍රියාත්මක කිරීමක් කළ යුත්තේ යැයි මෙයින් නොකියැවේ. එක පැත්තකින් කාර්මික සංවර්ධනයත්, අනිත් පැත්තෙන් පරිසර සංරක්ෂණයත් යන අවශ්‍යතා දෙකම, එකිනෙක කෙරෙහි අනර්ථකාරී බලපෑමක් සිදු නොකෙරෙන ආකාරයෙන් ඉතා පරිස්සමින් තුලනය කර ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය.

ලෝකය පුරාම මේ අවශ්‍යතා දෙක තුලනය කර ගැනීම සඳහා යොදාගන්නා පොදු මූලෝපාය දෙයාකාර වන්නේය. එනම්, සමස්ත සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා තිරසාර සංවර්ධන සංකල්පය යොදා ගැනීමත්, අනිත් පැත්තෙන්, ඒ සඳහා පරිසර තක්සේරු යාන්ත‍්‍රණය සහ පරිසර බලපත‍්‍ර පද්ධතිය පාවිච්චියට ගැනීමත් ය.

තිරසාර සංවර්ධනය යනු කුමක්ද? පරිසර සංරක්ෂණයේ සහ සංවර්ධනයේ අවශ්‍යතා, එකිනෙකට පරස්පරව යොදා ගැනීම වෙනුවට එකිනෙක කෙරෙහි සාධනීය වන ආකාරයෙන් යොදා ගැනීම තිරසාර සංවර්ධනයේ අර්ථයයි. ‘‘අනාගත පරම්පරාවේ අවශ්‍යතා පරදුවට නොතබමින් වර්තමානයේ අවශ්‍යතා සාධනය කර ගැනීම’’ තිරසාර සංවර්ධනය වන්නේ යැයි, 1987 පරිසර සහ සංවර්ධන ජගත් කොමිසම පෙන්වා දෙයි.

මේ රටේ සංවර්ධනයේ නාමයෙන් බරපතල ආකාරයෙන් පරිසරයට විනාශදායි ක‍්‍රියාකාරීත්වයන් ගැන අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් ය. ගංගාවල වැලි හෑරීම, මැණික් ගැරීම, හිරිගල් කැණීම, කැලෑ විනාශය, ගංගාවන්ට සහ සාගරයට කසල දිය මුදා හැරීමද, රථවාහන සහ කාර්මික යන්තෝපකරණවලින් විෂ වායුව මුදා හැරීම සහ බවභෝග සඳහා රසායනික භාවිතය ආදිය එවැනි ක‍්‍රියාකාරීත්වයන්ට අයත් වෙයි. මේවා පුරුද්දක් වශයෙන් කරගෙන යන්නේ පරිසර සංරක්ෂණ ප‍්‍රමිතීන් නොතකමිනි. මේ ක‍්‍රියාකාරීත්වයන් තුළින් ඇති වන දූෂණය වළක්වා ගැනීම තමන්ගේ වගකීමකැයි ඒවායේ නියුක්ත වන්නන් සිතන්නේ නැත. අනිත් අතට, පෞද්ගලික වාසි තකා කටයුතු කරන දූෂිත ප‍්‍රාදේශීය දේශපාලඥයන්ගේ සහායද මේවාට ලැබේ. නීති විරොධීව වැලි හෑරීම මීට දිය හැකි හොඳම උදාහරණයකි. කැලෑ විනාශය සහ පිළිවෙලකට නැති මැණික් ගැරීම තවත් උදාහරණයන් ය.

සංවර්ධන ක‍්‍රියාවලිය තුළ පරිසර සංරක්ෂණයේ පරිපූර්ණ ප‍්‍රවිකිරණයක් ඇති කර ගැනීම ප‍්‍රායෝගිකව කළ නොහේ. ඇත්ත වශයෙන්ම, තිරසාර සංවර්ධන මූලෝපායෙන් කෙරෙන්නේ සංවර්ධන අවශ්‍යතා සහ පරිසර අවශ්‍යතා අතර යම් තුලනයක් ඇති කර ගැනීම පමණි. එහි අදහස වන්නේ යම් තාක් දුරකින් පසු පරිසර විනාශයක් ඇති වීම වැළැක්විය නොහැකි බවයි.

කැළණි ගෙඟ් ජලය අපවිත‍්‍ර කළ බහුජාතික පැණි බීම සමාගම ගැන මතක් කර ගැනීම වටී. පරිසර දූෂණය වළක්වා ගැනීමේ වගකීම ඔවුන් පැහැර හැර තිබුණි. මේ නිසා නිගමනයක් වශයෙන් මා කිව යුත්තේ, තිරසාර සංවර්ධන සංකල්ප සහ පරිසර නීතිරීතිවලින් පමණක් පරිසර දූෂණය වළක්වා ගත නොහැකි බවයි. එසේම ජනතාවගේ සක‍්‍රීය සහභාගීත්වයෙන් තොරව ජාතික පරිසර අධිකාරියට පමණක් එය කළ හැකි වන්නේද නැත.

මේ නිසා පරිසර සංරක්ෂණය සහ පරිසර දූෂණය වළක්වා ගැනීම සඳහා වන ජාතික වැඩපිළිවෙලවල් ක‍්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ සක‍්‍රීය සහභාගීත්වය අත්‍යාවශ්‍ය කෙරේ. දිළිඳු භාවය පරිසර දූෂණයට දායක වන ප‍්‍රධාන සාධකයකි. එම නිසා ඒ ජනතාවගේ නිවාස, සනීපාරක්ෂක පහසුකම් සහ ආහාරපාන ආදී මූලික අවශ්‍යතා පිරිමසාලීමෙන් ඔවුන්ගේ දිළිඳු භාවය සැහැල්ලූ කිරීම, පරිසරය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට පහසුවක් වන්නේය.

2016-2018 කාලය සඳහා ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද පරිසර සංරක්ෂණය සඳහා වන ජාතික වැඩපිළිවෙල, පරිසර දූෂණය මැඩලීම සඳහා වැදගත් පියවරක් සේ සැළකේ. එහෙත් එය එසේ වීමට නම්, දූෂිත දේශපාලඥයන්ගේ පුද්ගලික න්‍යාය පත‍්‍රවලට යට නොවී, සියලූ පරදු දරන්නන්ගේ සක‍්‍රීය සහභාගීත්වය සහිතව එය ක‍්‍රියාත්මක කළ යුතුව තිබේ.

*2015 නොවැම්බර් 21 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Is Development Possible Sans Environment Pollution?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.