25 August, 2019

Blog

ද්විත්ව බලයේ දේශපාලනය

ජයතිලක ද සිල්වා

ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ පුද්ගලයන් කුමන හෝ පක්ෂයක නායකයෙකු හෝ නායිකාවක් වුණි. එහෙත් මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කෙළේ සන්ධානයකින් වුවද, ඒ අවස්ථාවේ ඔහු කිසි පක්ෂයක නායකයෙකු නොවුණු හෙයින්, එදා ඔහු පෙනී සිටියේ පොදුවේ මුළු රටේම ජනතාව වෙනුවෙනි. එපමණක් නොව, වෙනත් පක්ෂයක නායකයෙකුව අගමැති තනතුරට යෝජනා කළ පළමු අවස්ථාවත් එයයි. තවද, තමා ජයග‍්‍රහණය කළොත් අනිත් පක්ෂවලටත් එම අළුත් ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා කරමියි ඔහු පොරොන්දු විය. මේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මේ සියලූ දේවල් අසාමාන්‍ය කාරණා වන්නේය.

ඊට අමතරව, දින 100 වැඩ පිළිවෙලක්ද ඔහු ජනතාව ඉදිරියේ තිබ්බේය. මේ සියල්ලෙන් පෙනී යන්නේ, ජනාධිපතිවරණයෙන් පසු පිහිටුවා ගන්නා ආණ්ඩුව, තනි පක්ෂයක නොව පක්ෂ කිහිපයක ආණ්ඩුවක් විය යුතුව තිබුණු බවයි.

Ranil and Maithriඇත්ත වශයෙන් සිදුවුණේ කුමක්ද? එය සන්ධාන ආණ්ඩුවක් වෙතත්, ජාතික ආණ්ඩුවකැයි ගිණිය හැකි නොවේ. එනිසා, අභිප‍්‍රායයන් සහ ප‍්‍රතිඵල විවිධාකාර මුහුණුවරක් ගැනීමට පටන් ගත්තේය. එක්සත් ජාතික පක්ෂයට අනුව එය ඔවුන්ගේ ආණ්ඩුවක් වශයෙන් සැළකෙන බව, මධ්‍යස්ථ විචාරකයෙකුට පෙනී යන කාරණයකි.

‘පක්ෂයට පෙර, රට’ යන සටන් පාඨය පසුගිය ජනාධිපතිවරණයේ මූලික තේමාව වුවත් ජයග‍්‍රහණයෙන් පසු පෙනෙන්ට ඇත්තේ, එහි ප‍්‍රතිපක්ෂය හිස ඔසවන සෙයකි. වෙන දෙයක් නැතත්, ඇතැම් ඇමතිවරුන් සහ තවත් ඇතැමුන්ගේ ක‍්‍රියාවන් දෙස බැලීමේදී කෙනෙකු තුළ ඇති වන හැඟීම එයයි. පක්ෂයේ ඇතැම් කොටස්, ‘කල දුටු තැන වළ ඉහ ගන්නා’ බවට නැගෙන චෝදනාවන්ද තිබේ. කෙසේ වෙතත්, ඒවා චෝදනා පමණි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, ‘ගින්නක් නැතිව දුමක් නගීද’ යන්නයි.

පුදුමාකාර තීක්ෂණ භාවයකින් යුතුව, හිටපු ජනාධිපතිවරයා සිය පක්ෂයේ සභාපතිත්වය මෛත‍්‍රීපාල සිරිසේනට පිරිනැමීය. ඒ වූ කලී, ඔහු විසින් පැහැදිළිව අටවන ලද උගුලකි. පක්ෂයේ නියාමන මට්ටම්වල බහුතරයක් තමාට පක්ෂපාතීව සිටින තත්වයක් තුළ ඔවුන් හරහා නව ජනාධිපතිවරයාව බිය ගැන්විය හැකි යැයි හිටපු ජනාධිපතිවරයා ගණන් බලන්ට ඇත. ඒ හා සමානම තීක්ෂණ ඥානයකින් කටයුතු කළ අළුත් ජනාධිපතිවරයාද, සිය ප‍්‍රතිමල්ලවයාගේ අභිලාෂය එක්තරා දුරකට අඩපන කරනු වස්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුට ඇමති පදවි සහ තවත් තනතුරු පිරිනැමීය. ඉන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක විට ආණ්ඩුවේද, විපක්ෂයේද අසුන් ගන්නා අසාමාන්‍ය ද්විත්ව රංගනයකට පත්කෙරුණි. ඒ තත්වය තුළ, අළුතෙන් ලද විපක්ෂ නායක ධුරය දරාගෙන අද විපක්ෂය කටයුතු කරන්නේ, ආණ්ඩුවට තබා ජනාධිපතිවරයාටවත් තමන්ගේ වගවීමක් නැති ගානටයි. එහි ප‍්‍රධාන පෙළේ සාමාජිකයෝ ‘යහපාලනයට’ ප‍්‍රසිද්ධියේම ගර්හා කරති. නීත්‍යානුකූලව නඩු පැවරෙන හෝ ප‍්‍රශ්න කිරීම් සඳහා කැඳවන තම පක්ෂයේ අයවළුන් වෙනුවෙන් මේ අය විරෝධතා දක්වති. ජනාධිපති සිරිසේනගේ ප‍්‍රධාන මැතිවරණ පෙරොන්දුවක් වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවා අඩාල කිරීමට ඔවුන් නොගත් උත්සාහයක් නැත.

