19 November, 2018

Blog

ව්‍යවස්ථා දෙකක් පිළිබද කතාන්තරයක් – ජනමත විචාරණය ජය ගත හැක්කේ කෙසේද?

සංජයන් රාජසිංහම් –

සෑම රටකටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකක් තිබේ. එකක්, ‘නෛතික ව්‍යවස්ථාවයි’. අනික ‘දේශපාලනික ව්‍යවස්ථාවයි’. ජනමත විචාරණයකින් ජය ගැනීම සඳහාත්, අලූත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහාත්, ඉහත කී ව්‍යවස්ථා දෙකම වෙනස් කළ යුතුව තිබේ. ගත වූ වසර දෙකක කාලය තුළ අවධානය යොමු කෙරුණේ නෛතික ව්‍යවස්ථාව කෙරෙහි ය. දැන් පටන් එම අවධානය යොමු විය යුත්තේ දේශපාලනික ව්‍යවස්ථාව කෙරෙහි ය.

ව්‍යවස්ථාවක් තුළ, රාජ්‍ය පිළිබඳ ප‍්‍රශ්නාවලියකට පිළිතුරු සැපයෙයි. එය ‘ඒකීය’ ද, ‘ෆෙඩරල්’ ද? වැඩියෙන් බලධාරී වන්නේ, පාර්ලිමේන්තුව ද, විධායකය ද? සුළු ජාතිකයන්ට හිමි අයිතිවාසිකම් කවරේ ද? පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, කැබිනට් ඇමතිවරුන් සහ විනිසුරුවරුන්ට මගපෙන්විය යුත්තේ කුමන මූලධර්ම ඔස්සේ ද? මේ ප‍්‍රශ්නවලට සැපයෙන පිළිතුරු මගින් එම රටේ ස්වභාවයත්, එම රටේ ව්‍යවස්ථාවේ ස්වරූපයත් තීන්දු කෙරේ. ශ‍්‍රී ලංකාවේ නෛතික ව්‍යවස්ථාව වන්නේ, 1978 දී පනවා ගත් ව්‍යවස්ථාවයි. දැනට යෝජිත නව ව්‍යවස්ථාව තුළත් මේ ප‍්‍රශ්න නැවතත් ප‍්‍රමුඛත්වයට පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාව ‘ඒකීය’/ ‘ඔරුමිත්තනාඩු’ රාජ්‍යයක් වේ ද? එම ව්‍යවස්ථාව තුළ විධායක ජනාධිපතිවරයෙකු සිටී ද? රටේ මැතිවරණ ක‍්‍රමය අලූත් ව්‍යවස්ථාව තුළ සංශෝධනයට භාජනය වේ ද?

අනිත් අතට දේශපාලනික ව්‍යවස්ථාව ස්ථානගත වන්නේ, නෛතික ව්‍යවස්ථාවට පසුපසිනි. නෛතික ව්‍යවස්ථාව තුළ අවධාරණ කෙරෙන්නේ ව්‍යවස්ථාවේ ව්‍යුහය සහ ආකෘතිය නම්, (උදාහරණයක් වශයෙන්, විධායක ජනාධිපතිවරයෙකු සහිත ඒකීය රාජ්‍යයක් සහ සමානුපාතික නියෝජන ක‍්‍රමය වැන්නක් නම්), නෛතික ව්‍යවස්ථාවට එවැනි ව්‍යුහයක් සහ ආකෘතියක් ලැබුණේ කෙසේද යන්න දේශපාලනික ව්‍යවස්ථාව මගින් විස්තර කෙරේ. නෛතික ව්‍යවස්ථාවේ ව්‍යුහය පිළිබඳ තර්කණය, සුජාත භාවය සහ හේතුකාරකය සමන්විත වන අනුමිතීන් සහ විශ්වාස සමුදායක් දේශපාලනික ව්‍යවස්ථාවට ඇතුළත් වෙයි.

