23 April, 2024

Blog

‘යාල්දේවි’යට පිළිසඳර මැදිරියක්

සෝමපාල ගුණධීර –  

උතුර හා දකුණ අතර ගැටීම් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ දෙපක්ෂයට මුහුණට මුහුණ හමු වි කතා බස් කිරීමට ඇති අවස්ථා අඩුකම යයි මම විශ්වාස කරමි. මා උතුරු පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අධිකාරයේ ප්‍රථම සභාපති වශයෙන් සිටියදී උතුරේ කණ්ඩායම් වලට දකුණට පැමිණ තම සහෝදර පුරවැසියන් හමුවීමට සලසන චාරිකා සංවිධානය කළෙමි. පළමුවෙන් පැමිණියේ උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්වී සිටි පාසල් ශිෂ්‍ය කණ්ඩායමකි. එම කණ්ඩායම නැවෙන් පැමිණ ත්‍රිකුණාමලයේ ගොඩ බසින විට, ඔවුන්ගේ මුහුණුවල පෙනෙන්නට තිබුණේ සැක මුසු බියපත් බවකි. ඔවුන් එම චාරිකාවට සහභාගී වීම කෙරෙහි කොටි සංවිධානයේ ආකල්පය කුමක් වේද යන සැකයත්, ‘එපා කරපු උන්’  යයි තමන්ට හඳුන්වා දෙන ලද ජන කොට්ඨාශයක්  හමු වීමට ඇති බියත්, ඒ ප්‍රතිචාරයට හේතු වූ බවට සැකයක් නැත.

Mahinda Yal Deviඑහෙත් ජනාධිපතිනිය සහ තම සහෝදර ශිෂ්‍යයන් හමුව, පාර්ලිමේන්තුව සහ ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන, ආගමික සිද්ධස්ථාන සහ  උසාවි ආදිය නරඹමින් කතරගම දක්වා යාමෙන් පසුව ළමයින්ගේ සිත් බොහෝ සේ සැහැල්ලුවී තිබුණු බවක් පෙනිණ. අනතුරුව කොට්ඨාස වලින් නම් කරන ලද ප්‍රමුඛ ගොවින් කණ්ඩායමක් ද එම ගමනට සහභාගී කරවන ලදී.. ළමයින්ට ලැබුණු ප්‍රතිචාරය කෙතරම් උණුසුම් වුයේ ද යත්, සිංහලයන් එතරම් සුහද, සංග්‍රහශීලි පිරිසක් බව දැනගන්නට ලැබීම මවිතයට කරුණක් වූ බව මගේ දෙමළ සහකාර නිලධාරියෙකුට ඔවුන් පවසා තිබුණි. ගොවි කණ්ඩායමේ හැඟීම ද ඒ හා සමාන විය. කණ්ඩායම් දෙකේම ප්‍රතිචාරය මා 1956 දී රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් යාපනේ සේවයට  ගිය අවස්ථාවේ මට ඇතිවූ හැඟිමේ ප්‍රතිරාවයක් විය.

මෑතදී පැවති අර්බුදයෙන් පසුව ජාතිය ඒකාබද්ධ කිරීමේ වගකීම පැවරී ඇති බලධාරීන්, ජන කොට්ඨාශ වලට ඔවුනොවුන් හමුවී හඳුනා ගැනීමට අවස්ථා සලසා දීමට යුහුසුළු විය යුතුය. දැනටම විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති ‘යාල්දේවි’ දුම්රියේ ගමන මේ සඳහා අනගි අවස්ථාවකි. විසි වසරකට අධික කාලයක් තුළ ජනයා අතර පැවති පරතරය මෙම දුම්රිය විසින් අඩුකරන ලදුව, ඔවුන්ට සැබවින්ම මුහුණට මුහුණලා කථා කිරීමට අවස්ථාව ලැබී ඇත. මගීහු දහස් ගණනක් දිනපතා යාපනයට යන එන තූරු  එක ගමනකට පැය හතකට අධික කාලයක් එකට හිඳගෙන ගමන් කරති.  ඔවුහු ඔවුනොවුන් හඳුනා නොගෙන, කතාබහක් නොමැතිව ගමන කෙළවර වන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිති. මේ ඈනුම් හරිමින් ගත කරන කාලය ජනතාව සම්බන්ධ කිරීමට ඇති අගනා අවස්ථාවකි. විශාල   ආයෝජනයක් කරමින් යාපනයට ඉදි කළ දුම්රිය මාර්ගය මගින් නිර්මාණය වී ඇති මෙම අවස්ථාව අපතේ යා නොදී නිසි ප්‍රයෝජන ගැනීමට යුහුසුළුව ක්‍රියා කළ යුතුව තිබේ. `යාල්දේවි’ මගින් විශාල ආදායමක්  උපයා ගැනීම නිසා උද්දාමයට පත්ව සිටින දුම්රිය දෙපාර්තමේන්තුවට පැවරෙන යුතුකමක්  මෙතන ඇත. එනම් ගමනේදී මගීන්ට ඔවුන්ට එකිනෙකා සමග සංවාදයක යෙදීමට පහසුකම් සලසා දීමෙන් මුලු ජාතියටම සේවයක් කිරීම ය.. එක දුම්රිය මැදිරියක් `පිළිසඳර මැදිරිය’ වශයෙන් නම් කිරීමෙන් මෙම වැඩ පිළිවෙලට ආරම්භයක් දිය හැක.

