25 September, 2020

Blog

යාපනයට ගිය තුන්වන ගමනෙන් පසු

සෝමපාල ගුණධීර – 

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධීර

මා පළමු වරට යාපනයේ සිට ආපසු පැමිණියේ 1958 දී සිවිල් සේවා අධුනිකයෙකු වශයෙන් කච්චේරියේ සේවය කිරීමෙන් පසුවය. ශ්‍රී විරෝධී උද්ඝෝෂණයක් පවතින අවධියක මගේ 1 ශ්‍රී මොටර් රථයට හානියක් නොවී සුහද සහ නම්‍යශීලි ජන කොටසක් සමග සේවය කරන්නට අවස්ථාව ලැබීම ගැන සතුටු සිතින් මා ආපසු කොළඹට පැමිණියේ `සිංහල පමණයි’ තේමාව යටතේ පැවතුණු ජාතිවාදී අරගලය  පවතින අතර තුරය. දෙවැනි පුනරාගමනය වුයේ, `රිවිරැස’ ක්‍රියාන්විතයෙන් පසු  උතුර පුනරුත්ථාපනය කිරීමෙහි යෙදී සිටින අතර තුර,  දක්ෂිණ ලංකා සංවර්ධන අධිකාරිය බේරාගැනීම සඳහා මා හදිසියේ කැඳවනු ලැබීම නිසාය. එවකට මා උතුරු පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අධිකාරයේ ප්‍රථම සභාපති වශයෙන් නියුතුව සිටියෙමි. උතුරේ සිට තුන්වන වරට ආපසු පැමිණියේ `ට්‍රැවල් අයි’ ආයතනය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සංවිධානය කරන ලද දින තුනක සංචාරයක් නිම කිරීමෙන් පසුවය.

මා සංචාරය අරඹන විට උතුරේ සිදුවන දේ පිළිබඳ මගේ දැනුම පදනම්ව තිබුනේ දුෂමාන ආරංචි, කටකතා, විරෝධතා සහ ප්‍රචාරණ මතය. අදාළ කරුණු පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීමට මගේ විදුලියපැහැ වන් සංචාරය කිසිසේත් ප්‍රමාණවත් නො වුවද, මා දුරබැහැර  සිට ඇති කරගත් නිගමන නැවත සලකා බැලීමට එය අවස්ථාවක් කර ගතිමි. යාපනයේ හමුදා ක්‍රියාකාරකම් ගැන අසා තිබුනු තොරතුරු අනුව මා තුළ මැවී තිබුණේ එහි පවතින්නේ හමුදා ග්‍රහණයට නතු වූ භුමි ප්‍රදේශයකට සමාන බව පෙන්වන සිතුවමකි. එවැනි මානසිකත්වයක් ඇතිව ගිය මට අපගේ සංචාරයේ ගමන් කළ නොයෙකුත් වීථි කිසිවක එක පොලිස් භටයෙකු හෝ දකින්නට නො සිටීම කුතුහලයට හේතුවක් විය. එම මාර්ගයේ එකම මුරපලක් හෝ දකින්නට නො තිබුණි.  කන්තරෝදේ නටබුන් අසළ හමුදා භටයෙකුත්, දඹකොළ පටුනෙහි තවත් භටයෙකුත් දුටුවෙමි. නාගදීපයට  සහ නාගපූෂනි අම්මන් කෝවිලට  යාමේදී සහ ආපසු ඒමේදී යොදා ගැනෙන පාලම අසල නාවික භටයන් කිහිප දෙනෙකු දුටුවෙමි. ඔවුන් සියලු දෙනාම යම්කිසි නිල කටයුත්තක යෙදී සිටි අතර ඔවුන් හා අප අතර කිසිම ප්‍රතිචාරයක් නො විය.