ඊළඟට, නෛතික ව්‍යවස්ථාවෙන් පිළිතුරු සැපයූ ප‍්‍රශ්නාවලියටම දේශපාලනික ව්‍යවස්ථාවෙන් ද පිළිතුරු සපයනු ලැබේ. එහෙත් එම පිළිතුරු ව්‍යවස්ථා න්‍යායන් සහ අටුවාවලින් බිහි වන ඒවා නොවේ. එම පිළිතුරු සඳහා භාවිත කෙරෙන්නේ, ආගම, ඉතිහාසය, සංස්කෘතිය සහ සමාජ සාරධර්මයන් ය. ශ‍්‍රී ලංකාවේ දේශපාලනික ව්‍යවස්ථාව අරක්ගන්නේ, සිංහල-බෞද්ධ ජාතිකවාදී චින්තනයේ එක්තරා රූපකයකිනි. ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බව නෛතික ව්‍යවස්ථාව තුළින් කියැවෙන අතරේ, අප එසේ විය යුත්තේ මන්ද යන්න දේශපාලනික ව්‍යවස්ථාවෙන් කියැවෙයි. එහිදී ඊට සැපයෙන පිළිතුර වන්නේ, ගෞතම බුදුන්ගේ ධර්මයේ චිරස්ථිතියත්, ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවත් රඳා පවතින්නේ සිංහල ජනයාගේ පැවැත්ම මත නිසා බවයි. (විලියම් ගයිගර්ගේ ‘මහාවංශය’ 7 වැනි පරිච්ෙඡ්දය). නෛතික ව්‍යවස්ථාව මගින් බලසම්පන්න විධායක ජනාධිපතිවරයෙකු බිහි කරන අතරේ, එවැනි බලවතෙකු අපට සිටිය යුත්තේ මන්ද යන්න දේශපාලනික ව්‍යවස්ථාවෙන් කියාදෙයි. මන්ද යත්, එවැනි බලවත් දේශපාලනික ආකෘතියක්, පූර්ව-යටත්විජිත සිංහල-බෞද්ධ රජ ක‍්‍රමයක බලය සහ අභිමානය සමග සපුරා පෑහෙන බැවිනි.

මේ දේවල්ම, නෛතික සහ ව්‍යවස්ථාමය වෙනත් මූලාශ‍්‍ර ආශ‍්‍රයෙන් ද යුක්ති සහගත කළ හැකි බව වෙනම කාරණයකි. අපට අදාළ වන්නේ, සිංහල-බෞද්ධ ජාතිකවාදී චින්තනය මත එම තර්ක පදනම් වන විට ඒවාට වැඩි වලංගු භාවයක් ලැබෙන්නේය යන කාරණයයි. උදාහරණයක් වශයෙන්, දුටුගැමුණු කළා සේ විධායක ජනාධිපතිවරයෙකුට ශ‍්‍රී ලංකාව ආරක්ෂා කළ හැකි යැයි කීම වැඩි දෙනාගේ අනුමැතියට ලක්වන බව පෙන්වා දිය හැකිය. සුජාත භාවය එතැනින් ව්‍යුත්පන්න වෙයි. විධායක ජනාධිපතිවරයෙකුට, ඇමරිකාවේදී මෙන් ආර්ථික සංවර්ධනය ඇති කළ හැකි යැයි හෝ සුළු ජාතීන්ගේ අයිතීන් රැුක දිය හැකි යැයි කීමට වඩා, ඉහත කී කතාව වැඩි දෙනාගේ පිළිගැනීමට ලක්වෙයි.

