26 April, 2024

Blog

ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත්කර ගැනීමට ධීවර ප්‍රජාවගෙන් සහය අවශ්‍යයි

රනිල් වික්‍රමසිංහ

මීට අවුරුදු දෙකකට පෙර විපක්‍ෂනායකවරයා වශයෙන් මම කල්පිටියට පැමිණි අවස්ථාවේදි ධීවර ප්‍රජාව ඒ අයගේ ප්‍රශ්න සහ අවශ්‍යතා පිළිබදව මා වෙත කරුණු ඉදිරිපත් කළා. මේ ප්‍රශ්නවලට අපේ ආණ්ඩුව යටතේ තාවකාලික විසදුමක් ලබාදෙමින් ධීවර බෝට්ටු මේ ස්ථානයට ගෙන එන්න අප අවස්ථාව සලසා දී තිබෙනවා. එමෙන්ම ධීවර ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න සඳහා දීර්ඝ කාලීන විසදුම් ලබාදී ඒ අයගේ අවශ්‍යතා ඉටුකිරිමට ද නව රජය ලෙස අප පියවර ගනිමින් සිටිනවා.

ධීවර ජනතාව එදා මුහුණ දී සිටි ප්‍රශ්න වූයේ අධික තෙල් මිල, පැවති ආණ්ඩුව මුහුද විදේශිකයින්ට විකිණීම සහ අපේ ධීවර නිෂ්පාදන තහනම් කිරීමට යුරෝපා සංගමය කටයුතු කරමින් සිටීමයි. කෙසේ හෝ 2014 නොවැම්බර් මාසයේදී යුරෝපා සංගමය අපේ ධීවර නිෂ්පාදන ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. ධීවර ජනතාව මුහුණ දි සිටින මේ බරපතල ප්‍රශ්න තුනටම ස්ථිර සහ දීර්ඝ කාලීන විසදුම් ලබාදෙන බව ජනාධිපතිවරණයේදි අප පැහැදිලිව කියා සිටියා.

Ranilලෝකයේ තෙල් මිල කෙතරම් අඩු වුණත් මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකාවේ තෙල් මිල අඛන්ඩවම වැඩි වුණා. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබානොදුන් මේ අය රටේ තෙල් මිල තව තවත් වැඩි කරමින් ඒ සල්ලි සිය සාක්කුවේ දාගත්තා. එමෙන්ම අපේ ධීවර ජනතාව කොතෙකුත් ප්‍රශ්නවලට මුහුණ දී සිටියදි මේ අය ශ්‍රී ලංකාව වටා මුහුදු තීරය විදේශිකයින්ට විකුණුවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වුණාට පසුව ප්‍රථමයෙන්ම අප කළේ ජනාධිපතිවරණයේදි පොරොන්දු වූ ආකාරයටම ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමයි. අපේ ස්ථාවරය සහ ප්‍රතිපත්තිය වන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවුණාම ඒ වාසිය රටේ ජනතාවට සහ ආර්ථිකයට ලැබිය යුතු බවයි. එමෙන්ම ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල වැඩි වන විට ඒ අවාසිය දරා ගැනීමටද අප පුරුදු විය යුතුයි. එසේ නොමැතිව ලෝකයේ ඉන්ධන මිල වැඩි වන විටත් අඩු වන විටත් අපේ රටේ ඉන්ධන මිල අඛණ්ඩවම වැඩි කිරීම මහ අපරාධයක් බව කිව යුතුයි.

විදේශීය ධීවර යාත්‍රා අනවසරයෙන් පැමිණ අපේ මුහුදේ මසුන් ඇල්ලීම සම්පූර්ණයෙන්ම නතර කළ අප මේ වෙනුවෙන් ඉදිරියේදි අලූත් ප්‍රතිපත්තියක් සකස් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අපේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ඒ ඒ ධීවර යාත්‍රාවලට බලපත්‍ර ලබාදෙන්නේ ඒ ප්‍රතිපත්තියට අනුව වන අතර එහිදි ශ්‍රී ලාංකික ධීවරයන්ට අප ප්‍රමුඛතාවය ලබාදෙනවා.

