25 April, 2024

Blog

අර්ජුන මහේන්ද්‍රන් නිසා අප ශ්‍රී ලංකා මහ බැංකුව නැමැති අල්මාරියේ දොර​ දෙකම ඇරියා: රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

නව රජය ලෙස අප රාජ්‍ය අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ සිදු වී තිබෙන මහා පරිමාණ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමට ක්‍රියා කරමින් සිටිනවා. කෙසේ නමුත් මේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත්ව කරුණු විමර්ශනය කිරීමක් සිදු නොවන බවට ද ඇතැමුන් අතර සැකයක් තිබෙනවා. 

ඇත්ත වශයෙන්ම සිදු වී තිබෙන මේ මහා පරිමාණ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා නිසි පළපුරුද්ද සහ දැනුම ඇති නිලධාරීන් විශාල පිරිසක් අවශ්‍ය වනවා. එවැනි පළපුරුද්දක් සහ දැනුමක් තිබෙන අය සිය වැඩ කටයුතු අතපසු කර ගෙන මේ විමර්ශන සඳහා සම්බන්ධ වීමට අකමැත්තක් ද දක්වනවා. එම නිසා අපට මේ විමර්ශන කටයුතු සිදු කිරීමට සිදුව තිබෙන්නේ අප සතුව සිටින සීමිත නිලධාරීන් සහ සම්පත් උපයෝගී කර ගෙනයි.

මහා පරිමාණ දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් අප මේ විමර්ශන කටයුතු කරන විට විවිධ අලූත් කරුණු කාරණා ද හෙළිදරව් වනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2015 සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා අප විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා.

මේ කමිටුවේ වගකීම සහ කාර්යභාරය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව 2015 සඳහා රුපියල් කෝටි 1000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කරද්දී යම් දූෂණයක්, වංචාවක් සහ අක්‍රමිකතාවක් සිදු වී තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමයි.

මේ මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීමේ දී ඊට අදාළ තීන්දු තීරණ ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නොව මහ බැංකුව මගින් පත් කෙරුණු ටෙන්ඩර් කමිටුව බව එම විමර්ශන කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

කෙසේ නමුත් මේ සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ කරුණු විමසා බලා පළමු වටයේදීම එම පෙත්සම නිෂ්ප්‍රභා කළා.

අප මේ වැඩ කටයුතු සියල්ල සිදු කර තිබෙන්නේ විනිවිද භාවයෙන් යුතුව වන අතර මේ පිළිබඳ සියලූ කරුණු කාරණා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ද ඉදිරිපත් කර තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ තේරීම් කාරක සභාව මේ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බලනවාට අප සියලූ දෙනාම එකඟයි.

ඒ මන්ද, ශ්‍රී ලංකා මහ බැංකුව 2015 සඳහා රුපියල් කෝටි 1000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීමේ දී ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අදාළ විමර්ශන කමිටුව කරුණු සොයා බලද්දී මහා පරිමාණ දූෂණයක් හෙළි දරව් වීමයි.

එනම්, 2012, 2013 සහ 2014 යන වර්ෂවල දී ශ්‍රී ලංකා ආණ්ඩුවට මුදල් එකතු කිරීම සඳහා රුපියල් කෝටි 2,70,000 ක මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ කිසිදු විනිවිද භාවයකින් තොරව හිටපු පාලකයින්ගේ මිතුරන්ට බව එම කමිටුව කළ විමර්ශනයේ දී හෙළි වී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 1000 ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් විභාග කිරීමට ගොස් ඒ වගේ 270 ගුණයක් වැඩි මහා පරිමාණ වංචාවක් සොයා ගැනීමට අපට හැකි වී තිබෙනවා. මේ මහා භාණ්ඩාගාර බැඳුම්කර ඒකාධිපති රෙජීමය එදා ලබා දී තිබුණේ සිය මිත්‍රයින්ට වන අතර ඒ අය එම බැඳුම්කර විකුණා සල්ලි ලබා ගත්තා.

මේ මහා භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගත යුත්තේ ටෙන්ඩර් කමිටුවක් මාර්ගයෙන් ප්‍රසිද්ධ වෙන්දේසියකින් වන නමුත් පැවැති ආණ්ඩුව අදාළ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු කළේ පුද්ගලික සහ ඍජු ඉල්ලීම් මතයි.