බහුතරයකගේ සිත්සතන් තුළ, දේශපාලනික ව්‍යවස්ථාව මගින් නෛතික ව්‍යවස්ථාව සඳහා සුජාත භාවය ලබා දෙන තත්වයක් තුළ, එම නෛතික ව්‍යවස්ථාව ඉහත කී දේශපාලනික ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් වෙනස් කෙරෙන්නේ නම්, කුමක් වේ ද? ඊට හොඳම උදාහරණය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එහිදී සිදු වුණේ, ඒකීය තර්කණයක කරවටක් ගැලී සිටි රාජ්‍යයක් තුළට, ඉන්දීය පීඩනය මගින් හඳුන්වා දෙන ලද බලතල බෙදාහදා ගැනීමේ (දෝෂ සහගත) සංශෝධනයක් හඳුන්වා දීමකි. එහි ප‍්‍රතිවිපාක පෙරදැකිය හැකි විය. මේ සංශෝධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන්, පළාත් සභා සහ පළාත් රාජ්‍ය සේවයක් සහිතව, බලතල බෙදා හැරෙන විධිමත් ව්‍යුහයක් නෛතිකව ස්ථාපිත වුව ද, එය ක‍්‍රියාත්මක වුණේ මධ්‍යගත රාජ්‍ය රටාවක් හෝ රාජ්‍ය ක‍්‍රමයක් තුළ ක‍්‍රියාත්මක වන පරිද්දෙනි. ඒ නිසා, පරිපාලනමය, ව්‍යවස්ථාමය, අධිකරණමය සහ විධායක ආදී පළාත් සභා පාලනයේ සෑම අදියරකදීම, මධ්‍ය කේන්ද්‍රය මගින් එම බලය සෑම විටකම නීති විරෝධීව වටලනු ලැබේ.

මේ සංශෝධනයේ ඇතැම් අංග, උදාහරණයක් වශයෙන්, ඉඩම් හා පොලිස් බලතල ක‍්‍රියාත්මක කෙරුණේවත් නැත. ‘ක‍්‍රියාත්මක නොවන ව්‍යවස්ථාවක්’ උද්ගත වන්නේ, නෛතික ව්‍යවස්ථාව වෙනස් වන අතරේ දේශපාලනික ව්‍යවස්ථාව නොවෙනස්ව පවතින තත්වයකදී පමණි. එනම්, නෛතික ව්‍යවස්ථාවට වඩා දේශපාලනික ව්‍යවස්ථාව බලගතු වන බව ය. ලංකාවේදී මෙන්, ජනතාවගෙන් බහුතරයක් ද, ඔවුන්ගේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධර තන්ත‍්‍රය ද ක‍්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තීන්දු කෙරෙන්නේ දේශපාලනික ව්‍යවස්ථාව මගින් නම්, නෛතික ව්‍යවස්ථාව පමණක් වෙනස් කිරීමෙන් රටක් පාලනය කෙරෙන ආකාරයේ කිසි වෙනසක් සිද්ධ වන්නේ නැත. ඒ නිසා, මේ දෙකම, එනම් නෛතික ව්‍යවස්ථාව සහ දේශපාලනික ව්‍යවස්ථාව යන දෙකම වෙනස් විය යුතුව තිබේ.

යොමුව විතැන් කිරීම

මේ සියල්ල සැබෑවක් නම්, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේ වත්මන් මංපෙත වෙනස් විය යුතුව තිබේ. මෙතෙක් මේ ක‍්‍රියාවලිය තුළ සැලකිල්ල යොමුව ඇත්තේ නෛතික ව්‍යවස්ථාව කෙරෙහි ය. එය වැදගත් කාර්යයකි. එහෙත් දේශපාලනික ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ජනතා එකඟත්වයක් නැතොත්, නෛතික ප‍්‍රතිපාදන වෙනස් කිරීම සම්බන්ධයෙන් පවතින ප‍්‍රභූ එකඟත්වය නිරර්ථක වන්නේය. එබැවින්, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය දැන්වත් දේශපාලනික ව්‍යවස්ථාව වෙනස් කිරීම කෙරෙහි යොමු විය යුතුව තිබේ. එසේ නොවුණහොත් ජනමත විචාරණයකදී ආණ්ඩුව පරාජය වීමට හොඳටම ඉඩකඩ තිබේ. ඊටත් වඩා, එය ජයග‍්‍රහණය කර ගත හැකි වෙතත්, ඊට සමගාමීව දේශපාලනික ව්‍යවස්ථාවේ වෙනසක් නොකර ගතහොත්, රටේ බලය සැබවින්ම අභ්‍යාස කෙරෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කිසි වෙනසක් සිදු නොවනු ඇත. එවිට අපේ ව්‍යවස්ථාව ‘ඔරුමිත්තනාඩු’ යනුවෙන් හැඳින්නුවත් නැතත්, අප සිටිනු ඇත්තේ පෙර සිටි පරිද්දෙන්ම ය.

