25 April, 2024

Blog

අනුර තරුව 

අරුන්දතී සංගක්කාර –

ගෝටා තවම කේක් කනවා වන්නට ඇත. කොළඹ බිත්ති වසමින් අලවා තිබු ඔහුගේ පෝස්ටර් වලට අනුව “රටම නිදොස් කොට නිදහස් කර” ඇත. එක්කෝ තමන් යනු රටම  යයි ගෝටාබය සිතනවා විය හැක. 

ඔහුගේ බොළඳ ස්ව-උත්කර්ෂය එබඳුය. 

‘අනේ පවු’ කියනු හැර වෙන කියන්නට දෙයක් නැත. 

ටෙලි ප්‍රොම්ටරයක් නැතුව “අභීත පුතාට” කතා කරන්නට බැරිය. කොතරම් අභීතද කියනවානම් ඊයේ වන විට චමල් රාජපක්ෂට ඇප බැඳීමද සිදු කරනු ලැබුවේය. ගෝටාබය චිත්තවේග කළමනාකරණය කර ගැනීමෙහි අසමතෙකි. කුඩා ප්‍රශ්නයක් ඇසුවද අන්‍යයන්ට මරණ තර්ජනය කිරීම දක්වා දිවෙන ඇති අස්ථාවර මානසිකත්වයක් ඇති ගෝටාබය  නැමති වෘකයාව මහින්ද නමැති අති දක්ෂ දේශපාලනඥයා ලිහා නොදමයි. නිකම් ලිහා දැමුවහොත් ගෝටාබය අපිවත් මරාගෙන, මහින්දත් මරාගෙන, චිචිගේ රොකට්ටුවත් කුඩු කර, ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ කටු සූප්පු කර, ඔහුගේම හර්ද වස්තුවට දමා ඇති ස්ටෙන්ට් එක ඔහුම උගුල්ලාගෙන ඉන් ඔහුගේම දත් සුද්ධ කරනු ඇත! විනෝදයට අතිශෝක්තියෙන් එසේ කීවද, යථාර්තවාදීව බැලුවද ස්වයං විනාශනයට සහ අන්‍යයන් විනාශනයට ගෝටාබය තුල ඇති විශිෂ්ට හැකියාව එබඳුය.  

“පියාණෝ ශ්‍රීමත් – පුතාණෝ ශ්‍රී මවුත්“

“ස්වාධීන අධිකරණය” විසින් ස්වාධීන තීරණයක් දුන් බවට යහපාලනයිට්ස්ලා සහ සජිතයිට්ස්ලා සිත සදා ගනිමින් සිටිති. සිර කූඩුවක සිටිය යුතු ගෝටාබයව වක්‍ර මුක්තීන් රැසක් හිමිකරවන ජනාධිපති අපේක්ෂකත්වය නමැති ආරක්‍ෂිත තොටිල්ලට ගෙන ආවේ යූඑන්පී ආණ්ඩුවයි. ඔහුව මෛත්‍රිපාල සිරිසේන, රනිල්, සාගල අත දරුවකු මෙන් කිරි පොවමින් රකිද්දී සජිත් සිටියේ කොහෙද? 

