7 October, 2024

Blog

“යහපාලන” අයවැය 2016

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

මුදල් ඇමති රවී කරුණානායක බොහෝ මැති ඇමතිවරුන් නිද්‍රෝපගත කරමින් ඉදිරිපත් කල ඊනියා යහපාලන ආණ්ඩුවේ පලවෙනි අයවැය ලේඛනය පැහැදිලිවම හෙළි කරන්නේ මෙම ආණ්ඩුවේ අනාරක්ෂිත මනෝභාවය ය. එකිනෙකා සමග කුලල් කා ගන්නා ඇමති මණ්ඩලය සාමුහික වගකීම යන සංකල්පයම හාස්‍යයට ලක් කරයි. කොයි වෙලේ කඩා වැටෙද කියන ආණ්ඩුවකට නිශ්චිත ආර්ථික මුලොපායයක් ක්‍රියාත්මක කල නොහේ. මැතිවරණ මගින් ආණ්ඩු පත් කර ගන්නා සන්දර්භයක ජනතා විරෝධී පියවර පවා ඉදිරිපත් කල යුත්තේ සීනි ආවරණයක දවටමිනි. මෙය ඇත්තටම ඊනියා යහපාලන ජාතික ආණ්ඩුවේ අයවැයක් ලෙස නොව එක්සත් ජාතික පක්ෂ ආර්ථික මුලොපාය පදනම් කරගත් අයවැයක් හැටියට විචිත්‍රණය කිරීමට රවී කරුණානායක සහ අයවැය කතාව ඇත්තටම ලියු පිරිස උත්සාහ කර ඇති බව පැහැදිලි ය. අප අපේ වචනවලට නගා කිවහොත් මේ නව ලිබරල්වාදයේ තෙවන අදියර ආරම්භ කිරීම ය. පලවැන්න 1977 දී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ආරම්භ කල අතර එහි දෙවන අදියර ආර් ප්‍රේමදාස ආණ්ඩුව ඇරඹීය. මේ දෙමුහුන් ආණ්ඩුව එහි තෙවන අදියර ආරම්භ කිරීමට පදනම දමා ගැන්මට බයෙන් බයෙන් ඉදිරිපත් වෙයි. කෙසේ වුවද චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු කාලය මෙරට ආර්ථිකයේ අදුරුම කාල පරිච්ඡදය වුව ද එය එළිපිට කීමට මුදල් ඇමතිවරයා බිය වේ. මේ නිසා සමස්ත විවේචනය එල්ල වන්නේ 2005- 14 අවධියට ය. එසේ කිරීමේදී ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කර ඇති අනතුරු ඇගවීම පවා නොසලකා දත්ත විකෘති කිරීමට හේ නිවට උත්සාහයක් දරයි.

