24 January, 2021

Blog

රණවිරුවන් කටගැස්මට ගැනීම

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

“සේවා විශ්‍රාම වැටුප” ඉල්ලමින්, උපවාසයෙහි යෙදුණු ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකට එල්ල කළ පොලිස් ප්‍රහාරය ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායමට “ඔක්සිජන්” සැපයූ බව පෙනෙන්නට ඇත. මේ දිනවල ඔවුන්ගේ ප්‍රකාශකයන්ගේ හා ආධාරකරුවන්ගේ ශ්‍රීමුඛයන්ගෙන් වැඩිපුර පිටවනුයේ “රණවිරුවන්ට” කළ ඒ මහා “අපරාධය”ට අදාළ විස්තර පිළිබඳවය. එම සිදුවීම, උත්කර්ෂයට නැංවීමට හෝ එය අලෙවි කිරීමට හිටපු ජනාධිපතිවරයාව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායමට ඇති අයිතිය දේශපාලනිකව අප ප්‍රශ්න නොකරනමුත් එය කෙතරම් “අහිංසක” ද යන්න නම් ගැටලුවක්මය. “අනේ ‍අපොයි!” කියමින් මේ ගැන හැඟීම්බර වීම වෙනුවට මේ සමස්ත සිදුවීම පිටුපස වැඩ කළ “දේශපාලනය” ප්‍රවේශමෙන් යුතුව කියවීම මොළයට පාඩුවක් නොවේ.

මූලිකවම ගත් විට “ආබාධිත රණවිරුවන්” පිරිසක් අරභයා පොලිස් නිලධාරීන් “අවම බලය” යෙදවූයේ තම අතපයේ හිරි ඇර ගැනීමට නොවේ. ඔවුන් තම මැදිහත් වීම සිදුකළේ රටේ රාජ්‍ය නායකයාගේ කාර්යාලය ‘වැටලීමට’ උත්සාහ කළ පිරිසකට එරෙහිවය. “රණවිරුවෙක්” වීම තුළ එසේ තමන්වම හඳුනා ගැනීම තුළ රටේ ජනාධිපතිවරයාගේ කාර්යාලය වැටලීමට යමෙකුට බලපත්‍රයක් ලැබෙන්නේ නැත. “රණවිරුවෙකුට” කියා විශේෂ මුක්තියක් එවැනි අවස්ථාවකදී හිමි වන්නේ නැත. භේදයකින් තොරව එවැනි අවස්ථාවකදී අදාළ වනුයේ රටේ මූලික නීතියයි. සුපැහැදිලිවම මෙහිදී සිදුව ඇත්තේ එම පොදු නීතිය ක්‍රියාත්මක කිරීම පමණි. අනිත් අතට රටේ සිවිල් නීති කැඩීම “රණවිරුවකු” යන ගරු යෙදුමෙන් හඳුන්වන පුද්ගලයෙකුට කිසිසේත්ම තරම් නොවේ. යමෙකුට “රණවිරු” මුද්‍රාව ඉදිරියෙන් යොදනුයේ රට ජාතිය වෙනුවෙන් එම පුද්ගලයා කළ සුවිශේෂ සේවාව, අපරිමිත කැපවීම ශික්ෂණය හේතුවෙනි. එබඳු සුවිශේෂ පුද්ගල කොට්ඨාසයක් බජාර් එකේ චණ්ඩින් මෙන් හැසිරීම කිසිසේත්ම තමන්ගේ තත්ත්වයට නොගැළපේ. කෙසේ වෙතත් මේ ආබාධිත හමුදා සාමාජිකයන් පිරිස මතු කළ ගැටලු, ඔවුන් සමාජගත කළ කාරණය බැහැර කළ යුතු යැයි ඉන් අදහස් නොවේ. ඒවා ආමන්ත්‍රණය කිරීම පාලකයන්ගේ රාජකාරියකි.

