26 April, 2024

Blog

උතුරෙන් කළ යෝජනාවට එකතුවක්

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

බොහෝ කලකට පසු යාපනයේදී ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණෙහි (ඊ.පි.ආර්.එල්.එෆ්)  300 ට ආසන්න සාමාජික පිරිසකගේ සහභාගිත්වයෙන් ඉකුත් 19 වන දින වෙන්දාන් කලා පාසලේ ශාලාවෙහි නියෝජිත සමුළුවක් පැවැත්වින. ඒ ඔවුන්ගේ දේශපාලන ඉදිරි දර්ශනය සකසා ගැනීමටත් ඒ අනුව යෝජනා මාලාවක් සකස්කර සම්මත කර ගැනීමටත් ය. පසුදින (ජුලි 20) දේශපාලන හිතවතුන් ද සමගින් 1,000 ට අධික පිරිසක් සහභාගි වූ ඔවුන් ගේ දේශපාලන මහ සමුළුව, යාපනයේ වීරසිංහම් ශාලාවෙහි පැවැත්වින. තම සංවිධානයේ යෝජනා මාලාව ජනතාවට හඳුන්වා දෙන්නට එම විවෘත සමුළුව පවත්වන බව සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් ඒ ගැන පැහැදිලි කිරීමක් කර තිබුණි. එයට නිල වශයෙන් ආරාධනා ලැබ කොළඹ වමේ පක්ෂ යැයි නව සමසමාජ පක්ෂයත් එක්සත් සමාජවාදී පක්ෂයත්, දෙමළ දේශපාලන පක්ෂයක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පක්ෂයත් කඳුරට ජනතා පෙරමුණත් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයත් සහභාගි වූහ. දෙමළ ජාතික සන්ධානයේ අනෙක් සියලූ පක්ෂද ඊට නිල වශයෙන් සහභාගි වූහ.

මෙය එක්තරා ආකාරයක දෙමළ ජාතික දේශපාලනයේ අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හැඩ ගැන්වීමකි. උත්පත්තියේ සිට කිසිවිටෙක සන්නද්ධ දේශපාලනයට සේන්දු නොවුනු ඉලන්කෛ තමිල් අරසු කච්චි (ෂඔ්ණ) එවැනි පක්ෂ සම්මේලන පැවැත් වූවත් දෙමළ සන්නද්ධ දේශපාලනයෙන් ඉපිද හැදී වැඩුනු සංවිධාන, පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පිවිසයත් ඔවුන්ගේ දේශපාලන ඉදිරි දැක්ම මෙවැනි විවෘත සභාවකට හඳුන්වා දීම් නෙකරෙන්නකි. එනිසා, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් වන ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානය සැළකිය යුතු වෙහෙසක් ගෙන උතුරු නැගෙනහිර පළාත් දෙකම නියෝජනය වන මෙවැනි විවෘත දේශපාලන සමුළුවක් පැවැත් වීම, අලූත් ගමනකට මුල පුරන්නකි.

සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්

සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්

එළෙසින්ම ජනතා විමුක්ති පෙරමුණට (ජ.වි.පෙ) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙ.ස.ප) ආරාධනා නොකිරීම, තවත් දේශපාලන වැදගත්කමක් ලැබිය යුතු ඊ.පි.ආර්.එල්.එෆ් තීන්දුවකි. ජ.වි.පෙ හා පෙ.ස.ප වමේ පක්ෂ ලෙස හෝ ඔවුන්ට දේශපාලන ඇයි හොඳයිකම් පැවැත්විය හැකි දකුණේ වැදගත් පක්ෂ ලෙස හෝ ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානය නොසළකන බැව්, ඒ දෙපළට ආරාධනා නොකිරීමෙන් කියැවේ. එළෙසින්ම ඉන් කියැවෙන්නේ ජ.වි.පෙ හා පෙ.ස.ප ඉදිරිපත් කරන දේශපාලන වැඩපිළිවෙල දෙමළ ජාතිකත්වයට අදාල විසඳුම් ගැන පිළිගත හැකි කිසිවක් නොකියන්නේ යැයි ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානය තක්සේරුකර ඇති බව ය. එහි ඇත්තක් තිබේ. මේ දෙගොල්ලම කතා කරන්නේ එකම න්‍යායික විසඳුමකි. කවදා හෝ අනාගතයේ දිනෙක මේ රටේ සමාජවාදයක් (?) ගොඩ නැගුණු විටෙක, සුළු ජාතික හා ආගමික ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබා දිය හැකි නමුත් අදට එවැනි විසඳුම් නැති හෙයින්, අදට ජාතික සමගිය අවශ්‍ය වන්නේ සමාජවාදය දිනා ගැනීමට බලමුළු ගැන්වීම සඳහා යැයි මේ දෙගොල්ලම තර්ක කරති. එහෙත් දෙමළ ජනතාවට මේ ලක් පොළොවෙහි සමාජවාදය බිහිවන තෙක් බලා සිටිය නොහැක. එහෙයින්, ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානයේ සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ලා ඔවුන්ගේ ප‍්‍රශ්න සඳහා අද හෙට ලැබිය හැකි විසඳුම් ගැන කතා කිරීමට සූදානම් දේශපාලන පක්ෂ සමගින් පමණක් ගනුදෙනු කරන්නට තීන්දු කර තිබිණ.