අපේ ධීවර නිෂ්පාදන අපනයනය යුරෝපා සංගමය තහනම් කිරීම හේතුවෙන් ධීවර ජනයා එදා විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ලෝකයේ රටවල් අටක් ධීවර කටයුතුවලදි යුරෝපා සංගමයේ නීති උල්ලංඝනය කර ඇතැයි තීරණය කළ එම සංගමය එම රටවල් අට ඒ අඩුපාඩු වහාම නිවැරදි කර නොගන්නේ නම් ඒ අයගේ ධීවර අපනයනය තහනම් කරන බව එම සංගමය 2012 නොවැම්බර් 15 වනදා දැනුම් දුන්නා.

යුරෝපා සංගමය පෙන්වා දුන් ආකාරයට අප ඒ වැරදි නිවැරදි කර නොගත් අතර ඒ අනුව 2012 නොවැම්බර් මාසයේදි එම සංගමය අනතුරුදායක බව අගවන කහ පැහැති පත්‍රිකාව (yellow Card) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළා. 2014 නොවැම්බර් මාසය වන විටත් යුරෝපා සංගමය කළ ඉල්ලීම් කිසිවක් එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ බලධාරින් ඉටුකර නොතිබු නිසා යුරෝපා සංගමය අපේ ධීවර අපනයනය තහනම් කරමින් රතු පත්‍රිකාව (Red Card) අපට ලබාදුන්නා.

මේ තත්වය යහපත් අතට හරවා මේ ප්‍රශ්නය විසදීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහ ඔහුගේ ආණ්ඩුවට හැකියාවක් වගේම ශක්තියක් තිබුණේ නැහැ. යුරෝපා සංගමය සමග ගහ මරා ගත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඒ රටවල් සමඟ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද සූදානම් වූයේ නැහැ.

අපේ ධීවර නිෂ්පාදන තහනම් කරමින් යුරෝපා සංගමය නිකුත් කළ රතු පත්‍රිකාව අවලංගු කරගත හැකි වන්නේ කොළ පත්‍රිකාව මගින් පමණයි.

එමනිසා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව පත් වූ අපේ නව රජය කළේ එවකට ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෝෂප් මයිකල් පෙරේරා මහතා සමඟද කතාකර මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ අප සාකච්ඡා ආරම්භ කළා.

යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකිකයකු වන නිරංජන් දේවාදිත්‍ය මහතා මගේ උපදේශකයකු ලෙස පත්කර ගත් මම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග සාකච්ඡා කිරීමේ වගකීමද ඔහුට පැවරුවා. ඔහු යුරෝපා සංගමයේ සංවර්ධන කමිටුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන නිසා මේ සාකච්ඡාවලදි ඔහුගේ දායකත්වය අපට ඉතා වැදගත් වුණා.

අපේ අඩුපාඩුකම් ගණනාවක් තිබෙන බව ඒ සාකච්ඡාවලදි පිළිගත් අප වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ සියලූ අඩුපාඩු සකස් කර ගැනීමටද එකග වුණා. ගෙවුණු වකවානුවේදි ධීවර කටයුතු සහ ඒ නිෂ්පාදන සම්බන්ධයෙන් අප නොකර මග හැරියේ කුමක්දැයි විමසා සිටි අවස්ථාවේදි යුරෝපා සංගමය පෙන්වා දුන්නේ ගෙවුණු අවුරුදු දෙකේදි අප කාර්ය ක්‍රියාදාමයන් 57ක් උල්ලංඝනය කර තිබෙන බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඒ කාර්ය ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීම සඳහා මම විශේෂ කමිටුවක් පත්කළ අතර මේ වැඩකටයුතු වෙනුවෙන් ඕනෑතරම් මුදලක් යෙදවීමට ක්‍රියාකරන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දුන්නා. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වීම මත යුරෝපා සංගමය පිහිටි බ්‍රසල්ස් නුවර තානාපති කාර්යාලයේ වාණිජ නිලධාරිනියද මේ ක්‍රියාදාමයට අප සමග එක්වූ අතර නෙරංජන් දේවාදිත්‍ය මහතාගේ සහයෝගයද ලබාගෙන අප වහාම ක්‍රියාත්මක වුණා.