භීතිකා මානසිකත්වය

ඔවුන්ගේ භාෂාවෙන් කථා  කිරීමට මට හැකිවීම නිසා, අපගේ සේවය  සඳහා යොදවා සිටි අය සමග දෙමළෙන් කතා බස් කරමින් යම් මට්ටමක විශ්වාසයක් ගොඩනගා ගැනීමට හැකිවිය.  සැතපුම් කිහිපයක් යනතෙක් පොලිස් හෝ හමුදා භටයෙකු දකින්නට නො ලැබෙන තත්වයක් තිබියදී ආක්‍රමණ හමුදාවක් පිලිබඳ පැමිණිලි කරන්නේ ඇයිදැයි ඔවුන්ගෙන් විමසුවෙමි. පිළිතුර වුයේ `ඔවුන් නිල ඇඳුමින් නො සිටියත් අප ගැන විමසිලිමත්ව සිවිල් ඇඳුමින් සෑම තැනම සිටිනවා’ යන්නය. මෙම සැකය, පදනම් රහිත වුවත් නැතත්, මගේ මුල් ගමනේදී සිනා මුසුව මා පිළිගත් ජනයාගේ මුහුණුවල පෙනෙන්නටවූ දුරස්ථ භාවයේත් නො සන්සුන් භාවයේත් හේතුව එය යයි සිතිය  හැකිය. මෙම බිය මුසු සැකය,  යථා තත්වයක් නම්, එය සංහිඳියාව ගොඩ නැගීමට ඇති බරපතල මාර්ග බාධකයක්  වන අතර එම සැකය දුරු කිරීමට සන්නද්ධ හමුදා උපරිම උත්සාහ ගත යුතුය.  මෙය කළ හැක්කේ මහජනයාගේ විශ්වාසය දිනා ගැනීමට කරන අවංක උත්සාහයක් මගිනි.

jaffna-kachcheri-in-old-timeහමුදාව, දැන් මහජනයා  සමග සම්බන්ධතා   පවත්වන්නේ කොයි ආකාරයටදැයි මම නොදනිමි. රිවිරැස මෙහෙයුමෙන් පසුව මා උතුරට පැමිණෙන විට හමුදාව හා මහජනයා අතර ගනු දෙනු ඉතා සුහද, ක්‍රමවත් පිළිවෙළකට පැවති බව දුටුවෙමි. මගේ පත්වීමෙන් පසුව, පළමුවෙන්ම හමුවූ නිලධාරියෙකු වුයේ වවුනියාව භාරව සිටි බ්‍රිගේඩියර් කලුපහනය. ඔහු, ඔහුගේ  සහායකව සිටි ජෙනරාල් නන්ද මල්ලවාරච්චි සමග ඔවුන් භාරයේ සිටි ජනයාගේ දුක් පීඩා ගැන සැබෑ බෞද්ධ ආකල්පයකින් යුක්තව සිටියේය. පාලනයට වඩා සංහිදියාව වැදගත් ලෙස බ්‍රිගේඩියර් කලුපහන සැලකීය. අදාළ පොත් පත් මට ලබා දෙමින්, වෙනත් රටවල ජනයා අතර විරසකකම්, අන්‍යොන්‍ය අවබෝධයෙන් හා සාකච්ඡා මගින් විසඳා ගත් අයුරු මට පැහැදිලි කරන්නට ඔහු නො ගත් වෙහෙසක් නැත. බ්‍රිගේඩියර් කලුපහනගේ ප්‍රවේශය මගේ උතුරේ කාර්ය භාරය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළේය.