ඊනියා යහපාලන ආණ්ඩුවේ පලවෙනි අයවැය ලේඛනය නිසි පරිදි තේරුම් ගැන්මට නම් ගෝලීය නව ලිබරල් සන්දර්භය තුල පිහිටවා එය සාකච්ඡා කල යුතු ය. ජර්මන් දේශපාලන ආර්ථික විද්යාඥයෙකු වන වොල්ප්ගැන්ග් ස්ට්‍රීක් යෝජනා කර ඇති න්‍යායයාත්මක රාමුව ආධාර වෙතැයි මම සිතමි. ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ තෙවන අදියර වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදියරේ දී (මෙම කරුණ ගැන මා වමේහඩ පහුගිය කලාපයකට ලියු නව ලිබරල්වාදය පිළිබද ලිපිය කියවන්න.) රාජ්‍ය මුල්‍යය ක්‍රියාත්මක වුයේ බදු මත පිහිටමිනි. වොල්ප්ගැන්ග් ස්ට්‍රීක් එම රාජ්‍යය බදු රාජ්‍යය (tax state) ලෙස නම් කලේ ය. ඉහල ආදායම් සහ සමාගම් වලින් අනුක්‍රමික බදු ක්‍රමයක් යටතේ රාජ්‍ය මුල්‍යය පියවා ගැනින. එකී අරමුදල් යොදා ගනිමින් රාජ්‍යය විවිධ මට්ටමේ සමාජ ශුභසාධන කටයුතු වල නිරත වින. ධනේශ්වර ක්‍රමයේ මෙම අදියර 1970 ගණන් මැද භාගය වනවිට අර්බුදයට ගමන් ගත්තේ ය. එයට විසදුමක් ලෙස ධනේශ්වර ක්‍රමය එහි හතරවෙනි අදියරට ගමන් ගත්තේ ය. ඒ නව ලිබරල් අවධිය යි. නව ලිබරල් අවධිය තුල අපේක්ෂා කලේ රජය එතෙක් කල බොහෝ දේ වෙළදපොල ට පැවරීමත් සියල්ලට වෙළද පොළ අගයක් දීමත් ය. ඉහල ආදායම් සහ කොම්පැණිවලින් අයකළ ඉහල බදු අනුපාත අඩු කෙරින. එමගින් ඉහල ආදායම් ලබන්නන්ගේ ආදායම් සහ සමාගම් ලාභ වැඩි වීමක් අපේක්ෂා කෙරින. කෙසේ වුවද බලාපොරොත්තු වූ පමණින් සුභසාධන සේවා කැපීමට හෝ රාජ්‍ය විය පැහැදම් අඩුකර ගැන්මට නොහැකි විය. මෙම තත්වය නිසා ඇති වූ අයවැය හිගය පියවා ගත්තේ විශාල වශයෙන් ණය ලබා ගනිමිනි. එය ණය රාජ්‍යය (debt state) ලෙස වොල්ප්ගැන්ග් ස්ට්‍රීක් හදුන්වයි. නව ලිබරල් වාදයේ දැවැන්ත අර්බුදය 2008 මුල්‍ය අර්බුදය සමග ඇරඹින. මෙම අර්බුදයෙන් බොහෝ බටහිර රටවලට තවමත් ගොඩ ඒමට නොහැකි වී ඇත. ලෝකයේ බොහෝ රටවල් ණය බරින් තෙරපෙමින් සිටී. තව දුරටත් ණය මත රදා පැවැත්මට නොහැක. යුරෝපයේ ණය බරින් පෙලෙන රටවලට ගෝලීය ප්‍රාග්ධනය අණ කරන්නේ විසාල වශයෙන් ජනතාවගේ ජීවන තත්ත්වය බාල්දු කෙරුණ වෙළදපොල සහ පෞද්ගලික දේපොළ මත පදනම් වන ආර්ථික ක්‍රමයකට යන ලෙස ය. එනම් ඝණීභවනීය රාජ්‍යය (consolidation state) කට ගමන් කල යුතු බව ය. ඊනියා යහපාලන ආණ්ඩුවේ සැලසුමද එයය. එහෙත් එය කිරීමට ඔවුනට ජන වරමක් නැතුව පමණක් නොව එයට හයියක් ද නැත. එංගල්ස් වරෙක සදහන් කල පරිදි අපි ඔවුනට එපමණ දුරක් යන්නට ඉඩක් නොදෙමු.

මෙම අයවැය ගැන සම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් කරන විවේචනය වන්නේ මෙම අයවැය ප්‍රමාණවත් තරම් සුභසාධනය කපා නැති බවත් ප්‍රාග්ධනයට ප්‍රමාණවත් සහන දී නැති බවත් ය. ආචාර්ය නිමල් සදරත්න පවසන්නේ කුමක් කීවද මෙම අයවැයට ද ජනතාවාදයෙන් බිදීමට නොහැකි වී ඇති බව ය.