මේ ක්‍රියාදාමයන් 57ම ක්‍රියාත්මක කිරීමට එකග වූ අප මේ වන විට ඒ ක්‍රියාදාමයන් 57න් 36ක්ම සාර්ථකව අවසන් කර තිබෙන අතර ඉදිරි ක්‍රියාදාමයන් වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහ ඔහුගේ ආණ්ඩුවට මේ ප්‍රශ්නයේදි රටත් ජනතාවත් ගැන සිතා මේ අයුරින් ක්‍රියා කිරීමට නොහැකි වූයේ ඇයි? නව රජය ලෙස අපට මාස 5ක් වැනි කෙටි කාලයක් ඇතුලතදි මේ ප්‍රශ්නය විසදා ගැනීම සඳහා ක්‍රියාදාමයන් 36ක් අවසන් කිරීමට හැකි වී තිබෙනවා. ඒ අනුව අපට තව සම්පූර්ණ කිරීමට තිබෙන්නේ ක්‍රියාදාමයන් 21ක් පමණක් වන අතර ඒ ක්‍රියාදාමයන්ද ඉක්මනින්ම සපුරාලීමට අප කටයුතු කරනවා.

ඒ අනුව අප ගැඹුරු මහ මුහුදේ ධීවර කර්මාන්තය සිදුකරන ආකාරය පිළිබද රෙගුලාසිය, ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමේ රෙගුලාසිය, ධීවර ආම්පන්න වකුටු කිරීමේ රෙගුලාසිය, නැව් නිරීක්‍ෂණය කිරිමේ රෙගුලාසිය සහ ධීවර නිරික්‍ෂණ මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ රෙගුලාසිය ආදි රෙගුලාසි ඉටුකිරිමේ කටයුතු අප ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම අපේ ධීවර නැව් නිරික්‍ෂණය කිරිමේ ක්‍රම වේදයෙන් ලැබෙන තොරතුරු සහ ලොග් පොතට ඇතුලත් කර තිබෙන තොරතුරු සමඟ සංසන්දනය කිරිමේ කටයුතු ද අප ආරම්භ කර තිබෙනවා. නැව් නිරීක්‍ෂණය කිරිමේ ක්‍රම වේදය සඳහා අප බලයට පත්වන තුරුත් කිසිවකුත් අත්සන් කර නොතිබු නමුත් අප බලයට පත්වී අදාල සමාගමක් සමඟ ඒ ගිවිසුම අත්සන් කළා. ඒ අනුව මේ වන විට ධීවර නැව් සහ බෝට්ටු 165ක ඊට අදාල උපකරණ සවිකර තිබෙනවා. එමෙන්ම ඉදිරි සති කිහිපය ඇතුලතදි තවත් නැව් සහ බෝට්ටු 400 ක මේ උපකරණ සවිකිරීමටද අප බලාපොරොත්තු වනවා.

මේ ක්‍රමවේදය අනුව අදාල නෞකාව හෝ බෝට්ටුව තිබෙන්නේ මුහුදේ කිනම් ස්ථානයකද කියා අපට පැහැදිලිව දැනගත හැකියි. එමෙන්ම මහ මුහුදේ යන සෑම නැවකටම සහ බෝට්ටුවකටම ඒ සඳහා විශේෂ බලපත්‍රයක් නිකුත් කිරිමේ ක්‍රමයක්ද අප ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා කොන්දේසිද පනවා තිබෙනවා.

