24 September, 2020

Blog

එක්සත් ජාතීන්ගේ යෝජනාව: ලංකාව ගැන ලබන වසරේ ලෝකයා ඉගෙන ගනු ඇත්තේ කුමක් ද

ආසියානු මානව හිමිකම් කොමිසම –

ලංකාවේ ජාතීන් අතර සහජීවනය සහ ආණ්ඩුවේ වගවීම ප‍්‍රවර්ධනය කරනු වස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාව ඊයේ සම්මත කරගන්නා ලදි. මේ යෝජනාවේ හරය වශයෙන් පවතින්නේ, ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම අරභයා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට සැපයෙන උපදෙස් සහ තාක්ෂණ සහාය ඇතුළත් කරගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සාදරයෙන් පිළිගන්නා බවත්, එම වාර්තාවේ අඩංගු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව උනන්දු කැරැුවීමත්, ජාත්‍යන්තර මානවවාදී නීතිය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝණය කළ බවට පැවසෙන චෝදනා විභාග කර බැලීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව, ස්වාධීන සහ විශ්වාසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් යන කාරණා ය.

මානව හිමිකම් කොමසාරිස්වරිය

ජාත්‍යන්තර මානවවාදී නීතිය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝණය කළ බවට පැවසෙන චෝදනා ගැන ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැනුවත් වීම මෙහි දී අවශ්‍ය කෙරේ. එසේ වීමට නම්, අදාළ චෝදනා ඉදිරිපත් කිරීමට අදහස් කරන අයවලූන්ට ආණ්ඩුවේ බලධාරීන් වෙත පැමිණ එසේ කිරීමට හැකි වන ආකාරයේ පරිසරයක් ඇති කළ යුතුව තිබේ. එහි අදහස වන්නේ, තමන් කෙරෙහි පවතින බිය වෙනුවට විශ්වාසය රැුඳවිය හැකි ආකාරයේ සමාජ වටපිටාවක් ආණ්ඩුව විසින් ගොඩනැගිය යුතු බවයි. කෙසේ වෙතත්, එවැනි වටපිටාවක් ලංකාවේ නොපවතින බවත්, චෝදනාවක් නැගීමට තරම් නිර්භය වන ඕනෑම කෙනෙකුට ජීවිතය පරදුවට තැබීමට සිදුවන බවත්, ඉදිරි මාස කිහිපයේ දී ලෝකයා දැනගනු ඇත.

එය, ලංකාවේ වෙසෙන ජනයා හොඳින් දන්නා තත්වයකි. තවදුරටත් ජීවතුන් අතර නැති සහ ජීවිත බේරා ගැනීමට රටින් පැන ගිය පිරිස විශාල ය. මේවා පිළිබඳ බොහෝ වාර්තා ලෝකයා දැක ඇතත්, ඒවා එක්කෝ ව්‍යතිරේක වශයෙන්, නැත්නම්, අතිශයෝක්ති වශයෙන් ලෝකයා සළකන්නට ඇති. දැන් සම්මත කරගත් යෝජනාවේ හරය රැුඳෙන්නේ, අදාළ චෝදනා ඉදිරිපත් කිරීමට ඉදිරියට එන පුද්ගලයන් මත නිසා, ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ ආයතනයකට හෝ එරෙහිව එවැනි චෝදනා නැගීම සඳහා ඉදිරිපත් වීමට තරම් පරිසරයක් ලංකාවේ පවතින්නේ ද යන්න දැන ගැනීම දුෂ්කර නොවනු ඇත. රටේ වෙසෙන ජනයා හොඳින් දන්නා සහ අත්දකින බිය මොන වාගේ දැ යි වටහා ගැනීමට දැන් ලෝකයාට අවස්ථාවක් තිබේ. මෙහි දී, ආණ්ඩුව හැම දාමත් කියන ව්‍යාජ අවසරය අසන්නට ලෝකයාට හැකි වනු ඇත: ‘කිසිවෙක් අප ඉදිරියට විත් චෝදනා කරන්නේ නැත. එයින් පෙනී යන්නේ, අපට එරෙහිව චෝදනාවක් නැති බවයි’. භීතිය විසින් උත්පාදනය කරනු ලබන නිශ්ශබ්දතාවය, නිර්දෝෂී භාවයේ සාක්ෂියක් වශයෙන් පාවිච්චි කෙරෙනුයේ එලෙස ය. ඉදිරි කාලයේ දී ලෝකයාට දැකගත හැකි වනු ඇත්තේ එය යි.