දේශපාලනික ව්‍යවස්ථාව අප වෙනස් කර ගන්නේ කෙසේද? ප‍්‍රථම පියවර, ඕනෑම ව්‍යවස්ථාමය සැකසුමක් සඳහා අප භාවිත කරන තර්කණයන්හි ස්වභාවයට අදාළ වන්නේය. දේශපාලනික ව්‍යවස්ථාවේ පදනම වන්නේ, සෙසු ප‍්‍රජාවන් බැහැර කෙරෙන සිංහල-බෞද්ධ ජාතිකවාදී චින්තනය නම්, බලතල බෙදාහදා ගැනීමට සහ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට ඇති බාධාව එය නම්, ඊට දක්වන අපේ ප‍්‍රතිචාරයත් සිංහල-බෞද්ධ ජාතිකවාදී චින්තනය මතම පිහිටුවිය යුතුව තිබේ. බහුතරයකට අපේ තර්කය ඒත්තු ගැන්විය හැක්කේ එවිට ය. සෑම පැරණි ජාතිකවාදයක් තුළ මෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදය තුළත් ප‍්‍රතිගාමී මෙන්ම ප‍්‍රගතිගාමී අංගෝපාංග ද ඇති බව අමතක නොකළ යුතුය.

ප‍්‍රතිසංස්කාරකයන් කළ යුත්තේ, ඒ තුළ අඩංගු ප‍්‍රගතිගාමී අංග ඉස්මත්තට ගෙන ඒවා මහජන සංවාදයට යොමු කිරීමයි. මානව විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් දැනටමත් ඒ අරභයා පර්යේෂණ සිදු කොට තිබේ. ප‍්‍රතිසංස්කාරකයන් කළ යුත්තේ ඒවා ජනතාව අතරට ගෙන යාමයි. ඒ අනුව, අලූත් ව්‍යවස්ථාව වෙනුවෙන් ගොඩනැගෙන තර්කණය, බුද්ධාගම තුළ ඇති ඉවසීම සහ බහුත්වවාදය මත එක පැත්තකින් පදනම් කළ හැකිය. තවත් පැත්තකින්, යටත්විජිතවාදයට කලින් පැවති සිංහල රාජ්‍යයේ අසමමිතික ස්වරූපය මත පදනම් කළ හැකිය. ජනමත විචාරණය ජයගත හැක්කේ එයාකාරයෙනි.

උදාහරණයක් වශයෙන් ඒකීය රාජ්‍යය පිළිබඳ කාරණය ගන්න. බලතල බෙදාහදා ගැනීමට විරෝධය දක්වන්නන් කියන්නේ, මේ කියන ඉංග‍්‍රීසි ඒකීය රාජ්‍ය සංකල්පය, යටත්විජිතවාදයට පෙර පැවති සිංහල රාජ්‍යයේ ස්වභාවයට සමාන වන බව ය. එහෙත් ඇත්තෙන්ම එය එසේ විණි ද? විචාරශීලී ඉතිහාසඥයන් සහ මානව විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි, ඒ කාලයේ පැවති සිංහල රාජ්‍යය, ‘ඒකීය රාජ්‍යයක්වත්, කේන්ද්‍රගත රාජ්‍යයක්වත්’ නොවන්නේය. එදා පැවතියේ, පර්යන්තයන් වෙත බලය බෙදා හැරුණු, අසමමිතික රාජ්‍ය ක‍්‍රමයකි. ඒ ක‍්‍රමය තුළ, දෙමළ ප‍්‍රජා ප‍්‍රධානීන් ඇතුළු පළාත්බද පාලකයන්ට ඉතා පෘථුල ප‍්‍රාදේශීය ස්වාධීනත්වයක් හිමි විය. ඒ අනුව, බලතල බෙදාහදා ගැනීම යනු, අපේ ඒ උත්කෘෂ්ඨ අතීතයට ආපසු යාමක් මිස ඒ අතීතයෙන් කැඞී වෙන් වීමක් නොවේ.