එසේ කීවත් ඉතිරිවන තවත් ප‍්‍රශ්නයක් ඇත. මේ වැදගත් දෙමළ දේශපාලන සමුළුවට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා නොකෙරුණේ මන්ද යන්න, ඒ ප‍්‍රශ්නයයි. එහිදී කාරණා දෙකක් තිබිය හැක. පළමු කාරණාව, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ලා ගේ ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානය දෙමළ ජන සමාජයේ ස්වාධීන ප‍්‍රධාන පක්ෂයක් ලෙස තහවුරුකර ගැනීමට, ඔවුන්ට ඇති වුවමනාව ය. අද දෙමළ ජාතික සන්ධානය පවතින්නේ සම්පන්තන්ලාගේ ඉලන්කෛ තමිල් අරසු කච්චි සතු ශක්තිය මත ය. එනිසා තීන්දු ගැනීමේදී ඔවුන් ඉතා වැදගත් තනි ප‍්‍රබල සාධකයකි. එය උතුරු පළාත් මහ ඇමති තේරීමේදී පැහැදිලිව දැකිය හැකි වූවකි. එබැවින් දෙමළ ජාතික සන්ධානයේ තමන්ද ශක්තිමත් දේශපාලන සාධකයක් විය යුතු යැයි ඊ.පි.ආර්.එල්.එෆ් නායකත්වය කල්පනා කරන බව මේ සමුළුව සඳහා ඔවුන් තබා තිබූ බර අනුව සිතිය හැකි ය.

දෙවැන්න, ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානය දකුණේ දේශපාලනය කියැවීමේදී එ.ජා.පය ගැන එතරම් විශ්වාසයක් තබා නොතිබීම හා ඒ වෙනුවට ඔවුන් වෙනත් බල හවුලක් පිළිබඳව සොයා බලන්නට උත්සාහ කරන බව ය. ඒ වෙනුවෙන් යම් පමණකට සම්පන්තන්ලාගේ නායකත්වයද නම්මවා ගැනීමට ඉඩක් ඇතැයි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ලා දැඩි විශ්වාසයකින් කටයුතු කරන බවද සමුළු යෝජනා හා කතා මගින් පෙනෙන්නකි. ඒ බල හවුල බොහෝ විට, ඊළ`ග ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයෙන් පිහිටුවන ආණ්ඩුව හා කේවල් කළ හැකි ශක්තිමත් බල හවුලක් විය යුතු යැයිද ඔවුන් ගණන් හදන බවක් පෙනෙන්නට ඇත.

ඊ.පි.ආර්.එල්.එෆ් සමුළුව අමතා දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝතන් සම්පන්තන් ඒ වෙනුවෙන් ඉතා පැහැදිලි කාරණා දෙකක් ඉදිරිපත් කළේ ය. එකක් නම්, ඔවුන්ගේ දේශපාලනය, සිංහල ජනතාවට විරුද්ධ දේශපාලනයක් නොවන බව ය. අනෙක දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් නොඉල්ලන බව ය. ඔවුන් බලාපොරොත්තු වන්නේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සඳහා තනි රටක සියල්ලන් සමග ජීවත් වන්නට හැකි ස්ථාවර දේශපාලන විසඳුම් යැයි සම්පන්තන් කීවේ ය. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් ඒ කතාවට එකතු කෙරුවේ එවැනි විසඳුමක් වෙනුවෙන් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන ගමන සඳහා අවශ්‍ය වාහනය කෙබන්දක් විය යුතුද යන්නයි. ඔහු කීවේ උතුරු නැගෙනහිර ජනතාවට තමන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට, මුස්ලිම් ජනතාවත් කඳුරට දෙමළ ජනතාවත් සමග සිංහල වමේ දේශපාලනයත් අවශ්‍ය වන බව ය. එනිසා ඔහු එවැනි දේශපාලනයකට ඔබින බල හවුලක් යෝජනා කළේ ය. එ.ජා.පය ඔවුන්ගේ ආරාධිත ලේඛනයට ඇතුලූ නොවුනේ එ.ජා.පට එවැනි තනි රටක බලය බෙදීමේ දේශපාලන විසඳුමකට පෙනී සිටින්නට හැකියාවක් සහ වුවමනාවක් නැතැයි ඔවුන් ගණන් හදා ඇති බැවින් ය.

