31 October, 2020

Blog

පීඩිත යුද මානසිකත්ව තුළ ‘දෙවියන් සෙවීම’ සහ පුරවැසි ඛේදවාචකය

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 දින තමන් (සහ තම පවුලේ හෙංචයියන්) විසින් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට මහින්ද රාජපක්ෂ හන්දියක් හන්දියක් ගානේ පම්පෝරි ගැසුවේය. මීට අමතරව, තමන්ට හිතැති බත්බැලයන් ලවා ‘ගෝඨාගේ යුද්ධය’ ලෙස යුද්ධයේ හිමිකම තමන් යටතට ගැනීමට ගෝඨාභය රාජපක්ෂ බාල උත්සාහයන්හි නිරත විය. මහින්ද ජාතියේ ‘අප්පච්චි’ වශයෙන් වැඩියෙන්ම කරළියට පැමිණියේ පසුගිය ජනාධිපතිවරණය ආශ්‍රිතව වුවද මේ ‘අප්පච්චි මානසිකත්වය’ යුද ජයග්‍රහණය දක්වා ඈතට ඇදෙන්නකි. සුපුරුදු පරිදි දකුණේ බොහෝ අය වෙත මාධ්‍ය හරහා ලැබුණු යුද හැඟීම බටහිර ත්‍රාස චිත්‍රපටයක් නැරඹීමෙන් ලබන ‘ආස්වාදයට’ සමාන දෙයක් වුවද, භෞතික වශයෙන් යුදගැටුම් පැවති ප්‍රදේශවල ජනයාගේ යුධ අත්දැකීම ඊට වඩා බෙහෙවින්ම රළු එකක් බව අපි පිළිගත යුත්තෙමු.

නිල වශයෙන් ප්‍රභාකරන් මරා දැමුණු බව මහත් උත්කර්ෂයෙන් නිවේදනය කෙරුණු සැණින් සිංහ කොඩි වනමින්, කිරිබත් කමින් හා රතිඤ්ඤා පත්තුකරමින් දකුණේ සිංහලයා පාරවල් ගානේ ප්‍රකට කළේ තිස් වසරක සාපයක් වූ යුද්ධය නිමා වීමෙන් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස අනාගතයට මුහුණ දීමට හැකි වනු ඇත’ යන හැඟීමද, එසේත් නැතහොත්, සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය තුළ ‘පොදු සතුරා’ ලෙස විඥානගත වී ඇති ‘දෙමළා’ අභිබවා නැගී සිටීමට ලයිසමක් ලැබීම ගැන ඇති වූ කාලකණ්ණි පරපීඩක හැඟීමද යන්න එසේ කළ අය පෞද්ගලිකවම තමන්ගෙන් ඇසිය යුතුය.

ඓතිහාසික ආඛ්‍යානවල අතිශයෝක්තියෙන් ඔසවා තැබෙන දුටුගැමුණු වැනි චරිතවලට අමුතු පණක් ලැබෙන්නේද මෙම පසුබිම තුළය. මන්ද, එවිට මේ ප්‍රෝඩාකාරී අප්පොච්චාද පරසතුරන්ගෙන් සිංහලයා බේරාගෙන රට එක්සේසත් කළ දුටුගැමුණුට පටලවා අනවශ්‍ය වැදගත්කමක් ආරූඩ කිරීම මත තව කාලාන්තරයක් හිතේ හැටියට කෑ හැකි බව මහින්දගේ පවුල් රෙජීමයත්, එහි වන්දිභට්ටකම් කරමින් තමන්ගේ ගමන යාමට පෙරුම් පිරූ ජැක්සන් වැනි නලාකාරයිනුත් තේරුම් ගෙන තිබුණි (දුටුගැමුණු පිළිබඳ එක්තරා ජනකතාවක “උතුරින් හැඩි දෙමළු, දකුණින් මහමුහුද” යන සඳහනක් ඇති බව මෙහිදී සිහිකැඳවීම වැදගත්ය. දුටුගැමුණුගේ දේශපාලනික භූමිකාව ගැන යතාර්ථවාදී විග්‍රහයක් කියවීමට කැමති අයට මහාචාර්ය සුමනසිරි වාව්වගේ විසින් රචිත දුට්ඨ ගාමණි අභය මහරජ නමැති පොත කියවිය හැක). තව පොඩ්ඩ එහෙමෙහෙ වුණා නම්, මහින්ද බුදුහාමුරුවන්ගේද ‘මචං’ කෙනෙකුගේ තත්ත්වයටම ඔසවා තැබෙන්නටද නියමිතව තිබුණු බව අපි දනිමු.