මහ මුහුදේ යාත්‍රා කරන සෑම නෞකාවකම නිරීක්‍ෂකයෙකු සිටිය යුතු බව යුරෝපා සංගමය පෙන්වා දුන් අවස්ථාවේදි අප ඒ අයට පැහැදිලි කර දුන්නේ අපට බහුතරයක් තිබෙන්නේ කුඩා බෝට්ටු වන නිසා ඒ සෑම බෝට්ටුවකටම නිරීක්‍ෂකයෙකු දැමීමට අපට අපහසු බවයි. අපේ කරුණු දැක්වීම පිළිගත් යුරෝපා සංගමය මුහුදු යන බෝට්ටු යලි ගොඩබිමට පැමිණියාම නිරීක්‍ෂණය කරන ක්‍රම වේදයක් ඇති කරන්නැයි අපෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මේ නිරීක්‍ෂණ ක්‍රම වේදය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් අප සකස් කර තිබෙනවා.

මේ අනුව සැප්තැම්බර් සහ ඔක්තොම්බර් මාසවලදි යුරෝපා සංගමය සමග යලිත් සාකච්ඡා කර මේ අවුරුද්ද අවසන් වීමට පෙර ඒ අය අපේ ධීවර නිෂ්පාදනය තහනම් කරමින් නිකුත් කර තිබෙන රතු පත්‍රිකාව අවලංගු කර ගැනීමට අපට හැකිවනවා.

එමනිසා මේ වැඩකටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර ප්‍රජාවගෙන් මම සහයෝගය ඉල්ලා සිටිනවා. ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ ධීවර කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්වරුන් මේ වැඩකටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටිනවා. එසේනම් නෞකා නිරීක්‍ෂණ වැඩකටයුතු සදහා සිය යාත්‍රාවල අදාල උපකරණ (Transponder) සවිකිරිමට අදාල සමාගමට ඉඩ ලබාදෙන්නැයි ධීවර ජනයාගෙන් අප ඉල්ලා සිටිනවා. මේ වැඩකටයුතු සඳහා  ලබාදෙන්නැයි නාවුක හමුදාවටද අප මේ වන විටත් දැනුම් දී තිබෙනවා.

අපේ ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කර ගෙන අපේ නිෂ්පාදන යුරෝපයේ අලෙවි කරන විට අපේ මිල ගණන් වැඩිවෙනවා. යුරෝපයේ අපේ ධීවර නිෂ්පාදන අලෙවි කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලාපා තිබෙන්නේ ඒ අය අපේ නිෂ්පාදන තහනම් කිරීම සහ අධික තීරු බදුයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස 2003 දී මම තීරුබදුවලින් තොරව සහනාධාර ක්‍රමයකට අපේ නිෂ්පාදන යුරෝපයට අපනයන කිරීම සඳහා එම සංගමය සමග සාකච්ඡා කළා. ඒ අනුව චන්ඬිකා කුමාරතුංග මහත්මිය බලයේ සිටි 2005 වර්ෂයේදි ඒ සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් ජීඑස් පි ප්ලස් බදු සහනය ලබාගැනීමට අපට හැකිවුණා. මේ බදු සහනය බලපාන්නේ ඇඟලූම් කර්මාන්තයට කියා අප පළමුවෙන්ම සිතා ගෙන සිටියත් අවසානයේදි ධීවර නිෂ්පාදන සඳහාද ඒ බදු සහනය ඇතුලත් වුණා.

කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ 2009දී මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ නිසා ජීඑස්පි ප්ලස් බදු සහනය සම්පූර්ණයෙන්ම අපට අහිමි වුණා. ඒ අනුව මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ තිබෙන ජිනිවා ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවෙන් පසුව ඒ ප්‍රශ්නයද විසදා ගෙන ජීඑස්පි ප්ලස් බදු සහනය යලි ලබාගැනීමට අප කටයුතු කරනවා.

ජීඑස්පි ප්ලස් බදු සහනයද ලබාගෙන යුරෝපා සංගමය අපේ ධීවර නිෂ්පාදන සඳහා පනවා තිබෙන තහනම මේ අවුරුද්දේම අවලංගු කර ගත හොත් අපේ ධීවර නිෂ්පාදන තීරුබදු රහිතව යුරෝපා වෙළදපොළට අපනයනය කිරීමේ අවස්ථාව අපට උදා වනවා. මේ තත්වය අපේ ධීවර කර්මාන්තයට විශාල රුකුලක් ලැබී එම කර්මාන්තය අතිශයින් දියුණු වන බව කිව යුතුයි.

