19 September, 2020

Blog

විශාලතම වෙනස ඇති වන්නේ මැතිවරණ තුළිනි

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මේ අවස්ථාවේ ප‍්‍රමුඛත්වයක් කොට සළකන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කොට තිබේ. මේ සංශෝධනය හරහා අපේක්ෂා කරන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් කේවල මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමය යටතේ තෝරා පත්කර ගන්නා අතරේ, පොදුවේ සමානුපාතික නියෝජන ක‍්‍රමයක්ද පවත්වා ගැනෙන නව ඡන්ද ක‍්‍රමයක් ඇති කර ගැනීමයි. දැනට පවතින මනාප ක‍්‍රමය සහිත සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ පවත්වන ලද මැතිවරණවල අත්දැකීම් ඉතා නීරස ය. දිස්ත‍්‍රික්කයක් තරම් විශාල වන ප‍්‍රදේශයක ඡන්ද කටයුතු කිරීම සඳහා විශාල ධනයක් වැය කිරීමට එම ක‍්‍රමය යටතේ අපේක්ෂකයන්ට සිදුවන අතරේ, වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට පත්වීම සඳහා එකම පක්ෂය ඇතුළේ කුලල් කා ගැනීමටත් අපේක්ෂකයන්ට සිදුවිය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ප‍්‍රකාශනයේ ප‍්‍රධාන පොරොන්දුවක් වුණේ මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. ඊට අමතරව, ව්‍යවස්ථා සංශෝධන යටතේ ජනාධිපතිවරයාගේ සෘජු බලතල අඩු කිරීම එක පැත්තකින්ද, අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය සහ මැතිවරණ කොමිසම වැනි වැදගත් ස්ථානවලට කෙරෙන පත්වීම් සඳහා කෙරෙන දේශපාලනික ඇඟිලි ගැසීම් නතර කරනු වස්, එම පත්වීම් අධීක්ෂණය කෙරෙන නිර්-පාක්ෂික ‘ව්‍යවස්ථා සභාවක්’ පත්කිරීම තවත් පැත්තකින්ද තිබුණි. ඒ සඳහා වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ගැන ආණ්ඩුව ඉමහත් ප‍්‍රශංසාවට ලක්වෙයි.

කෙසේ වෙතත්, එම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පහසු නොවීය. ඊට අදාළ තීරණවලට එළැඹීමේදී, බොහෝ අදහස් උදහස්ද, විවිධ පාක්ෂික අවශ්‍යතාද පැනනැගුණි. එය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය කළ තුනෙන් දෙකේ ඡන්දයත් ඊට හිමි නොවෙතැයි යන සැකයක්ද වරෙක තිබුණි. අවසානයේදි එය සාර්ථකව සම්මත කරගත හැකි වුණේ, වර්තමාන ආණ්ඩුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර තිබූ සහවාසය නිසාවෙනි. ඔවුන් දෙන්නාට තම තමන්ගේ පක්ෂවල අනුමැතිය ඒ සඳහා ලබා ගැනීමට හැකි විය. එම දේශපාලනික ආකෘතියම තවමත් පවතින නිසා, 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමටත් එවැනිම සහායක් ලැබිය හැකැයි යන අපේක්ෂාවක් රඳවා ගැනීමේ හැකියාව තිබේ.

අවාසනාවට, කාලය ගතවීමත් සමග, ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර පවතින විරසකය වැඩි වී ඇතිවා මිස අඩු වී ඇති සෙයක් නොපෙනේ. එසේ හෙයින් 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ අවකාශය තවත් පටු වී ඇත. ජනාධිපතිවරණ ප‍්‍රකාශනයේ එක් අංගයක් වූ, ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, 20 වැනි සංශෝධනය හේතුවෙන් කල් දැමීම එක්සත් ජාතික පක්ෂයට රුස්සන්නේ නැත. අනිත් අතට විපක්ෂය සිතන්නේ, වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැකි තාක් කල් දමා ගැනීම තමන්ට වාසියක් වෙතැයි කියා ය. ඔවුන් එසේ සිතන්නේ, එක පැත්තකින්, ඉදිරි මැතිවරණයකින් නැවත බලයට පත්වීමට තමන්ට නොහැකි වෙතැයි යන ඔවුන් තුළ පවතින සැකයත්, අනිත් පැත්තෙන්, කල් යන තරමට වර්තමාන ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය හීන වෙතියි යන අපේක්ෂාවත් නිසා ය. එබැවින් ඔවුන්ගේ අවශ්‍යතාව පිරිමැසෙන්නේ, පාර්ලිමේන්තු මැතිවරණය හැකි තාක් කල් දමා ගන්නා තරමටයි.