ආණ්ඩුවේ ප‍්‍රධාන දෙපාර්ශ්වයම, ජනාධිපතිවරණයට කලින් ඔවුන් සිටි තැන්වලටම නැවත කැරකී ගොස් ඇති බව දැන් පැහැදිළි ය. කුමන ආකාරයේ ව්‍යවස්ථාමය සංශෝධන සම්මත කරගත්තත්, අද තිබෙන්නේ ජනාධිපති පාලනයක් සහ අගමැති පාලනයක් අතර දෝලනය වන ද්විත්ව බලයකි. ද්විත්ව බලයකට වැඩි කල් පැවතිය නොහේ. මේ අතරේ, පරාජිත ජනාධිපතිවරයා යටතේ තුන්වැනි බල කේන්ද්‍රයක්ද ගොඩනැගෙමින්, ඉහත කී ද්විත්ව බලය අභියෝගයට ලක්කරමින් සිටී.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටට කී අළුත් දේශපාලන සංස්කෘතිය තවම තිබෙන්නේ බිහිවීමට දඟලමිනි. එය මහ පොළොවේ මුල් ඇද නැත. සමහර විට ඒ සඳහා අවශ්‍ය කාලය තවම ලැබී නැතිවා විය හැකිය. එසේ තිබියදී, සම්ප‍්‍රදායික සුපුරුදු දේශපාලන සංස්කෘතිය පැත්තෙන් නැගී එන විරෝධයත් සුළුපටු නැත. ඒ සම්ප‍්‍රදායික දේශපාලන සංස්කෘතියට හැඩගැසුණු දේශපාලනික සහ ආර්ථික බලකාය මැඩලීමට අළුත් ආණ්ඩුව තවමත් අපොහොසත්ව සිටී.

ඒ පසුබිම තුළ, ජනතා අභිලාෂයන් කොතෙක් දුරට මුදුන්පත්ව තිබේද? විරෝධතා සහ බාධක මධ්‍යයේ පවා, දින 100 වැඩ සටහන තුළ තිබූ සෑහෙන වැඩ කොටසක් අවසන් කොට තිබේ. පෙට‍්‍රල් මිල අඩු කිරීම නිසා ජනතාවට විශාල සහනයක් සැලසී තිබේ. එහෙත් තවත් බොහෝ සහනවල වාසිය ජනතාව වෙත නිසි පරිදි කාන්දු වී නැත. එක්කෝ ධනපතියන් විසින් එම වාසි ජනතාව වෙත ගලා යාම වළක්වමින් තිබේ. නැත්නම්, ආණ්ඩුවේ යෝජනා ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් බාධා කරමින් සිටී. කෙසේ වෙතත්, ජනාධිපතිවරණයට කලින් තිබූ ජනතා පීඩනය දැන් නැත. එය උතුරට මෙන්ම දකුණටත් දැනෙන දෙයකි. කෙසේ වෙතත්, මේ ප‍්‍රතිලාභ ව්‍යර්ථ කිරීමට වෙර දරණ නිලධාරී පැලැන්තියක් තවමත් සිටී. සමහර විට, කාලයක් තිස්සේ හුරුපුරුදු වී සිටි වැඩ ශෛලියෙන් අත්මිදීමට ඔවුන්ට පුලූවන් කමක් නැතුව ඇති. එසේ නොවේ නම්, ආණ්ඩුවට සහයෝගය නොදක්වන ඔවුන්ගේ එම චර්යාව මෙහෙයවන අදෘෂ්‍යමාන හස්තයක් තිබෙනවාද විය හැකියි.

මේ අතර, නීතියේ ආධිපත්‍යය දැන් සෑහෙන දුරටක ස්ථාපිත කෙරී තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුවේ අසන්තෝෂයට පවා හේතුවන තීන්දු දීමෙන් මනාව පෙන්නුම් කෙරේ.