අර්ධද්වීපයේ පැවති තත්වය හමුවේ ද  යුදහමුදාවේ ආකල්පය මීට වෙනස් නොවිය. ජනරාල් රොහාන් දළුවත්ත හා ඔහුගේ සහායකයන්වූ අභාවප්‍රාප්ත ජානක පෙරේරා වැනි අය ඔවුන්ගේ කාර්ය භාරයේදී දැඩි වෘත්තිමය ආකල්පයක පිහිටා ක්‍රියා කළහ. ඔවුන් රජය වෙනුවෙන් ප්‍රාදේශීය කැරැල්ලක් මැඩලීමේ අරමුණින් යුතුව කටයුතු කළා මිස  අරබුදයට පදනම් වූ  ජාතිවාදී හැඟීම් ආරෝපණය කරගත්තේ නැත.  මගේ තනතුරේ ආරම්භයේදී, මට ආරක්ෂා සහිත විකල්ප නවාතැනක් නොවූ නිසා හමුදා නිලනිවාස වල නතර වීමට මට සිදුවිය. සන්ධ්‍යාවේදී ආපාන සහ රාත්‍රී භෝජනය සඳහා රැස් වන නිලධාරින් මට හමුවිය. එම අවස්ථාවල එකතුවූ සියලු දෙනාම සිංහල ජාතිකයන් වූ නමුත් කිසිම අවස්ථාවක හමුදාව විසින් මැඩලීමට වෙහෙසෙන කැරලි කරුවන්ගේ ගෝත්‍රිකත්වය පිලිබඳව එකම අවඥාසහගත සඳහනක් නො විය. අර්ධද්වීපය තුළ පැතිර තිබුන හමුදා වෙළඳ ශාලා මගින් එම ප්‍රදේශවල පදිංචි කරුවන්ට හිඟ ද්‍රව්‍ය සපයන ලදී. ජනරාල් ජානක පෙරේරා නිතිපතා තම කොට්ඨාශයේ ප්‍රජා නායකයන් හමුවී අදහස් හුවමාරු කරගත් බව මතක ය.

යුද හමුදාවට ප්‍රගතිශීලි කාර්යභාරයක්

මෙම ක්‍රියා පිළිවෙත් විස්තරාත්මකව සඳහන් කළේ, රිවිරැසව මෙහෙයුමෙන් පසු යුදහමුදාව මහජනයා සමග පවත්වාගෙන ගිය  සම්බන්ධතා  හුදෙක් වෘත්තිමය මට්ටමින් පැවති බව හුවා දැක්වීමට ය. ඔවුන් කැපවී සිටියේ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට මිස දේශපාලනමය හෝ ජාතිවාදී අරමුණුවලට නොවේ. ප්‍රශස්ත යුදවිරුවකූ ලෙස සැලකුණ ජනරාල් කොබ්බෑකඩුව යුද හමුදාවේ ක්‍රියාකාරකම් වලින් හානි සිදුවූ අය ගැන සානුකම්පිකව සිටි බව අසා ඇත්තෙමි. අර්ධද්වීපය භාරව දැනට සිටින හමුදාපතිවරයාද ඔහුගේ කාර්යභාරයට සාධනීය  ආකල්පයක් දරමින් පවත්නා තත්වය යටතේ මහජනයාට හැකිතාක් දුරට උපකාරී වීමට උත්සාහ කරන බව අසා ඇත්තෙමි. ඔහුගේ උත්සාහයන් දේශපාලන වෙඩිහුවමාරුවට අසුවී බිඳවැටෙනවා විය හැක.

පෙනෙන්නට තිබෙන හෝ සැකකරන බලවේග වලට එරෙහිව සම්පුර්ණ ශක්තිය යොදා තම දේශය ආරක්ෂා කර ගැනීමට රජයකට ඇති අයිතිය ගැන කිසිවෙකුට ප්‍රශ්ණ කළ නො හැකිය. ගැටළු ඇතිවන්නේ එවැනි පහසුකම් නිශ්චිත  පමණ ඉක්මවා හෝ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා යෙදවීමෙනි. සන්නද්ධ හමුදා විසින් කැරැල්ල සාර්ථක ලෙස මර්දනය කර මේ අවස්ථාවේදී, ඔවුන්ට ඊටත් වඩාත් වැදගත් කාර්යභාරයක් පැවරී  ඇත; එනම් බලපෑම් නොකොට මහජනයාගේ අභිමතය පරිදි, ඔවුන්ගේ ජීවිතය ගෙන යාමට ඉඩ කඩ සැලසීමය. මේ සඳහා විශ්වාසය ගොඩනැගීම, පහසුකම් සලසා දීම සහ අපක්ෂපාතී වීම අවශ්‍ය ය. තමන් ජීවත් වනුයේ බාහිර සුපරීක්ෂාව යටතේ ය යන හැගීම මහජනයා තුළ ඇතිකරවන  මනෝමය බාධක බිඳ හෙළිමට සාධනීය ක්‍රියා මාර්ග අවශ්‍යය. උතුරේ බැලූ බැල්මට පෙනෙන  අසහන තත්වය යථාර්ථය නොවේ නම්, ඔවුන් කටයුතු කරන පසුබිම අනුව, එය කොතරම් දුෂ්කර වුවත්, එම අසහන වටපිටාව දුරු කිරීමට  සන්නද්ධ හමුදා කැපී පෙනෙන උත්සාහයක් ගෙන සිත් සතන් දිනා ගත යුතුය.