සජිත් සහ ජනාධිපතිවරයා යන දෙදෙනාටම අනුව සජිත් හිඳ ඇත්තේ සිරිසේන නැවත නැවත ඔහුට පුද දුන් අගමැති කම “එපා එපා” කියමිනි.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එවැනි තක්කඩි සංවාදයක් නිශ්ශංක සේනාධිපති සමග පැවැත්වූ විට ඇයගේ වැඩ තහනම් විය. එය මම  අගය කරමි. අයගේ රැකියාවේ  නෛතික ස්වභාවය සහ ආචාර ධර්ම දෙකටම අනුව ඇයට හිමි විය යුතු ඉරණම එයයි. ප්‍රජාත්නත්රවාදයේ රන් දෙවොල වන පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයකු සහ රජයේ වග කිව යුතු ඇමතිවරයකුට වෙනත් පක්ෂයක සභාපති වූ ජනාධිපතිවරයකු හා එවැනි සංවාද පැවැත්වීම  පිළිබඳව  නෛතික හෝ සදාචාරාත්මක සීමා නැතිද? ඔවුන් එසේ ඩීල් දමමින් හෝ නොදමමින් සිදු කරන සංවාද වලට සදාචාරයේ මුක්තිය ඔවුන්ට දී ඇත්තේ කවුද? කිසිවෙක් ඔවුන්ව මේ තක්කඩි කම් වලින් නිදොස් කර නිදහස් කර නැත. ඔවුන්ම ඔවුන්ටම සමාව දී ඔවුනොවුන් සමග සුරතල් වෙමින් සිටිති. “මට දුන්නා – මම ගත්තේ නැහැ – මම හොඳයි- මාව ජනාධිපති කරන්න” – මේ කුමන බාල තර්කයක්ද? 

කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ගෘෂා ඇන්ඩ්රූස් ලියු පරිදි සජිත් වනාහී “ශ්‍රීමත් සිරිසේනගේ ඩාලිං සජිත්ය”. සජිත් මෛත්‍රීපාල සිරිසේනව හඳුන්වන්නේ ශ්‍රීමත් ජනාධිපති වශයෙනි. ජනාධිපතිවරණයේ පළමු දින කිහිපය තුලදීම සජිත් විසින් ඔහුගේ දේශපාලන අසමබරතාවය සහ ජනාධිපතිවරණ සටනක ආතතිය දරා ගැනීමට ඔහු තුල ඇති නොහැකියාව පෙන්වයි. සජිත් විසින්  ඔහුගේම  කට හඳුන්වා ගන්නේ “සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛය යනුවෙනි“ ෆේස්බුක් විහිලුවක මෙය විස්තර කර තිබුනේ “පියාණෝ ශ්‍රීමත් – පුතාණෝ ශ්‍රී මවුත් (mouth)“ යනුවෙනි. මේ අපේ රටේ ඊළඟ ජනාධිපති වන්නට සිහින දකින්නාද? මොහුගේ මානසිකත්වය කෙසේ විය හැකිද? මොහු සමග අපේ රට කවර ගමනක් යනු ඇතිද? 

“සතුරු කැළම සඳලු තලේ සිටිති මධු බිබී“ 

අති විශාල ධනස්කන්ධයක් වැය කර විදේශීය සමාගමක් විසින් වෘත්තීය මට්ටමෙන් සජිත් ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සිදු කරනු ලබයි. ගෝටාබයද එසේමය. අනුරද, මහේෂ් සේනානායකද ප්‍රචාරක ආයතනයක සේවය ලබනවා විය හැක. ජාතික පුවත්පත් වල පළමු පිටුව පළමු දිනයේ සිට මිලදී ගෙන එය සජිත්ගේ මුහුණෙන් වැසීමට තරම් සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය පොහොසත්ය. මෙතරම් ධනස්කන්ධයක් රණසිංහ ප්‍රේමදාසගේ පුතාට කොයින්ද?

සජිත්ගේ පියාට ප්‍රවේණි ධනයක් නොවීය. 

සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රී රැකියාව හැර වෙන රැකියාවක් කර නැත. ඔහු එම රැකියාවේද වැටුප ලබා නොගනී. 

ඔහු කිසිදු ව්‍යාපාරයක් කරන බවට තොරතුරු සපයා නැත .

ඔහු ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ කර නැති මන්ත්‍රීවරයකි.

මොහුට මේ ධනය කොයින්ද? 

ගොටාබයගේ සැබෑ මැතිවරණ ධනය තාම කල එලි බැස නැත. එය සජිත්වද අතික්‍රමණය කරන මහා ධනස්කන්ධයකි. ඒ ධනය ඉපයූ හැටි, කළු සල්ලි සුදු කල හැටි අපි දනිමු. ඒ ගෝටාබය ඇතුළු රාජපක්ෂවරුන්ව රැක්කේ සජිත්ද සාමාජිකයකු වූ යූඑන්පී ආණ්ඩුවයි. .

