25 April, 2024

Blog

ජාතික බළමුළු ගැන්වීම් සහ ‘එලුග තමිල්’: මුලින් ශෝකාන්තයක් වශයෙන්, දෙවැනුව විගඩමක් වශයෙන් – අවසාන කොටස

අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්

ඓතිහාසිකව ගත් විට. ෆෙඩරල් පක්ෂය සහ ‘දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ’ (ටී.යූ.එල්.එෆ්), 1960 සහ 1970 දශකයේදී, දෙපාර්ශ්වය දෙපැත්තට තල්ලූ කෙරෙන ද්‍රැවායන මාවතක ගිය ගමන අවසන් වුණේ, වෙනම රාජ්‍යයක් ඉල්ලා සම්මත කරගත් වඩුක්කොඩෙයි යෝජනාවෙනි. එවන් ජාතිකවාදී පටු දේශපාලනය හේතුවෙන් ඔවුන්ගේම නායකත්වය විනාශ වුණි. එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් ඇතුළු ප‍්‍රධාන පෙළේ සහ දෙවැනි පෙළේ නායකයන් ගණනාවක් ඝාතනය කරන ලදි. ඒ ජාතිකවාදී දේශපාලනය සහ ඉන් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සියදිවි නසාගන්නා දේශපාලනය, දෙමළ ප‍්‍රජාවට මහත් සේ විනාශකාරී විය. යුද්ධයේ මහා විනාශය සහ සමස්ත පරම්පරාවක්ම ඊට ගොදුරු වීම තුළ, දෙමළ ප‍්‍රජාවේ කි‍්‍රයාකාරීකයන්ට තවත් නැගිටීමකට මුලපිරිය හැකි නොවේ. එසේ වෙතත්, දෙමළ සමාජය මොන තරම් විඳෙව්වත්, තමන්ගේ අවස්ථාවාදී දේශපාලනය සහ බෙදුම්වාදී තර්කණය නොමරා පවත්වා ගැනීම සඳහා ප‍්‍රතිගාමී බලවේගවල සහායට ගැනෙන්නේ, අන්ත දෙකට හෙවත් දෙපැත්තට සමාජය තල්ලූ කෙරෙන ද්‍රැවායන දේශපාලනය සහ අරාජකත්වයයි.

මුලතිව් වැනි ස්ථානවල ‘එලුග තමිල්’ විරෝධය සඳහා පැවතියේ ඉතා අඩු උනන්දුවකි. මේ ජනතාව දෛනික ප‍්‍රශ්න සහ දේශපාලන විසඳුමක් සඳහා වන අභිලාෂය දරමින්ම, ගොවියන්, ධීවරයන් සහ ඉඩම් අහිමි ජනතාවට බලපාන මහ පොළොවේ ප‍්‍රශ්න ගැන වැඩිමනත් යොමුවෙති. යාපනේ දේශපාලඥයන් තමන් හමුවට පැමිණියොත් තමන්ගේ ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය නොකරන ඔවුන්ට සෙරප්පු පහර දෙන බව පවසන ඔවුහූ, මැතිවරණයකදී, ෆෙඩරල් පක්ෂ ලාංඡනය වන ‘නිවස’ ලකුණට ඡන්දය පාවිච්චි කරන බව කියති.

කිලිනොච්චිය සහ මන්නාරම වැනි දිස්ත‍්‍රික්කවල ගොවි සහ ධීවර ජනතාව දෙමළ ජාතිකවාදී දේශපාලඥයන් වෙතින් බැහැරව, ඉඩම් අහිමි වීමේ ප‍්‍රශ්නය, ධීවර කර්මාන්තය සඳහා වෙරළට පිවිසීමේ අයිතිය සහ නීති විරෝධී ධීවර ක‍්‍රියාකාරකම් තහනම් කිරීම වැනි ප‍්‍රශ්න ගැන කෙලින්ම මධ්‍යම ආණ්ඩුවත් සමග අභිමුඛ වෙති. යුද්ධයෙන් බැට කෑ මේ ප‍්‍රජාව, දෙමළ ජාතිකවාදීන් හෝ ජාත්‍යන්තර ප‍්‍රජාව පැමිණ තමන්ව ගලවා ගැනීමක් අපේක්ෂා කරන, ‘වින්දිත’ ජනතාවක් නොවේ. ඔවුහූ තමන්ගේ දෛනික ජීවිත තුළ මහා ඉවසීමේ ශක්තියක් සහ එඩිතර භාවයක් පළ කරති. එක පැත්තකින්, ‘දෙමළ ජාතික සන්ධානය’ ගැන හෝ උතුරු පළාත් සභාව ගැන විශ්වාසයක් නොතබන එම ජනතාව, අනිත් පැත්තෙන්, තමන්ගේ ජාතික ප‍්‍රශ්නය නොවිසඳී ඇති තත්වය තුළ මැතිවරණ කාලයේදී ‘දෙමළ ජාතික සන්ධානයට’ සිය ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ තිබේ. මෙවැනි පරස්පරයන් වනාහී, දෙමළ දේශපාලනය තුළ අද පවතින හිඩැස පෙන්නුම් කරන නිරූපණයන් ය.eluga-thamil-tamils-arise-rally