සංනිවේදනයේ බිඳවැටීම

මගේ  චාරිකාවේදී මගෙ සගයන් පුත්තුර්හි පතුලක් නැති ලිඳට එබී බලමින් බලමින් සිටි අතර, ලිඳට වඩා බොහෝ සේ ගැඹුරුයයි  මා කල්පනා කළ ප්‍රශ්නයකට විසඳුමක් සෙවීමට මදකින් හෝ දායක වීමේ අදහසින් මම ඒ අසල වූ බේකරියට ගොඩවීමි. ප්‍රශ්නය නම් සංනිවේදනයේ බිඳ වැටීමයි. බේකරියේ නම පුවරුවේ නම සිංහලෙන් ද සඳහන්ව තිබුණි. බේකරිකරු සිංහල නොදැන සිටි නිසා මා ඔහු සමග කතා කළේ දෙමළෙනි. බේකරි හිමියා ද දෙමළෙනි. නමුත් ඔහු බේකරි උපකරණ ගෙන්වා ගෙන තිබුණේ සිංහල නිෂ්පාදකයෙකුගෙනි. දැන්වීම් පුවරුවෙහි සිංහල යෙදීම ගැන  ඔහුට ප්‍රශංසා කොට, පතුලක් නැති ළිඳ නැරඹීමට එන සිය ගණන් සිංහල ජනයා සමග කතා බස් කිරීමට හැකි වන තරමට සිංහල ඉගෙන ගතහොත් ඔහුගේ වෙළඳාම වැඩි දියුණු කරගත හැකි බව යෝජනා කළෙමි. මා ඔහුගේ භාෂාවෙන් කථා කිරීම ගැන බේකරිකරු සතුටු වූ අතර, දකුණෙන් පැමිණෙන ඔහුගේ ගනුදෙනුකරුවන් සමග සිංහලෙන් කථා කිරීමට තරම් සිංහල ඉගෙන ගැනීමට ඔහු එකඟ විය.

නගරයේදී, දෙමළයයි මා මුලදී වරදවා තේරුම් ගෙන සිටි මුස්ලිම් වෙළෙන්දෙකු මට හමු විය. ඔහුගේ සම වාර්ගිකයෙකු විසින් අත්හැර දමා ගොස් තිබුණු යකඩ බඩු කඩයක් ඔහු නැවත විවෘත කර තිබුණි. පිටවී ගිය දෙදහසක් පමණ සංඛාවකින් ආපසු පැමිණ ඇත්තේ හතළිහක් හෝ පණහක් පමණ බව ඔහු පැවසීය. ඔහුට හිරිහැරයක් සිදුවී නැත.  වෙළඳ කටයුතු සතුටුදායකය. අතීතයේ බේකරි නිෂ්පාදන වල ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය සිංහල බේකරිකරුවන් කිහිප දෙනෙකු ද ආපසු පැමිණ ඇත. ඔවුන් නො සිටි කාලයේ ව්‍යාපාරයට ප්‍රවිෂ්ඨවූ දෙමළ බේකරිකරුවන් සමග ඔවුහු සහයෝගයෙන් කටයුතු කරති. පොදුවේ ගත් කල, නැවත පදිංචි කරවීමේ කටයුතු  මැනවින් ආරම්භ වී ඇති බව පෙනේ. මගේ කලින් ගමනේදී කඩාබිඳ ගෙන ගිය ගොඩැලි සහිත පාරවල වාහන තදබදයක් තිබුණ නමුත්, ඒවා මැනවින් අලුත්වැඩියා කර තිබුණි. පාර දෙපැත්තේම නව ගොඩනැගිලි උසට පැන නැගෙනු දක්නට ලැබුණි. කම්කරු ශ්‍රේණිවල පවා රැකියා අවස්ථා වල හිඟයක් පවතින බව අප නතරවී සිට හෝටලයේ කනිෂ්ඨ සේවකයන්ගෙන් දැන ගතිමි. එසේ නම් කැපී පෙනෙන සංවර්ධනය සඳහා මුදල් ලැබෙන්නේ කෙසේද? මට දැන ගන්නට ලැබුනේ  ආයෝජන වැඩි ප්‍රමාණයක් ලැබුනේ ඩයස්පෝරාවෙන් බවය. අප නතරවී සිටි අලංකාර හෝටලය අයත්ව තිබුනේ ඕස්ට්‍රේලියාවේ  පදිංචි ද්‍රවිඩ යුවලකට ය.