මිනිසුන්ට දේශපාලන වත්සුණු තවරා, නැති ගාම්භීර කමක් මවා, නැති බුද්ධිමත් කමක් හා මනුෂ්‍යත්වයක් ආරෝපණය කර ප්‍රතිරුප සැදීම මැතිවරණ ප්‍රචාරක සමාගම් වල වගකීමයි. නැති පුවත් මැවීම, අන්තර්ජාල අවකාශයේ “මීම්ස්“ මැවීම, මුදල් වැය කර අන්තර්ජාල ප්‍රවර්ධනයන් බූස්ට් කිරීම, ජනතාවගේ මොළ ශෝධනය තුලින් නායකයන් මැවීම මෙම සමාගම් විසින් සිදු කරයි. රතු නිල කොළ පාට භේදයකින් තොරව මෙය දේශපාලන යථාර්ථයයි. මේ මැතිවරණය අවසානයේ අපි  පොලිතීන්, කටවුට් ගලවා අපේ වටපිටාව අපිම අතුගා ගත් පසු, අපට ඉතිරි වන රට කුමක්ද? අපට ‘අලුත් රටක්’, ‘ඉන්න හිතෙන රටක්’, ‘සාධාරණ සමාජයක්’ ලැබෙයිද? අලුත් නායකයන් ලැබෙයිද? පැරණි ඝාතකයන්ට හා සොරුන්ට අලුත් දඬුවම් ලැබෙයිද? 

නැත.

වෘකයා නොපැමිණි මහජන වේදිකාව 

ඔක්තෝම්බර් පස් වන දින පැවැත්වූ “මහජන වේදිකාව” වනාහී මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් එකම වේදිකාවක් මත මහජන  ප්‍රශ්න නැගීමට සදා ගත් අවකාශයයි. මෙම වැඩසටහන් ඊයේ රුපවාහිනි නාලිකා තුලින් සජීවීව ප්‍රචාරය විය. මේ ඉතා වැදගත් අවස්ථාවට ගෝටාබය පැමිණියේ නැත. වෘකයාගේ දම්වැල ගැලවීම ප්‍රතික්ෂේප වී ඇති සේය. දම්වැල ගැලෙව්වද වෘකයා දන්නේ සපා කෑමය; වෘකයා කතා කරන්නට දන්නේ නැත; දන්නේ ගොරවන්නටය; සොයන්නේ ඔහුගේ ඊළඟ කෑම වෙලය. දියුණු ප්‍රජාතන්ත්රවාදයක ලක්ෂණයක් වන මැතිවරණ සංවාදය සහ විවාදයට එළඹීමට තරම් ගෝටාබය තවම මෝරා නැත; ඔහු සංස්කෘතික නැත. ගෝටාබයගේ ඇත්ත රට වන ඇමරිකා එක්සත් ජනපදයේ සියලු ජාතික මැතිවරණ වල අවියෝජනීය අංගයක් වනුයේ අපේක්ෂකයන් අතර විවාදයයි. පළමු වටයේදීම බියගුළු ‘වීරයා’ පලා ගොස් ඇත. 

සජිත් ප්‍රේමදාස සිය දේශපාලන අත්දැකීම් තුලින් ලැබූ යම් කිසි පන්නරයක් පෙන්නුම් කරමින් මෙම මහජන විවාදයට සහභාගී විය. ඔහු මහත්මයකු ලෙස පැමිණ එහි දී හැසිරුණේය. අඩුම වශයෙන් සජිත් තමා ප්‍රජාතාන්ත්රිකයකු බවවත් පෙන්වූයේය. එය අප අගය කල යුතුය. 

තරුවක් පායයිද? 