“ඍජු ඉල්ලූම් හරහා උපයාගත් මුදල් ප්‍රමාණය සුරැකුම් පත් වෙන්දේසියෙන් ලත් ප්‍රමාණයට වඩා වැඩි බව කමිටුව විසින් නිරීක්ෂණය කරන ලදි. ණය දෙපාර්තමේන්තු නිලධාරීන් ඍජු ඉල්ලූම් වඩාත් ප්‍රතිඵලදායී ක්‍රියාදාමයක් ලෙස හැදින්වුවද අප විසින් කරුණු විමසන ලද ප්‍රාථමික ගැණුම්කරුවන් කියා සිටියේ එම ක්‍රියාදාමය විනිවිදභාවයෙන් අඩු බවයි. ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වූත්, වැඩබලන මහ බැංකු අධිපතිවූත් සමරසිරි මහතාද මේ කරුණ සනාථ කළේය” යනුවෙන් විමර්ශන කමිටු වාර්තාවේ 3.3 වගන්තියේ පැහැදිලිව සඳහන් වනවා.

එමෙන්ම ‍පෞද්ගලික ඉල්ලූම් පිළිබඳව පිළිගත් ක්‍රමවේදයක් නොමැති බව කමිටුව විසින් නිරීක්ෂණය කරන ලදී. විශේෂ උපදෙස් අනුව ඍජු ඉල්ලූම් නිකුත් කළ බවට වන වාර්තා හැර පෞද්ගලික ඉල්ලූම් සම්බන්ධයෙන් ගත් තීරණ ගනු ලැබුවේ කෙසේදැයි පිළිබදව සදහනක් නොමැතෙ යනුවෙන් එම වාර්තාවේම 3.4 වගන්තිය යටතේ කියා සිටිනවා.

රුපියල් කෝටි 270000 ක භාණ්ඩාගාර බිල්පත්වලින් රුපියල් කෝටි 243700 ක භාණ්ඩාගාර බිල්පත් ලබා ගෙන තිබෙන්නේ ඍජු පුද්ගලික ඉල්ලීම් පිළිබඳ ක්‍රමවේදය යටතේයි. ඒ බව භොණ්ඩාගාර සුරැකුම්පත් බොහොමයක් අලෙවි කර ඇත්තේ පෞද්ගලික ඉල්ලූම්වලට නිසා ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ ක්‍රියාශීලි සහභාගීත්වය අහිමි වී ඇතැයි සමරසිරි මහතා ඉහත දැක්වෙන වගුව ඉදිරිපත් කරමින් විස්තර කළේය. මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා සිදු කරන ලද සෘජු ඉල්ලූම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිවලට අනුකඣල නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේයෙ යනුවෙන් එම වාර්තාවේ 30 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වනවා.

එමෙන්ම එම වාර්තාවේ 31 වැනි වගන්තිය යටතේ කියා සිටින්නේ ෙ හැකි සෑම විටම මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීම වෙන්දේසි මගින් ඉටු කරගත යුතු බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තු අත්පොතෙහි විශේෂයෙන් සඳහන් කර ඇති බව කමිටුව විසින් නිරීක්‍ෂණය කරනු ලබයි. වෙන්දේසි ඉක්මවා ගොස් පෞද්ගලික ඉල්ලූම්වලට ඉඩ දීම යහපත් ප්‍රවේශයක් නොවන බවත් එය ඵලදායී සහභාගීත්වයට අහිත කර ක්‍රියාදාමයක් වන අතර විනිවිද භාවයෙන් තොර බවත් ප්‍රාථමික ගණුදෙනුකරුවන් ද තහවුරු කළහෙ යනුවෙනුයි.

මේ සල්ලි ලැබුණේ කිනම් අයෙකුටද? මේ සල්ලිවලින් රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කෙරුණේ නැහැ. ජනතාවට සහන ලැබුණේ නැහැ. මේ භාණ්ඩාගාර බිල්පත් පුද්ගලික සහ ඍජු ඉල්ලීම් ක්‍රමවේදය යටතේ ලබාගත් අය ඒ බිල්පත් විකුණා රුපියල් කෝටි ගණන් මුදල් උපයා ගත්තා.