යාල්දේවි දුම්රිය ගමන සැපපහසු වුවා මෙන්ම ප්‍රිය ජනක ද විය. ආපසු එන ගමනේදී මට හිඳ ගන්නට ලැබුනේ කණ්ඩායමේ සෙසු අයගෙන් දුරින්වූ මැදිරියක මුහුණට මුහුණලා තිබුණු ජෝඩු ආසනයකය. එම බක්කියේ සිටි අප සිවුදෙනාම නිශ්ශබ්දව අසුන් ගෙන සිටීමෙන් පසු. මම මගේ අසල ආසනයේ සිටි අය සමග කථාව ආරම්භ කළෙමි. මා ගැන සඳහන් කරන තෙක් මා දෙමළ ජාතිකයෙක්යයි ඔහු සිතා  සිට ඇත. ඔහු යාපනය විශ්ව විද්‍යාලයේ උපාධියක් ලැබ ගුරුවරයෙකු වශයෙන් සේවය කරන්නෙක් විය. ක්‍රමක්‍රමයෙන් මට ඉදිරියෙන් සිටි මගියා ද කතාවට එක් විය. ඔහු එම විශ්ව විද්‍යාලයේ ම වෙනත් මණ්ඩපයකින් උපාධියක් ලැබ ත්‍රිකුණාමලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරයි. හතර වැනියාද පසුව කතාවට එකතු වූ අතර මා සිතුවේ ඔහු ද ගුරුවරයෙකු බව ය. ඔවුන්ට ලැබිය හැකි උසස්ම තනතුරු වුයේ ගුරු වෘත්තිය තුළ බව ඔව්හු මට පැවැසුහ. දුම්රිය කොටුවේ දුම්රිය පොළට ලඟා වෙත්ම, ත්‍රිකුණාමලයේ ගුරුවරයා `අප සියලු දෙනාම මේ මහත්තය වගේ ඔවුනොවුන්ගේ භාෂා ඉගෙන ගන්නේ නම් අප අතර ප්‍රශ්නයක් ඇති නොවනු ඇත’ යි කියත්ම සියල්ලෝම මඳ සිනහවකින් ඊට එකඟත්වය පළ කළහ.

