30 May, 2023

Blog

අනුර යාපා, ගෙදර යන්න! ඔබ අසමත්

එරන්ද ගිනිගේ

එරන්ද ගිනිගේ

අනුර යාපා,

අහිංසක දරුවෝ ගිලී මියැදුණේ ගං වතුරට නොවේ, ඔබේ පිටාර ගලන නොසැලකිලිමත් කමටයි. ඒ පුංචි උන් යට වුනේ පස් කන්දකට නොවේ, ඔබේ කරුමක්කාර නොහැකියාවටයි. දරු-පැටව් අනාථ වුනේ වැස්සට නොවේ, ඔබේ අප්‍රමාණ අසමත්කම නිසයි. ආපදා කළමනාකරණය කිරීමට බැඳී සිටින ඔබත් ඔබේ අමාත්‍යංශයත් අසමත්. අන්ත අසමත්.

රටේ පාලකයන්ට මේ දුප්පත් අහිංසක ජනතාවගේ ජිවිත මෙතරම් නොවැදගත්ද? “යහපාලකයන්ගේ වැරදි දුටු තැන හරිගස්වමියි” පාරම් බෑ මිනිසුන් කෝ? අවදිවව්, ඔය හොර නින්දෙන්. නහයටත් උඩින් වතුර ගලල ඉවරයි. තවත් බලා සිටින්නේ කුමටද? මේ අපරාධයට වග කිව යුතු මිනිසා, එනම් තම රාජකාරිය අත්හල අනුර ප්‍රියදර්ශන යාපා නමැති ආපදා කළමනාකරණ ඇමතිට වහාම ඉල්ලා අස්වෙන්න කියන්න. ඒ වැඩේ හරියට කරන්න පුළුවන් මිනිහෙක්ට වැඩේ බාරදීලා, දෙයියන්ගේ නාමෙට ගෙදර යන්න කියන්න.

අනුර, අවුරුද්දක් තිස්සේ ඔයා පොල් ගෑවද?

ගිය අවුරුද්දේ ගං වතුර ගලල දවස් 365 ක් වෙනවා. මුළු අවුරුද්දක් තිස්සේ ඔබ මොනවාද කළේ, අනුර? හැම අවුරුද්දෙම මැයි මාසේ වහින මෝසම් වැස්සට සූදානම් වෙන්න ඔබට බැරි උනා. ඔබේ අමාත්‍යංශය සහ අනුබද්ධ දෙපාර්තමේන්තු සංවිධානය කරන්න ඔබට බැරි උනා. අනෙකුත් අදාල අමාත්‍යංශ සමග සම්බන්ධීකරණය කරන්න ඔබට බැරි උනා. ඓතිහාසික කාලගුණික දත්ත විශ්ලේෂණය කරන්න ඔබට බැරි උනා. ජලය ගලා බසින භූගෝලිය තත්ත්වයන් විශ්ලේෂණය කරන්න ඔබට බැරි උනා. ඒ අනුව අනතුරුදායක කලාප හඳුනාගන්න ඔබට බැරි උනා. නරකම තත්ත්වය ඇති වුනොත් ක්‍රියාත්මක කළ යුතු සැලසුම් හදන්න ඔබට බැරි උනා.

ඔබේ මාසික පඩිය ගෙවන දුප්පත් මිනිස්සුන්ට ළඟ එන ඛේදවාචකය දැනුම් දෙන්න ඔබට බැරි උනා. ඒ ඔබේ රටේ මිනිස්සු, ඒ ඔබට කතිරය ගහපු මිනිස්සු, ඒ ඔබ ඇමතිකං කරන මේ රටේම මිනිස්සු නේද, අනුර? දහස් ගණන් රජයේ නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, කලාප, දිස්ත්‍රික්, පළාත් පාලන ආයතන වල සේවකයන්, සහ පොලීසිය අවශ්‍යම මොහෙතේදී, අවශ්‍යම තැනදී ක්‍රියාත්මක කරන්න ඔබට බැරි උනා. ඒ අහිංසක මිනිස්සු ටික ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරන්න ඔබට බැරි උනා. ඉවත් කරනවා තියා, ඉවත්කළ යුතු ආරක්‍ෂිත ස්ථාන පිහිටුවන්නවත් ඔබට බැරි උනා. “යන්න-යන්න” කිව්වට ඒ මිනිස්සු කොහේ යන්නද, අනුර? ඒ මිනිස්සුන්ට යන්න තැන් හැදුවද, අනුර? ලවුඩ් ස්පීකරෙන් “යන්න-යන්න” කියන්න විතරක් නම් ඒකට වෙනම ඇමතියෙක් මොකටද, අනුර? ඔබ මොන ජාතියේ ආපදා කළමනාකරණ ඇමතියෙක්ද, අනුර?