gotas-war-book-launch-sri-lanka-defence-3පශ්චාත්-යුධ කතිකාව තුළ ‘යුධ ජයග්‍රහණය’ යන්න ප්‍රශ්න නොකර භාරගත යුතු භයානක හැගවුම්කාරකයක් ලෙස ඉතාම පහසුවෙන් සමාජගත විය. දකුණේ පුරවැසියන් බොහෝ දෙනා වෙත මෙම දෘෂ්ටිවාදය ගලා ආවේ ඒ පිළිබඳව නගන ඕනෑම විවේචනයක් හෝ විමසීමක් ‘කොටි යළි හිස එසවීමට උඩගෙඩි දීමක්’ ලෙස අර්ථගැන්විය යුතුය යන පණිවුඩයත් සමගයි. ලසන්ත වික්‍රමතුංග වැන්නවුන් මරාදමන ලද හා ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නවුන් අතුරුදන් කරන ලද අවස්ථාවලදී ඔවුන්ද ‘සිංහල කොටි විය හැකි හෙයින් එවැනි ගේම් දෙන්නට ඇත’ යන පොදු සාධාරණීකරණය භාර ගැනීමට දකුණේ සිංහල බහුතරයට හැකි වූයේද තමන් හිටියත් නැතත් එම දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන තරමට මහින්ද සිය හෙජමනිය සමාජගත කර තිබුණු හෙයිනි. ඔහු පරාජය වුවද අදටත් එය ක්‍රියාත්මකය.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කොට ඝාතනය කිරීමට අදාළ වැදගත් තොරතුරු රැසක් දැන් දැන් එළිවෙමින් පවතී. එවායින් ඇතැම් තොරතුරු මාධ්‍ය මගින් දකින අපට මෙවැනි ඝාතන මහින්ද රෙජීමය/දෘෂ්ටිවාදය යටතේම සිදු වූ ඒවා බව පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකිය. ප්‍රගීත් ඝාතනය සම්බන්ධයෙන් මට නම් ප්‍රගීත් මරා දැමීමටත් වඩා කණගාටු දනවන කාරණය නම්, මෙම ඝාතනය ඍජුවම යුධ හමුදාවේ මෙහෙයවීම මත සිදු වූ එකක් බව ගම්‍ය වන පුවත් රැසක්ම පසුගිය කාලය පුරාවට වාර්තා වීමයි. මන්ද, මහින්ද වැනි මැරයෙකු නැවත බලයට පත්වුවහොත් තවත් ප්‍රගීත්ලා රැසක්ම ඉදිරියේදීද බිහිවනු ඇති බවට කදිම සහතිකයක් ඉන් ලැබෙයි!

විශේෂයෙන්ම, යුද-ජයග්‍රහණ කතිකාව නමැති සන්දර්භය තුළ මේ තත්ත්වය අර්ථවත් වන්නේ වෙනස්ම ආකාරයකටය. හමුදාවෙන් ප්‍රගීත්ව මරා දැමුවාද යන ප්‍රශ්නයම පවා ඇතැම් අය තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ ‘තිස් වසක සාපලත් යුද්ධය නිමාකර රටට සාමය ගෙන දුන් මුර දේවතාවන් අධිකරණයට ගෙන යාමේ කොටි හිතවාදී’ ප්‍රයත්නයක් ලෙසයි. ලංකාවේ හමුදාවල දක්ෂතාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැතත්, එම දක්ෂතා නිසා ඇති වන පැහැදීම දේවත්වයක් තරමට ඔඩුදුවන්නට ඉඩ හැරීමෙන් සිදු වන්නේ ‘අකීකරු පුරවැසියන්’ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ පරම අයිතිය ඔවුන් වෙත පැවරීමට අප කැමතිය වැනි අදහසක්ද සන්නිවේදනය වීමයි. ඇත්තෙන්ම, මෙහි සිදුව ඇත්තේද එයයි.