ඔවුන්ගේ ගණන් හැදීමේ එතරම් වරදක් නැත. එ.ජා.පය එවැනි බලය බෙදීමක් සඳහා පෙනී සිටින්නේ නම්, දකුණේ පොදු අපෙක්ෂකයෙකු පිළිබඳ කතාවෙහි දෙමළ ජනතාවගේ අභිලාෂයන් නිශ්චිතව සඳහන් වනු ඇත. දකුණේ පොදු අපේක්ෂකයෙකු ගැන කෙරෙන කතා බහ ඇතුළත දෙමළ ජනතාව ගැන එවැනි කිසිදු පැහැදිලි නිශ්චිත සඳහනක් නොමැත. ඒ හෙයින් ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානය එ.ජා.පය ඉවත තැබීමේ හේතුව පැහැදිලි වන්නකි. දෙමළ ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුම ඉතාම සරළ ලෙස කිවහොත් එය තීන්දු කෙරෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දී ඇති බලයට වඩා පැහැදිලිව ගොනු කෙරෙන බල ව්‍යුහයක් සමගින් ය. එය විධායක ජනාධිපති ධුරය අහෝසි කර, 17 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කෙරෙන විසඳුමකින් පොරොන්දු විය හැක්කක් නොවේ. දෙමළ ජනතාවට පිළිගත හැකි යෝජනාවක් එ.ජා.පය ඇතුලූ දකුණේ දේශපාලන පක්ෂ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගොනුවීම් සතුව තිබේ නම්, එයද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට දෙන පොරොන්දුව මෙන් එකවර, පැහැදිලි ලෙස කිව යුතුව ඇත. එහෙත් එවැනි පැහැදිලි විසඳුමක් දකුණේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ හා ගොනුවීම් මගින් ඉදිරිපත් නෙකෙරේ. එනිසා නැවතත් අඩමාන පොරොන්දු වෙනුවෙන් දකුණේ සිංහල පොදු අපේක්ෂකයෙකු දිනවීමට දෙමළ ජනතාවගේ සූදානමක් නැත යන්න, එ.ජා.පය ඔවුන්ගේ සමීකරණයට ඇතුලූ නොකර ගැනීමේ ප‍්‍රධාන දේශපාලන හේතු දැක්වීම ය.

ඊ.පි.ආර්.එල්.එෆ් සමුළුවෙහි කෙරුනු කතා මගින් කියැවුනු අනෙක් වැදගත්ම කාරණාව නම්, ඊළග මැතිවරණයෙන් ජනාධිපති රාජපක්ෂ වෙනුවට දකුණේ වෙනත් අපේක්ෂකයෙකු දිනවා දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සඳහා පිළිගත හැකි විසඳුම් ලබා ගත හැකියැයි ඔවුන් විශ්වාස නොකරන බව ය. එනිසා ඊළග මැතිවරණයෙන් පසුවද තමන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් සාර්ථක, වඩාත් පලදායි විසඳුම වෙනුවෙන් කේවල් කළ හැකි ජන බලයක් ගොඩ නගා ගැනීමට ඔවුන් යොමු වන බව එහි කියැවුනු කතාව ය. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් අවධාරණයෙන් යුතුව දෙමළ ජාතික සන්ධානය ශක්තිමත් කිරීම ගැන කතා කිරීමේ වෙනත් අරුතක් ද නැත.

එවැනි පසුබිමක, දකුණේ වාමගාමීන් (වමේ යැයි කිව හැකි ශක්තිමත් පක්ෂ නොමැති හෙයින්) සතු කාර්යක් ද ඉතිරි වන්නේ ය. දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සහ අන්‍ය සුළු වාර්ගික හා ආගමික ජනතාවගේ අයිතීන් හා ආරක්ෂාව සහතික කෙරෙන අතරම, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම සමග ආර්ථික හා ජන ජීවිතයේ ගුණාත්මක වර්ධනයක් වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු ජාතික වැඩපිළිවෙලක් දෙමළ දේශපාලන පක්ෂ හා දකුණේ සිංහල සමාජයෙහි එකවර සාකච්ඡුාවට තැබීමේ වගකීම, ඒ ඉතිරි වන කාර්යයි.