මහජන වේදිකාව වැනි ප්‍රයත්නයක ඇති ජාතික වැදගත් කම නම් මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳව සංසන්දනාත්මක ඇස්තමේන්තුවකට එළඹීමට ඡ​න්දදායකයන්ට අවස්ථාව ලබා දීමයි. එවැනි වැඩසටහනක් අධ්‍යක්ෂකවරයකු ලවා සම්පුර්ණයෙන් පාලනය කල නොහැකි නිසා එම අපේක්ෂකයන්ගේ ඇතුලාන්තය දෙස බැලීමටද, ඔවුන්ගේ ස්වභාවික දෘෂ්ටිය පිලිබඳ අදහසක් ලබා ගැනීමටද හැකියාව ලැබෙයි. මෙවැනි ප්‍රයත්නයන් ඡ​න්දදායකයාව යතාර්ථය හා බද්ධ කරයි. 

මේ වැඩසටහනේදී සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර වූ සංවාදය (පෙර කියූ පරිදි ගෝටාබය බයට ආවේ නැත- දැන් ඔහුගේ කුලී ෆේස් බුක් හමුදාව දිගට හරහට ලියන්නේ “සජිත් හෝ අනුර ගෝටාබයට වඩා ‘පහත්’ නිසා ගෝටාබය ඕවාට එන්න අවශ්‍ය නැති බවය”)

ඊයේ මහජන වේදිකාව අපට දුටුවේ සංකීරණ දේශපාලන අහසක අනුර තරුව පායා ඇති අතර සජිත් නමැති පිටපත් කියවන්නෙක් සිටින බවය. මේ මැතිවරණය අවසානයේ සජිත්ගේ මැතිවරණ ප්‍රචාරක සමාගමේ ගණන් හිලවු පියවා ඔවුන් ඔවුන්ගේ රටට ආපසු ගිය පසු අපට ඉතිරි වන්නේ සජිත්ගේ සුන්දර සිනහවෙන් සැරසු පත්තර පිටුව සහ පියාණෝගේ නන් දොඩවන පුතාණෝය. පත්තර පිටුව නම් බත් එක ඔතන්නට හෝ ගත හැක. රාජපක්ෂවරුන් රැකූ ආණ්ඩුවේ නියෝජිත සජිත්ව කුමක් ඔතන්නට අපි ගන්නෙමුද?

හදිසියේ ඇමරිකානු ජාතික වීරයා දිනුවොත් මේ ලියන මටද වන්නේ හෙළ කුල කතක් ලෙස කට වසා ගෙන සිටීමටය; නැතිනම් මරණය තෝරා ගැනීමය. 

වෙනස මෙවැනිය 

මහජන වේදිකාවේදී සිත් වෙත ඉදිරිපත් කල එකම ප්‍රශ්නයට සජිත් සහ අනුර ලබා දුන් පිළිතුරු සලකමු. 

ප්‍රශ්නය: ශ්‍රී ලංකාව තුල නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම් සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන සහ ව්‍යුහයන් ඔබ බලගන්වන්නේ කෙසේද? 

සජිත්ගේ පිළිතුරෙහි සාරාංශය: ගෞරවනීය,වන්දනීය පූජනීය ………. ආදී වශයෙන් පින් දීමෙන් සහ සංවිධායකයකයන්ට ස්තුති කිරීමෙන් පසුව) ඔහු පවසන්නේ ආයතන සහ ව්‍යුහයන් නිර්දේශපාලනීකරණය කිරීම තුලින් ඔහු එය කරන බවය. විවිධ පුද්ගලයන් නීතිය පසිඳලීමේ ක්‍රියාවලියට අත පොවන බවත්, “වීරෝධාර රණවිරුවන්ට” ඇඟිලි ගැසීමෙන් තොරව කටයුත් කිරීමට ඔහු ඉඩ දෙන බව කියයි. තවද ජාතීන් අතර සංහිදියාව ඇති කරන බවත්, මානව අයිතිවාසිකම් කියන මාතෘකාවට ආර්ථික සහ සමාජයීය අයිතිවාසිකමත් එකතු කිරීම තුලින් අපිට මේ ඉලක්කය කරා යාමට පුළුවන් බවත් සජිත් පවසයි. 