වේගය බාල වීම

මෛත‍්‍රීපාල සිරිසේනගේ අපේක්ෂකත්වය වෙනුවෙන් පෙනී සිටි දේශපාලනික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනය තුළ දින 100 වැඩ සටහනකට මූලිකත්වය ලැබුණු අතර, එම දින 100 අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයක් කැඳවන බව සඳහන් විය. දැන් දින 150 ක්ද ගතවී ඇති නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව දුවන්නේ අසීරුවෙන් බව පෙනෙන්ට තිබේ. මන්ත‍්‍රීවරුන් 225 ක් සිටින පාර්ලිමේන්තුවක, මන්ත‍්‍රීවරුන් 126 ක විපක්ෂයක් ඉදිරියේ, ආසන 43 ක් පමණක් ඇති පක්ෂයකට ආණ්ඩුවක් ගෙන යාම පහසු නැත. එහි ප‍්‍රතිවිපාක දැන් දැන් ඉස්මතු වෙයි. ආණ්ඩුවේ එන්ජිම ඉතා කුඩා ය. පාරේද වළ ගොඩැලි ඇති විට, විශාල බරක් ඇදීම එම ඇන්ජිමට කොහෙත්ම පහසු කාර්යයක් නොවේ.

Ranil maithri19 වැනි සංශෝධනය යටතේ පත්කිරීමට නියමිතව තිබූ ‘ව්‍යවස්ථා සභාව’ පත්කිරීමට යාමේදී සිදුවූ අලකලංචියෙන් එය මනාව පෙනුණි. අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය සහ මැතිවරණ කොමිසම වැනි වැදගත් ආයතනවල නිර්-පාක්ෂික භාවය සහතික කෙරෙන සහ ඒවායේ ස්වාධීන්ත්වය ආරක්ෂා කෙරෙන පරිදි ඒවාට පුද්ගලයන් පත්කිරීමේ බලය පැවරෙන වඩාත් ගෞරවාන්විත සහ වඩාත් වැදගත් ආයතනය වන්නේ මේ ‘ව්‍යවස්ථා සභාවයි’. 19 වැනි සංශෝධනය ප‍්‍රකාරව, මේ ‘ව්‍යවස්ථා සභාවට’ සාමාජිකයන් පත්කිරීමේ මූලික වගකීම පැවරෙන්නේ, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාටයි. එහිදී කුඩා පක්ෂවල සහභාගීත්වයද ලබා ගැනේ.

ඒ සඳහා කෙරෙන පත්කිරීම් නිසියාකාරයෙන් සිදුවීමට යන බවක් මීට දෙසතියකට කලින් පෙනෙන්ට තිබුණි. ඒ සඳහා යෝජිත නම්ද ප‍්‍රකාශයට පත්කොට තිබුණි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ තේරීම පාර්ලිමේන්තුව මගින් අනුමත කොට නැත. එහි ප‍්‍රතිඵලය වන්නේ, ඒ සභාව මගින් පත්වීම් කළ යුතු වෙනත් ආයතනද අකර්මණ්‍ය වීමයි. අල්ලස් හෝ දූෂණ කොමිසම ඊට උදාහරණයකි. දැනට විපක්ෂයේ සිටින හිටපු රජයේ බොහෝ පුද්ගලයන්ට එරෙහිව මේ කොමිසම ඉදිරියට පැමිණි අනේක චෝදනා පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප‍්‍රසිද්ධියට පත්විය. එම කොමිසමේ එක් සාමාජිකයෙකු පසුගිය දා ඉල්ලා අස්විය. ‘ව්‍යවස්ථා සභාව’ ස්ථාපනය වි නැති නිසා, එම පුරප්පාඩුව පිරවීමේ හැකියාවක් දැන් නැත. ඒ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම අළුත් පැමිණිලි භාර ගැනීමට නොහැකිව සිටී.