“සේවා විශ්‍රාම වැටුප” ඉල්ලමින්, අරගල කර තිබුණේ 2008 වසරට පෙර හමුදා සේවයෙන් ඉවත්ව ගිය කණ්ඩායමකි. “රණවිරුවන්” ගැන දවසේ පැය විසිහතරේම කථා කළ ඔවුන්ව තම දේශපාලනයේ කොටසක් කරගත්, රාජපක්ෂ සමයේ තම ඉල්ලීම් පිළිබඳ කටක් නොඇරි මේ කණ්ඩායම තම සේවා විශ්‍රාම වැටුප් අරගලය, දියත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණෙන තෙක් “පස් මහ බැලුම්” බැලුවේය. රාජපක්ෂ පාලන සමයේ මෙබඳු වීදි බැසීමක් සිදු කළ හොත් ප්‍රතිඵල “දරුණු” විය හැකි බවට තිබු ගණන් බැලීම තුළ ඇතැම් විට ඔවුහු එසේ සිටියා වන්නට ඇත. සාමකාමී උද්ඝෝෂණ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී රාජපක්ෂවරුන් අනුගමනය කළ ක්‍රමය කිසිවෙකුට රහසක් නොවීය. අධිකරණ නියෝග ලබාගෙන නතර කර නොහැකිනම් මර්දනය හරහා ඒවාට තිත තැබීම රාජපක්ෂ සමයේ විලාසිතාව විය.

වැලිවේරිය රතුපස්වලදී පානීය ජලය ඉල්ලා අරගලය කළ ජනතාවට තුවක්කුවෙන් සැලකු රාජපක්ෂවරු කටුනායක හා හලාවතදී ප්‍රදේශවල පැවැති මහජන නැගිටීම්වලදී රොෂෙන් චානකලා, ඇන්ටන්ලා බිලිගත් ඒ ඉතිහාසය මතකයෙන් ඈත්වීමට තරම් ලාංකිකයන්ගේ මතකය දුර්වල නැත. ඒ නිසාවෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය වැටලීමට ඉදිරිපත් නොවී මේ “රණවිරුවන්” ඒ මොහොතේ නිහඬව සිටින්නට ඇත.

යුද හමුදාවට අයත් විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික දීමනාවලට අදාළ නෛතික තත්ත්වය අනුව සෙබළෙකු විශ්‍රාම ගැනීමට හෝ ඉල්ලා අස්වීමට හෝ වසර 12ක සේවා කාලයක් සපුරා තිබිය යුතුය. ඉහළ නිලධාරියෙකුට අදාළව නම් එම කාලය වසර දහයක් සම්පූර්ණ වී පැවතීම ප්‍රමාණවත්ය. පිටකොටුවේ වීදී බට හමුදා සෙබළුන් තර්ක කළේ එම කාලය වසර 8ක් දක්වා අඩු කළ යුතු බවය. මේ විරෝධතාවට එක්වූ හමුදා සෙබළුන්ගේ ඉතිහාසය දෙස බලන විට ඔවුන් 2008 වසරේදී වන්දි ලබා ගනිමින් සේවයෙන් ඉවත් වූ පිරිසක් විය. මේ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂිකවලට අදාළ නෛතික තත්ත්වය සංශෝධනය කිරීමට රජයට සිදු වූයේ පෙර පැවැති ඇතැම් වගන්ති උල්ලංඝනය කරමිනි. එම තීරණය තුළ වසර 12ක කාලයක් සේවය කිරීමෙන් පසු විශ්‍රාම වැටුප් ලැබු අයට යම් අසාධාරණයක් සිදුවූ බවට යමෙකුට සාධාරණ තර්කයක් මතු කළ හැකිය.

මේ විරෝධතාවයට සම්බන්ධ වූ පුද්ගලයන් තම සේවය අවසන් කිරීමේදී විශ්‍රාම වැටුප්, වන්දි හා තවත් දීමනා ලබාගෙන ඇත. එය වසර 12ක සේවා කාලයකින් පසු විශ්‍රාම ගිය පුද්ගලයන්ට හිමි නොවුණු තත්ත්වයකි. අනෙක් අතට පිළිගත් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුව වන්දි ලබා ගනිමින් කල්තියා සේවයෙන් ඉවත් වන සේවකයන්ට මේ ආකාරයේ ප්‍රතිලාභ ලබාදීමක් සිදුව නැත. පවතින නීති පවා නොතකමින් කළ හැකි උපරිම සැලකිල්ල ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත දැක්වීමට රජය කටයුතු කර තිබියදීත් සඳුදා දිනයේ කොළඹදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් රජය රණවිරුවන්ගෙන් සමාව ගත යුතු බවට ඇතැමුන් ගෙනෙන තර්කය විහිළුවක් වනුයේ එම පසුබිම මතය.