මීට අවුරුදු දහහතරකට පෙර යුද විරාම කාලයේදී, ‘දේශපාලන වැඩ’ කිරීමේ මුවාවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ‘පොංගු තමිල්’ ව්‍යාපාරය දියත් කෙළේය. එහෙත් ඒ හරහා ඔවුන් ඇත්ත වශයෙන්ම කෙළේ, ඒ පළාත්වල ජනතාව තමන්ගේ බෙදුම්වාදී දේශපාලනය තුළට උරා ගැනීම සහ යුද්ධය සඳහා එම ජනතාව සූදානම් කිරීමයි. මේ ‘පොංගු තමිල්’ මෙහෙයුම් හරහා, යුද්ධ කිරීමට තමන්ට ඇති හැකියාව උත්කර්ෂයට නැංවූ එල්.ටී.ටී.ඊ. සංවිධානය, ‘අවසාන යුද්ධය’ වශයෙන් එදා ඔවුන් හැඳින්වූ අරමුණක් වෙත මහජනතාව පෙළගැස්වීය. ‘එලුග තමිල්’ ව්‍යාපාරය යන්නේ, ‘පොංගු තමිල්’ අතීතය ඔස්සේ ය. එහෙත් එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හමුදාකරණය වූ දේශපාලනයට ප‍්‍රතිපක්ෂව, අද ‘එලුග තමිල්’ ව්‍යාපාරය විසින් ඔසවා තබනු ලබන්නේ, ජනතාවගේ වින්දිත භාවයක් සහ ජාත්‍යන්තර මැදිහත්වීමක ව්‍යාජ අපේක්ෂාවකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ‘පොංගු තමිල්’ ඉදිරියේ ජනතාවට තේරීමක් තිබුණේ නැත. සෑම සමාජ ආයතනයක් පමණක් නොව, පාසල් ළමුන් පවා තුවක්කුව පෙන්වා ඒ ව්‍යාපාරය වෙත එදා දක්කාගෙන ආහ. ‘එලුග තමිල්’ ව්‍යාපාරයට, ජනතාව කෙරෙහි එවැනි බලයක් අභ්‍යාස කිරීමේ හැකියාවක් නැත. එසේම, ජාත්‍යන්තර ප‍්‍රජාව වෙතින් කිසි සහයෝගයක් බලපොරොත්තු වීමේ හැකියාවක්ද නැත. මන්ද යත්, ඔවුන් එනම් ජාත්‍යන්තර ප‍්‍රජාව ඔවුන්ගේම වන අවශ්‍යතා වෙනුවෙන් කොළඹ කේන්ද්‍රයට ආකර්ශනය වෙමින් සිටින බැවිනි.

යුද විරාම කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ගෙන ගිය දේශපාලනික ක‍්‍රියාකාරකම් හරහා අවසානයේ රැුගෙන ආවේ, මුල්ලිවයික්කාල් විනාශයයි. දහස් ගණන් තරුණයන් බලහත්කාරයෙන් බඳවාගෙන, ඔවුන් ඇතුළු අනිත් සිවිල් ජනතාවත්, ආරක්ෂක හමුදාවන්හි යෝධ අවි ශක්තියට බිළි කෙරුණි. ඒ මහා ඛේදවාචකයෙන් පසුව අද ‘එලූග තමිල්’ විගඩම කරලියට පැමිණ තිබේ.