රනිල් ගේ කතාව සහ අයවැය

අග්‍රාමාත්‍යවරයා තම ආර්ථික මුලෝපාය ප්‍රකාශනයේ සදහන් කල ප්‍රධාන කරුණු මෙසේ සාරාංශ කල හැක. (1) බදු අඩු ආර්ථිකයක්; (2) සෘජු බදු වක්‍ර බදු අනුපාතය 20:80 සිට 40:60 ලෙස සකස් කිරීම; (3) අර්ථ සාධක අරමුදල සහ සේවා භාරකාර අරමුදල එක්කොට වෙනම විශ්‍රාම අරමුදලක් ගොඩ නැගීම; (4) ග්‍රාමීය ආර්ථිකය තව දුරටත් වාණිජකරණය; සහ මධ්‍යම පන්තියක් බිහි කිරීම. මෙම ක්‍රියා මාර්ග මගින් පුද්ගලික දේශීය සහ විදේශීය ආයෝජන වැඩි කර ගැනීම් හරහා ධනේශ්වර වර්ධනයක් ඇතිවෙතැයි හේ අපේක්ෂා කලේ ය. එමගින් දශලක්ෂයකට රැකියා උත්පාදනය කල හැකිවනු ඇති ද හේ පැවසීය. අයවැය යෝජනාවලට එන විට උක්ත ලක්ෂණ වලින් දෙවැන්න හැලිණ. සෘජු බදු වක්‍ර බදු අනුපාතය 40:60 කරනු වෙනුවට 14:86 ලෙස පිරිහින. තව දුරටත් මහජනයා පරිහරණය කරන මත බදු පැටවිණ. බදු අඩු කෙරුනේ ඉහල ආදායම් ලබන අයට සහ සමාගම් වලට ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට බදු ක්‍රමය තව දුරටත් ප්‍රතික්‍රමික එකක් බවට පත් කෙරින. VAT බදු ප්‍රතිසංස්කරණ යෝජනා මගින් වක්‍ර බදු තව දුරටත් වැඩි වෙනු ඇත. එමෙන්ම ජාතිය ගොඩ නැගීම බදු ප්‍රතිශතය සියයට 4 දක්වා නැංවීම නිසා ජනතාවට දරනට වන බර ඉහල යාම වැලක් විය නොහැක.

මුදල් ඇමතිවරයා ජනතාව නගන සාධාරණ ප්‍රශ්න කිහිපයක් මතු කලේ ය. ශ්‍රීලංකාව පහල මැදි ආදායම් ලබන රටක් බවට පත් උනත් ජනගහනයේ බහුතරයකට එය නොදැනෙන්නේ මන් ද? අධිවේගී මාර්ග තැනුන ද තරුණ රැකියා ප්‍රශ්නය නොවිසදුනේ මන්ද? මහන්සි වී වැඩකරන මධ්‍යම පන්තික පවුලකට කුඩා මෝටර් රථයක් මිලට ගැනීමට නොහැකිව ඇත්තේ මන්ද? මෙම ප්‍රශ්න මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ගැන නැගීම සාධාරණ ය. එහෙත් රවී කරුණානායක ඇතුළු ඊනියා යහ පාලනයට මෙම ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කල හැකි වී ඇත ද? මෙම කරුණ විමසා බැලිය යුතු ය.

ඊනියා යහපාලන ආණ්ඩුව මෙම ගැටළු වලට යෝජනා කරන විසදුම් සොයා බලමු. අයවැය කතාවේ අංක 67 වෙනි වගන්තියේ සිට මෙම විසදුම් ඉදිරිපත් කර ඇත.

1. දෙපාර්තමේන්තු සහ අමාත්‍යාශ කෙරෙන වියදම් කපා දැමීම සහ එයට මග පාදන පරිදි ශුන්‍ය අයවැය සැකසුම් ක්‍රමයක් හදුන්වා දීම;
2. රාජ්‍ය සේවය අතාර්කික හෙයින් එම අංශය තර්කානුකුල පදනමකට දැමීම;
3. අද පවත්නා විශ්‍රාම ක්‍රමය වෙනස් කොට රාජ්‍ය සේවක දායකත්වය ඇති අලුත් විශ්‍රාම ක්‍රමයක් ඇති කිරීම;
4. රාජ්‍ය සහන කප්පාදු කිරීම;
5 රාජ්‍ය අංශ ආයතන වාණිජ පදනමකට ගෙන එම සහ මුලොපායික නොවන රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට පැවරීම

මෙම යෝජනාවලිය අප කියවිය යුත්තේ කෙසේ ද? අයවැය දෙස කෙනෙකුට මුලෝපාය දෙකකින් බැලිය හැක. පලවන්න මෙම අයවැය නිසා රටේ ආර්ථික සංවර්ධනයට කුමන ආධාරයක් ලැබේ ද? දෙවැන්න එය සමාජයේ පහත මාලයේ ජනතාවගේ ජීවන් පැවැත්ම සහ අනාගතය කෙරෙහි කෙසේ බල පා හැකිද?