මැදිරියක් මැදමංපෙත සහිත ආසන යුගල පේලි දහයකින් පමණ යුක්තය. සාමාන්‍යයෙන් සියලු ආසන එකම දිසාවට මුහුණලා තිබේ. මා මෑතදී යාපනේ යන විට ආසන පිළියෙල වී තිබුනේ ඒ අකාරයටය. මෙම ආසන පිළියෙල අනුව මට කතා කළ හැකිව තිබුනේ අසල ආසනයේ සිටි කාන්තාව සමග පමණකි. ඇය යාපනයේ ඉපිද එහිම හැදී වැඩී දැනට කොළඹ පදිංචිවී සිටින කාන්තාවක් වුවාය. ඇය යාපනයට යමින් සිටියේ  ඇයගේ මිය ගිය ඥාතිවරයකු වෙනුවෙන් පැවැත්වෙන දේව මෙහෙයකට සහභාගී වීම සඳහා ය. යුගල ආසන වල ඇනයක් කරකවා ආසන හතරකින් යුත් කුටියක් සදා ගත හැකි බව පසුව දැන ගතිමි. ආපසු එන ගමනේදී යුගල ආසන එසේ සකස් කරගෙන දෙමළ ජාතික මගීන් තිදෙනෙකු සමග ගමන කෙළවර වන තෙක් සතුටු සාමීචියේ යෙදී සිටීමට මට හැකි විය.

දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් කළ යුතුව ඇත්තේ `පිළිසඳර මැදිරියේ’, ආසන හතරේ කුටි සකස් කර එක එක කුටිය, එක්ව ගමන් කිරීමට කැමති සිංහල, දෙමළ සහ මුස්ලිම් මගියන්ගෙන් යුක්ත මිශ්‍ර කණ්ඩායම් වලට පැවරීම ය. මෙම වැඩ පිළිවෙල අනුව ජන කොට්ඨාශ තුනේ 40 දෙනෙකුට පමණ ඔවුනොවුන් සමග පිළිසඳරෙහි යෙදීමේ දුර්ලභ අවස්ථාවක් සැළසේ. මෙසේ කිරීමෙන් හැම ගමනකදීම යටත් පිරිසෙයින් ඒ ඒ ජන කොට්ඨාශවල 40 දෙනෙකුට ඔව්නොවූන් හඳුනා ගැනීමේ අවස්ථාව සැළසේ.

දුම්රිය දිනකට දෙවරක් එහා මෙහා ගමන් කරන නිසා, දවසකට අලුත් හමුවීම් 160 ක් එකතු වේ. ඉල්ලුම වැඩි වත්ම, වැඩිපුර `පිළිසඳර මැදිරි’ එකතු කළ හැකිය.  ඒ මගින්, ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්   පිරිසකට වෙනත් ආකාරයකින්  හමුවීමට අවස්ථාවක් නොලැබෙන,  තම රට වැසියන් පිරිසක් පහසුවෙන් හමුවීමට අවස්ථාව සැළසේ. මෙය නො දැනුවත්වම ජන කොට්ඨාශ අතර දීර්ඝ කාලීන සම්බන්ධයක් ඇති කිරීමට තුඩු දෙන එහෙත් බැලූ බැල්මට නො පෙනෙන සබැඳියාවක් ගොඩනැගීමට ඉවහල් වනු ඇත.  මෙය දෙවෙනි වන්නේ ඔවුනොවුන්ගේ භාෂා ඉගෙනීමෙන් ලැබෙන රුකුළට පමණකි.

යාල්දෙවි දුම්රියේ භෝජනාගාරය මෙතෙක් ක්‍රියාත්මක නොවී තිබීම පාඩුවකි. ධාවන කාලය තුළ අතුරුපස ගැනීමේ පහසුකම් තිබුණේ නම් වැඩි වැඩියෙන් පිරිස හමුවී මිත්‍රත්ව ගොඩනගා ගැනීමේ අවස්ථාවක්  ඇතිවේ. සිංහ සමාජ, ආගමික සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන වැනි ජාතික ඒකාබද්ධතාවට කැපවූ  ආයතන, විශේෂයෙන් මග දෙපස පිහිටි එබඳු ආයතන. ආහාර සැපයුම් කරුවෙකු මගින් `පිළිසඳර මැදිරියට’ අතුරුපස සැපයීම මගින් සහාය විය හැකිය. මෙසේ සිදුවුව හොත් එක්ව ගමන් කිරීම සඳහා ආසන වෙන්කරවා ගැනීම සඳහා ඉල්ලීම් වැඩිවිය හැකි අතර මෙම ක්‍රියාවලිය නිර්මාණශීලී ලෙස ක්‍රියාත්මක කළහොත් `යාල්දේවි’ දුම්රිය  `මිත්‍රත්ව දුම්රියක්’ බවට පරිවර්තනය වනවා ඇත.

 *2014 නොවැම්බර් 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  A Chat-Compartment In “Yarldevi” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය හේමකිර්ති දිසානායක

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.