අප මේ අනුව ක්‍රියාකරමින් ඉදිරියට යනවා නම් ධීවර කර්මාන්තය නවීකරණය කරන්නේ කෙසේද යන්න පිළිබදව විශේෂ අවධානය යොමු කළ යුතුයි. ධීවර තොටුපලවල් ඉදිකළ යුතු අතර අපේ බෝට්ටු නවීකරණය කිරීමද කළ යුතුයි. මහ මුහුදේ ධීවර කටයුතුවල යෙදෙනවා නම් ටේ‍රා්ලර් යාත්‍රා කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර කුඩා ධීවරයින් ආරක්‍ෂා කිරීමද කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් අප සැලසුම් සකස් කරමින් සිටින අතර ඒ ඔස්සේ මේ අවුරුද්ද අවසන් වන විට අපට තිබෙන නීතිමය ප්‍රශ්න සහ අපට එල්ල වී තිබෙන බාධා සියල්ල ඉවත් කර ගැනීම අපේ අරමුණයි.

අපේ ධීවර කර්මාන්තය ගෝලීය වශයෙන් දියුණුකර තරඟකාරීත්වයක් ඇති කරමින් ඉන්දියන් සාගරයේ අපට අයිති කලාපයේ ධීවර සම්පත් විදේශ රටවලට අපනයනය කළ විශාල විදේශ විනිමයක් ඉපයීම අපේ අරමුණයි.

ඒ විදේශ විනිමය උපයා ගැනීම සඳහා අපට මේ වන විට සිදුවී තිබෙන්නේ මැද පෙරදිග රටවලට අපේ කාන්තාවන් ගෘහ සේවයට යැවීම ආදි ඒ රටවල රැකියා කිරිමටයි. එහෙත් මේ ධීවර කර්මාන්තය දියුණු කරනවා නම් ඊට වඩා විශාල විදේශ විනිමයක් අපට උපයා ගත හැකියි.

මේ ප්‍රදේශය දියුණු කිරිමේදි සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමටද අප කටයුතු කරන අතර නව කර්මාන්ත ශාලා ඇති කිරිමටද සැලසුම් කර තිබෙනවා. එපමණක් නොව මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයද දියුණු කළ යුතුව තිබෙන අතර ඒ වෙනුවෙන්ද අප කටයුතු කරමින් සිටිනවා. මේ සඳහා අප සැලසුම් සකස් කරමින් සිටින අතර මහ මැතිවරණයෙන් පසුව ඒ සැලසුම් ක්‍රියාත්මක කරමින් සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ සංවර්ධන ක්‍රියාදාමයේදි මේ පුත්තලම දිස්ත්‍රික්කය සංවර්ධන කලාපයක් ලෙස අප හදුනාගෙන සිටිනවා. අපේ සෑම නිෂ්පාදනයකම නිෂ්පාදන මිල ගෝලීය තරඟකාරී මට්ටමකට ගෙන ඒම අපේ අරමුණ වනවා.

එසේනම් අපේ ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත්කර ගැනීමට සිය උපරිම සහයෝගය ලබාදෙන්නැයි ධීවර ප්‍රජාවගෙන් මේ අවස්ථාවේදි මම ඉල්ලා සිටිනවා. එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදි මේ සංවර්ධනය රටේ ගෙන යා හැකි ආණ්ඩුවක් ඇති කර ගැනීම සඳහා ඔබේ වටිනා ඡන්දය ලබාදෙන්නැයි ඉල්ලා සිටිනවා.

*2015.06.20 වැනි දින පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය කන්දකුලියමුණේ ඔරුතොටුපල ධීවර ගම්මානයේ ධීවර ප්‍රජාව හමුවී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.