21 November, 2018

Blog

මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන් – කොටස III

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

[මෙම ලිපි මාලාවේ දෙවන කොටස නොවැම්බර් මස 16 වන බ්‍රහස්පතින්දා පළ කොට ඇත.]

ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු

1. ශ්‍රී ලංකාව නිදහසෙන් පසු සියලු පුරවැසියන්ට සහ ජනප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දුන්නේය; ශ්‍රී ලංකාව තුළ පවත්නා ව්‍යවස්ථාමය, ව්‍යවස්ථාදායක හෝ අධිකරණමය විධිවිධාන කිසිවක් විසින් කිසිදු සුළුතර ජනකොටසක් වෙනස්කම් කිරීමට ලක් කරනු නොලැබේ; සියලු දෙනාම ඒකීය රාජ්‍යයක් තුල සමාන අයිතිවාසිකම් භුක්ති විඳින පුරවැසියන් වෙති; යුද්ධයෙන් පසුව පවා, සංවර්ධන වියදම්වලින් වැඩි කොටසක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වෙත යොමු කරන ලදි;

1947 සෝල්බරි ව්‍යවස්ථාව දිවයිනේ ප්‍රථම ඒකීය රාජ්‍යය ස්ථාපිත කර ලීය. එය, එතෙක් විමධ්‍යගත පරිපාලනයක් යටතේ පැවති රටක් මත ආරෝපණය කරන ලද අපරදිග ව්‍යවස්ථාමය නිර්මිතයකි. නව පාලනය පදනම් වූයේ ජනවාර්ගික, ආගමික හා භූගෝලීය විවිධත්වය නොසලකා සජාතීය මහජනතාවක් උපකල්පනය කල බහුතරවාදී ප්‍රජාතන්ත්‍රවාදය මත යි. බහුතරයේ කැමැත්ත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සකස් කරන බවට සලකන ලදි. එසේ වුවත්, අඩු තරමින් පසුගිය ශතවර්‍ෂ කිහිපයේදී වත් ලංකාව සජාතීය සමාජයක් ව පැවතී නැත. නව ඒකීය රාජ්‍යය ඇතැම් විට බහුතරය නොවන ජනයාගේ මානව හා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් යටපත් කර දමමින්, බහුතරයේ අදහස් පමණක් හැම විටකම පාහේ ක්‍රියාත්මක කළේය.

බහුතරය නොවන ජනප්‍රජාවේ අයිතිවාසිකම්

විෂමජාතීය සමාජයක් තුල, මූලික නීතිය ක්‍රියාත්මක කිරීමේදී නිසි අවේක්‍ෂණයන් සහ තුලනයන් ඇතුළත් කර නැත්නම් බහුතරයේ කැමැත්ත විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම අත්‍යවශ්‍ය ලෙසම සකස් කරන්නේ නැත. බහුතරය නොවන ජනයාගේ සාධාරණ අයිතීන් සහ යුක්තිසහගත ඵල ප්‍රයෝජන සුරක්‍ෂිත කිරීම සඳහා එවැනි අවේක්‍ෂණ සහ තුලන අව්‍යාජ ලෙසම ක්‍රියාවට නැඟිය යුතුය. එවැනි පාලන ක්‍රමයකින් පමණි, විය හැකි පරිදි ඔවුන්ගේ මානව හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පැහැර ගැනීම වළක්වා ලනු ඇත්තේ. නොඑසේ නම්, බහුතරය නොවන ජනයාගේ නියෝජිතයන්ට එම ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පැහැර ගැනීමට සැලසුම් කර ඇති නීති පැනවීම සහ ක්‍රියාත්මක කිරීම වළක්වා ලන්නට හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පවා ආරක්‍ෂා කර ගන්නට හෝ නොහැකි වනු ඇත.