පැවැති ආණ්ඩුව යටතේ මේ අය වෙන්දේසියෙන් ලබාගත්තේ රුපියල් කෝටි 26,300 ක මහා භාණ්ඩාගාර බිල්පත් පමණයි. වෙන්දේසියෙන් භාණ්ඩාගාර බැඳුම්කර ලබා ගැනීමේ දී ඒ ගැන තීරණය කළ යුත්තේ ඊට අදාළ ටෙන්ඩර් මණ්ඩලයයි.

“2014 මැයි 27 වන දා සිදු කළ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසීන්ට අදාළ ලියවිල්ලක් (X5 ඇමුණුම) ඉදිරිපත් කළ සමරසිරි මහතා එම අවස්ථාවේදී ටෙන්ඩර් කමිටුවේ කිසිදු සාමාජිකයෙකුගේ සහභාගීත්වයක් හෝ ඒ පිළිබඳ සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් අනාවරණය කළේය. ඊට අදාල ලියවිල්ලට අත්සන් තබා තිබුනේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාත් මහ බැංකු අධිපතිවරයාත් පමණකි. ටෙන්ඩර් මණ්ඩල කමිටුවේ කිසිදු සාමාජිකයෙකු මෙම ලියවිල්ල දැක නැති බවත් ඔවුන්ගේ අත්සන් එම ලියවිල්ලේ නොමැති බවත් ටෙන්ඩර් මණ්ඩල කමිටුවේ රැස්වීමක් ගැන කිසිදු සඳහනක් එම ලියවිල්ලේ නැති බවත් ඔහු අනාවරණය කළේයෙ යනුවෙන් එම විමර්ශන වාර්තාවේම 32 වැනි වගන්තිය කියා සිටිනවා.

ඒ කියන්නේ මේ ගනුදෙනුව කර තිබෙන්නේ ටෙන්ඩර් මණ්ඩලයක් මාර්ගයෙන් විධිමත් ආකාරයට සහ විනිවිද භාවයෙන් යුතුව නොව, ඒ අයට කැමැති ආකාරයට වන බවයි. මෙබඳු ගනුදෙනුවක දී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය මහ බැංකු අධිපති, එම දෙපාර්තමේන්තුව භාර සහකාර මහ බැංකු අධිපති, මහජන දෙපාර්තමේන්තුවේ අධිකාරීවරයා, පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකවරයා, දේශීය මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකවරයා සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරීවරයා යන අය ටෙන්ඩර් මණ්ඩලයේ අනිවාර්යෙන්ම සිටිය යුතුයි. එහෙත් මේ අය මේ කිසිදු නිලධාරියෙකුගෙන් තොරව සිය කැමැත්ත පරිදි මේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය ද ලබා දී තිබෙනවා. ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය කෙතරම් විනිවිද භාවයකින් තොරව කටයුතු කර තිබෙනවාද යන්න මේ අනුව පැහැදිලි වනවා.

සිය හිතමිතුරන්ට ඒකාධිපති රෙජීමය ලබා දුන් රුපියල් කෝටි 270,000 ක බැඳුම්කර විකුණා ඒ අය ඒකාධිපති රෙජීමයට 10% ක කොමිස් මුදලක් ලබා දුන්නා නම් ඒ අයට රුපියල් කෝටි 27,000 ක් තිබෙනවා. සිය හිත මිතුරන් සහ හෙංචයියන් ධනපතියන් කිරීම සඳහා ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය කළේ මේ වගේ දූෂිත ගනුදෙනුයි.

මෙවැනි මහා පරිමාණ දූෂණවලින් මුලින් සල්ලි හම්බ කර ගත් ඒකාධිපති රෙජීමය ඊට පසුව එම මුදල් කොටස් වෙළෙඳපොළට යොදවා එම වෙළෙඳපොළ පාලනය කරමින් ද මුදල් උපයා ගත් අතර විවිධ කොන්ත්‍රාත් ඇතුලූ ගනුදෙනුවලින් ද 10% ක කොමිස් ගසමින් මුදල් හම්බ කළා.