උක්ත ප්‍රශ්න දෙක සාකච්ඡා කිරීමට පෙර මෙරට අයවැය ඉදිරිපත් කිරීම් ගැන යමක් සදහන් කල යුතු ය. කලකට පෙර අයවැය ඉදිරිපත් කිරීමේ දී එයට පෙර වසරේ අයවැය යෝජනා ක්‍රියාත්මක වූ ආකාරය ගැන ඇගයීමක් කිරීම සාමාන්‍ය සිරිතක්ව පවතින. මේ සදහා අවශ්‍ය නෛතික විධිවිධාන ද පවතී. එහෙත් පසුගිය දශක කිහිපයක අප දුටුවේ මෙම සම්ප්‍රදායයෙන් බැහැර වීමකි. එමගින් මුදල් ඇමති වරුනට අතාත්වික ඉලක්කම් සෙල්ලමක් කිරීමට හැකිකමක් ලැබිණ. මෙම අයවැය කියවන ඕනෑම කෙනෙකුට සරල වශයෙන් පෙනෙන්නේ එහි සදහන් ආදායම් ඇස්තමේන්තු සපුරා ගත නොහැකි බවත් යෝජනා වල සත්‍ය බලපෑම් ඉලක්කම් වලින් නොඅගවෙන බවත් ය. සාමාන්‍යයෙන් වෙන ලෙස ආදායම් උස් කොටත් වියදම් පහත් කොටත් පෙන්වීම මුදල් ඇමති වරුන්ගේ සාමාන්‍ය වත් පිළිවෙත විය. මෙම අයවැය ගැන ද කිව යුත්තේ පොරොන්දු වූ පාරදෘශ්‍ය භාවයක් මෙහි නොමැති බව ය.

අයවැය සහ ජන ජීවිතය

මෙම අයවැය මගින් පල ආදායම් ලබන ජන කොටස් වල ජීවන තත්වය තවදුරටත් පහතට අද දමන අතර කුඩා මෝටර් රථයක් මිලට ගැනමට බලාපොරොත්තු තබා ගෙන සිටි මධ්‍යම පන්තික තීරු වල එකී බලාපොරොත්තු බිද දමන්නේ ය. භාණ්ඩ කිහිපයක මිල පහල දැම්මද එය මිරිගුවක් වන්නේ නව බදු ක්‍රමය හරහා පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහල යැවීමේ ක්‍රියාවලියක් අයවැය මගින් දියත් කර ඇති හෙයිනි. 2014 ජනවාරි අතුරු අයවැය මගින් භාණ්ඩ 13 ක මිල පහල දැම්ම ද එම මිල ගණන් බොහොමයක් යලි ඉහල නැගුනේ වෙළද පොළ බලවේග ක්‍රියාත්මක වීමෙනි. අප ඉහත දුටු පරිදි VAT බදු වෙනස, ජාතිය ගොඩ නැගීම බදු ඉහල දැමීම, සේවා බදු ප්‍රතිශත වැඩි කිරීම යනාදී හැම පියවරක් ම මිල ඉහල දැමීමට බලපානු ඇත. රජයේ අපේක්ෂිත ආදායම් ඇස්තමේන්තු පෙන්වන්නේ VAT සහ ජාතිය ගොඩ නැගීම බදු ඉහල දැමීම මත ආණ්ඩුව දැඩි ලෙස එය විශ්වාසය තබන බවය. රුපියල් මිලියන 90000 ක වැඩි වීමක් අපේක්ෂා කරන්නේ ජාතිය ගොඩ නැගීම බදු ඉහල දැමීම මගින් ය. පොහොර සහනාධාරය සහ පාසැල් නිල ඇදුම් වෙනුවට මුදල් සහ වවුචර් දීම මගින් ආණ්ඩුව අදහස් කරන්නේ වෙළද පොළ පුළුල් කිරීමට මිස වෙළද පොළ ප්‍රහාරයන්ගෙන් ජන ජීවිතය බේරා ගැන්මට නොවේ. මෙකි භාණ්ඩ වල මිල නැගීම සමග එම බර දරන්න ට වන්නේ ගොවියාට සහ ළමුන්ගේ දෙමව්පියන්ට ය. රාජ්‍ය වියදම් කප්පාදුව, සහන සේවා අඩු කිරීම සහ පුද්ගලිකකරණය හේතු කොටගෙන ජන ජීවිතයට විය හැකි බලපෑම් දැනෙනු ඇත්තේ පසුව ය. මෙම අයවැය යෝජනා වල ඇති අතිශයින් භයානක යෝජනාව වන්නේ ශුන්‍ය අයවැය සැකසුම් (zero based budgeting) යෝජනාවය. මෙහිදී හැම වසරකම වියහියදම් ශුන්‍යයෙන් පටන් ගෙන අලුතින් සාධාරණය කල යුතු ය. සේවකයන් 100 ක් සිටින දෙපාර්තමේන්තුවක ප්‍රධානියා අලුත් වසරට එම 100 යෙදවීම සාධාරණ කල නොහැකි නම් එම ප්‍රමාණය කප්පාදු කල යුතු ය. අනෙක් වියදම් ද එසේම ය.මෙය හරහා රාජ්‍ය සේවය කප්පාදු කිරීම, බලයෙන් විශ්‍රාම යැවීම, සමහර සේවා කප්පාදුව අපේක්ෂා කල යුතු ය. ශ්‍රී ලංකාව තම ශක්තීන්ට වඩා වැඩි වශයෙන් ජීවත්වන රටක් ලෙස නම් කරන මුදල් ඇමතිවරයා එසේ කරන්නේ මොන සමාජ තීරුද? සමහර සමාජ තීරු වලට එසේ කරන්නට සිදුව ඇත්තේ මක් නිසා ද? යන ප්‍රශ්න මග හරියි.