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29(2) උප වගන්තිය බහුතරය නොවන ජනයාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සහතික කරන්නට සැලසුම් කරන ලද සුවිශේෂ වගන්තියක් විය. එම උප වගන්තිය, කිසියම් භාෂාවක් හෝ ආගමක් දැනට භුක්ති විඳින තත්වය හෝ වරප්‍රසාද සීමා කරන, හෝ ඒවාට ඉදිරියේදී විශේෂ තත්වයක් හෝ වරප්‍රසාද ලබා දෙන නීතිරීති පනවන්නට පාර්ලිමේන්තුව සතු වූ බලය ඉවත් කලේය. එහෙත්, ඉතිහාසය නිශ්චිතවම සනාථ කොට ඇත්තේ 29(2) උප වගන්තිය බහුතරයේ පාලනය බහුතරය නොවන ජනයා මත බලාත්මක කිරීම අවහිර නොකල බවය.

ශ්‍රී ලංකාව නිදහස ලැබුනු පසු සියලු පුරවැසියන් සහ ජනප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දුන්නේ නැත. සිංහල නොවන ජනයා බල කේන්ද්‍රස්ථාන වලින් තවත් ඈතට තල්ලු කර දමන ලදි, ඒ හා සමාන ආකාරයකින්ම නිදහසේ ප්‍රතිලාභ භුක්ති විඳින්නට සිංහල ජනයාට පවා අවස්ථාව ලැබුනේ නැත. අව්‍යාජ නිදහස ලබා දෙන ලද්දේ, ලංකාවේ පාලක ප්‍රභූ පෙලැන්තිය බවට පත්වූ, ඉක්බිති යටත් විජිත ඵල ප්‍රයෝජන හා යටත් විජිත පාක්‍ෂික වරප්‍රසාද නියෝජනය කරන්නට හා ආරක්‍ෂා කරන්නට බැඳී සිටි සමාජ ස්ථරවල ඉහල ශ්‍රේණීන් වෙත පමණි.

ලාංකික පාලක ප්‍රභූ පෙලැන්තිය සිංහලයන්ගේ හා බෞද්ධයන්ගේ රැකවලුන් ලෙස පෙනී සිටින්නට තම මව්බස සහ ආගම මාරු කරමින් ස්වයං පරිණාමනය වූහ. නිදහසෙන් පසු ඩී එස් සේනානායක මහතාගේ පළමු ආණ්ඩුව, දේශපාලන අස්ථාවර භාවයටත්, ආසන්නව නැඟී ආ සමාජ ආර්ථික අර්බුදයකටත් මූණ දී තිබුනි. මෙය, 1953 අගෝස්තු මහා වැඩ වර්ජනය තුලින් කූඨප්‍රාප්තියට වූ දේශපාලන අර්බුදයකට මඟ පෑදීය. පාලක ප්‍රභූ පෙලැන්තිය, භාෂා, ආගමික හා කුල පසුබිම මත ලංකාවේ මහජනයා බෙදා වෙන් කොට පාලනය කරන්නට බහුතරවාදී ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගත්තේය. වමේ අභියෝගවලින් පාලක ප්‍රභූ පෙලැන්තියේ පන්ති අවශ්‍යතා ආරක්‍ෂා කර ගැනීම සඳහා, ඡන්ද අයිතිය අහෝසිකිරීමට පෙර විශාල වශයෙන් වාමාංශික පක්ෂවලට ඡන්දය දුන් මලයියහ ( කදුරට) දමිල කම්කරුවන්ගේ වෘත්තීය සමිති පදනම ඉලක්ක කර ගන්නා ලදී.

ලංකා පුරවැසි පනත

නිදහසෙන් පසු ආණ්ඩුව කල මුල්ම කටයුතුවලින් එකක් වූයේ 1948 ලංකා පුරවැසි පනත යටතේ මලයියහ දමිල කම්කරුවන් දශ ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක ප්‍රජා අයිතිය අහෝසි කර දැමීමයි. 1949 පාර්ලිමේන්තු මැතිවරණ පනත ඔවුන්ගේ පුරවැසිභාවයත් ඡන්ද අයිතියත් ඔවුන්ට අහිමි කර දැම්මේය. පළමු වතාවට, සිංහල බහුතරවාදී ආණ්ඩුවක් දමිල කම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් පැහැර ගත්තේය. මෙම පියවර සිංහල නොවන ජනයා අතර අසීමිත දේශපාලන පලවිපාක ඇති කල අතර, එය වාර්ගික දේශපාලනය ශක්තිමත් කරන්නට මාර්ගය පාදා දුන්නේය.