සංස්කෘතික අනන්‍යතාවය

කන්තරෝදේදී  මට  අපුරු අත්දැකීමක් ලැබිණ. 16 වැනි සියවසේ යාපනය ආක්‍රමණය කල සංගිලි විසින් ප්‍රදේශයේ බුද්ධාගම මුලිනුපුටා දැමීමේ අදහසින් එම ප්‍රදේශයේ පදිංචිව සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටනමක් එම ස්ථානයේ දී ඝාතනය කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි සවිකර තිබුණු පුවරුවක සඳහන් කර තිබුනණි. එම ස්ථානයේ තිබුණු  නටබුන් අතර ප්‍රධාන වශයෙන් දක්නට ලැබුණේ අභාවප්‍රාප්ත භික්ෂුන්වහන්සේලාගේ සොහොන්ය. ඒවාට හානියක් කර ඇති බවක් පෙනෙන්නට නො තිබුණි.  කන්තරෝදේ, ප්‍රභාකරන්ගේ තනි පාලනය යටතේ පැවති බැවින් මේ චෝදක ඉතිහාසය මකාදැමීම සඳහා ඔහු `සංගිලි’ වෙස් නො ගත්තේ මන්දැයි මා තුළ කුතුහලයක් ඇතිවිය. මේ ගැටලුව ගැන තවදුරටත් හිත යොමු කිරීමේදී  මට අවබෝධ වුයේ මේ දෙදෙනාට පොදු වාර්ගික සම්භවයක් තිබුන ද,  ඔවුන්ගේ අරමුණු වල විවිධත්වය මෙම වෙනසට හේතු වූ බවය. සංගිලි, වෙනත් රටකින් පැමිණි හොදින් හෝ නරකින් යටත් විජිතතයක් අත්පත් කරගැනීමේ අරමුණ ඇති ආක්‍රමණිකයෙකු විය. අනෙක් අතට, ප්‍රභාකරන් වූ කලි ඉන්දියාවෙන් පැමිණි වෙනත් සියලු සංක්‍රමිකයන් මෙන් දේශීයත්වය උරුමවූ පුරවැසියෙකි. කන්තරොදේ යනු, ඔහු අනෙක් රටවැසියන් සමග සම්බන්ධවී සිටි, ගුණදාස අමරසේකරයන් විසින් `ජාතික චින්තනය’ ලෙස හඳුන්වන, දීර්ඝ සහජීවනයකින් සහ හවුල් සංකල්පාවලියකින් පැනනැගුනු, පොදු සහ අනුරුප මුලයන් සහිත සංස්කෘතියක කොටසකි.

සංහිදියාවට බාධාකරන පුර්වානුමානයක් වී ඇත්තේ බලය බෙදීම නිරායාසයෙන් රට බෙදුමට මුලපුරනු ඇත යන  මතයයි. මෙම මතයට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකා දෙමළ ජාතිකයන් සැම අතින්ම දකුණු ඉන්දියානුවන්ට සමාන ය  යන උපකල්පනය යි. මෙම උපකල්පනයට හේතුව මෙම ජන කොට්ඨාස දෙකේ අනන්‍යතාව පිළිබිඹු කරන සංස්කෘතික ලක්ෂණ පිළිබඳ අනවබෝධය යි. සංසන්දනාත්මක අධ්‍යයනයකදී පෙනී යන්නේ මෙම දෙකොට්ඨාශය අතර ජීවන රටාවේ පමණක් නොව උච්චාරණයේදී පවා පැහැදිලි වෙනසක් ඇති බව ය. මෙහි යුදමය තත්වය ලිහිල්වූ සැම විටම ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් මේ රටට ගලාගෙන ඒමෙන් පෙනී යන්නේ ඔවුන් තම නිජ භුමිය සමග ඇති බැඳීම යි. බැහැර යෑම, අමිහිරි මතකයන් සමග  බැඳී ඇති විශේෂ අවස්ථාවලදී හැරෙන්නට බටහිර ඩයස්පෝරා සාමාජිකයෝද තම නිවාඩු කාලයක් ගතකිරීමට තම උපන් රටට ඒමට ප්‍රිය කරති. කෙසේ වෙතත්, ආර්ථික හේතුන් නිසා බටහිර සිටින ඩයස්පෝරාව නොදැනුවත්වම තම සංස්කෘතික බැඳීම් වලින් මිදෙමින් සිටිති.