ආණ්ඩුව පම්පෝරි ගසන්නේ අධ්‍යාපනය සහ සෞබ්‍යය සදහා වියදම් වැඩි කල බව පවසමිනි. මෙම වික්‍රමය මුදල් ඇමතිවරයා පසුව කෙලිකර ඇතැයි කියන පරිදි කර ඇත්තේ තොග සහ ප්‍රවාහයන් එකට එකතු කිරීමෙනි. අධ්‍යාපනය සහ සෞබ්‍යය වේගයෙන් වෙළද භාණ්ඩ බවට පත්වෙමින් තිබේ. එයට 1977 සිට බලයට පත් හැම ආණ්ඩුවක්ම එකසේ වග කිව යුතු ය. අග්‍රාමාත්‍ය වරයා අධ්‍යාපනය සහ එහි අරමුණු සහමුලින්ම භාණ්ඩ හැටියට සලකන බවක් පෙනේ. “උගතමනා ශිල්පයමයි මතු රැකෙනා” යන කවි පදය දන්නා ඕනෑම ගුරු භවතෙක් එමගින් දැනුමට දෙන ගෞරවනීය තැන ගැන දනිති. රනිල් වික්‍රමසිංහ ට අනුව මතු රැකෙන්නයි උගත යුත්තේ. එනම් බඩ සදහා ය.

මෙම අයවැය ජනතාව තවදුරටත් දුගී බවට ඇද දමන අතර ඔවුන් අතර ඉතිරිව ඇති වටිනාකම් පවා බිද දමයි. සියල්ල වෙළද පොලට තීරණය කරන සමාජයක් ජීවත් වන්නේ අද ගැන පමණක් සිතා බව පිළිගත් ආර්ථික විද්‍යාඥයන් ගේ ද මතය ය.
අයවැය සහ සංවර්ධනය

අප අද ටිකක් දුක් වින්දොත් අනාගතය සරු කර ගත හැක යන අදහස මෙම අයවැය ද අපට ගිල්ලවන්න යන අදහස ය. නවලිබරල්වාදී අදියර දෙකේදීම ඇතිවුන කිවහැකි සංවර්ධනයක් නොවූ බව අයවැය කතාවේ ම පිළිගනියි. මෙම තත්ත්වය වෙනස් වේද? පශ්චාත් විජිත ඉතිහාසයේ කෙටි කලක් හැරුන විට මෙරට ආණ්ඩු හැමවිටම උත්සාහ කලේ සංවර්ධනය වෙළදපොල ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීම මගින් සිදුවන බව ය. වෙළදපොල හරහා සංවර්ධන ගතිකයක් ක්‍රියාත්මක වන බව ගැන කිසිවෙක් සැක නොකරති. එය ඇඩම් ස්මිත් මෙන්ම කාල් මාක්ස් ද පිළිගත් සහ දැනසිටි සත්‍යයකි. එහෙත් සංවර්ධන කාරකයක් ලෙස වෙළදපොලට ක්‍රියා කල හැක්කේ තවත් සාධක ගණනාවක් ඒ හා සමපාතව ක්‍රියාත්මක වන්නේ නම් ය. වෙළද පොළ මුලධර්මවාදීන් වරද්දා ගන්නේ මෙතනදී ය. මෙවර අයවැය වෙළද පොළ මුලධර්මවාදීන්ගේ උත්සාහයක් බව පැහැදිලි ය.