අපට අවශ්‍ය වී තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය කමිටුව මාර්ගයෙන් මේ සියලූ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා ගැනීමටයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මේ සියලූ තොරතුරු අපට ලබා දෙන ලෙස මහ බැංකුවට මම නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව 2015 සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමර්ෂනයක් වහාම ඉල්ලා සිටියේ විපක්‍ෂයයි. ඒ අනුව අප ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කර විමර්ශනයක් ආරම්භ කළා. ඒ විමර්ශනයට අනුව එම විමර්ශන කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර තිබෙන අතර මහා පරිමාණ දූෂණයක් සම්බන්ධයෙන් ද එමගින් කරුණු හෙළි දරව් කර තිබෙනවා. විපක්‍ෂය දැන් කියා සිටින්නේ ඒ වාර්තාව මගින් හෙළි දරව් කළ කරුණු පසෙක තබා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගැන පමණක් කතා කරමු කියායි. මේ කියා සිටින්නේ විමර්ශන කමිටුව මගින් හෙළිදරව් කර තිබෙන ඒ මහා පරිමාණ හොරකම් යට ගසන්න කියාද? මේ අය යෙදී සිටින්නේ හොරුන් වෙනුවෙන් හොරුන් ආරක්‍ෂා කරන සටනක බව මේ අනුව පැහැදිලි වනවා.

මේ මහා පරිමාණ දූෂණය හෙළිදරව් කිරීමත් සමග විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් බිය වී සිටින අතර මේ තත්ත්වයට වගකිව යුත්තේ වාසුදේව නානායක්කාර, මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන ඇතුලූ හිටපු ඇමැතිවරුනුයි. සිය පාලන කාලයේ දී මේ තරම් මහා පරිමාණ හොරකමක් සිදු වූයේ කෙසේද කියා ඒ අය කිව යුතුයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සිටින විට කට ඇරීමට මේ අය බියෙන් සිටියත් යහපාලනය යටතේ මේ අයට කිසිදු බියක් නැතිව ඕනෑ තරම්, ඕනෑම යමක් කිව හැකියි. එදා කට ඇරියොත් සුදු වෑන් මගින් පැහැර ගැනෙන නිසා මේ අය බියේ කට ඇරියේ නැහැ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ සියලූ පාර්ශ්වයන් එකට එකතු වී මේ රට සම්පූර්ණයෙන්ම ශුද්ධ පවිත්‍ර කළ බව මේ අනුව පැහැදිලි වනවා. එතුමා දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. මහ බැංකු සිද්ධිය ගැන කෑ ගසමින් විපක්‍ෂය උත්සාහ කළේ මහ බැංකු අභ්‍යන්තරයට ගොස් අප මේ තත්ත්වයන් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම වැළැක්වීමටයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වය මත අප කළේ ශ්‍රී ලංකා මහ බැංකුව නැමැති අල්මාරියේ දොර​ දෙකම ඇරීමයි. ඒ සමගම කාලයක් මුළුල්ලේ ඒකාධිපති රෙජීමය මහ බැංකුවේ කර තිබෙන සෙල්ලම හෙළි වුණා.

*2015.05.22 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරී හමුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    This is called “Asking,Hitting!!! Vaasu lost his temper and toppled the apple cart in the house.Now we will be able to hear and see how Cabral had run the show.

  • 0
    0

    ලොකු වචන දාලා ඉතාම සංකීර්‍ණ දෙයක් විදිහට අගමැති තුමා මේක පෙන්නනවා. නමුත් මේක කෙටියෙන් ඍණාර්‍ණයක් ගැනයි. ඒ කියන්නේ ණයක් ගෙවීමට ගත් ණයක් යන්නයි.