දේශපාලනය සහ ස්වයං සේවා

තම සේවාදායකයින් වැඩිදෙනා සිංහලයින් වුවත් නාගවිහාරය අසල හඳුන් කූරු වෙළඳාම් කරන තරුණයින්ට සිංහලෙන් කතා කළ නො හැකි බව පෙනිණි. ඔවුන් තම ව්‍යාපාරයට සිංහලයෙකු බඳවා ගැනීමෙන් තම භාෂා ප්‍රශ්නය විසඳා ගෙන තිබුණි. මම පැණි බිම බෝතලයක් මිලදී ගෙන ආපසු පැමිණි පසු බීම සඳහා ඉන් අඩක් තරුණයන්ට බාර දී. විහාරස්ථානයට ගියෙමි. වෙළඳ සල ඉදිරිපිට ජනාධිපතිතුමාගේ රුපය සහිත විශාල දැන්වීම් පුවරුවක් විය. ඔවුන් සමග තබා ගිය බීම බෝතලයේ ඉතිරි කොටස බොමින් පුවරුවෙහි සඳහන් වචනවල තේරුම කියා දෙන ලෙස ඉල්ලමින් පුවරුව ගැන කතාවට තරුණයන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළෙමි. ඔවුන් කතාව මග හැරීමට උත්සාහ කරන බව පෙනුන අතර කතා කළේ ද නැහෙන ස්වරයෙනි. ජනාධිපතිතුමා මෑතදී කළ සංචාරය නිමිත්තෙන් නංවන ලද පුවරු කිහිපයක් ප්‍රසිද්ධ ස්ථාන වල තිබුණි. ඒවා ඉතා හොඳින් ආරක්‍ෂාවී තිබුණි. එසේ  ආරක්ෂා වී තිබීම භීතිය නිසාද නැති නම් ගෞරවය නිසාද යන්න ප්‍රශ්නයට්පිළිතුරු ලැබිය හැක්කේ ඉදිරි මැතිවරණ වලින් අනතුරුව ය.

සන්නද්ධ අරගලයේ අවසානයෙන් පසු, විවිධ දේශපාලන පක්ෂ වාර්ගික ප්‍රශ්නය විසඳීමේ නමින් කඹ ඇදිල්ලක යෙදී සිටිති. අවුරුදු පහක් ගත වීමෙන් පසුවත් උමග කෙළවර එළියක් දකින්නට නැත. එක පක්ෂයක්වත් බෙදාහදා ගැනීමට හෝ සුලුසුලු කැප කිරීම් කිරීමට හෝ සුදානම් බවක් නොපෙනේ. ඒ අතින්, සංහිඳියාව උදෙසා අපේ සියලු දේශපාලකයන්ගේ දායකත්වයේ එකතුවට වැඩි සේවයක් `යාල්දේවි’ දුම්රියෙන් සිදුවන බව කිව හැකිය. දේශපාලනඥයෝ රට පරදුවට තබා හිස් වදන් හරඹයක යෙදී සිටිති. අවසානයේදී, මෙම ප්‍රමාදය නිසා, අසාර්ථකවූ ජාතියක් නිර්මාණය වුව හොත් එහි විපාක, ජාති හා ආගම්  භේදයෙන් තොරව සියලුම පුරවැසියන්ට විදීමට සිදුවනු ඇත.