ධනේශ්වර නායකයෝ කම්කරු පන්තියේ වැඩී එන බලපෑමට අභියෝග එල්ල කරන්නට පමණක් නොව, වර්ධනය වෙන සමාජ ආර්ථික අර්බුදයෙන් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරන්නටද වාර්ගික දේශපාලනය යොදා ගත්තේය. මෙයින් “දේශීය” ධනේශ්වර පන්තියේ පන්ති අවශ්‍යතාවන්ට බාහිර ආටෝපයක් සපයා දුන්නේය. යටත්විජිතමය යටපත් කර ගැනීම්වලට එරෙහිව නැගෙමින් තිබූ ජාතික ප්‍රබෝධයේ එකමුතු වූ හැගීම්, විවිධ වාර්ගික, භාෂාමය, සහ ආගමික දෘෂ්ටීන්ගෙන් පැන නැඟුන විසංවාදී දහරාවන්ගෙන් දියාරු වී යෑම ආරම්භ වූයේය.

ජනපදකරණය

ජනපදකරණය[1], ලංකාවේ දමිලයන්ට බලපා ඇති තවත් වැදගත් ගැටලුවකි. 1949 දී නිදහසෙන් පසු තේරී පත්වූ පළමු පාලන තන්ත්‍රය, විවිධාකාර ජනගහණයක් බහුලව සිටි ප්‍රදේශවල සිංහලයන් විශාල සංඛ්‍යාවක් පදිංචි කරවීම ආරම්භ කලේය. එවැනි දිස්ත්‍රික්කවල පවත්නා වාර්ගික ජන අනුපාතයන්ට බාධා නොකිරීමේ සාමකාමී ප්‍රතිපත්ති ස්ථාවරයක් හෝ ප්‍රවේශයක් හෝ නොමැතිව ඓතිහාසිකව දමිලයන් බහුලව සිටි ප්‍රදේශ වල සිංහල ජනයා පදිංචි කරවීම නොඅඩුවත් නොකඩවාත් කෙරුණේය. මෙය දෙමළ කතා කරන ජනයාගේ ඉඩම් අන්සතු කරන්නේය යන හැඟීමක් ඇති කරන්නට මඟ පෑදීය. 1956 දී දමිලයන් ඉලක්ක කරමින් ලංකාවේ වාර්ගික පදනමින් ඇති වූ පළමු කෝලාහලය 150 දෙනෙක් මරුමුවට පත් කරන ලද අතර, එය නැගෙනහිර පළාතේ නව ජනාවාසයක් වූ ගල්ඔයෙන් වාර්තා වූයේය.

යලිත්, 1958 කැරලි කෝලාහල, ගණන් බලා ඇති පරිදි, වැඩි වශයෙන් දමිලයන් වූ 300 දෙනෙකුට මරු කැඳවන්නට මඟ පෑදීය. මෙය පසුකාලීනව දිවයිනේ ගිනි ගත් වාර්ගික සම්බන්ධතාවයන් වෙත මාවත පෑදීය. දමිළයන්ට එරෙහි කැරලි කෝලාහල නැවත නැවතත් ඇතිවන්නට විය. 1963, 1978, 1981 සහ 1983 වසරවලදී සිය ගණන් දමිලයන් වධයට ලක් කොට, ඝාතනය කර දමා, ඔවුන්ගේ දේපල දහස් ගණනින් කොල්ල කා, ගිනි තබා, බොහෝ දමිල කාන්තාවන්ද දූෂණයට ලක් කලේය. මෙම කෝලාහල බොහොමයක් උසි ගන්වන ලද්දේ කටකතා පැතිරවීමෙනි. ඇතැම් දේශපාලනඥයන්ගේ අනුබලය ලද මැරයන් විසින් කෝලාහල බොහොමයක් මෙහෙයවන ලද බව පෙනේ. දමිලයන්ගේ ඉඩම්ද ක්‍රමානුකූලව සිංහල ජනපදකරණයට ලක් කරන ලද හෙයින් දමිලයන්ට වඩා අනාරක්‍ෂිත බවක් දැනුනේය.