හදිසි තත්තවයකදී ක්‍රියාත්මක වීමට ඉස්පිරිතාලවලට අවශ්‍ය බෙහෙත්, දොස්තරවරු, හෙදියන්, සහායකවරුන් සූදානම් කරන්න ඔබට බැරි උනා. සහන කඳවුරු වලට අවශ්‍ය ආහාර-පාන, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සම්පාදනය කරන්න ඔබට බැරි උනා. අඩුම ගානේ නිශ්චිත සහන කඳුවරු පිහිටුවන්නවත් ඔබට බැරි උනා. කාලගුණය නිරීක්ෂණය කිරීමටත්, ජල මට්ටම නිරීක්ෂණය කිරීමටත් හැකි නූතන තාක්ෂණික පද්ධතියක් හදන්න ඔබට බැරි උනා. බිම් මට්ටමේ තත්-කාලින තොරතුරු ලබාගැනීමටත්, නිරීක්ෂණය කිරීමටත්, ප්‍රතිචාර දැක්වීමටත් හැකියාව ඇති ක්‍රමවේදයක් හදන්න ඔබට බැරි උනා. පෞද්ගලික සහ රජයේ සහන සේවා කඩිනමින්, ක්‍රමවත්ව, සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි සංවිධානයක් හදන්න ඔබට බැරි උනා. ඔබට බැරි උනා, අනුර. ඔබට බැරි උනා. අඩුම තරමින් ඔබේ වෙබ් අඩවිය වත් හරියට හදා ගන්න බැරි උනා. ඔබේ අමාත්‍යංශයත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් අන්ද-මන්ද උනා. එච්චරයි උනේ.

අනුර, මෙක්සිකෝව, ලංකාවට වැඩිය ලොකුද?

තමන්ගේ රටේ මහා විශාල ආපදා තත්ත්වයක් ඇතිවී තිබෙන විට, මෙක්සිකෝවේ සම්මේලනයක ආපදා වැළැක්වීම පිළිබඳ දේශනයක් පවත්වන ඇමතිවරයෙක් කුමනාකාරයේ ඇමතියෙක්ද, අනුර? ඔබේ රටේ එනම් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය කිරීම සඳහා පත් කර ඇති උසස්ම නිලධාරියා ඔබයි. ඔබේ ප්‍රමුඛතාවය විය යුත්තේ ඔබේ රටත්, එහි වැසියනුත් පමණයි. අනතුර දැනගත් සැනින් ආපසු හැරී, පළමුවෙන්ම ඇති ගුවන් යානයේ නැගී ඔබේ රටට ඔබ ආ යුතුව තිබුනා, අනුර. මැයි මාසයේ වහින බව දැන දැනත් ඔබ ඔය සමුළුව අමතන්න එකඟ වීමම කොතරම් අශික්ෂිතද?

අර කලින් කී කිසිවක් කර ගන්න බැරි වූ ඔබ, ආපදා වැළැක්වීම ගැන මොන අපබ්‍රංශ දේශනාවක් කරාද, අනුර? සමුළුව සංවිධානය කළ ඔලමොට්ටලයන් ඔබට ආරාධනා කළේ කුමන නම් අහේතුවකටද? අනුර, ඔබ ලජ්ජා විය යුතුයි. අවශ්‍යම මොහොතේ ඔබට ඔබේ අමාත්‍යංශයට නායකත්වය දෙන්න බැරි වීම ගැන ඔබ ලජ්ජා විය යුතුයි. තමන්ගේ රටේ මිනිස්සුන්ගේ දුක්බර මුහුණු බලන්න, සමුහ මිනිපෙට්ටිවලට ආචාර කරන්න, අඩුම ගානේ තමන්ගේ ශෝකය ප්‍රකාශ කරලා දුරකථන පණිවුඩයක් එවන්න බැරි වීම ගැන ඔබ ලජ්ජා විය යුතුයි.

ඒ විකාර දේශනාව කරනකොට ඔබේ උගුර වේලුනාද, අනුර? වචන ගොත ගැහුනද, අනුර? ඔබේ දෙපා වෙව්ලුවද, අනුර? ඔබේ අතින් කොල ටික හැලුනද, අනුර? ලේකම් ලියල දීපු ටික කියවනකොට ඔබේ ඇස් දෙක බොඳ වුනාද, අනුර? නෑ නේද, අනුර? සෙල්ෆිය නම් ගැහැව්වා නේද, අනුර?

අනුර, වහාම ඉල්ලා අස්වෙන්න. වැඩේ කරන්න පුළුවන් මිනිහෙක්ට දෙන්න.