මේ යෝජනාවෙන් ලෝකයා අපෙන් තවත් දෙයක් ද ඉල්ලා සිටී. එනම්, ස්වාධීන සහ විශ්වාස කටහැකි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. අදාළ චෝදනා පිළිබඳව ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමට සමත් අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක් ලංකාවේ නැති බව, එහිදීත් ලෝකයා උගෙන ගනු ඇත. අද ලංකාවේ නිසි පරීක්ෂණයට ලක් නොවී මගහැරෙන්නේ, හමුදාව පොලීසිය හෝ වෙනත් සන්නද්ධ කල්ලි මගින් කෙරෙනු ලබන මානව හිමිකම් සහ මානවවාදී නීති උල්ලංඝණයන් පමණක් නොව, මිනීමැරුම්, ස්ත‍්‍රී ¥ෂණ, මංකොල්ලකෑම් සහ අවසන්තක කරගැනීම් වැනි සාමාන්‍ය පොදු අපරාධ පවා, ස්වාධීන සහ විශ්වාසය තැබිය හැකි පරීක්ෂණ ක‍්‍රියාවලියකට භාජනය වන්නේ නැත. ස්වාධීනත්වය පිළිබඳ අදහස දේශපාලනීකරණය විසින් අස්ථානගත කොට තිබේ. දේශපාලනීකරණය යන්නෙන් අදහස් වන්නේ, පරීක්ෂණ කාර්යය පැවරෙන පොලීසිය සහ වෙනත් විශේෂ ආයතන, දේශපාලඥයන්ගේ සම්පූර්ණ පාලනයට යටත්ව පවතින බවයි. දේශපාලඥයන්ගේ අනුමැතියෙන් තොරව, කිසි පැමිණිල්ලක් විභාග කිරීමට මේ ආයතනවලට හැකියාවක් නැත. වඩාත් නිශ්චිතව පවසන්නේ නම්, ඕනෑම පරීක්ෂණයක් නතර කිරීමට හෝ අදාළ වරදකරුවන්ට නීතියෙන් ගැලවී යා හැකි වන පරිද්දෙන් අපක්ෂපාතී සහ විෂයබද්ධ ආකාරයකින් පරීක්ෂණයක් නොපවත්වන ලෙස අදාළ නිලධාරීන්ට නියෝග කිරීමට හෝ ආණ්ඩුවට හැකියාව ඇත්තේය. මේ රටේ වෙසෙන හැම කෙනෙකුම මේ තත්වය හොඳින් දනී. ලෝකයාටත් ඉදිරි කාලයේ දී එය දැන ගැනීමට හැකි වනු ඇත.

විශ්වාසය තැබිය හැකි පරීක්ෂණ යනු, අපරාධ පරීක්ෂණ කි‍්‍රයාවලියක දී අනුගමනය කෙරෙන සම්භාවිත නියමයන් සහ ප‍්‍රමිතීන්ට අනුව පැවැත්වෙන පරීක්ෂණයන් ය. එවැනි පරීක්ෂණ පවත්වා ඇති අවස්ථාවක් යමෙකුගේ මතකයක හෝ තිබේ දැ යි සැකසහිත ය. ඉතා ගුප්ත සහ දුෂ්කර අපරාධ සිදුවීම් පිළිබඳ සොයා බැලීමේ දී මහත් කාර්යක්ෂමතාවෙන් යුතුව ශ‍්‍රී ලංකාවේ පොලීසිය සහ වෙනත් විශේෂිත ආයතන අතීතයේ දී කටයුතු කර ඇති බව අපි දනිමු. කෙසේ වෙතත්, ගත වු දශක හතරක පමණ කාලය තුළ එම කීර්තිය පොලීසියට අහිමිව ගොස් ඇති අතර අද පරීක්ෂණ පැවැත්වෙන හාස්‍යකාර ආකාරය රටවැසියන්ට රහසක් නොවේ. ‘සන්ඬේ ලීඩර්’ කතුවර ලසන්ත වික‍්‍රමතුංග සහ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර වැනි (හොඳින් දන්නා සිදුවීම් දෙකක් පමණි* මහ දවල් ඝාතනයට ලක්වූ අයවළුන් පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසියේ ඉහළ නිලධාරීන් කරන්නේ, වාර්තා පිට වාර්තා සම්පාදනය කරමින්, විවිධ ආකාරයේ අවසර පාමින් මගහැරීමයි. ඇත්ත වශයෙන්ම ඒ මගින් ඔවුන් ඔප්පු කොට පෙන්වන්නේ, ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමේ බලයක් තවදුරටත් තමන් සතුව නැති බවයි. ශ‍්‍රී ලංකාවේ අපරාධ පිළිබඳ සාධාරණ පරීක්ෂණ පැවැත්වීමක් පිළිබඳ අපේක්ෂා කිරීම වූ කලී, අශ්වයෙකු බිත්තර දමති යි බලාගෙන සිටීමක් බඳු ය.