ආබාධිත හමුදා සෙබළුන් සඳුදා කොළඹදී කළ උද්ඝෝෂණයේ ‘සැර’ ඒ තරම් වැඩි කළේ පිටස්තර බලවේගයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ආරක්ෂක අංශ කිහිලිකරු කරගනිමින් දේශපාලනයේ නිරත සිංහල ජාතිකවාදී සංවිධාන රැසක ප්‍රධානීහු එදා ගාලු මෝදර පිටිය අසල කඳවුරු ලා සිටියහ. බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මැඬිල්ලේ පඤ්ඤාලෝක, මාගල්කන්දේ සුදන්ත යන ප්‍රකට සිංහල ජාතිවාදි භික්ෂුහු එහි වූහ. ඔවුන් එහි පැමිණ සිටියේ තම සහායක බළඇණි ද කැටුවය. ආරක්ෂක ලේකම්වරයා හා රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබියදී දහවල් 12.20 ට පමණ ඉහත කී හිමිවරු කණ්ඩායම ශබ්ද විකාශන යන්ත්‍රයක් ඔස්සේ රැස්ව සිටි පිරිස අමතමින් තමන් සමඟ ඉදිරියට යාමට ආරාධනා කළහ. එම භික්ෂු කණ්ඩායම ඒ වන විටත් මේ උද්ඝෝෂණය “හයිජැක්” කර තිබිණි. ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූයේ පොලිස් මාර්ග බාධක බිඳලමින් ජනාධිපති ලේකම් කාර්යාලය බලා යෑමට සැරසුණු අවස්ථාවේදීය. මේ අවාසනාවන්ත සිදුවීම සිදු වූයේ ඒ ආකාරයටය. සැබැවින්ම එය ඉල්ලන් කෑමක් ම විය. කඳුළු ගෑස් කෑමේ දැඩි අවශ්‍යතාවක් ඉහත කී භික්ෂුන් වහන්සේලා තුළ විය.

රණවිරුවන්ට කඳුළු ගෑස් ගැසූ බව කියමින් අද කිඹුල් කඳුළු වගුරුවන මේ ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා කණ්ඩායමේ මහත්වරුන්ගේ හා ඇතැම් භික්ෂූන්ගේ හැසිරීම දෙබිඩි එකක් බව අප පවසනුයේ එසේ නොබියව පැවසීමට තරම් අනන්තවත් අතීත උදාහරණ ඔවුන් පෙන්වා ඇති බැවිනි. තම බල දේශපාලනික අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන් වුවමනාවෙන්ම අමතක කරන ඒ ඉතිහාසය සිදුවීම දෙක තුනක් ඔස්සේ සුළුවෙන් හෝ මතක් කර දීම මේ මොහොතේ වැදගත්ය.

ලොව හොඳම හමුදාපතිවරයා සරත් ෆොන්සේකා බව වරක් පැවසුවේ අන් කිසිවකු නොව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ෆොන්සේකා සමඟ ප්‍රේමයෙන් වෙළී සිටි සමයේ එසේ පැවසුවද ත්‍රස්තවාදයට එරෙහිව වූ යුද්ධය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය හමුදාමය නායකත්වය සැපයු ෆොන්සේකාට එළව, එළවා පහර දීමට රාජපක්ෂවරු අනතුරුව කටයුතු කළහ. ඒ ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ පසුය. 2010 ජනවාරි 26 වැනි දින පැවැති ජනාධිපතිවරණය නිම වී ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසු සරත් ෆොන්සේකා හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැඳී සිටි ‘සිනමන් ලේක් සයිඩ්’ හෝටලය වැටලීමට “ඉහළින්” නියෝගයක් ලැබුණු අතර, හිටපු හමුදාපතිවරයාගේ ආරක්ෂාවට සිටි කොමාන්ඩෝ සෙබළුන්ව එහිදී අත්අඩංගුවට ගත් ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත විය. හෝටලය ඉදිරිපිට දණ ගසා තබමින්, ප්‍රසිද්ධියේ ඔවුනට අපහාස හා හිරිහැර කරමින් එම භට පිරිසව අත්අඩංගුවට ගැනීමට ඉහළින් ලැබු අණ අනුව ක්‍රියාත්මක වූ හමුදා නිලධාරිහු එදා කටයුතු කළේය. එසේ අත්අඩංගුවට ගත් පිරිස යුද සමයේ සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ සුවිශේෂ වැඩ කොටසක් කළ භට පිරිසක් විය. ත්‍රස්ත ඉලක්ක මඟ හරිමින් හමුදාපතිවරයාගේ ජීවිතය ආරක්ෂා කළේ ඔවුන්ය. ඒ සා විශාල සේවාවක් කළ හමුදා භට පිරිසක් ප්‍රසිද්ධියේ අවමානයට පත් කළ ද ඊට එරෙහිව කට ඇරීමට තරම් ධෛර්යක් අද රණවිරුවන් ගැන පම්පෝරි ගසන මේ එකම හෝ භික්ෂූන් වහන්සේ නමකට තිබුණේ නැත. එරෙහි වීම වෙනුවට ඔවුන් කළානම් කළේ එය සාධාරණීය කිරීම පමණකි. මේ දෙබිඩි හැසිරීමට අදාළව කූටප්‍රාප්ති අවස්ථාව දැකගත හැකි වූයේ, 2010 පෙබරවාරි 08 වැනිදා රාත්‍රියේදීය.