අනුර, ඔබ ඔය කියන යහපාලන රජයේ ඇමැත්තෙක්. යහපාලනය නම්, ඔබ දැන් කළ යුතු වන්නේ ඔබේ අසමත්කමට මහජනතාවගෙන් සමාව ඉල්ලා, වහාම ඇමැතිකමින් ඉල්ලා අස්වීමයි. වගකීම සහ වගවීම යනු එයයි. අපේ රටේ මිනිස්සු විඳෙව්වා ඇති, අනුර. සාපලත් අවුරුදු 30 ක් තිස්සේ මේ රටේ දරුවෝ මැරුණා, අනුර. ගැහැණු-මිනිස්සු මැරුණා, අනුර. මේ රටේ මිනිස්සුන්ට මීට වඩා හොඳ නායකයන් ලැබිය යුතුයි, අනුර. තමන්ගේ රාජකාරිය දේවකාරියටත් වඩා ඉහලින් සලකන නායකයෝ අපට හිමි විය යුතුයි, අනුර. මොකද අපි ඒ වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි උදේ-හවස වන්දි ගෙවනවා. ඔබේ පඩිය ගෙවන්නේ අපේ සල්ලි වලින්, අනුර. ඔබ කන්නේ, අපේ සල්ලි වලින්. ඔබ පදවන වාහන වලට ගෙවන්නේ මේ රටේ මිනිස්සු. අපට අවශ්‍ය ඔබ ඔබේ රාජකාරිය කිරීම පමණයි. ඒක එච්චර අමාරු දෙයක්ද, අනුර? පොදු ජනතා වගකීම් පැහැර හැරි නුඹලා වැන්නවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වන දිනක් පැමිණේවි.

නමුත් එතෙක් අපට මෙවැනි අපරාධ සිදුවන තෙක් බලා සිටිය නොහැක. අප අද ජිවත් වන 21වන ශතවර්ෂයේ කාලගුණය නිරීක්ෂණය කිරීමටත් එමගින් අනාගතයේ සිදු විය හැකි තත්ත්වයන් පිළිබඳව නිවැරදි පුරෝකථනයන් කිරීමටත් හැකි තාක්ෂණය, මෙවලම් සහ ක්‍රමවේදයන් බිහිවී තිබේ. ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති 19 වැනි ශතවර්ෂයේ යල්පැනගිය ක්‍රම-සහ-විධි, පුස් කාපු කාලගුණ විද්‍යාඥයින් සහ ඔවුන්ගේ එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති හිස් කාලගුණ නිවේදන වලින් අපට පලක් නැත. ආපදා කළමනාකරණය යනු සෙල්ලමක් නොවේ. එය විද්‍යානුකූලව සිදුකළ යුතු, පසුක්‍රියාවට වඩා පෙරක්‍රියාව මූලික වන, බැරෑරුම් කාර්යයකි. ඒ සඳහා මනා කළමනාකාරිත්වයක් අවශ්‍ය වේ. ඒ සියල්ල නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සැබෑ නායකත්වයක් අත්‍යවශ්‍ය වේ. ඔබටත් ඔබේ කණ්ඩායමටත් එය නැති බව ඔබට තේරෙනවද, අනුර?

ඔය වැඩේ හරියට කරන්න පුළුවන් මිනිහෙක් අපට ඕනෑ, අනුර. අපට ඔහු හෝ ඇයගේ පක්ෂය, ජාතිය, ආගම, කුළය, පාසැල, විශ්වවිද්‍යාලය කුමක් වුවත් ප්‍රශ්නයක් නැත. අපට අවශ්‍ය දැනුම, කුසලතාවය, සහ වැදගත්ම දෙය වන රටේ ආපදා කළමනාකරණය කිරීමට ඇති දැඩි උනන්දුව පමණි. ආපදා කළමනාකරණයට ඔබ වැනි වයස්ගත මිනිසුන් නුසුදුසය. ඒ සඳහා තරුණ, ජව-සම්පන්න, උගත්-බුද්ධිමත්, නූතන-තාක්ෂණය හඳුනන 21 වන ශතවර්ෂයේ කාලගුණය සහ ආපදා හඳුනන මිනිසෙක් අපට අවශ්‍යයි. ඒ සියල්ලටම වඩා තමන්ගේ රටේ, තමන්ගේ මිනිස්සුන්ගේ ආපදාවකදී උන්ගේ දුක දැනෙන, උන්ගේ දුක අසන්නට හැකි මිනිසෙක් අපට අවශ්‍යයි.

මියැදුණු… නැත… බේරාගත හැකිව තිබූ නමුත්, ඔබේ නොසැලකිල්ල, නොහැකියාව සහ අසමත්කම නිසා මියගිය ඒ කුඩා දරුවන්ගේ නාමයෙන් වහාම ඉල්ලා අස්වෙන්න, අනුර. අස් වෙලා ගෙදර බැරිනම්, මෙක්සිකෝවට යන්න.

කලකිරුණු පුරවැසියා,
එරන්ද ගිනිගේ

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.