ව්‍යාකූලත්වය සහ මිත‍්‍ර පාක්ෂිකයෝ

මේ විගඩම්කාරී බලමුළු ගැන්වීම හරහා තම ඉදිරිමග ගැන යාපනේ තරුණ කොටස් පමණක් නොව, කොළඹ ඇතැම් ‘ප‍්‍රගතිශීලීන්වත්’ ව්‍යාකූල කොට ඇති බව පෙනේ. ‘එලුග තමිල්’ විරෝධයේ ඉල්ලීම් ත්‍යාගශීලීව පිළිගන්නා කොළඹ ලිබරල්වාදී කොටස් සහ ප‍්‍රගතිශීලී වාම කොටස්, මීට ඉහත එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිගැනීම සහ ඊට සහාය දැක්වීම සම්බන්ධයෙන් කළ වරදම අදත් කරති. එය, එනම් ‘එලුග තමිල්’ ව්‍යාපාරයේ ඉල්ලීම් ඉහළින් පිළිගැනීම, හුදෙක් අනුග‍්‍රහය පෑමක් පමණක් නොව, භයානක සෙල්ලමක්ද වන්නේය. මන්ද යත්, ඔවුන් අනුමත කරන දෙමළ ජාතිකවාදී වාගාලාපය, ක‍්‍රියාශීලීවම උරදෙන්නේ රට දෙපැත්තට බෙදන ද්‍රැවායනයේ දේශපාලනයකට වන බැවිනි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගීම දෙස මේ සිංහල ලිබරල්වාදී කොටස් එදා ප‍්‍රහර්ෂයෙන් යුතුව බලා සිටීම හරහා පෙන්නුම් කෙළේ ඔවුන්ගේ අතිශය වගකීම් විරහිත හැසිරීමකි. වෙනත් මතධාරීන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ‘ද්‍රොහීන්’ සේ හංවඩු ගසා මැරුම්කන විට ඒ සම්බන්ධයෙන් ආස්ථානයක් නොගත් කොළඹ ලිබරල්වාදීන්, අවසානයේ මුළු දෙමළ සමාජයම විනාශ කළ මහා ඛේදවාචකයේ වින්දිතයන් බවට පත්වුණේද නැත.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයට එරෙහි වනු වස්, ප‍්‍රතිගාමී දෙමළ ජාතිකවාදය සමග ලෙන්ගතු වීමක් අවශ්‍ය කරන්නේ යැයි සිංහල ප‍්‍රගතිශීලීන් සිතන්නේ නම්, එයින් පෙන්නුම් කරන්නේ, ඔවුන්ගේ දේශපාලනික නොමේරූ භාවය සහ මෝඩකම පිළිබඳ කණගාටුදායක තත්වයක් මිස වෙනකක් නොවේ. ඒ වෙනුවට, සියලු ප‍්‍රජාවන් තුළ වෙසෙන, සහජීවනය සඳහා පෙනී සිටින කොටස් සමග ඔවුන් අත්වැල් බැඳ ගන්නේ නම්, එය සමාජ සාධාරණත්වය සඳහා වන ව්‍යාපාරයකට උපස්ථම්භක විය හැකිවා සේම, විශ්වසනීය දේශපාලනික විසඳුමකට අඩිතාලමක්ද විය හැක්කේය.

විරෝධතා යනු රැුඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අත්‍යාවශ්‍ය අංගයකි. එහෙත් එවැනි විරෝධතාවන් පසුපස ඇති දේශපාලනය එහිදී විශේෂ සැළකිල්ලට ගත යුතුව තිබේ. 2015 ජනවාරියේ විවෘත වූ අවකාශය තුළ විශාල විරෝධතා ගණනාවක්ම උතුරේ ඇති වී තිබේ. නැගෙනහිර වඩමරච්චි පැත්තේ පදිංචිකරුවෝ පසුගිය පෙබරවාරියේ ‘ආසියානු සංවර්ධන බැංකුව’ දියත් කළ ලවණහරණීය ව්‍යාපෘතියකට විරෝධය පෑහ. යාපනේ ප‍්‍රභූ පැලැන්තිය විසින් තමන්ව එක දිගටම කොන් කරනු ලැබ ඇති බවට හැඟීමක් මේ ජනතාව අතර තිබේ. ඉතිං, යාපනය නගරයේ ජනතාවට බීම සඳහා යෝජිත මුහුදු ජලයේ ලූණු රසය ඉවත් කිරීමේ ව්‍යාපෘතිය නිසා තමන්ගේ ධීවර ජීවිකාවට තර්ජන එල්ල විය හැකි බව ඔවුන්ගේ විරෝධතාවට මුල් වූ කාරණයයි. පසුගිය ජුලි මාසයේ උතුරේ සෑම පළාතකින්ම පැමිණි ධීවරයන්ගේ මහා විරෝධතාවක් උතුරු පළාත් සභාව අසළ පැවැත්විණ. ඔවුන්ගේ විරෝධතාව ගොනු වුණේ, ස්වකීය ජීවිකාව අනතුරේ හෙලන ඉන්දීය ධීවරයන්ගේ නීති විරෝධී ධීවර කොල්ලය නතර කිරීම සඳහා දැඩි ස්ථාවරයක් ගන්නා ලෙස උතුරු පළාත් සභාවට බල කිරීම වටා ය. ප‍්‍රගතිශීලී සහයෝගීතාව අවශ්‍ය කරන්නේ, එවැනි විරෝධතාවන් උදෙසා ය. එහෙත් එවැනි විරෝධතාවන් බොහෝ විට වැඩි දෙනාගේ සැලකිල්ලකට ලක් නොවේ.