සරත් ෆොන්සේකා මහතා ඒ රාත්‍රියේ රාජකීය මාවතේ 1/3 ලිපිනයේ පිහිටි තම කාර්යාලයේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡාවක් පවත්වමින් සිටියේය. රවුෆ් හකීම්, මනෝ ගනේශන්, සෝමවංශ අමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති, සේනක ද සිල්වා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. දොරගුළු ලා ගනිමින් සාකච්ඡාව පැවැතියේ පළමු මහලේ පිහිටි කාමරයකය. පිරිස සාකච්ඡාවේ යෙදී සිටියදී ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට “ඔපරේෂන් ෆොනි” නමින් අතිශය රහස් මෙහෙයුමක් පිටත දියත් වෙමින් පැවැතිණි. ඒ පිළිබඳව විස්තර දැන සිටියේ ආරක්ෂක සේවාවේ ඉහළ බලධරයන් කිහිප දෙනකු පමණි. පොල්හේන්ගොඩ පිහිටි හමුදා පොලිස් මූලස්ථානයේ සිට මෙහෙයුම දියත් වුණු අතර එය මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ හමුදා පොලිස් ප්‍රධානී බ්‍රිගේඩියර් ජගත් විජේසිරිට හා කොළඹ මෙහෙයුම් බාර හමුදා ප්‍රධානියා ලෙස එසමයෙහි කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩුගේටය. දෙසීයකට වැඩි භට පිරිසක් ඒ සඳහා සහභාගි වූ අතර එය හමුදා ක්‍රියාන්විතයක්ම නොවන බව පිටතට පෙන්වීමට රහස් පොලිස් නිලධාරින් කණ්ඩායමක්ද ඊට සම්බන්ධ කරගෙන තිබිණි. රාත්‍රී 9.30 ට පමණ මෙහෙයුම සිදු වූයේ අවට සියලු ප්‍රවේශ මාර්ග වසා දමමිනි. ෆොන්සේකා මහතා රැඳී සිටි කාමරයට ප්‍රවේශ වීමට මත්තෙන් හකීම්, හඳුන්නෙත්ති, මනෝ සමඟ පැමිණ සිටි ඇමැති ආරක්ෂකයන් නිරායුධ කිරීමට මානවඩුගේගේ නායකත්වයෙන් පැමිණ සිටි පිරිස කටයුතු කළ අතර ආගන්තුකයන්ගේ පැමිණීම තම ස්වාමිවරුන්ට දැන්වීමට උත්සාහ කළ ඇමැති ආරක්ෂකයන් දෙදෙනෙකු වෙත තුවක්කු එල්ල විය.

අත්අඩංගුවට ගැනීමට සැරසුණු අවස්ථාවේදී ෆොන්සේකා මහතා ඊට තම විරුද්ධත්වය පළ කළේ තවදුරටත් තමන් හමුදා සාමාජිකයෙකු නොව සිවිල් වැසියකු වන තමන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් පොලීසිය රැගෙන ‍එන ලෙස හිටපු හමුදාපතිවරයා පැවසුවේය. නමුත් මානවඩුගේට ඒ තර්කවලින් වැඩක් නොවීය. ඉහළින් ලැබුණු අණ ක්‍රියාත්මක කර “ලකුණු දාගැනීමේ” සිහිනය පමණක් ඔහුට විය. ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නා ලෙස මානවඩු තමන් සමඟ පැමිණි පිරිසට පැවසු අවස්ථාවේදී හිටපු හමුදාපතිවරයා උස් හඬින් පැවසුවේ, “මගේ ඇඟට අත තියන්න එපා” කියාය. “ඇයි බලාගෙන ඉන්නේ බෙල්ලෙන් අල්ලා ගන්න” කියමින් මානවඩුගේ යළි තමන් සමඟ පැමිණි භටයන්ට නියෝග කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ භටයන් පළමු මාලයේ සිටි ෆොන්සේකා පහළට රැගෙන ආවේ අතපය අල්ලා ගනිමින් සතෙකු රැගෙන එන ආකාරයටය. එසේ රැගෙන ගිය යුද වීරයාව සෑහෙන කලක් අඳුරු කුටියක සිර කරමින් කාලකණ්ණි සතුටක් ලැබීමට එදා සිටි පාලකයෝ කටයුතු කළහ. ඒ අවස්ථාවේදී රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළන කිසිවකුත් කටක් ඇරියේ නැත.