ප්‍රගීත් ඝාතනය සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් පිරිසකගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානම් බව පුවත් මගින් වාර්තා වූ සැණින් ඇතැම් අය එකහෙළාම ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර විමල් වීරවංසගේ ලංකා සී නිවුස් ඊ-කැළෑ පත්තරය වැනි මාධ්‍යවල ලොකු අකුරින් ‘ප්‍රගීත් කොටින්ට ඔත්තු සපයා ඇත’ යන අදහස ගම්‍ය වන පුවත් පළ විය. හමුදාවේ මැදහත්වීම මත ඔහුව පැහැරගෙන ගොස් මරා දමන්නට ඇත යන සාධාරණ සැකය මතු වූ විට ඊට එරෙහිර ප්‍රති-තර්කනය ලෙස මේ අය යොදා ගත්තේ මෙයයි. මෙයින්ද, යළි යළිත් පෙනී යන්නේ යුධ මානසිකත්වයෙන් අප තවමත් ගැලවී නොමැති බව නොවේද?

හමුදාවෙන් ප්‍රශ්න කිරීම වැරදි බව ඇතැම් අය කියන්නේ එවිට ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක්’ ඇති විය හැක යන අනියත බියට රැවටීමෙනි. මොවුන්ගේ තර්කවලට අනුව, ජාතික වශයෙන් වැදගත් කරුණු ගැනද ඇවිස්සීමට සිදු වන නිසා එය වැරදි පූර්වාදර්ශයක් විය හැක. එහෙත්, හමුදාව ඔය කියන තරම් ‘සුදු’ නම් සහ ජාතික ආරක්ෂාව (හුදෙක්ම මෙයින් අදහස් වන්නේ පුරවැසියාගේ ආරක්ෂාව නොවේද?) වෙනුවෙන් දැඩි ලෙස කැප වී සිටී නම්, හමුදාවේ ඇතැම් අයගේ සහභාගීත්වයෙන් මැර ක්‍රියා සිදු වී ඇතිද යන වග පරීක්ෂා කොට කැළැල් වසා ගැනීමට කැමති විය යුතුය.

හමුදාවට එරෙහි හෝ හමුදාව පිළිබඳ පරීක්ෂණ යන සන්දර්භයේදී අමතක කළ නොහැකි තවත් කරුණක් තිබේ. එනම්, දේශපාලනඥයන්ට යම් සම්බන්ධයක් ඇති අන් සෑම සිදුවීමකදී මෙන් ප්‍රගීත් ඝාතනය, යුධ අපරාධ වැනි සිදුවීම්වලට අදාළ පරීක්ෂණ පැවැත්වීමේදී ඒවා හුදෙක් හමුදා‍වට පමණක් පැටවීමෙන් ඔබ්බට ගොස් එම ක්‍රියා මෙහෙයවන දේශපාලනික හස්තයන්ද කරළියට ගෙන ආ යුතුය. ප්‍රගීත් ඝාතනය, තාජුඩීන් ඝාතනය ඇතුළු සිදුවීම් ගැන මට මෙන්ම බොහෝ දෙනාටද ඇත්තේ මෙම උපකල්පනයයි: ‘යම් දිනෙක පරීක්ෂණ අවසන් වනු ඇත. පීඑස්ඩී එකේ හෝ හමුදාවේ පිරිසක් වැරදිකරුවන් වනු ඇත. එහෙත්, එම ඝාතන පසුපස සිටි බවට ප්‍රසිද්ධ වී ඇති අර අහවළුන් නිදහසේ කල් හරිනු ඇත.’ මන්ද, යහපාලන ආණ්ඩුවේ කෙරුමන් බෝහෝ දෙනෙකුම මහින්ද රෙජීමයේද නම් දැරූ කෙරුමන් බව අප දන්නා හෙයිනි!

යුධ අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව නැවතත් කරළියට පැමිණ ඇති මේ මොහොතේ අප පිළිගත යුතු ඇත්ත වන්නේ යුද්ධය ඇත්තටම දිනුවේ මහින්දත්, මහින්දගේ රස්තියාදුකාර හෙංචයියන් නඩයත් (පොදුවේ ”මහින්ද දෘෂ්ටිවාදයත්”) මිස පුරවැසියන් වන “අපි” නොවන බවයි.

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    [Edited out]

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.