අනුරගේ පිළිතුරෙහි සාරාංශය: “(කෙටි ස්තුති කිරීමකින් පසුව) අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමේදී, මගේ විශ්වාසය නම් එහි ව්‍යුහයන්ගේ කිසිදු ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය නම් දේශපාලන සංස්කෘතිය විසින් එම ව්‍යුහයන් කඩා බිඳ දැමීමයි. ධනය බලය අනුව පුරවැසියන්ට එක ආකාරයටත් සමාජයේ දුබලයන්ට වෙනස් ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක වීමයි. වෙනස් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම වෙනස්විය යුතුයි. 

මේ සඳහා අපගේ  ප්‍රබලතම මෙහෙයුම නම් ධනය බලය දුප්පත්බව නොසලකා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමයි. 

ජාතික ආරක්ෂාව සම්බධයෙන් අභ්‍යන්තර ලෙස අත්පත් කර ගත යුතු ආරක්ෂාවක් ඇත. ඒ සඳහා කල යුතු පලවෙනි දෙය නම් කවර ආකාරයේ හෝ ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ඉඩ නොදීමයි. මේ සඳහා සිදු කරන ප්‍රබලතම මෙහෙයුමක් ලෙස අපි කවර තත්ත්වයක් යටතේ හෝ එවැනි අන්තවාදයකට සමාජය තුල හිස එසවීමට ඉඩ නොදෙමු. 

බාහිර වශයෙන් එල්ල වන ජාතික ආරක්ෂාවේ අභියෝගය එනුයේ සන්නද්ධ යුද්ධ හෝ ආක්‍රමණ ලෙස නොවෙයි. ජාතික ආරක්ෂාව දුබල කරන්නේ රාජ්‍යයක් ලෙස අපගේ පැවැත්ම දුර්වල කරවන ආර්ථික ගිවිසුම්, ආරක්ෂක ගිවිසුම් සහ වෙළඳ ගිවිසුම්ය.  

ආර්ථික ස්වාධීනය්ත්වය ශක්තිමත් කිරීම, බලශක්ති ක්ෂේත්‍රයන්හි සහ ආර්ථිකය ක්ෂේත්‍රය තුල අත් පත් කර ගන්නා ජයග්‍රහණයන් සහ අන්තර්ජාතික ප්‍රජාව තුල සාධනීය ලෙස සම්බන්ධතා පවත්වා ගැනීම තුලින් බාහිර අආරක්ෂාව තහවුරු කරගත හැක”. 

මෙම සභාව පුරාවටම වඩාත් පැහැදිලි, ධීමත්, ගැඹුරු ආර්ථික, දේශපාලන දර්ශනය සතු වන්නේ කවුරුන් හටද, සමාජ විඥානය සහ සාධාරණත්වය පිලිබඳ මෙන්ම ජාතික අනන්‍යතාවය පිලිබඳ දිදුලන බුද්ධියක් ඇත්තේ කාටද යන්න ඔබටම තහවුරු කර ගැනීමට පහත වීඩියෝව නැරඹිය හැක (පැය 1.19 සිට).

සජිත් මහජන වේදිකාවට පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි. ශ්‍රීලංකාවේ විශාලතම තනි පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට එළඹෙන ඔහුට විශාල ජන පදනමක් ස්වාභාවිකවම හිමිය. 

අනුර පැමිණෙන්නේ තුන්වන බලවේගය ලෙසය. ඔහුගේ ජන පදනම යුඑන්පියට වඩා අඩුය. නමුත් ඔහුට සජිත්ට හෝ ගෝටාබයට නොමැති ඉතා වටිනා ධනයක් ඇත. ඔහුට සාධාරණ දේශපාලන අධ්‍යාත්මයක් ඇත. එය මැදහත් ඇසින් බලන්නාට පෙනෙයි.

අනුර තරුව පායා ඇත.  

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.