සාධනීය වෙනස

ආණ්ඩුව මුහුණදෙන මේ ඌනතාව රාජ්‍ය ආයතනවලට පමණක් සීමා නොවේ. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති කෙරෙහිද එය බලපායි. බහුතරයකින් සැදුම්ලත් විපක්ෂය සහයෝගය නොදක්වතොත්, ව්‍යවස්ථා සම්පාදනය කර ගැනීමේ හැකියාවක් සුළුතර ආණ්ඩුවට නොලැබෙයි. පාලක පක්ෂය දුර්වල කිරීමේ වුවමනාවෙන් පෙළෙන, ඒ මගින් පාලක පක්ෂයේ අකාර්යක්ෂමතාව හෙළිදරව් කිරීමේ ආශාවෙන් පෙළෙන විපක්ෂයක්, ආණ්ඩුවට සහයෝගයක් දැක්වීමට තරම් උනන්දු නොවෙයි. ආණ්ඩුකරණයේ සෑම ක්ෂේත‍්‍රයක් කෙරෙහිම ඒ මගින් ඇති කරන්නේ නිෂේධාත්මක බලපෑමකි. ආර්ථිකයත් ඒ බලපෑමට හසු වෙයි. පැවති ආණ්ඩුව වෙනස් කිරීමෙන් අපේක්ෂා කළ ආර්ථික ප‍්‍රතිලාභ තවම රටට ලැබී නැත.

ආණ්ඩුව වර්තමානයේ එක තැන සිර වී සිටීම නිසා සිවිල් සමාජ ව්‍යාපාර නියෝජනය කරන කොටස් වහා පාර්ලිමේන්තුව විසිරුවා හරින්නැයි ඉල්ලා තිබේ. ඔවුන් ප‍්‍රකාශ කොට ඇති පරිදි, ‘‘අර්බුදකාරී තත්වයක් සහ අස්ථාවර තත්වයක් පිළිබඳ හැඟීමක් කෙමෙන් ලියලමින් තිබේ. එවැනි තත්වයක් දිග් ගැස්සීමට ඉඩ දිය යුතු නැත. පැහැදිළි දේශපාලනික දිශානතියක් නැති කම, රටේ ආර්ථිකයට හානියකි. ජනවාරියේ ඇති වූ ආණ්ඩු පෙරලිය තුළ උපන් අපේක්ෂා සහ අභිලාෂයන් වන්නේ, දුන් පොරොන්දු ඉටු කරනු දැකීමත්, විශේෂයෙන් බලතල බෙදාහැරීම සහ බලතල බෙදාහදා ගැනීමට අදාළ ප‍්‍රතිසංස්කරණවල වර්ධනයක් දැකීමත් ය. ඒ පිළිබඳ නිරවුල් භාවයක් තිබිය යුතුය. එබැවින්, දැනටමත් ආරම්භ කෙරී ඇති ප‍්‍රතිසංස්කරණ ගැන ජනතා මතය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා සේම, ඉදිරි පස් වසර තුළ ආණ්ඩුවේ දිශානතිය සඳහා වන ජනවරම සැපයීම සඳහාද අවස්ථාවක් ලබා දෙනු වස්, පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට කාලය එළැඹ තිබේ.’’

නව මැතිවරණ ක‍්‍රමයක් සකසා ගැනීම සඳහා සෑහෙන වැඩ කොටසක් කෙරි ඇති අතර ඒ පිළිබඳ පැවති ප‍්‍රතිවිරෝධී අදහස් පිළිබඳ අතරමැද සමථයන් ඇති කර ගැනීමටත් හැකි වී තිබේ. කුඩා පක්ෂ සහ සුළු වාර්ගික පක්ෂ ඇතුළු බොහෝ කොටස් ඒවා භාර ගැනීමට සූදානම් ය. මේ අවස්ථාවේ අපේක්ෂා කළ හැකි හොඳම දෙය වන්නේ, තවදුරටත් පමා නොවී හැකි ඉක්මණින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අවසාන තීරණයකට පැමිණ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

කෙසේ වෙතත්, ප‍්‍රමුඛ වැදගත් ස්ථානය ලැබිය යුත්තේ, මීට වසර පහකට කලින් පැවති තත්වයන් යටතේ පත්කර ගත් පාර්ලිමේන්තුව වෙනුවට, මේ මොහොතේ පවතින දේශපාලනික යථාර්ථයන් මත පදනම් වන ශක්තිමත් සහ කාර්යසාධක ආණ්ඩුවක් මුලින්ම පිහිටුවා ගැනීමයි. අළුත් පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීම සඳහා පවතින එකී දේශපාලනික ප‍්‍රමුඛත්වය, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය කරන තුනෙන් දෙක සොයා ගැනීම සඳහා කාලය ගැනීමට යට කළ යුතු නැත. අනිත් සියල්ලට වඩා, මැතිවරණයක ඇති වටිනාකමත්, නව ආණ්ඩු නායකත්වයක ඇති අගයත් කෙතෙක්ද යන්න, මුළු රටේම පැවැත්ම පරිවර්තනයකට ලක්කළ, ජනවාරි 8 වැනි දා ආදර්ශයෙන් පෙන්නුම් කෙරුණි.

*2015 ජුනි 8 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Biggest Change Comes Through Elections නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.