මේ සන්දර්භය තුළ ‘එලුග තමිල්’ විරෝධතාවයෙන් සැබෑ ඵල නෙලාගන්නේ, එහි සැබෑ මිතුරන් වන සිංහල බෞද්ධ ජාතිකවාදීන් ය. දෙපාර්ශ්වයේ සිටින සීමාන්තික ජාතිකවාදීන්, දෙපාර්ශ්වයම අන්ත දෙකට තල්ලූ කරනු ලැබීමේ ද්‍රැවායන දේශපාලනය නොනසා පවත්වා ගැනීම උදෙසා කැසකවන කුළුපග සගයන් වෙනවා පමණක් නොව, දේශපාලන විසඳුමක් සඳහා වන ඕනෑම ක‍්‍රියාවලියක් කඩාකප්පල් කිරීමේ පොදු ඉලක්කය මත පිහිටන සමීප සගයන්ද වන්නේය. එහිදී එක පාර්ශ්වයක් බෙදුම්වාදී තර්කණය ඉදිරියට ගෙන යයි. අනිත් පාර්ශ්වය, සිංහල-බෞද්ධ බහුතරවාදී ආධිපත්‍යය ඉදිරියට ගෙන යයි.

ජාතික විවාදය සහ සංවාදය

මේ තත්වය ඇති වීමට ‘දෙමළ ජාතික සන්ධානය’ සහ ආණ්ඩුවද වගකිව යුතුය. මුලින්ම, රටේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය තුළ දේශපාලනික විසඳුම පිළිබඳ සංවාදයට මුල් තැන ලැබෙන්නේ නම්, උතුරේ මෙන්ම දකුණේද ජාතිකවාදීන්ට වැඩි ඉඩක් නොසැපයෙනු ඇත. ඒ වෙනුවට ආණ්ඩුවත්, ‘දෙමළ ජාතික සන්ධාන’ නායකත්වයත් එම සංවාදය කොළඹ කේන්ද්‍රීය කුලකයකට සීමා කර ගැනීම නිසා පොදු ජනතාවට සිදුව ඇත්තේ අඳුරේ අතපත ගෑමටයි. තවද, දෙමළ ප‍්‍රජාව අතරේ පවතින සමාජ සහ දේශපාලනික පරස්පරතාවන්ට ආමන්ත‍්‍රණය කිරීමටත්, ජාතික දේශපාලනයේ ඉදිරි මග පිළිබඳවත් ‘දෙමළ ජාතික සන්ධානය’ වැඩි අවධානයක් යොමු කොට නැති අතර, දශක ගණනාවක් තිස්සේ රට වෙලාගෙන ඇති ජාතික ප‍්‍රශ්නයේ බරපතල කම දකුණට තේරුම් ගැන්වීම සඳහා ආණ්ඩුව වැඩි පරිශ‍්‍රමයක් ගෙන ඇත්තේද නැත.