සිවිල් සමාජය මේ හිඩැස තේරුම් ගෙන, සිදුවිය හැකි විනාශයේ බරපතලකම අවබෝධ කරගෙන, වහාම සංවිධානය වීම අවශ්‍යය. මෙම ව්‍යායාමයේදී, මත මෙහෙයවන්නන්, ආගමික නායකයන්, බුද්ධිමතුන්, පරිපාලකයන්, වෘත්තිකයන් සහ  සියලු පාර්ශවවල ප්‍රබුද්ධ මහජනයා  සංවිධානයවීම සහ ක්‍රියාශීලි වීම අත්‍යවශ්‍ය ය. මෙහි දී සන්නද්ධ හමුදා ද ධනාත්මක භූමිකාවක් ඉටුකළ යුතුය. උතුරු-දකුණු චාරිකා සංවිධානය කරන්නන් චාරිකා සැලසුම් කිරීමේදී සම්ප්‍රදායික ක්‍රමවේද වලින් ඈත්වී තම සේවා ලාභීන්ට ඔවුන්ගේ සමාන්තරයන් හමුවී ගවේශනාත්මක අදහස් හුවමාරුවලට අවස්ථාව සලසා දිය යුතුය. අපගේ චාරිකාවේදී මහාවංශයේ  නටබුන් නැරඹීමට අප කැඳවා ගෙන ගිය නමුත් යාපනේ බෞද්ධ විහාරයේ අධිපති ස්වාමින් වහන්සේ බැහැදැකීමට අවස්ථාවක් නොලැබිණ. මගේ සගයින් හිස් දේවස්ථානයක ඇතුළත නරඹමින් සිටින අතරතුරේ මම හීන්සීරුවේ ඉවත්ව ගොස්, මා උතුරේ පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අධිකාරියේ ප්‍රධානයා ලෙස සේවය කරන අවධියේ මට විශාල ශක්තියක් වූ යාපනයේ ගරු බිෂොප් තුමාට සුබපැතුම් පණිවිඩයක් තැබීමට ගියෙමි. එතුමාගේ ලේකම් වරයා මගේ දෙමළ භාෂා ප්‍රවීණතා ව ගැන කෙතරම් පැහැදුනා ද කිවහොත්, සියලු තාන්ත්‍රික  පටිපාටි  නො සලකා හරිමින් උන්වහන්සේ බැහැදැකීමට වහාම මට අවස්ථාව ලබා දුන්නේය.

පණිවුඩය

අනාදිමත් කාලයක සිට ඉන්දියන් සාගරය අප කුඩා දිවයින ඒකට කැටිකර ගෙන සිටියා සේම, අපට සහ ඉදිරි පරම්පරාවලට ද ලොකාවසනය තෙක්, ඒ ග්‍රහණයෙන් මිදී යාමට ඉඩ නො දෙනු සිකුරු ය. සයුර තරණය කොට, නුපුරුදු රටක තුන්වැනි පන්තියේ සාමාජිකයන් ලෙස හෝ ජීවත්වීමට යාමට අවස්ථාව ලැබෙන්නේ වරප්‍රසාද ලත් පංතියේ අතළොස්සකට පමණි. ඉතිරි අපට එකිනෙකාගේ සංස්කෘතික පසුබිම කුමක් වුවත්, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, මෙහිම ජීවත් වීමට සිදුවනු ඇත.

කෛරාටික දේශපාලකයන් බලය ලබා ගැනීමට හෝ බලයේ රැඳී සිටීමට හෝ බළල් අඬු සේ අප යොදා ගෙන ඇත. ඔවුන් තම ආත්මාර්ථකාමී අරමුණු ඉටු කරගැනීම සඳහා අප අතරේ පවත්නා සුළු වෙනස් කම් ආයුධයක් කරගෙන සිටිති. නිමක් නැති ජාතිවාදී ඝට්ටනය නිසා අප, ප්‍රස්තාපිරුලේ කියැවෙන වලිග දෙක පමණක් ඉතිරිවන තෙක් ඔවුනොවුන් කාගත් බළලුන් දෙදෙනාගේ තත්වයට තල්ලුවී ඇත. ඇතිවිය හැකි මෙම අවදානම් තත්වය අවබෝධ කරගෙන, අප සංස්කෘතීන් අතර පවත්නා වෙනස්කම් නො තකා, නිදහස් හා සාධාරණ සමාජයක් ගොඩ නගා ගැනීම සඳහා අත්වැල් බැඳගෙන  ඉදිරියට යාමට අවශ්‍ය ප්‍රඥාව අපට සැමට පහළ වේවා! `යාල්දෙවීය’ මෙම ශුභ පණිවුඩය ගෙන එන සුරදූතිකාව වද්ද?.

 *2014 නොවැම්බර් 07 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ On My Third Return From Jaffna නැමැති ලිපියේ සිංහල පරිවර්තනය හේමකිර්ති දිසානායක

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.