එය එකවර සදා නිම කළ හැකි වැඩපිළිවෙලක් ලෙස ඉදිරිපත් කළ හැක්කක් යැයි නොසිතමි. එනිසා එවැනි සංවාදයකට මෙය එකතුවක් පමණි. ඇත්තෙන්ම, ඊ.පි.ආර්.එල්.එෆ් සංවිධානය ඔවුන්ගේ සම්මේලනයේ සම්මත කරගනු ලැබූ යෝජනා සමග එකවර කියවන්නට ඉදිරිපත් කෙරෙන මූලික කාරණා කිහිපයකි.

01. දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුවන අයුරු වැදගත් ලෙස බලය බෙදීමටත් රාජ්‍ය නිර්දේශපාලනය කිරීමටත් නීතිය කි‍්‍රයාවට නැගීමට හා අධිකරණ කි‍්‍රයාවලිය යහපත්, කාර්යක්ෂම හා දූෂණයෙන් තොරව පවත්වා ගැනීමටත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී පාදක යෝජනා ලෙස සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් යෝජනා මාලාව ඉදිරිපත් කිරීම

02. ශක්තිමත් පළාත්බද දේශපාලන බල ව්‍යුහයන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමගින් ඇති කෙරෙන හෙයින් ජාතික පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාව, සෑම පුරවැසියන් 1,50,000 ට එක් නියෝජිතයෙකු වන ලෙස, මන්තී‍්‍රවරුන් 135 ට සීමා කිරීම

03. විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් නියෝජනයක්ද වැදගත් කාන්තා නියෝජනයක් ද සහිත පිළිගත් විද්වත් කමිටුවක් යටතේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කමිටුවේ සියලූ නිර්දේශ කාල නිර්ණය කිරීමක් සහිතව කි‍්‍රයාවට නැගීම

04. විශේෂයෙන් මැද පෙරදිග රැුකියා සඳහා ග‍්‍රාමීය සමාජයෙන් විදේශගත වන විශාල තරුණ කාන්තා ශ‍්‍රමය සහ වාර්ෂිකව අධ්‍යාපනය අවසන් කර රැුකියා ඉල්ලා සමාජයට පය තබන තරුණ තරුණියන් පලදායි ලෙස ඔවුන්ගේ ගම් ප‍්‍රදේශයන්හිම රඳවා ගත හැකි වන ශක්තිමත් ග‍්‍රාමීය ආර්ථිකයක් වෙනුවෙන් ජාතික ආර්ථික හා සංවර්ධන වැඩ සටහනකට ප‍්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කිරීම

05. පෞද්ගලික හා රාජ්‍ය යැයි බෙදීමක් නොමැතිව සියල්ලන්ට පොදු ජාතික අවම වැටුපක් තීන්දු කෙරෙන, පඩි පාලක සභා වැනි දැනට කිසිදු වැදගත් කාර්යක් නොමැති ආයතන අහෝසි කර ජාතික ත්‍රෛපාර්ශවීය සභාවක් ඇතුළත් සියලූ වැටුප්ලාභීන් සඳහා දැනට කෙටුම්පත්ව ඇති කම්කරු ප‍්‍රඥප්තිය අනාගත සංවර්ධනයට ද ගැලපෙන අයුරු සකසා ඉදිරිපත් කිරීම,

මෙවැනි හෝ මීට අදාලව ඉදිරි සංවර්ධනය සඳහා දේශපාලන වැඩපිළිවෙලක් සමගින් උතුරේ යෝජනාවට හවුල් වන්නට දකුණේ දේශපාලන වුවමනාවක් මතු නොවන්නේ නම්, දෙමළ දේශපාලනය නැවතත් දකුණේ සිංහල ජනතාව හා සමානයින් ලෙස එකට වාසය කරන්නට දක්වන කැමැත්ත අනාථ කෙරෙන්නේ දකුණේ සිංහල දේශපාලනයෙනි. එය එසේ නොවන්නට වගකීම බාර ගනු ඇත්තේ වාමගාමීන් යැයි දෙමළ දේශපාලනය තීන්දු කිරීම කෙතරම් නිවැරදි දැයි තීන්දු කරන්නේ ද දකුණේ සිංහල වාමගාමීන් ය. අවසාන විග‍්‍රහයේදී මේ රට සියලූ ජන වාර්ගිකයින්ගේත් සියලූ ආගමිකයින්ගේත් එක්සත් රටක් ලෙස නව ජාතික රාජ්‍ය ස්ථාපිත කිරීමේ වගකීම බාර ගත යුත්තේ දකුණේ සිංහල වාමගාමී දේශපාලනයයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.