මෙවර අයවැය සංවර්ධන උපායේ ප්‍රධාන අංගයක් වන්නේ සුක්ෂම කුඩා සහ මධ්‍යම කර්මාන්ත සහ ව්‍යවසායයන් නගා සිටුවීම ය. එය අතාත්වික සහ අසාධාරණ ප්‍රයත්නයක් ලෙස හැදින්වීය නොහැක. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රයත්නය කෙතෙක් දුරට වෘදධි උත්තේජක ආර්ථික ක්‍රියා දිරිගන්වන්නක් ද යන්නය. මුදල් ඇමතිවරයා නම් කර ඇති බොහෝ ආර්ථික ක්‍රියා එවන් ඒවා නොවේ. මෙවන් උත්සාහ අප හැම විටම දුටුවෙමු. සුක්ෂම කුඩා සහ මධ්‍යම කර්මාන්ත සහ ව්‍යවසායයන් නගා සිටුවීම හැම අයවැයකම පුනරුච්චාරණය කෙරුණ කරුණකි. සුළු සංක්‍යාවක් හැරුනවිට සිදුව ඇත්තේ මෙම ව්‍යවසාය නිරන්තර වෙළද පොළ ගැටළු වලට මුහුණ දෙන පටන් ගත නිසා පවත්වාගෙන යන අඩු ආදායමක් ලබන බවට පත් වීම ය. මෙම ප්‍රශ්න එකක් වත් අයවැය ආමන්ත්‍රණය නොකරයි.

1977 න පසු මෙතෙක් හැම අයවයකම මෙන් සංවර්ධනය බලාපොරොත්තු වන්නේ දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජන ඉහල දැමීම මගිනි. මෙරට දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජන පිළිබද මෙතෙක් වාර්තාව පෙන්වන්නේ මෙතෙක් දෙන ලද සහන, ආධාර ඔවුනට තවමත් ප්‍රමාණවත් ව නැති බව ය. යහපාලන ආණ්ඩුව වෙතින් ඔවුන් ඉල්ලා සිටින්නේ තමනට ආයෝජන කරන්නට ඇති සීමාව වන්නේ මෙරට කම්කරු නීති තමනට රිසි පරිදි කම්කරුවන් හැසිරවීමට බාධාවක් බව ය. එමෙන්ම රට තුලින් ප්‍රාග්ධනය සොයා ගැන්මට අවශ්‍ය දේ රජය කල යුතු බව ය. යහපාලන ආණ්ඩුව මෙහිලා උත්සාහ ගන්නේ සේවකයන් පහසුවෙන් අස් කිරීමට හැකිවන ලෙස සහ වෘත්තීය සමිති ක්‍රියා වලට සමිතිවලට දඩුවම් කල හැකිවන පරිදි නීති සම්පාදනය කිරීමටත් රුපියල් 1.700,000,000,000 ඉක්මවන සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා භාරකාර අරමුදල පෞද්ගලික ප්‍රාග්ධන ආයෝජනයට ඉඩ හැර සේවකයන්ගේ අයවස්තු සුදුවට විවෘත කිරීම ය. පසුගිය ආණ්ඩුව නවලිබරල් වාදය කිසියම් ප්‍රමාණයකට සංවර්ධන රාජ්‍ය අදහස සමග මිශ්‍ර කොට ක්‍රියාවට නැගීමට උත්සාහ ගත්තේ ය. මෙම අයවැය පෙන්වන්නේ ඉතා පැහැදිලි ලෙස ශුද්ධ නවලිබරල් වාදය ක්‍රියාවට දැමීමක් ය. ශුද්ධ නවලිබරල් වාදය ක්‍රියාවට දැමීම මගින් කිසියම් සංවර්ධනයක් අත් කරගත් රටවල් තිබේ ද? කිසියම් ප්‍රමාණයකට හෝ මට මතක් කල හැක්කේ පිනෝචේ යටතේ චිලි රට ය. නව ලිබරල් වාදය ක්‍රියාවට දැමු කාලය ලතින් ඇමරිකානු රටවල් හදුන්වන්නේ නැතිව ගිය දශකය හැටියට ය.

එනයින් අපට නිගමනය කල හැක්කේ මෙය ජන ජීවිතය තවත් අමාරුවට ඇද දමන සංවර්ධනයට පාර නොකපන අයවැයක් බව ය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.