මැතිවරණයට කලින් තිබුණේ මෙහි සපුරා ප‍්‍රතිපක්ෂයයි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ යෝජනාවන්ට එරෙහි වීම අධිකරණයේ ස්වාධීනත්වයක් වශයෙන්ම ගත යුතුද නැත. ඇතැම් විට, එය එහි ප‍්‍රතිපක්ෂය වීමටත් බැරි නැත. මේ නිසා, අධිකරණය දෙන සෑම තීන්දුවක්ම, ඒ ඒ සන්දර්භය තුළ, වෙන වෙනම අගැයීමකට ලක්කළ යුතුව තිබේ.

මාධ්‍ය නිදහසේ වර්ධනයක්ද පෙනෙන්ට තිබේ. ප‍්‍රවෘත්ති වාර්තාකරණය දැන් බොහෝ දුරට සමබර ය. එසේ වෙතත්, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ පනත ගෙන ඒමට ආණ්ඩුව අසමත් වීම හොඳක් නොවේ. ඒ අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා යෝජිතව තිබූ ආචාරධර්ම පද්ධතිය සම්මත කර ගැනීමත් උපන් ගෙයිම මියැදී ඇත. යෝජිත විගණන කොමිසමත් තවම කලඑලි බැස නැත.

¥ෂණය, වංචාව සහ අල්ලස නතර කිරීමට අසමත් වීම, ආණ්ඩුවේ විශාලතම අසාර්ථකත්වයයි. මහ මෝරුන් අල්ලා ගැනීම, සිතුවාට වඩා දුෂ්කර කටයුත්තක් වී ඇති හැඩයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් මැදිහත් වීමක් ආණ්ඩුව පැත්තෙන් සිදු නොවන බවට හෝ ආණ්ඩුවේම ඇතැම් කොටස් ඒ කර්තව්‍යයට බාධා කරන බවට හෝ මතයක් ඇති වුවහොත්, එය යහපාලනය පිළිබඳ ජනතාව තැබූ අපේක්ෂාවන්ට මරු පහරක් වන්නේය. වැඩියත්ම එසේ වන්නේ, ඒ තරමට ¥ෂණය සමාජයේ ඉහවහා ගොස් ඇති හෙයිනි.

ආණ්ඩුව කෙරෙහි තැබූ ජනතා විශ්වාසය පළුදු වීම, මහ බැංකු සිද්ධියට අදාළව ආණ්ඩුව ක‍්‍රියා කළ ආකාරයෙන් තීව‍්‍ර කෙරුණි. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ පරිමාව ඉහළ යතැයි එක් ගැණුම්කරුවෙකු කල්තියා දැන ගන්නේ කෙසේද? එම තොරතුර ඔහුට ලැබුණේ කෙසේද? මේවා, තවම සෑහෙන පිළිතුරක් ලැබී නැති ප‍්‍රශ්න වශයෙන් පවතී. අගමැතිවරයා ගැන තිබුණු ජනතා ආකල්පයට ඒ මගින් හානි වී තිබේ. එය, කලින් සිටි පාලකයන්ද එසේ කොට ඇතැයි කීමෙන් පිළිසකර කරගත හැකි ප‍්‍රශ්නයක් නොවේ. ජනතාව රාජපක්ෂ පාලනය පරාජය කෙළේ එවැනි සිදුවීම් නැවත ඇති නොවෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි.

ජනතාවට ඇත්ත කීම යහපාලනයෙන් ගම්‍ය වන තවත් කාරණයකි. එහෙත් දෙපැත්තෙන්ම ඉදිරිපත් වන්නේ අර්ධ-සත්‍යයන් ය.

එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ, වැරදි ආරංචි ප‍්‍රචාරය වීමයි. යටි පරමාර්ථ ඇති අයවළුන්ට, සත්‍යය වසං කොට, වැරදි තොරතුරු ප‍්‍රචාරය කිරීමට ඒ මගින් අවස්ථාව සැලසේ.

මේ සියල්ල සළකා බැලීමේදී, පාර්ලිමේන්තුවේ අර්ථය හැම ආකාරයකින්ම යල්පැන ගොස් තිබේ. ජනවාරි 8 වැනි දා රටේ ජනතාව දුන් ජන වරම එම පාර්ලිමේන්තුවෙන් තවදුරටත් නියෝජනය වන්නේ නැත. එනිසා, එය දේශපාලනික විකෘතියකි. ඒ තත්වය තුළ අපට කිව හැක්කේ, ‘‘මහත්වරුනි, දැන් පිටව යාමට කාලය පැමිණ තිබේ. කරුණාකර නික්ම යන්න’’ යනුවෙනි.

*2015 මැයි 27 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Politics Of Dual Power”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.