26 April, 2024

Blog

ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව

මංගල සමරවීර

මංගල සමරවීර

මංගල සමරවීර

ශ්‍රී ලාංකික ජනතාව නිරන්තරයෙන්ම බාහිර ලෝකය දෙස නෙත් යොමු කරමින්, ලොව අන් රටවලින් අඛණ්ඩව එල්ලවූ බලපෑම් උපේක්ෂා සහගතව දරාගනිමින් ලොව වෙනත් රටවල් සමඟ සබඳතා පවත්වා ගෙන ගිය බවට වසර දහස් ගණනක් ආපස්සට දිවයන අපගේ ඉතිහාසය සාක්ෂි දරයි.

1948 වසරේදී නිදහස ලැබීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව ලොව අන් රටවල් සමඟ දිගින් දිගටම සබඳතා පවත්වාගෙන ගිය අතර “කිසිවෙකුටත් වෛර නොකරමින් සියල්ලන් සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කිරීම” පදනම් කරගත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මඟින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දී තිබේ.

සාගර නීතිය පිළිබඳ සමුළුව, නිරායුධකරණය සහ මානව හිමිකම් ඇතුළුව සම්මතයන් සැකසීමේ ක්‍රියාවලියේදී පෙරමුණු ගනිමින් සහ වර්තමානයේ සාමසාධක කටයුතු සඳහා අඛණ්ඩව දායකත්වය ලබාදෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ කටයුතු වලට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් දායකත්වය ලබාදී තිබේ.

එහෙයින්, වසර කීපයක සිට මෙම සම්ප්‍රදායානුකූල විදේශ ප්‍රතිපත්තියෙන් බැහැරවී කටයුතු කිරීම ශ්‍රී ලංකාවට ලාක්ෂණික නොවන්නක් වන අතර එය සම්මතයෙන් බැහැරවී කටයුතු කිරීමක් ලෙස වඩාත් හොඳින් විස්තර කළ හැකිය. ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු සිදුකරන ආකාරය අලුත් මඟකට යොමුකිරීමට අපේක්ෂා කරයි.

මම හෙට රාජ්‍ය ලේකම්වරයා හමුවූ විට ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලෙන ලෙස ආරාධනා කිරීමට අපේක්ෂා කරමි.

එහෙයින්, සිරිසේන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මැතිතුමාගේ රජය, අලුත් මඟකට යොමුවෙමින්, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. අපි, අප වෙත එල්ලවූ තර්ජනයක් ලෙස නොව අප වෙත ලද ඉඩප්‍රස්ථාවක් ලෙස ලොව දෙස බලන්නෙමු. ලොව අන් රටවල් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා ලබාදෙන ඉතාම උසස් දෙය ලබාගැනීමට හැකිවන පරිදි අපි, එම රටවල් සමඟ කටයුතු කරන්නෙමු. අපගේ විදේශ ප්‍රතිපත්තිය, අපගේ ජනතාවගේ අවශ්‍යතා පදනම් කරගත්, න්‍යායන් මත පදනම් නොවී ප්‍රායෝගික හා බුද්ධිගෝචර ආකාරයකින් ගැටලු පිළිබඳව සලකා බලන විදේශ ප්‍රතිපත්තියකි.

ප්‍රතිඥා දී ඇති ආකාරයට එහි දින 100 යේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී, හා ලොව අන් රටවල් සමඟ නව මාවතකට යොමුවෙමින් කටයුතු කිරීම සඳහා ප්‍රයත්න යෙදීමේදී රජයට, ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය, හවුල්කාරිත්වය සහ අවබෝධය අවශ්‍ය වෙයි.

පළමුවෙන්ම, අප රට දැක බලාගැනීමට පැමිණෙන මෙන් ඔබ සියලු දෙනා වෙත ආරාධනා කරමි. ඓතිහාසික වශයෙන් වැදගත් වන මෙම සුවිශේෂී අවස්ථාවේදී අපගේ කථාව ලොව අන් රටවල් සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවීමට අප හා එක්වන්න.

දෙවනුව, වෙළඳාම හා ආයෝජන වර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවට සහාය දක්වන්න. ශ්‍රී ලංකාවේ නිර්මාණයවී ඇති නව ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ආයෝජන සිදුකරන මෙන් ඔබගේ ව්‍යවසායකයන් දිරිමත් කරන්න. රටේ ආර්ථික තත්ත්වයට සහනයක් සැලසීම සඳහා රැකියා උත්පාදනය ඉතා වැදගත්ය. වැඩිදියුණු කළ වෙළඳ හා ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවේ තිරසාර වර්ධනයට, සාමයට හා සංවර්ධනයට අතිශයින් වැදගත් වන ප්‍රතිසංධාන ක්‍රියාවලිය සඳහා උපකාරීවන මෙන්ම එහි සාර්ථකත්වය තහවුරු කරන වැදගත් සාධකයන්ය.

තෙවනුව, මානව හිමිකම් ප්‍රජාව ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාවට ඉවසිලිමත්ව සිටින ලෙස මම අයැද සිටිමි. මෙම අවධිය ඉතා සියුම් සංක්‍රාන්ති කාලයකි. සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂාව තහවුරු කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා නීතියේ ස්වාධිපත්‍යය ශක්තිමත් කිරීම කරා යන ගමන සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ඇපකැපවී සිටී.

නමුත් මෙය, මෙම ගමනේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන දේශපාලන පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගිත්වය සහිත සංවේදී ක්‍රියාවලියක් බව ද සිහිතබා ගන්න. මෙම ගමන් මග වෙනස් අතකට යොමු කිරීමේ අවශ්‍යතාවන් සහිත ඇතැම් අන්තවාදී කොටස් රට තුළ මෙන්ම රටෙන් පිටතද සිටින බව පැහැදිලිව පෙනී යන කරුණකි. එහෙයින්, ජාතික ප්‍රතිසංධානය හා ප්‍රතිසංස්කරණ කටයුතු, ආයතනික සංවර්ධනය හා සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් නැවත ගොඩනගා ගැනීමේ මෙම ගමන සඳහා අපට සහාය ලබාදෙන අතර ඒ සඳහා කාලය හා අවකාශය අප වෙත ලබාදෙන මෙන්ද මම ඉල්ලා සිටිමි.

අවසාන වශයෙන්, අපගේ කථාවෙන් අර්ථාන්විත යමක් උකහා ගත හැකි අයට, එමගින් දිරිගැන්වීමක් ලබා ගතහැකි අයට, විශේෂයෙන්ම ආරවුල්, අපගේ රටේද සදාකාලිකවම නැවත නැවත සිදුවීමට දෛවයෙන් නියමවී තිබිණැයි නොබෝ කලකට ඉහත අපද විශ්වාස කළ තත්ත්වයන්, ඒකාධිපතිවාදයට හෝ සිවිල් අරගලවලට මැදිවී, එම තත්ත්වයන් වෙනස් කළ නොහැකි බව අපේක්ෂා භංගත්වයට පත් රාජ්‍යයන්ට අපේ කථාව පවසන්න. ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද බලය පිළිබඳ විශ්වාසය අහිමිවූවන්ට අපගේ කථාව පවසන්න. ඔවුන් අපේක්ෂා භංගත්වයට පත් නොවිය යුතුය.

*Sinhala Extracts of Foreign Minister address at Carnegie Endowment – read the full speech here

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.