අපක්ෂපාතී පරීක්ෂණ සඳහා පොලිස් ආයතනවල සහාය පමණක් නොව, නීතිපති දෙපාර්තමේන්තුවේ උදව්ව ද අවශ්‍ය කෙරේ. මේ දෙපාර්තමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පාලනය කෙරෙන බවත්, ආණ්ඩුවේ සිත රිදවීමකට ඉවහල් විය හැකි කිසි සිද්ධියක් ගැන පියවර ගැනීමට මේ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැති බවත්, කවුරුත් දන්නා කාරණයකි. ඒ ගැන, දැනටමත් බොහෝ සෙයින් සාකච්ඡුා වී තිබේ. මෙය ද, අතීතයේ කීර්තියක් ඉසිලූ ආයතනයකි. එහෙත් අද වන විට එයත් පොලීසිය වැනි වෙනත් පරීක්ෂණ ආයතනවල තත්වයට දෙවැනි නැත.

කොටින්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කරගත් ඉහත කී යෝජනාවෙන් ලෝක ප‍්‍රජාවට සැපයෙන්නේ, මෙතෙක් මේ රටේ පුරවැසියන් හොඳින් දැන සිටි සත්‍යයක් තේරුම් ගැනීමට මහඟු අවස්ථාවකි.

එසේම, අපරාධ යුක්ති විනිශ්චය සම්බන්ධයෙන් වන ප‍්‍රධාන බාධා පැනනගින්නේ ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම බව, ඉදිරි කාලයේ දී ලෝක ප‍්‍රජාවට දැන ගැනීමට ලැබෙන තවත් පාඩමකි. විධායක ජනාධිපතිවරයාව නීතියට ඉහළින් තබා, අධිකරණය සහ පාර්ලිමේන්තුව ඔහුට යටහත් ආයතන බවට පත්කළ 1978 ව්‍යවස්ථාව මගින් කෙරුණේ, රටේ මූලික පොදු ආයතන පද්ධතියත් අකර්මණ්‍ය කිරීමයි. මේ ප‍්‍රකාශය, අතිශයෝක්තියකැ යි බාහිර ලෝකයාට පෙනී යා හැකි වෙතත්, 17 වැනි සංශෝධනය සහ 18 වැනි සංශෝධනය පිළිබඳ කතාව රටවැස්සෝ හොඳින් දනිති. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ම අවනීතික තත්වයක් උද්ගත කෙරෙන රටකට කුමක් සිදුවේ දැ යි දැන ගැනීමේ අවස්ථාවක් පමණක් නොව, එය දැන ගැනීමේ වගකීමක් ද දැන් ජාත්‍යන්තර ප‍්‍රජාවට සැලසෙයි.

කොටින්ම, ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයකට අයිතියක් අගවිනිසුරුවරියටවත් හිමි නොවන රටක, ජාත්‍යන්තර මානවවාදී සහ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ චෝදනා සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයකට ලක්වෙතැ යි අපේක්ෂා කිරීම, හුදෙක් දවල් හීනයකට වැඩි දෙයක් නොවන බව, ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ දී ඉගෙන ගනු ඇත.

*2013 මාර්තු 22 වැනි දා ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ නිකුත් කළ The UN Resolution & What the world will learn about Sri Lanka in the coming year නැමැති ප‍්‍රකාශනයේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.