    සාමාන්‍යයෙන් පරණ ණය පොළී වැඩියි නම් කරන්නේ ඒ ණය දුන් තැන්වලට ගිහිං වෙනත් බැංකුවල අද ණය දෙන පොළිය පෙන්වලා ඒ ගණනට අඩු කරන්න, නැත්නම් අපි මේ ණය අනික් බැංකුවලට වෙනස් කරනවා කියා කීමයි. නැතිව ගෙවන ණයට වඩා පොළී ගෙවන ණය ගන්න සිරිතක් තියෙනවාද? බැන්කු ව්‍යාපාරය කියන්නේ මුදල් ණයට දීලා පොළියෙන් ලාභ ලබන එකයි. ඉතින් බැන්කු ණය දෙන්න තරඟ කරනවා. රටවල් බැන්කුවට යන්නේ නෑ. බැන්කු රටවලට එනවා. ඒකයි හරකුන් හා රටේ ලේ උරා බොන කූඬැල්ලන් නායකයින් හැටියට පත් කරන රටවල් හැමදාම ජාත්‍යන්තර බැන්කුවලට ණය වෙලා ඉන්නේ.

    මෙතන වුනේ එලිපිට පෙනෙන මහා ප්‍රෝඩාවකුයි. කප්පන් හා කැමැත්තෙන් මාස් පතා ත්‍රස්ත ව්‍යාපාරයට එකතුවෙන මුදල් පිට රට තියෙනවා. අද අඩු වුනත් එදා ඒවා පෙන්වලා, ඒවායින් නිති පතා ගෙවිය හැකිය කියා පෙන්වා පාතාල බැන්කුවලින් ගත් විශාල ණය මුදල් කඳු පිටින් අතේ තියෙන හොරු ඉන්නවා. පාතාල ලොවේ මුදල් සුලබයි, ලාබයි. සාමාන්‍යයෙන් පොළිය සියයට එකට වඩා අඩුයි. නමුත් ඒවා මුදල් නෝට්ටු නිසා කෙලින්ම වියදම් කරන්න අමාරුයි.

    ත්‍රස්තවාදයට එරෙහිව යන අමෙරිකාව දැන් දැන් හොර සල්ලි පස්සේ යනවා. ඒ නිසා ලෝකයේ ලේසියෙන් සල්ලි තැන්පත් කළ හැකි බන්කු සමග ගනුදෙනු කරන ඇමෙරිකන් වැසියන් ගැන සෙවිල්ල වැඩි වෙලා. හොර සල්ලි වැඩියෙන් පාවිච්චි වෙන්නේ සුළු ආයුද (තුවක්කු) මිළදී ගන්නයි. දේශපාලකයින්ට ඡන්ද ආධාර එකතු කළා කියා දෙන්නත් පත්තර කායින්ටයි පගා දෙන එකත් තව ලේසි විධි දෙකක්. ඇමරිකාවේ ව්‍යාපාර වස්තු හා කොටස් විකුණන වෙළෙන්දන් හැටියට වෙස් වලාගෙන මේ සල්ලි තියාගන්න අය ඉන්නවා. හිරේ ගිය රාජරත්නම් ඒ වගේ කෙනෙක්. රාජ් සිල්වා කියා තවෙකෙක් චිකාගෝවල ඉන්නවා. ඔහු ඕබමාගේ ඡන්දයට ආධාර එකතු කළ බන්ඩ්ලර් කෙනෙක් හැටියට ඕබමාට සල්ලි දුන්නා. දීලා යුද කටයුතු පිළිබඳ උපදෙස් කමිටුවේ සාමාජිකකම ඉල්ලුවා:

    හොර සල්ලි බැන්කුවට දාන්න ක්‍රමයක් ඕනේ. බැන්කු රහස් පනත (BSA) යටතේ බැන්කු සේවකයන්ට පුළුවන් ඕනෑම සැක කටයුතු මුදල් ගනුදෙනු බදු දෙපාර්තමේන්තුවට වාර්තා කරන්න. ඩොලර් 10,000ක් හෝ ඊට වැඩි ගණනක් නෝට්ටු හැටියට දිනකදී තන්පත් කළොත් එය අනිවාර්යයෙන්ම වාර්ත්තා කල යුතුයි. බැකු සේවකයින් මේ නිසා සුළු ජාතින් වර්‍ගයක් ගැන ඔවුන්ට දන්වා ඇත්නම් ඒ අය ගැන් සෙවිල්ලේ සිටින්න පුළුවන්.

    සල්ලි තියන්න තැනක් හොයන අයගෙන් විශාල පොළී දීලා සල්ලි ගත්තේ ඇයි කියා තවත් කිව යුතුද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.