ප‍්‍රථම පියවර වන්නේ එවන් තර්ක ගොඩනැගීමයි. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධ වන්නන්ට ඔවුන්ගේම බුද්ධිමය ඉසව්වේ පිහිටා පිළිතුරු සැපයීමයි. එසේ නොමැතිව, සුපුරුදු ලිබරල් තර්කණය ඔවුන් සම්බන්ධයෙන් වලංගු නොවේ. මේ සඳහා, ඉතිහාසඥයන්, මානව විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් මෙන්ම නීතිඥයන් සහ නීති විශාරදයන් අතරේ සහයෝගී සන්ධානයක් අවශ්‍ය කෙරේ. ව්‍යවස්ථා සම්පාදනයේදී සාමාන්‍යයෙන් ප‍්‍රමුඛත්වය ගන්නේ නීතිඥයන් සහ නීති විශාරදයන් ය. එහෙත් එහිදී ඔවුන්ගේ තර්ක විතර්ක සාර්ථක වීම සඳහා අවශ්‍ය සංස්කෘතික සහ සමාජ ආම්පන්න අප සතුව නැත.

දෙවැනි පියවර වන්නේ, මේ තර්කණයන් ගොඩනංවන ආකාරයයි. රහක් නැති හේතුවාදී තර්ක, සඟරාවල විදග්ධ ලිපි සැරසීම සඳහා ප‍්‍රයෝජනවත් විය හැකිය. අධිකරණයක නඩු ජය ගැනීම සඳහා උපයෝගී විය හැකිය. එහෙත් ඒවා මගින් දේශපාලනික ව්‍යවස්ථාව වෙනස් කළ නොහේ. ප‍්‍රතිසංස්කාරකයින් ජනමත විචාරණයක් ජය ගැනීම ගැන සැබෑ උනන්දුවක් දක්වන්නේ නම්, ඊටත් වඩා මේ රට තුළ බලය අභ්‍යාස කෙරෙන ආකාරයේ වෙනසක් ඔවුන් සැබවින්ම අපේක්ෂා කරන්නේ නම්, ඔවුන් වේදිකාව දෙසට හැරිය යුත්තේය. වීදි නාට්‍ය දෙසට සහ කලාව දෙසට හැරිය යුත්තේය. ඔවුන්ගේ තර්ක සජීවී කළ හැක්කේ ඒවා ආශ‍්‍රයෙනි. අද අපට අවශ්‍ය කරන්නේ, මංගල සමරවීරගේ සුදු නෙළුම වැනි ව්‍යාපාරයන් ය. දැන්වත් අප එවැන්නක් සඳහා පේවිය යුතු නැත්ද?

නිගමනය

ජනමත විචාරණය ජය ගැනීම සඳහා, නෛතික පඨිතය සම්බන්ධයෙන් වන එකඟත්වය අවශ්‍ය කෙරේ. එහෙත් ඒ සමගම දේශපාලනික ව්‍යවස්ථාව තුළ වෙනස්කම් ඇති කිරීම ද අවශ්‍ය කෙරේ. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය, සිංහල-බෞද්ධ ජාතිකවාදී භූමි භාගයට ගෙන යා යුතුව තිබේ. ප‍්‍රතිසංස්කාරකයන් නෛතික, ව්‍යවස්ථාමය සහ ලිබරල් තර්ක මතම එල්ලී සිටියොත් ඔවුන්ට ජනමත විචාරණය ජය ගැනීමට නොහැකි වෙනවා පමණක් නොව, අවශ්‍ය කරන වෙනස ඇති කර ගැනීමටත් නොහැකි වන්නේය. එබැවින් කළ යුතුව ඇත්තේ, දේශපාලනික ව්‍යවස්ථාව බරසාරව සැලකිල්ලට ගැනෙන නිර්මාණාත්මක සහ බහුත්වවාදී මූලෝපායක්, ඉහත කී චින්තනය මත ස්ථානගත කිරීමයි. එසේ කළහොත්, ශ‍්‍රී ලංකාව තුළ යම් වෙනසක් සාධනය කර ගැනීමේ විභවයක් පාදා ගත හැකි වනු ඇත.

*2017 නොවැම්බර් 16 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “How to Win the Referendum? A Tale of Two Constitutions” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.