නිර්-හමුදාකරණය පිළිබඳ සංවාදයක් ඇරැුඹීමේ අභියෝගය සහ සිංහල-බෞද්ධ ආධිපත්‍යයේ උරුමය පිළිබඳ ස්වයං-විවේචනාත්මක අගැයීමක් කිරීමේ වගකීම දකුණේ ප‍්‍රගතිශීලීන්ට තිබේ. හමුදාව සහ බුද්ධාගම රාජ්‍ය කෙරෙහි පවත්වාගෙන යනු ලබන වරප‍්‍රසාදිත සම්බන්ධතාව, විවාදයේ සීමාවෙන් බැහැර කොට තැබිය හැක්කක් නොවේ. තම තමන්ගේ පටු න්‍යාය පත‍්‍ර නිසා ආණ්ඩුව සහ දේශපාලනික ප‍්‍රභූ පැලැන්තිය මේ ජාතික කර්තව්‍යයේදී අසමත් වන්නේ නම්, ජාතික ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එවැනි ජාතික සංවාදයන් ඇරැුඹීමේ මගහැරිය නොහැකි අභියෝගාත්මක වගකීම, ප‍්‍රගතිශීලී රැුඩිකල් වාම කඳවුරට පැවරෙයි.

දෙමළ දේශපාලනය තුළද, ස්වකීය ප‍්‍රගතිශීලී දේශපාලනික පන්නරයන් තිරිහන් කර ගැනීමේ අවශ්‍යතාව මතුවෙයි. දෙමළ වැඩ කරන ජනතාවගේ ප‍්‍රශ්න අරභයා වන අරගල, කුල-විරෝධී ජනතා බළමුළු ගැන්වීම් සහ කාන්තා ව්‍යාපාර සවිබල ගැන්වීම් සේම, වෙනත් ප‍්‍රජාවන් සමග දෙමළ ප‍්‍රජාවේ සම්බන්ධතාව පිළිබඳ කතිකාවන්, උතුරු සහ නැගෙනහිර දෙපළාතේ පවතින ප‍්‍රාදේශීය සහ ග‍්‍රාමීය අසමානතා ඇතුළු විමධ්‍යගත භාවය සහිත දේශපාලනික බලය පිළිබඳ ප‍්‍රශ්න ඊට අයත් වෙයි. දෙමළ ජාතිකවාදය පිළිබඳ විවේචනයක් මෙන්ම, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ෆැසිස්ට් දේශපාලනික සංස්කෘතිය විසින් දෙමළ ජනතාවට කරන ලද විනාශය පිළිබඳ කතිකාවක්, එවැනි විමර්ශනයක කේන්ද්‍රයේ තිබිය යුත්තේය.

2015 ජනවාරියේ ජාතික අභියෝගය වශයෙන් අධිකාරීවාදය පරාජය කිරීමේ කර්තව්‍යය පැවතියේ යම් සේ ද, ජාතික සහජීවනය සහ දේශපාලනික විසඳුමක් සොයා ගැනීමේ කර්තව්‍යය, වර්තමාන අභියෝගය වශයෙන් පවතින්නේය. සහජීවනය අපේක්ෂා කරන මුස්ලිම්, දෙමළ සහ සිංහල ප‍්‍රජාව, ද්‍රැවායනික (සතුරන් සේ දෙපසට වෙන් කෙරෙන) බලවේග සහ අවස්ථාවාදී බලවේග පරාජය කිරීමේ අභියෝගය භාරගත යුතුව තිබේ. නිර්-හමුදාකරණය, දේශපාලනික විසඳුම හෝ ආර්ථික සාධාරණත්වය ආදී කුමන කාරණයක් උදෙසා වුව අවශ්‍ය කරන්නේ, ශී‍්‍ර ලංකාව සඳහා බහුත්වවාදී (සියලූ කොටස් එක් කර ගැනීමේ) ඉදිරි දැක්මක් ඇති සියල්ලන්ගේ ඒකාබද්ධ අරගල මිස, ‘පාද යාත‍්‍රා’ සහ ‘එලූග තමිල්’ වැනි අන්තවාදයන් වෙත ජනතාව තල්ලූ කෙරෙන විගඩම්කාරී බළමුළු ගැන්වීම් නොවේ.

*2016 ඔක්තෝබර් 07 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Nationalist Mobilisations & Eluga Thamil: First As Tragedy, Then As Farce” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ( (අවසාන කොටස)‘යහපාලනය ලංකා’

ජාතික බළමුළු ගැන්වීම් සහ ‘එලුග තමිල්’: මුලින් ශෝකාන්තයක් වශයෙන්, දෙවැනුව විගඩමක් වශයෙන් – පළමු කොටස

ජාතික බළමුළු ගැන්වීම් සහ ‘එලුග තමිල්’: මුලින් ශෝකාන්තයක් වශයෙන්, දෙවැනුව විගඩමක් වශයෙන් – දෙවැනි කොටස

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.