මනල් ආරු (මනලාරු) එක රැයින් වැලි ඔය බවට පත් කිරීම

මේ සඳහා හොඳ උදාහරණයක් වනු ඇත්තේ උතුරු පළාතේ මුලතිව් ප්‍රදේශයේ පිහිටි මනල් ආරු නමින් හඳුන්වනු ලබන ස්ථානයයි. දමිල පවුල් දහස් ගණනක් පරම්පරා ගණනක් තිස්සේ මෙහි ගම්මාන 42 ක ජීවත් වී තිබිනි. 1984 දී යුද හමුදාව ඔවුන්ගේ නිවෙස්වලින් පැය 48 ක් ඇතුලත ඉවත්වන ලෙසටත් එසේ නොකළහොත් ඔවුන් බලයෙන් පිටමං කරන බවටත් ඔවුන්ට දන්වා ඇත. දමිල ව්‍යවසායකයන් 14 දෙනෙකුට 1965 දී දෙන ලද වසර 99 කල්බදු ද අවලංගු කර දමන ලදී. ජනපදයේ පිහිටුවන ලද විශේෂ රෙජිමේන්තුව, මුල් දමිල නිවැසියන් ඉවත් කොට එහි පදිංචි කරන ලද සිංහලයන්ට ආරක්‍ෂාව සැපයීය. සිංහල මුල් ජනාවාසය ආරම්භ වූයේ ඉඩම් කොමිෂන් සභාවේ පාලනය යටතේ පැවත් වියළි කලාපයේ ගොවි ජනපදයක් ලෙසයි. යළි පදිංචි වෙන්නට කිසිදු ආධාරයක් නොලද දෙමළ පවුල් අනාථයින් බවට පත් වූහ.

1988 දී ශ්‍රී ලංකා මහවැලි ආර්ථික කාර්යාංශය මෙම ජනපදය අත්පත් කර ගෙන එය මහවැලි ‘එල්’ කලාපයේ කොටසක් බව ප්‍රකාශයට පත් කලේය. 1988 අප්‍රේල් 16 වන දා නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනයක් මනල් ආරු වැලි ඔය ලෙස යලි නම් කලේය[2]. සන්නද්ධ ගැටුම් කාලයේදී මායිම් ගම්මානයක් බවට පත් වූ මෙම ප්‍රදේශය භාරව සම්බන්ධීකරණ නිලධාරියෙක්ද පත් කරන ලදී. එවකට මහවැලි සංවර්ධන ඇමතිවරයා වූ දිවංගත ගාමිණී දිසානායක මහතා මනෙල් ආරු වල සිංහල පවුල් පදිංචි කිරීම ආරම්භ කළ අතර, 1989 වන විට “හිටපු හිරකරුවන් බොහෝ දෙනෙකුගෙන් සෑදුනු පවුල් 3,350 කට වඩා වැඩි ප්‍රමාණයක් වැලි ඔය යෝජනා ක්‍රමය තුල පදිංචි කරවන ලදි”.[3] විශේෂ රෙජිමේන්තුව අවට ප්‍රදේශවල ජීවත් වූ දමිල පවුල්වල ආරක්‍ෂාවට තර්ජනයක් බවට පත් විය. මෙම යෝජනා ක්‍රමය දමිලයන් දැඩි ලෙස කෝපයට පත් කලේය.

මෙම ප්‍රදේශයේ පිහිටි ඉඩම්වලින් පළවා හැර තිබුනු දෙමළ පවුල් වලින් පැවත එන්නන්ද දමිල විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ ශ්‍රේණීන් තුල සිටියහ. මෙලෙස, සිංහල පදිංචිකරුවෝ බොහොමයක්ද පසුව එල්ටීටීඊ තර්ජනවලට ලක් වූහ. අනෙක් සිංහල ජනාවාසවල තත්වයද මේ හා සමාන වෙන්නට ඇත. 2009 න් පසු ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මුලතිව්, වව්නියාව, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල දමිලයන් බහුලව සිටි ප්‍රදේශ ආවරනය වන පරිදි වැලිඔය ජනපද ව්‍යාපෘතිය (වැලිඔය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය) ව්‍යාප්ත කිරීම ආරම්භ කළේය. ඉඩම් සහ මුදල් ලබා දී සිංහල ගොවීහු පදිංචි කරන ලද අතර විශේෂ කාර්ය බලකාය ඔවුන්ට ආරක්‍ෂාව ලබා දුන්නේය. මෙම නූතන ජනපදකරණයෙන් පෙනී යන්නේ උතුරු නැගෙනහිර දෙමළ බහුතරයක් සිටින පළාත් ඒකාබද්ධකරන වැදගත් ස්ථානයකදී, අයිතිවාසිකම් කියනු ලබන තමිල් ඊලමේ ඒකාබද්ධභාවය බිඳ දමන්නට අසූ ගණන්වලදී සැලසුම් කරන ලද අති රහසිගත සැළැස්මක් ක්‍රියාත්මක කිරීමේ දිගුවක් බවයි.