මේජර් ජනරාල් ජානක පෙරේරා සැලකෙනුයේ ජනරාල් කොබ්බෑකඩුවගෙන් පසු මේ රට බිහි කළ විශිෂ්ටතම රණවිරුවකු ලෙසය. 1966 දී හමුදා සේවයට එක්වූ ඔහුගේ හමුදා දිවිය වසර 35කි. එම කාලය තුළ ඔහු අගනගරයේ රාජකාරි කටයුතු කළේ මාස 18කටත් අඩු කාලයකි.

ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු තීරණාත්මක මෙහෙයුම් කිහිපයකට දක්ෂ ලෙස නායකත්වය සැපයු නිසාම එල්ටීටීඊයේ දැඩි වෛරයට පාත්‍රව සිටි ජානක පෙරේරා මහතා හමුදාවෙන් ඉවත් වී තානාපති රාජකාරි සිදු කර යළි මෙරටට පැමිණි අවස්ථාවේදී සිය පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ඉල්ලා සිටි අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය එය ප්‍රතික්ෂේප කළේ එසේ දීමට තරම් පිස්තෝල තමන් සන්තකයේ නැතැයි කියමිනි. එල්ටීටීඊය සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබියදී දේශපාලනයට පිවිසීමෙන් පසුව වුවද ජානක පෙරේරාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට තරම් උනන්දුවක් එවකට පැවැති රජයට නොවීය. ඒ ගැන අදහස් දක්වමින් එවකට පැවැති ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් කීවේ ජනකට එල්ටීටීඊ තර්ජනයක් නැති බවය.

මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වීමෙන් පසුව වුවද මේ කීර්තිමත් හමුදා නිලධාරියාට රාජපක්ෂ රජය දැක්වූයේ අඩු සැලකිල්ලකි. පෙරේරා මහතාගේ දේහය අනුරාධපුරයට රැගෙන යෑමට රත්මලාන ගුවන් තොටුපළට රැගෙන ගිය අවස්ථාවේදී ඒ සඳහා ඉහළින් උපදෙස් ලැබී නැති බව කියමින් ගුවන් තොටුපළ බලධාරීන් එය ප්‍රමාද කළේ, එය නොකර සිටියේ අවම තරමින් මෘතදේහයකට හෝ ගෞරව දැක්වීමට සූදානම් නැති බව පෙන්නුම් කරමිනි. මේ රට වෙනුවෙන් ඉහළම කැපකිරීම් කළ රණවිරුවන්ට එසේ සලකන අතරතුර තිරුක්කෝවිල් කැලයට රැගෙන ගොස් නිරායුධ පොලිස් නිලධාරීන් හයසියයක් ඝාතනය කළ කරුණා අම්මාන්ට ශ්‍රීලනිපයේ උප සභාපතිකම සමඟ නියෝජ්‍ය ඇමැති ධුරයක් පිරිනැමීමට තරම් රාජපක්ෂවරුන්ගේ හිත් මෘදු, මොළොක් වී තිබිණි!

තර්කය මේ තරම් සරලය. රාජපක්ෂලාට ඕනෑම කෙනෙකු රණවිරුවකු වනුයේ තමන් සමඟ සිටින තාක් කල් පමණි. තම දේශපාලන බලයට අභියෝග කළ පසු ෆොන්සේකාලා, ජානක පෙරේරලා දේශද්‍රෝහීන් ලෙස සැලකීමට තරම් ඔවුහු පහත් තත්ත්වයට ඇද වැටුණහ. අද රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළන කණ්ඩායමකගේ සැබෑ ඉතිහාසය එයයි. ඒ ඉතිහාසය තේරුම් ගනිමින් ඔවුන්ගේ “වෙස් මාරුව” පරිස්සමින් කියවීම හැම අතින්ම සමාජයට යෝග්‍යය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.