මෙම සැලසුම[4] සිංහලයන් 200,000 ක් මෙම ප්‍රදේශය තුල පදිංචි කරවන්නට අදහස් කළේය. මෙම ජනපදවල පදිංචි කරන ලද සිංහල පවුල්ද දරිද්‍රතාවයෙන් පෙළෙති. ආණ්ඩුවේ සහයෝගයක් නොමැතිව ඔවුහු අස්ථිර ආර්ථික පැවැත්මක කල් ගෙවති. මෙම දුෂ්කරතාවන් ඇති කරන අනර්ථකාරී බලපෑම් වටහා ගන්නට අපහසු නැත: අඩු වයස් විවාහ, ළමා අපචාර, ගණිකා වෘත්තිය හා ස්ත්‍රී දූෂණ ඔවුන්ට බලපාන පොදු ගැටළු බවට පත්ව තිබේ. මේ පවුල් ඔවුන් උපන් බිම් කරා ආපසු යන්නට ආශාවෙන් සිටින නමුත් ඔවුන්ගේ ඉල්ලීම් මෙතෙක් නොතකා හැර තිබේ. දකුණේ සිංහල ජනතාව ඉඩම් හිඟයෙන් පෙළෙද්දී, බහුජාතික ව්‍යාපෘතිවලට සහ විශාල ඉඩම් හිමියන්ට නෙකඩවා ඉඩම් විශාල ප්‍රමාණයක් පවරා දෙන ආණ්ඩුව, දමිල ජනයා බහුලව සිටින ප්‍රදේශවල වඩ වඩාත් සිංහල ජනාවාස පිහිටුවා ලන්නට කටයුතු කරයි. ඒ අනුව, දෙමළ කතා කරන ජනයා ඓතිහාසිකව බහුලව සිටි ප්‍රදේශවල ජන විකාශනය සිතාමතාම අසාධාරණ ලෙස නොකඩවා වෙනස් කෙරෙයි. සාධාරණත්වයේ හා ස්වභාවික යුක්ති ධර්මයේ මූලධර්මවලට පටහැනිව පැහැදිලි ලෙසත්, ඕනෑකමිනුත් කරනු ලබන “පිරියම් කිරීමක්” මෙයින් නිරූපනය කෙරෙයි.

(මතු සම්බන්ධයි)

[1] දිවංගත ඩී එස් සේනානායක, ඩඩ්ලි සේනානායක සහ ගාමිණී දිසානායක මහතුන්ගේ අදහසක් බව කියැවේ.

[2] මෙම ගැසට් නිවේදනය වැලි ඔය ශ්‍රී ලංකාවේ 26 වන දිස්ත්‍රික්කය ලෙස ප්‍රකාශයට පත් කොට, ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පරිපාලන කටයුතු සඳහා එය අනුරාධපුර දිස්ත්‍රික්කයට නතු කල අතර, මැතිවරණ කටයුතු සඳහා එය වවුනියා දිස්ත්‍රික්කය තුල තබා ගත්තේය. බලන්න: http://www.lankanewspapers.com/news/2008/10/33220_space.html

[3] Peebles P 2015, Historical Dictionary of Sri Lanka, 384, Rowman & Littlefield

[4] දිවංගත ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, සිරිල් මැතිව් සහ එන් ජී පී පණ්ඩිතරත්න මහතුන් විසින් මෙම සැලැස්ම සකස් කරන ලද බව කියැවේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.